IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


පිරිවැයට සරිලන ගාස්තු ක්‍රමයක් නැතිවීම බලශක්ති මිල අස්ථාවරත්වයට හේතුවක්

  • පිරිවැයට සරිලන ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට බලශක්ති මිලෙහි අස්ථාවරත්වය අඩුකිරීමට යාන්ත්‍රණයක් අවශ්‍යයි
  • මෙරට භාණ්ඩ සඳහා පැනවූ සියයට 44ක තීරු බද්ද හෝ ඊට සමාන ඉහළ බද්දක් දින 90 අවසානයේ ක්‍රියාත්මක වීමට ඇත්තේ ඉතාමත් අඩු අවස්ථාවක්
  • ක්‍රිප්ටෝ මුදල් ඒකක නියාමනය කිරීමට නීති හෝ රෙගුලාසි ශ්‍රී ලංකාවේ නෑ
  •  ශ්‍රී ලංකාවට ඉන්දියාවේ ඉහළ වෙළෙඳපොළක් තිබෙන අතර පාකිස්තානයද අමතක කළ නොහැකියි
  • මහ බැංකුව බලාපොරොත්තු වූවාට වඩා වේගයකින් පරිවර්තනය සිදුවනවා

විමුක්ති එස් රුද්‍රිගු


 ආචාර්ය නන්දලාල් වීරසිංහ

ලංකා විදුලි බල මණ්ඩලය එක් වසරක විශාල වශයෙන් ලාබ ලැබීමටත්, තවත් අවස්ථාවක පාඩු ලැබීමටත් හේතුව පිරිවැයට සරිලන ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවට සහ ලංකා විදුලිබල මණ්ඩලයට එකඟතාවකට පැමිණීමට නොහැකි වීම බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

ඉන්ධන, විදුලිය ඇතුළුව බලශක්ති ක්ෂේත්‍රයේ පිරිවැයට සරිලන ගාස්තු ක්‍රමයක් ගෙන ඒමට රජයේ ප්‍රතිපත්තිය අනුව කැපවී සිටින බවත්, එම ක්‍රමය හඳුන්වා දුන් අවස්ථාවේදී නියාමකයා වූ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ වෙළෙඳ අධිකාරිය වූ ලංකා විදුලිබල මණ්ඩලය අතර මෙය ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් විවාදයක් හටගත් බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

පිරිවැයට සරිලන ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට බලශක්ති මිලෙහි අස්ථාවරත්වය අඩුකිරීම සඳහා යාන්ත්‍රණයක් තිබීම සුදුසු බව තමාගේ මතය නමුත්, එය තීරණය කළ යුත්තේ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංකා විදුලි බල මණ්ඩලය බව ආචාර්ය වීරසිංහ මහතා පැවැසුවේය. ස්ථාවර බලශක්ති මිලක් පවත්වාගෙන යාම සඳහා විසඳුමකට පැමිණිය යුත්තේද එම පාර්ශ්ව දෙක බව ඔහු ප්‍රකාශ කළේය.

එහිදී ඇමෙරිකානු තීරු බද්ද පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ, මෙරට භාණ්ඩ සඳහා පැනවූ සියයට 44 තීරු බද්ද හෝ ඊට සමාන ඉහළ බද්දක් දින 90 අවසානයේ ක්‍රියාත්මක වීමට ඇත්තේ ඉතාමත් අඩු අවස්ථාවක් බවය. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා යම් බද්දක් පැනවෙනු ඇති බවද ඔහු කීය.

‘‘අන්‍යෝන්‍ය බදු ක්‍රමය”‍ යටතේ මෙරටට සියයට 44 ක් බදු ප්‍රතිශතයක් පැනවූ අවස්ථාවේදී රජය සක්‍රීයව ඇමෙරිකාව සමග සම්බන්ධ වී සාකච්ඡා ආරම්භ කළ බවත්, මෙරට භාණ්ඩ සඳහා පැනවෙන බදු ප්‍රතිශතය පිළිබඳ සාකච්ඡා කිරීමට රජයට කල් තිබෙන බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේය. ඇමෙරිකාව තීරු බද්ද පැනවූ දින සිට මේ දක්වා වෙනස්කම් රාශියක් සිදුව තිබෙන බවත්, ඇමෙරිකාව චීනයට පැනවූ සියයට 165 ක් තීරු බද්ද මේ වනවිට සියයට 30 දක්වා අඩුවී තිබෙන බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට පමණක් ලෝකය අනෙකුත් රටවලටද පැනවූ ඉහළ තීරු බදු ක්‍රියාත්මකවීමට ඇත්තේ ඉතාමත් අඩු අවස්ථාවක් බවද ආචාර්ය වීරසිංහ මහතා පැවැසුවේය.

එහිදී ක්‍රිප්ටෝ මුදල් ඒකකවල ආයෝජනය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ, ක්‍රිප්ටෝ මුදල් ඒකක නියාමනය කිරීම නීති හෝ රෙගුලාසි ශ්‍රී ලංකාවේ නොමැති බවයි. රජය ඒ පිළිබඳ සොයා බලමින් සිටින බවත් ප්‍රථමයෙන් ක්‍රිප්ටෝ මුදල් ඒකක නියාමනය කිරීම සඳහා නීතිමය රාමුවක් ගෙන ඒමට රජයට සිදුවනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

ඉන්දියාව හා පකිස්තානය අතර නැවතත් ගැටුම් හටගතහොත් ආයෝජන පරිසරයට සහ කලාපීය අස්ථාවරත්වය එය පුළුල් ලෙස බලපානු ඇතැයි ආචාර්ය වීරසිංහ මහතා පැවැසුවේය.මේ වනවිට දෙරට අතර ගැටුම් පාලනය වී සටන් විරාම ගිවිසුමකට එළැඹ තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය. ඉන්දියාවේ ශ්‍රී ලංකාවට ඉහළ වෙළෙඳපොළ තිබෙන බවත් පාකිස්තානයද අමතක කළ නොහැකි බවත් මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.

පසුගිය වසරේ ජූනි මාසයේදී මෙරට මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීම ආරම්භ කිරීමෙන් පසුව පසුගියද එක්දින ප්‍රතිපත්තිමය පොලී අනුපාතිකය මෙතෙක් ශ්‍රී ලංකාව තුළ හඳුන්වා දුන් හොඳම මුදල් ප්‍රතිපත්ති රාමුව බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. පරිවර්තනය මහ බැංකුව බලාපොරොත්තු වූවාට වඩා වේගයකින් සිදුවන බවත් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වන බවත් මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.

මෙරට උද්ධමනය ඉලක්කගත සියයට 5 සීමාවට මෙම වසර අගදී හෝ ලබන වසර මුලදී පැමිණෙනු ඇති බව ආචාර්ය වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. මේ වනවිට සමබර මුදල් ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවට තිබෙන බවද ඔහු පැවැසුවේය. මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කරනවද, දැඩි කරනවාද එසේත් නැතිනම් නොවෙනස්ව පත්වාගෙන යනවාද යන්න දත්ත මත පදනම්ව සෑම මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයකදීම තීරණය කරනු ඇතැයිද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

වාර්ෂික ආර්ථික විවරණය 2024 වාර්තාවට අනුව මෙරට ආර්ථික තත්වය පිළිබඳව මහ බැංකුවේ පසුගියදා පැවැති ආචාර්ය ජෙගජීවන් මහත්මියගේ මහජන දේශනයක් අතරතුර මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙම අදහස් පළ කළේය.



අදහස් (0)

පිරිවැයට සරිලන ගාස්තු ක්‍රමයක් නැතිවීම බලශක්ති මිල අස්ථාවරත්වයට හේතුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 25 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 19 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 732 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site