IMG-LOGO

නිසි වෙළඳපොළක් නැති ඌරාපොත්ත මැටි වළං කර්මාන්තය

ඇලුමිනියම් භාජන ප්ලාස්ටික් භාණ්ඩ මැටි වළං කර්මාන්තයට දැඩි බලපෑමක්

ණය වී අමාරුවෙන් නිපදවාගන්නා මැටි වළං අලෙවි කරගැනීමට පහසුකම් නෑ

වැඩි දෙනෙක් තවමත් අතින් කරකවන පැරණි සකපෝරු උපයෝගී කරගෙන මැටි වළං නිපදවනවා

මැටි ගුලියක් රුපියල් දෙසිය පනහක් තුන්සියයක් වැනි මිලකට ලබා ගැනීමට සිදුවෙලා

ඇතැම් අවස්ථාවල මැටි ගුලියක් රුපියල් හාරසියයක් වැනි මිලක් ගෙවා ගැනීමට සිදුවෙලා

හැම දේම සල්ලි දීල ගත්තත් හදන වළංවලින් ලාබයක් නැහැ

මැටි අඹරන මැෂින් නොමැති අය කකුල්වලින් මැටි පාගා පදම් කරනවා

ඉස්සර වගේ මහා පරිමාණයෙන් වළං නිපදවන්නෙ නැහැ


රටතුළ පවතින ආර්ථික අර්බූද හමුවේ මැටි වළං කර්මාන්තකරුවන්ට ජීවත් වීම සදහා මහත් සටනක යෙදීමට සිදුව ඇත. මෙවැනි තත්වයක් තුළ බිංගිරිය ඌරාපොත්ත ප්‍රදේශයේ ජීවත්වෙන පාරම්පරික ඌරාපොත්ත කර්මාන්තකරුවන්ට සිය කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උදාවී ඇති අතර දහ අතට ණය වී අමාරුවෙන් නිපදවාගන්නා මැටි වළං අලෙවි කරගැනීමට පහසුකම් නොමැති නිසා ඔවුහු මහත් අසරණ තත්වයට පත්ව සිටිති. වෙළෙඳපොළේ වැඩිවශයෙන් ඇලුමිනියම් වැනි නොබිඳෙන භාජන ප්ලාස්ටික් භාණ්ඩ මිල දී ගැනීමට පාරිභෝගික ජනතාව හුරු වී සිටිති. හැම දෙයක්ම මුදල මත තීරණය වන යුගයක අමාරුවෙන් නිපදවා ගන්නා මැටි වළං අලෙවි කර ගැනීමේ දී තමන්ට ගැටලු රෑසකට මුහුණ පෑමට සිදුවී ඇති බවත් ඔවුහු කියති. මේ ගම්මානයේ වෙසෙන පවුල් අතරින් වැඩි දෙනෙක් තවමත් අතින් කරකවන පැරණි සකපෝරු උපයෝගී කරගෙන මැටි වළං නිපදවති. රජය මගින් ලබා දෙන ලද යාන්ත්‍රික සකපෝරුවලින් වළං නිපදවන කර්මාන්තකරුවන් පිරිසක්ද මෙම ගම්මානයේ වෙසෙති. එසේ වුවත් යාන්ත්‍රික සකපෝරුවලින් වළං නිපදවන අය සිටින්නේ ඉතාමත් සුලු පිරිසකි. වළං කර්මාන්තයෙන් වැඩි ආර්ථික ලාබ ප්‍රයෝජන නොමැති හෙයින් මෙම වළං ගම්මානයේ බොහෝ පවුල්වල ගැහැනු පිරිමි වැඩි පිරිසක් වෙනත් රැකියාවලද නිරත වී සිටිති. බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඌරාපොත්ත ගම්මානයට අයත් සෙසු ගම්මාන දෙකක් වන සිරිල් වත්ත හා මෝරාවිල යන ප්‍රදේශවල පදිංචිකරුවන් අතරින් පාරම්පරික මැටි වළං කර්මාන්තයේ යෙදෙන පවුල් කීපයක්ද සිටිති.

ඌරාපොත්ත ගම්මානය ආශ්‍රිතව පිහිටා ඇති කොළමුණු ඔය ආසන්නයේ මැටි වළං වලට යොදා ගන්නා මැටි ලබාගත හැකි බිම් සහිත ස්ථාන ඇතත් මැටි හාරා ගැනීමේ අපහසුතාව නිසා මැටි ගුලියක් රුපියල් දෙසිය පනහක් තුන්සියක් වැනි මිලකට මැටි වළං නිෂ්පාදනයට මැටි ලබා ගැනීමට සිදුව තිබේ. ඇතැම් අවස්ථාවල මැටි ගුලියක් රුපියල් හාරසියයක් වැනි මිලක් ගෙවා ගැනීමට සිදුවන අවස්ථාද ඇත. එසේම මැටි අඹරන මැෂින් නොමැති අය කකුල් වලින් මැටි පාගා පදම් කර මැටි නිපදවීමට යොදා ගන්නා අතර මැෂින්වලින් අනාගන්නා මැටි ගුලියකට රුපියල් දෙසිය පනහක පමණ මුදලක් ගෙවිය යුතුය. පාරම්පරිකව මැටි වළං කර්මාන්තයේ යෙදී සිටින ඌරාපොත්ත ගම්මානයේ පදිංචි ආර්.ඇම්. විජේරත්න මහතා මෙසේ පැවැසීය. වළංවලට නිසි මිලක් නොලැබෙන නිසා වළං කර්මාන්තයෙන් පමණක් ජීවත් වෙන්න අමාරුයි. ඒ නිසා සුලු වශයෙන් සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන වශයෙන් මල් පෝච්චි හදල අලෙවි කරනවා. දැන් කාලෙක ඉදල මැටිවලින් කරමුඩිය නෑඹිලිය කලගෙඩිය වැනි දේවල් හැදුවට ඒවාට ඉල්ලුමක් නැහැ. විශේෂයෙන් ප්ලාස්ටික් හා ඇලුමිනියම්වලින් එවැනි දේ නිෂ්පාදනය කරන නිසා පාරිභෝගික ජනතාව ඒවා මිලදී ගන්න හුරුවෙලා තිබෙනවා. මැටි වළං නිපදවන්න අවශ්‍ය හැම දෙයක්ම මුදල් ගෙවල ගන්න වෙලා තිබෙන්නෙ. පොල් පිත්ත පොල් ලෙල්ල පොල් කට්ට හැම දේම සල්ලි දීල ගත්තත් හදන වළංවලින් ලාබයක් නැහැ. පහුගිය ගං වතුරට වහලෙ තෙමිල ගෙයි ඇතුලේ ගොඩ ගහල තිබුණ අමු වළං තොගයම දියවෙලා විනාශ වුණා. කොළමුණු ඔය ආසන්නයෙම ඉන්න නිසා ගං වතුර තර්ජනයටත් මුහුණ පාන්න සිදුවෙලා තිබෙනවා. ගං වතුර දාන කාලවල වතුර බැහැල යනකම් දින ගණනක් බලාගෙන ඉන්න ඕනෑ. රජයෙන් ලැබෙන්නෙ අස්වැසුම විතරයි. අපි හදන වළංවලට නිසි මිලක් නොලැබෙන නිසා ජීවත්වෙන්න හරිම අමාරුයි. සිංහල අවුරුදු උත්සව කාල කිට්ටු වෙකොට ඈත පළාත්වලින් තොග මිලට වළං ගන්න වෙ​ෙළදුන් ඌරාපොත්ත ප්‍රදේශයට එනවා. ඉස්සර වගේ මෙහෙ අය මහ පරිමාණයෙන් වළං නිපදවන්නෙ නැහැ. අපි තවමත් වළං නිපදවන්නෙ පරණ සකපෝරුවෙන්මයි. යාන්ත්‍රික මැෂින් අරගෙන අපිට නඩත්තු කරන්න අමාරුයි. මැටි පාගන මැෂින් එකක් ක්‍රියාත්මක කරන්න අනිවාර්යයෙන්ම ට්‍රැක්ටරයක් තියෙන්න ඕනෑ. කුඹුරු ඉඩම් පොල් වතු තියෙන අයට ඒවා නඩත්තු කරන්න පහසුයි. අපි වගේ එදිනෙදා වියදමට කීයක් හරි මුදලක් හොයාගන්නා අයට යාන්ත්‍රික උපකරණ නඩත්තු කරන්න අමාරුයි. මැටි වළං කර්මාන්තයෙන් තරුණ පිරිස ඉවත්වෙලා තිබෙනවා. සමහර තරුණ තරුණියන් ඇගලුම් කම්හල්වල රැකියාවලට ගිහින් තිබෙනවා. තවත් පිරිසක් විවිධ කර්මාන්තවල යෙදෙනවා. ළමා කාලයේ සිටම මැටි වළං හැදීම සිය ජීවන වෘත්තිය බවට පත්කරගත් ඌරාපොත්ත මෝරවිල ප්‍රදේශයේ පදිංචි නිලානි විජේසූරිය (60) මහත්මිය මෙසේ කීවාය. පාසැල් අධ්‍යාපනය ලබන කාලේ ඉදලම මැටි වළං හදන රස්සාවට කැමැත්තක් තිබුණා. පාසැල් ගමන නතරවෙන්න ආර්ථික ප්‍රශ්නවල බලපෑමත් එක් හේතුවක් වුණා. ඒ කාලෙ ඉඳලම හිතේ තිබුණ ආශාවත් එක්කම මේ කර්මාන්තයට මම යොමු වුණා. මීට අවුරුදු කීපයකට කලින් මේ ප්‍රදේශයේ මැටි වළං කර්මාන්තය පිළිගැනීමක් තිබෙන හොඳ රැකියාවක් බවට පත්වෙලා තිබුණා. කොහොම වුණත් ඌරාපොත්ත ප්‍රදේශයේ මැටි වළංවලට හොඳ නමක් ඉහළ ප්‍රසිද්ධියක් තිබෙනවා. දැන් වෙලා තියෙන්නෙ ඉල්ලුමට අනුව සැපයුම දෙන්න බැරිවීමයි. උත්සව කාලවලට මැටි වළං මිලදී ගෙන යන්න දුර බැහැර පළාත් වලින් ලොරි රථ විශාල වශයෙන් එනවා. දුර පළාත්වලට අරගෙන ගිහින් වැඩි මිල ගණන් වලට විකුණනවා. මේ ප්‍රදේශයෙන් වළං ගන්න හැම අවරුද්දකම ගැනුම්කරුවන් ආවත් තොග මිලට එකපාර දෙන්න දැන් වළං නැහැග ජිවත්වෙන්න වෙන විධියක් නැති නිසා පාරමිපරික පුරුද්දට වගේ මැටි වළං හදන අඩු පවුල් ප්‍රමාණයක් තමයි ඉන්නෙ. හදන වළං ටික විකුණ ගන්න නිසි වෙළඳපොළක් නැහැ. අපි ගෙදර වැඩත් කරගෙන ඉඩ තියෙන වෙලාට සුලු වශයෙන් තමයි වළං හදන්නෙ. එසේ හදන වළං සති අන්තයේ බෝවත්තෙ පොළට අරගෙන ගිහින් විකූණනවා. මැටි වළං කර්මාන්තය කරගෙන යාම හරිම අසීරුයි. මැටිවලට අමතරව අනෙකුත් දේවල්වල මිල අපිට දරාගන්න බැරි තරමට ඉහළ ගිහින්.

 

 බිංගිරිය වික්ටර් සෝමවීර



අදහස් (0)

නිසි වෙළඳපොළක් නැති ඌරාපොත්ත මැටි වළං කර්මාන්තය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1743 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 572 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 664 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site