IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


නව මගක යන ඉන්දු - ලංකා උපායමාර්ගික සබඳතා

 

සාරා කන්දෙගොඩ


ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හෙට (අප්‍රියෙල් 04) ඔහුගේ ශ්‍රී ලංකාවේ නිල සංචාරය ආරම්භ කරන්නට නියමිතය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලියේ දී මුණ ගැසීමෙන් ඉනික්බිතිව කොළඹට පැමිණ තව දුරටත් සබඳතා තරකර ගැනීමට ඉන්දියාව අරමුණු කරගෙන සිටින බව පෙනේ. විදුලිය හා ඛනිජ තෙල් සම්බන්ධ අවස්ථා ජාලගතකිරීමේ අදහස් මෙහි දී ගැඹුරින් සොයාබලනු ඇති බව අනාවරණය වේ. ආර්ථික, සමාජ හා සංස්කෘතික වශයෙන් තීරණාත්මක ගිවිසුම් පහක් ද අත්සන් කෙරෙනු ඇත. සාම්පූර් බලාගාරය ඉදිකිරීම් කටයුතු අරඹන අතර එය දශක දෙකක කාලයක සාකච්ඡා අවසානයේ මෙගාවොට් 160ක සුර්ය තාප විදුලිය බලාගාරයක් සේ ඉදිවේ. මෝදි අගමැතිවරයා පළමු වරට මෙරටට පැමිණි අවස්ථාවේ දී ලබාදුන් ඇමරිකානු ඩොලර් මිලියන 50 ක මුදල යොදවා ආගමික ස්ථානවල සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතිය ද ක්‍රියාවට නංවන්නට නියමිතය. 

ඉකුත් දෙසැම්බර් මැද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලියේ කරන ලද සංචාරය අතරතුර සංස්කෘතික හා ශිෂ්ටාචාරීය වශයෙන් ඇති බැඳීම තවත් ඉදිරියට ගෙන යන දිග ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තැබීය. එයට අනුව දෙරට අතර නාවික ගමනාගමනය තවත් තර කරන අතර එකී පියවරෙහි කොටසක් වශයෙන් කන්කසන්තුරේ වරාය සංවර්ධනය කරන්නට එකඟත්වය පළ කර ඇත. රටවල් දෙක යා කරන අලුත් අදහස් වශයෙන් දෙරට අතර විදුලිය ග්‍රිඩ් සබඳතාවක් හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කෙරෙන තෙල් නළ මාර්ගයක් ඇති කිරීමේ මූලික එකගතාව ද එහි දී පළ කොට තිබුණි. ජාතික ජනබලවේගය ආණ්ඩුව ඉන්දීය සහයෝගීතාව කෙරෙහි මෙතෙක් පැවැති ආකෘතිය පරාජයට පත් කර නවතම මුහුණුවරක ප්‍රවේශය කලාපයේ භූ දේශපාලනික පැත්තෙන් සලකා බලන පසු ඉතාම වැදගත් සංධිස්ථානයක් විය හැකිය. 


ඉන්දියාවෙන් ප්‍රතිසංස්කරණ ව්‍යවසායකයන්ගෙන් ප්‍රගතිය

ජපානය පරාජය කර ලෝක ආර්ථිකයේ හතරවැනි බලවතා බවට පත්වීම ඉන්දියාවේ අලුත්ම ඉලක්කය වී තිබේ. එය උදෙසා සැලකිය යුතු අවදානමක් කරා ගමන් කරන්නට ඉන්දියාව සූදානම්ය. 2025 වසරේ ඉන්දීය අයවැයට සමාන්තරව ප්‍රතිසංස්කරණ යෝජනා කරන අතර ඒවා ජනතාව හා ව්‍යවසායකයන් හමුවේ තබන එරට නායකයන් ප්‍රගතිය හා පලදායීතාව ඉල්ලා ඇත. ජාත්‍යන්තරයෙහි සිදුවන වෙනස්කම් ඉන්දියාව අධ්‍යයනය කරමින් සිටී. ප්‍රතිපත්ති සම්පාදකයෝ අලුත් ක්‍රමවේද බලගන්වන්නට යෝජනා කරති. 

නිෂ්පාදනය, වෙළෙඳ පොළ, ජනතාව හා කලාපයේ රටවල් යා කිරීමෙන් සැලකිය යුතු අලුත් අවස්ථා ලබාගත හැකි බව ඉන්දියානු විශේෂඥයන් දක්වා තිබේ. එක පැත්තකින් එක්සත් ආරබි එමීර් හා සවුදි අරාබිය දක්වා ඉන්දීය සබඳතා අලුතින් ගොඩනැගෙන අතර අනෙක් පැත්තෙන් ශ්‍රී ලංකාව, බංගලාදේශය මාලදිවයින සහ නුදුරු කාලයේ දී සමහරවිට පසුගිය දා භූමිකම්පාවකින් පසු ජාත්‍යන්තර සහාය ඉල්ලන මියන්මාරය දක්වා මෙම රාමුව විහිදෙන්නට ඉඩ තිබේ. මියන්මාරයේ හදිසි අවශ්‍යතා සඳහා වහාම සිය නැඹුරුව පෙන්නුම් කළ ඉන්දියාව පසුව ශ්‍රී ලංකාව හා සමානව සිය ආකෘතියට මියන්මාර් ආර්ථිකය ද ඈඳා ගන්නට ඉඩ තිබේ. අවට රාජ්‍ය වන තායිලන්තය හා චීනය ඉක්මවා යුහුසුළුවුවහොත් ඉන්දියාව ලෝක ආර්ථිකයේ හතරවැනි තැන දක්වා ගමන් කරන අභිලාශයට එය වහල් කරගත හැකි වනු ඇත.

ඉතාම සමීප රටක පවතින විශාල පරිවර්තනයෙන් අලුත් අවස්ථා දිනාගැනීම ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීමකි. දැනට මෙරටට වැඩිම සංචාරක පිරිසක් ඉන්දියාවෙන් පැමිණේ. ආයෝජන සම්බන්ධයෙන් හා දෙරට අතර වෙළෙඳාම සම්බන්ධයෙන් ද ඉහළ තැනෙක පසුවේ. ආර්ථික හා සමාජ සම්බන්ධතා තවත් වටයකින් ඉදිරියට ගෙන ගියහොත් ඉන්දීය ආර්ථිකයේ වාසිය ගළපා ගැනීමට හැකිවේ.

 

දස වසරක් තුළ දෙගුණයක් දියුණු වූ රටක්

පසුගිය වසර දහය තුළ ඉන්දියාවේ මාර්ග ඉදිකිරීම කිලෝමීටර් මිලියන 6.7 කි. රට පුරා සෑම දිශාවකටම විහිදෙන පහසුකම් සහිත මාර්ග හේතු කොටගෙන ඈත පළාත්වල නිෂ්පාදන අපනයනය සඳහා ඉක්මනින් යොමු කරන හැකියාව ලැබී ඇත. 2025 වසරේ අය වැය අනුව අලුත් දුම්රිය මාර්ග කිලෝ මීටර් 68,000 ක් ඉදිවන අතර 2027 වන විට වන්දේ භාරත් අධිවේගී දුම්රිය 400 ක් අලුතින් යොදවන්නට සූදානම්ය. භාණ්ඩ ප්‍රවාහනය සඳහා වෙනම විදුලිය දුම්රිය මාර්ග ඇති කෙරේ. අලුත් ගුවන් තොටුපොළ සියයක් ඉදිකරන 2022 සැලැස්ම අවසාන අදියරට පැමිණ ඇති අතර අභ්‍යන්තර ගුවන් සමාගම මෙම මගී සේවා සඳහා ඇණවුම් කරන ලද අලුත් ගුවන් යානා ගණන හත්සිය පනහකි. එයාර් ඉන්දියා පෞද්ගලීකරණය පවා ඉන්දීය රජයට ආර්ථික රාමුවක් සකස් කර දී ඇත. තොරතුරු සන්නිවේදනය සෑම අංශයකටම හඳුන්වා දී ඇති අතර ආධාර කාඩ් ක්‍රමය මගින් පුරවැසියන්ගේ කටයුතු වේගවත් කරන ලද බව දැක්වේ. රක්ෂණය, බැංකු තවත් වටයකින් පෞද්ගලීකරණය වනඅතර දැනට පවතින ගාස්තු අය කරන අධිවේගී මාර්ගවල මුදල් එකතු කිරීම පවා පෞද්ගලික අංශයට පවරන්නට යෝජනා වී තිබේ. 
පසුගිය දස වසර තුළ භාරතීය ජනතා පක්ෂයේ නායක නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාගේ සැලැස්ම අනුව ඉන්දියාවේ ආර්ථිකය සියයට සියයකින් වර්ධනය වී ඇත. 2015 වසරේ දී එරට ආර්ථිකය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.1 කි. අලුත්ම වාර්තා අනුව ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 4.3 ක් බවට පත්ව ඇත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මැදි ආදායම් ජන කොටස මිලියන 150කින් වැඩි වී ඇති අතර දැන් එය මිලියන 550 ක් මැදි ආදායම් ජනගහනයක් සහිත ඉන්දීයාවක් බිහි කර තිබේ. දුප්පත් ජන කොටස මිලියන 300ක සිට මිලියන 72 දක්වා පහත වැටී තිබේ. 2024 වසරේ ආර්ථික වර්ධනය සියයට 6.4 ක් වන බව දැක්වේ. ලෝකයේ වේගයෙන්ම දියුණුවන රටකි.
පර්‌යේෂණ වාර්තා දක්වන පරිදි ආසන්නයේ සිටින ශ්‍රී ලංකාව ඉන්දියානු ආර්ථික ප්‍රසාරණයේ බලපැම අඩුවෙන්ම අත්විඳින තැනක පසුවේ. වසර 2000 දී අත්සන් කරනලද ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නැත. එහි සේවා ගිවිසුම අඩාල වී තිබේ. 2023 වසරේ දී ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 1.42ක අපනයන ඉන්දියාවට සිදුකළ අතර ඉන්දියාව ශ්‍රී ලංකාවට කරන අපනයන ඇමරිකානු ඩොලර් බිලියන 4.11 කි. වෙළෙඳ අවාසියකින් පසුවන රටට ගිවිසුම් මගින් අත්පත් කරගත හැකිව තිබුණ අවකාශය කෙරෙහි වහාම අවධානය යොමු කළ යුතුවේ.


රටවල් යා කෙරෙන සැලැස්මක උල්පත
ඉන්දියාව හා ශ්‍රී ලංකාව ගොඩබිමින් යා කරන හා ඉන්ධන, ගෑස් සහ විදුලිය ජාලගත කරන යෝජනාවක් පළමුවෙන් ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකාවයි. එය ඉන්දියානු ආකෘතියක් නොවේ. ඉන්දියාවේ දුම්රිය හා ගොඩබිම් මාර්ග සංවර්ධනය සලකා බලන පසු දෙරට අතර පහසුම ස්ථානයෙන් මාර්ගයකින් යා කළහොත් ප්‍රවාහනයේ විශාල පරිවර්තනයක් ඇතිවේ. 2021 වසරේ දී ඉන්දියාවේ කොමසාරිස් ධුරයට පත් මිලින්ද මොරගොඩ මහතා ඒකාබද්ධ රාශ්ඨ ක්‍රමෝපාය සැලැස්ම ප්‍රකාශයට පත් කළ අතර රටවල් දෙක භූගෝලීයව එකතු කළ හැකි ප්‍රායෝගික සැලැස්මක් ද එහි දක්වා තිබුණි. 
විදුලිය, ඉන්ධන හා ගෑස් පමණක් නොව ගොඩබිම මගින් ද සම්බන්ධ කළ හැකි ආකාරය එම සැලැස්මට අනුව යෝජනා කළේය. පාත්ෆයින්ඩර් පදනම කරන ලද විද්වත් සාකච්ඡාවක් අවසානයේ දී සවිස්තරාත්මක ප්‍රතිපත්ති ලියැවිල්ලක් වශයෙන් ද පසුව නිකුත් කොට ඇත. හිටපු ජනාධිපති රනිල්, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක යන මහත්වරුන් අවස්ථා දෙකක දී ඉන්දිය අගමැතිවරයා සමග මෙම රටවල් යා කෙරෙන අදහස ඇතුළත් ඒකාබද්ධ ප්‍රකාශනයකට අත්සන් කර තිබේ. ජනාධිපති මෝදි මෙරට කරන සංචාරය අතරතුර විදුලිය ග්‍රිඩ් හා ඛනිජ තෙල් නළ මගින් සම්බන්ධ කෙරෙන අදහසකට එකඟ වනු ඇති බව දැක්වේ.
ගොඩබිම මගින් යා කළ හොත් කොළඹ වරායට එන ඉන්දියානු ප්‍රති අපනයන කන්ටේනර් පැය ගණනක් ඇතුළත ඉන්දියාවට යැවිය හැක. දැනට කොළඹ වරායට එන ඉන්දියානු කුඩා නැව්වල පටවා ආපසු ගෙන යන්නට ගතවන දිනගණන වහාම කපා හැරිය හැකිය. ඉන්දියාවෙන් ගෙන්වන දේ දුම්රියෙන් ප්‍රවාහනය කළහොත් පිරිවැය අඩුවන අතර එය රටවල් දෙකක වෙසෙන බිලියන ගණනක පාරිභෝගිකයන්ට පිරිවැය අඩු කරන ක්‍රමවේදයකි’.
ඉන්දියාව අලුතින් තනන අධිවේගී මාර්ගයක් මැලේසියාව හරහා බැංකොක් දක්වා විහිදේ. අවසානයේ දී එය දේශ සීමා හරහා තවත් රටවලට ඇතුල් විය හැකි පද්ධතියක් බවට පත්වේ. සවුදි අරාබිය සමග තෙල් නළ මාර්ගයක් යෝජනා කරන ඉන්දියාව ඒවා ත්‍රිකුණාමලයට ගෙනැවිත් ගබඩා කළහොත් දැවැන්ත ආර්ථිකයකට පදනමක් වේ. ඉන්දියාව දැනට භූතානයෙන් මිල දී ගන්නා ජල විදුලිය බංගලාදේශයට හා මැලේසියාවට ග්‍රිඩ් සබඳතා ඔස්සේ යවන අතර එම විදුලිය මැද පෙරදිග දක්වා දිගු කරන සැලසුම් ඇත. ඉන්දියාව සමග මෙම ආකෘතියට සම්බන්ධවුවහොත් ශ්‍රී ලංකාව මෙම ජාත්‍යන්තර සැපයුම් දාමයේ පාර්ශවකරුවකු වේ. නැව්මගින් ගෙන්වන ඉන්ධන වෙනුවට නළ මගින් අඩුම පිරිවැයකින් කටයුතු සිදුවුවහොත් එහි වාසිය මෙරට ආර්ථිකයටය. 


අදානි ආයෝජනය අත්හැරිය යුතු නැත
ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ හා නොගැඹුරු මුහුදේ සුළං විදුලිය උත්පාදනය සඳහා විශාල විභවයක් ඇති අතර එය ප්‍රයෝජනයට ගත හොත් දැනට රට තුළ නිපදවන විදුලිය මෙන් පස් ගුණයක් උත්පාදනය කළ හැකි වේ. අතිරේක විදුලිය ඉන්දියාවට සැපැයිය හැකිවේ. එහෙත් අති විශාල ධනයක් ආයෝජනය කරන්නට සිදුවනු ඇත. විදුලිය බල මණ්ඩලයේ වාර්තා අනුව වසර 2040 දක්වා ඇමරිකානු ඩොලර් බිලියන 11 ක් අලුත් විදුලිය උත්පාදන යෝජනා ක්‍රම සඳහා වැය කිරීම අනිවාර්ය කරුණකි. රටට ණය ලබාගත නොහැකි පසුබිම තුළ මෙම ව්‍යාපෘති පහසු නැත. ඉදිකිරීම, නඩත්තුව හා ශ්‍රී ලංකාවට අයිතිවන පදනම මත ජාත්‍යන්තර ආයෝජන අංශවලට ඉඩ දිය හැකිය. 
ඉන්දියාවේ අදානි සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 500 ක පළමු පියවර සූදානම් වූ අතර පසුව අය කරන ගාස්තු පදනම් කරගත් ප්‍රශ්න මත ව්‍යාපෘතිය අත්හැර දමන තැනට පැමිණ තිබේ. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට ගරුකරමින් ආයෝජනයෙන් ඉවත්වන බව අදානි සමාගම දක්වා ඇත. නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා ගේ සමීප ව්‍යවසායකයකු වන ගෞතම් අදානි නැවත ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා ඇතුළත් කරගැනීම ගැන මෙම සංචාරය අතරතුර අවධානය යොමු කිරීම සුදුසුය. ව්‍යවසායකයන් කැඳවීමේ දී දියුණුවන ඉන්දියාවේ ධනය ආකර්ෂණය කරගැනීම ඉතාම වැදගත්ය.
ආර්ථික දියුණුව සඳහා සංචාරක ව්‍යාපාරය වහාම ඇතුළත් කරගත හැකිවේ. දැනට වැඩිම සංචාරක පිරිසක් ඉන්දියාවෙන් පැමිණේ. ඉන්දීය විදේශ ඇමැති එස්. ජෙයශංකර් පවා සංචාරය සඳහා ශ්‍රී ලංකාව තමන් නිර්දේශ කරන බව පැවැසීය. දෙරට අතර සංචාරය දියුණු කරන පියවරක් වශයෙන් ඉන්දීය රුපියල රටවල් දෙකට පොදු වේ භාවිත කරන යෝජනාවක් ද තිබුණි. එමගින් ඩොලර් විනිමය වෙනුවට රුපියල් විනිමයක් බිහිවන අතර ඉන්දියානු ආනයන සඳහා එම මුදල් භාවිත කළ හැකිවේ. එය මෙරට විනිමය සංචිතය තර කරන තවත් පියවරකි. විනිමය අවශ්‍යතා සලකා චීනයෙන් යුවාන් ණයක් ලබාගෙන මහ බැංකුව බාරයේ තබාගෙන සිටින ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් රුපියල් භාවිතාව ඇරඹුවහොත් ලැබෙන වාසිය ආණ්ඩුව හමුවේ පෙන්වාදීම වැදගත්වේ. ඉන්දිය අගමැතිවරයාගේ පැමිණීමට සමාන්තරව රට තුළ අලුත් අදහස් සහිත බුද්ධිමය සංවාදයක් අවශ්‍යය. අලුත් ආර්ථිකයක් සමග අත්පත් කරගත හැකි අවස්ථා ගැන ගැඹුරෙන් සාකච්ඡා කළ යුතුය. මෙම ලිපියේ කරුණු එම අවකාශය සඳහා පදනමක් විය හැකිය.



අදහස් (0)

නව මගක යන ඉන්දු - ලංකා උපායමාර්ගික සබඳතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 196 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1590 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site