IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


ද - ආසියාවේ භූ දේශපාලනික හැරවුමක්

  • ඉන්දියාවට පැනවූ ට්‍රම්ප් බද්ද

ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ 

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය පෙබරවාරි මාසයේ වොෂිංටනයේදී “මගේ මිතුරා” කියමින් ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි වැළඳගෙන සිටියේ ගහයි වැලයි පරිද්දෙනි. එහෙත් අගෝස්තු මාසය වනවිට ට්‍රම්ප් මිතුරා දුම්මල වරම ගෙන මෝදි මිතුරාට දවල් තරු පෙනෙන ආකාරයේ බදු පහරක් එල්ල කොට තිබේ. දැනට අමෙරිකානු බදු වැඩිම ප්‍රතිශතයකින් එනම් සියයට 50 ක අගයකින් පනවා ඇත්තේ ඉන්දියාවට හා බ්‍රසීලයට පමණි. සියයට 25ක තීරුබද්දක් දැනටමත් එනම් අගෝස්තු 7 වැනිදා සිට ඉන්දියානු ආනයන සඳහා ක්‍රියාත්මක කිරිමට වොෂිංටනය පියවර ගෙන ඇත. ඒ සමගම ඊට තවත් සියයට 25ක් තවත් දින 20 ක කාලයකදී එකතු කිරිමට අමෙරිකානු ජනාධිපතිවරයා යෝජනා කර තිබේ. තවදුරටත් මේ ගැන ඉන්දියාව සමග සාකච්ඡා නොකරන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. 

මෙය මාස 6 ක් තුළ ඉන්දීය අමෙරිකා සබඳතා ඇද වැටුණු පහතම අඩිය සේ සැලකේ. ට්‍රම්ප් පහරදී ඇත්තේ ඉන්දියාවේ වෙළෙඳාමට පමණක් නොවේ. එරට ක්‍රමෝපායයික අන්තර්ජාතික සබඳතා රටාවට හා ඉන්දීය ආර්ථික පදනමටයි. ඉන්දියාව රුසියාව සමග පවත්නා වෙළෙඳාම නතර කිරීම, බ්‍රික්ස් සංවිධානයේ සාමාජිකත්වය දැරීම ගැන අභියෝගයක් එල්ල කිරීම හා ඉන්දියාව දැනට පවත්වාගෙන යන භූ දේශපාලනික ප්‍රතිරූපය අමෙරිකාවට අවශ්‍ය පරිදි වෙනස් කිරීම යන අරමුණුද ට්‍රම්ප් බදු පසුපස ඇත. 

මෙය නිදහසෙන් පසු ඉන්දියාව රටක් ලෙස අන්තර්ජාතික මහ බලවතෙකුගෙන් එල්ල වු දරුණුතම බලපෑමට මුහුණ දෙන අවස්ථාව ලෙස සැලකීමට පුළුවන. නිරවි යුද (COLD WAR)  සමයේ සෝවියට් කඳවුර සමග සිටි ඉන්දියාවට පවා එකල ප්‍රතිවාදි මහ බලවතා වූ අමෙරිකාවෙන් මෙතරම් දැඩි අභියෝගයක් එල්ල වූයේ නැත. අමෙරිකාව දැන් එළව එළවා බැට දෙන්නේ දකුණු ආසියානු කලාපය තුළ අමෙරිකාව සමග සමීපව කඳවුරුගතව සිටින ප්‍රබලතම රාජ්‍යයට වීම දෛවෝපගත සිද්ධියකි. ඉන්දියාව විශේෂයෙන්ම අගමැති මෝදි අමෙරිකාවෙන් මෙවැනි එදිරිවාදී ස්ථාවරයක් අපේක්ෂා කළේ නැත. අප්‍රේල් මස දෙවැනිදා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “විමුක්තිකාමි දිනයේදී” ඉන්දියාවට සියයට 27ක තීරුබදු ප්‍රකාශ කළ අවස්ථාවේ සිටම නවදිල්ලිය උත්සාහ කළේ වොෂිංටනය සමග ප්‍රශ්නය ගොඩින් බේරා ගැනිමටයි. වහා වහා සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ මුත් ඉන් එතරම් ප්‍රගතියක් අත්වූ බවක් නොපෙනේ. ඉන්දියාව දැන් අවතිර්ණ වී ඇත්තේ තීරණාත්මක මං සන්ධියකටයි. එහි නතර වි කුමන මගක් ගන්නේද යන්න ගැන තීරණයක් ගැනීමට මෝදි පාලනයට සිදුව ඇත. 

ඉන්දු අමෙරිකා වෙළෙඳාම

ඉන්දියාවේ ප්‍රධානතම වෙළෙඳ හවුල්කරුවා වන්නේ අමෙරිකා එක්සත් ජනපදයයි. ඉන්දියාවට වැඩිම ලාබයක් ගෙනදෙන අපනයන වෙළෙඳපොළ වන්නේ ද අමෙරිකාවයි. 2024 සංඛ්‍යා ලේඛන අනුව එම වසරේ දෙරට අතර සිදුවු වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 130 ඉක්මවයි. ඉන්දියාව අමෙරිකාවට ඩොලර් බිලියන 88කට අධික වටිනාකමකින් යුත් භාණ්ඩ හා සේවා අපනයනය කර තිබේ. ඉන්දියාව අමෙරිකාවේ මිලදිගත් එනම් ආනයනය කළ භාණ්ඩවල වටිනාකම ඩොලර් බිලියන 43 ඉක්මවයි. මේ අනුව අමෙරිකාව සමග වෙළෙඳ ගනුදෙනුවලින් ඉන්දියාව එම වසරේ ලැබු ලාබය දළ වශයෙන් ඩොලර් බිලියන 45 ඉක්මවයි. ඉන්දියාව වැඩිම විදෙස් වෙළෙඳ ලාබයක් අත්කරගන්නේ අමෙරිකාව සමග කරනු ලබන වෙළෙඳාමෙනි. දෙවැනුව යුරෝපා සංගමය සමග කරන වෙළෙඳ ගනුදෙනු වලිනි. ට්‍රම්ප් මූලික වශයෙන් පහර දෙන්නේ මේ වෙළෙඳ පරතරයටයි. එසේත් නැත්නම් ලාබයටයි. 

සාකච්ඡා සදහා අවස්ථාවක් ලබා නොදීමෙන් ට්‍රම්ප් ඉන්දියාව බිත්තියට හේත්තු කර තිබේ. ඉන්දියාවට මෙහිදි අමෙරිකානු වෙළෙඳපොළ සම්පූර්ණයෙන්ම නොතකා හළ නොහැකිය. ඒ මන්ද යත් ඉන්දියාවේ ප්‍රධානතම විදෙස් වෙළෙඳපොළ අමෙරිකාව වන බැවිනි. අනෙක් අතට රුසියාව සමග ඇති තෙල් හා අනෙකුත් ගනුදෙනු අත්හැර දැමිමට ඉන්දියාවට නොහැකි වන්නේ ඉන් ඇතිවන පාඩුව හා ගැටලු‍ද බරපතළ වන බැවිනි. මේ නිසා දැන් ඉන්දියාව පත්ව ඇත්තේ “උණු හින්දා බොන්නත් බැරි - කිරි හින්දා අහක දමන්නත් බැරි තත්වයකටයි. මේ නිසා ඉන්දියාව මේ වනවිට ඉන්නේ අතිශයින් තීරණාත්මක තත්වයකයි.

 

මෝදි අගමැතිවරයාට “මගේ මිතුරා” යන ආදර වදනින් අමතන අතරම “බදු රජා” යනුවෙන් පිටුපසට අපහාස කිරිමට ට්‍රම්ප් අමතක කළේ නැත. ට්‍රම්ප් එසේ කීමට හේතුව වන්නේ ඉන්දියාව අමෙරිකාවෙන් මිලදී ගනු ලබන භාණ්ඩ සඳහා සියයට 39ක හා ඇතැම් විට සියයට 50 දක්වා වූ තීරුබදු අයකරනු ලබයි. එහෙත් අමෙරිකාවෙන් ඉන්දියාවට බොහෝ බදු සහන හිමිව තිබු අතර දළ වශයෙන් සියයට 5 ක පමණ තීරු බද්දක් ඇතැම් භාණ්ඩ වලට පනවා තිබුණද එය බොහෝ ඉන්දීය අපනයනකරුවන්ට ප්‍රශ්නයක් ඇති නොකළේය. ඒහෙත් ට්‍රම්ප්ගේ තර්කය වූයේ මේ අසමතුලිත බදු ක්‍රමය වෙනස්කර අමෙරිකාවට වඩාත් වාසිදායක තත්වයක් නිර්මාණය කරගත යුතුය යන්නයි. ඒසේ කරන විට ඉන්දිය නිෂ්පාදකයන් හා අපනයනකරුවන් වඩාත් වැඩිපුර පීඩාවට පත්වන අතර කෘෂි වෙළෙඳපොළ විවෘත කිරීම වැනි‌ යෝජනාවලින් වැඩිපුර පිඩාවට පත්වන්නෝ ඉන්දීය ගොවීහුය. 

රුසියානු තෙල් ගනුදෙනු

බදු පැනවීම හා ඉදිරියේදී ඇතැම් සම්බාධක ක්‍රියාත්මක කිරිමක් ගැන ඉන්දියාවට අනතුරු ඇඟවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පියවර ගෙන ඇත්තේ ඉන්දියාව රුසියාවෙන් ඛනිජතෙල් මිලදීගැනීම නිසාය.  ඉන්දියාව රුසියාවේ දෙවැනි ප්‍රධාන ඛනිජතෙල් ගැනුම්කරුවාය. ඉන්දියානු තෙල් මිලදීගැනීම් වලින් සියයට 35ක් සිදුවන්නේ රුසියාව වෙතිනි. ඉන්දියාව මේ වසර තුළ සාමාන්‍යයෙන් දිනකට රුසියාවෙන් බොරතෙල් බැරල මිලියන 1.75ක් බැගින් මිලදී ගෙන ඇත. යුක්රේන යුද්ධයට පෙරාතුව රුසියාවේ ප්‍රධාන තෙල් ගැනුම්කරුවා වූයේ යුරෝපා සංගමයයි. එහෙත් සම්බාධක නිසා බොහෝ යුරෝපා රටවල් රුසියානු තෙල් මිලදීගැනීම් නතර කරද්දී චීනය හා ඉන්දියාව ඒම රික්තකය පිරවීය.  ඊට හේතුව යුරෝපා හා අමෙරිකානු සම්බාධක නිසා එම තෙල් වෙළෙඳපොළ අහිමි වීම තුළ රුසියානු තෙල් මිල පහත වැටී ගැනුම්කරුවන්ට අන්තර්ජාතික වෙළෙඳ පොළේ අගයට වඩා සැලකිය යුතු අඩු මුදලකටය. එනම් බොරතෙල් බැරලයක මිල ලෝක වෙළෙදපොළේ අමෙරිකානු ඩොලර් 66ක් වෙද්දී රුසියානු බොරතෙල් බැරලයක් ඩොලර් 50ත් 60ත් අතර මුදලකට අලෙවි වෙයි. මේ වනවිට චීනය තම ඛනිජතෙල් අවශ්‍යතාවෙන් 13.5ක් සපුරා ගන්නේ රුසියානු තෙල් වලිනි. මේ නිසා චීනයටද අමතර බදු පැනවීමට ඉඩ ඇති බවට ට්‍රම්ප් ඉඟිකර තිබේ. එහෙත් ට්‍රම්ප්ගේ අරමුණ වී ඇත්තේ වඩාත් ශක්තිමත් හා පහරට පහර දීමට සමත් චීනයට වඩා ප්‍රථමයෙන් ඉන්දියාවට පාඩමක් උගන්වා තිබීමටයි. ඒ නිසා වර්තමානයේ ට්‍රම්ප් ඉන්දියාව කෙරෙහි යොදන බලය (leverage)  ඉහළ මට්ටමක පවතින බව අගමැති මෝදි හා රජයේ සෙසු සාමාජිකයන්ගේ කතා බහෙන් හා අභිනයන්ගෙන් (body language)  තේරුම් ගත හැකියි. 

අනෙක් අතට රුසියාව යනු ගෝලිය වශයෙන් ප්‍රධානතම තෙල් නිපැයුම්කරුවෙකි. එබැවින් රුසියානු තෙල් වෙළෙඳාම එකවර නවතා දැමිමට ට්‍රම්ප් හිතන තරම් පහසු නොවේ. ඒ මන්ද යත් ඇතැම් රුසියානු ගැනුම්කරුවන් ට්‍රම්ප්ගේ බලපෑම් කලාපයට යටත් නොවන සාවියක ස්ථානගතව සිටීම නිසාය. අනෙක් අතට මේ තත්වය සමනය කර ගැනීම සඳහා ඉන්දියාව උත්සාහ දරා ඇත්තේ අමෙරිකාවෙන් මිලදි ගන්නා තෙල් හා ගෑස් ප්‍රමාණය ඉහළ දැමීමෙනි. සමස්තයක් වශයෙන් එම ආනයන සියයට 51ක වැඩිවීමක් පෙන්නුම් කරයි. ඉන්දියාව අමෙරිකාවෙන් මිලදී ගන්නා තෙල් හා ගෑස්වල වටිනාකම 2024දී ඩොලර් බිලියන 15ක් වූ අතර මේ වනවිට එම මිල ඩොලර් බිලියන 25 දක්වා ඉහළ දමා ඇත්තේ ට්‍රම්ප් සතූටු කිරීමටයි. එහෙත් ට්‍රම්ප් ඉන් සෑහිමකට පත්ව ඇති බවක් නොපෙනේ. 

තෙල් විතරමද? 

ට්‍රම්ප් ඉන්දියාව මට්ටු කිරිමේ මෙහෙයුමට හේතු වශයෙන් ඉදිරිපත් කරන්නේ ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනිමයි. එහෙත් එම ක්‍රියාවලිය පසුපස තවත් අරමුණු ඇති බව ගෝලිය සබදතා විශ්ලේෂකයන්ගේ මතයයි. ද්විපාර්ශවික වෙළෙඳ කරුණු ඉන් ප්‍රමුඛත්වයක් ගනී. විශේෂයෙන් කෘෂි වෙළෙඳ ක්ෂේත්‍රයට අදාළ අමෙරිකානු නිෂ්පාදන සඳහා ඉන්දීය වෙළෙඳපොළ විවෘත කර එම නිෂ්පාදන බදු රහිතව ඉන්දිය වෙළෙඳපොළේ ස්ථානගත කිරිම ට්‍රම්ප් පාලනයේ අපේක්ෂාව වන අතර එම ඉල්ලීම අමෙරිකානු වෙළෙඳ දෙපාර්තමේන්තුව විසින් ඉන්දිය නියෝජිතයන්ට වෙළෙඳ සාකච්ඡාවේදී දන්වා සිටි බව වාර්තාවේ. මූලික වශයෙන් තිරිඟු, සෝයාබෝංචි, කපු හා කිරි යන කෘෂි නිෂ්පාදන අමෙරිකානු ලැයිස්තුවේ වූ බව සඳහන්ය. එහෙත් ඉන්දිය පාර්ශවය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි. ට්‍රම්ප්ගේ ඉල්ලිම පිළිගෙන අමෙරිකානු තිරිඟු සෝයා කපු හා කිරි ඉන්දිය වෙළෙඳ පොළට තොග පිටින් බදු රහිතව ළඟා වුවහෙත් ඉන් පහර වදින්නේ ඉන්දීය ගොවීන්ටය. ඒ මන්දයත් ඉහත නිෂ්පාදන ඉන්දියාවේ ප්‍රධාන ගොවි නිෂ්පාදන වන අතර ඒවා අපනයන වෙළෙඳපොළේද ප්‍රබල භූමිකාවක් නිරූපනය කරයි. ඉන්දීය තිරිගු ලෝක වෙළෙඳපොළේ පකිස්තාන ඉරිඟු  නිසා දැඩි අභියෝගයකට මුහුණ දී ඇත්තේ ඉරිඟු  ටොන් 1ක් ඉන්දියාව ඩොලර් 260 කට මිල කරද්දී පකිස්ථානය ඩොලර් 240කට මිල කිරීම නිසාවෙනි. මේ නිසා ඉන්දියාව අමෙරිකාවෙන් එරට ඉරිඟු මිලදී ගතහොත් එය එරටට බරක් වනු ඇත. ට්‍රම්ප්ගේ බලපෑම් හමුවේ ඉන්දියාව “ජාතික අභිලාෂ” පාවා දීමට සූදානම් නැති බව පවසන්නේ එබැවිනි. අනෙක් අතට ඉන්දියාව BRICS සංවිධානයේ ප්‍රබල සාමාජිකයකු වී සිටීම ට්‍රම්ප් නුරුස්සයි. සියලු‍ බ්‍රික්ස් රටවලට දැඩි බදු පනවන බවට ට්‍රම්ප් තර්ජනය කරන අතර ඉන්දියාව ඊට උදාරණයක් බවට පත්කිරීමට අමෙරිකානු නායකයා උත්සුක වන බවක් පෙනේ. ඇතැම් අවස්ථාවල ඉන්දියාව ට්‍රම්ප්ගේ සියලු‍ ක්‍රියාකාරකම් එලෙසින්ම අනුමත කිරිමට උත්සුක නොවිමද ට්‍රම්ප්ගේ නොමනාපයට හේතු වී ඇත. ඉන්දු පකිස්තාන ගැටුම විසඳුම බව ට්‍රම්ප් කියද්දී ඉන්දියාව ඔහුගේ ප්‍රකාශයේ ඇතැම් කොටස්වලට විරෝධය පළකළේය. මෙය ට්‍රම්ප් උරණ වූ තවත් අවස්ථාවකි. ඔහු අපේක්ෂා කරන පරිදි ඉන්දියාව අමෙරිකානු කදවුර තුළම පමණක් රඳවා ගැනීමට ට්‍රම්ප් ට වුවමනා වී ඇති බවක් පෙනේ. ඉන්දියාව රුසියානු අවි මිලදී ගැනීම වැළැක්විම ට්‍රම්ප්ගේ තවත් අභිලාශයක් බව පෙනේ. පකිස්ථානය සමග ඇතිවූ ගැටුමේදී ඉන්දීය රෆායල් ප්‍රහාරක යානා 5 විනාශ වූ බව ට්‍රම්ප්ද ප්‍රකාශ කළේය. ඉන්දියාව එය අභියෝගයට ලක් කළේය. එවිට ට්‍රම්ප් ඉන්දියාව වෙළෙඳ  ගණුදෙනුවක් යෝජනා කලේ ප්‍රංශ රෆායල් ජෙට් වෙනුවට අමෙරිකානු F 35 ප්‍රහාරක යානා ඉන්දියානු ගුවන් හමුදාව සඳහා මිලදී ගන්නා ලෙසටයි. ඉන්දියාව ඒ අවස්ථාවේ රුසියානු SU 57 යානා මිලදී ගැනීම සඳහාද අවධානය යොමු කර තිබූ අවස්ථාවකි.  එම වකවානුවේදිම බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට අයත් ත්‍ 35 යානයක් අකර්මණ්‍ය වි ඉන්දියාවට ගොඩබස්වා පසුව සති කිහිපයක් යනතෙක් එය ඉවත් කරගැනීමට නොහැකි තත්වයක් උදාවීම ට්‍රම්ප්ගේ වෙළෙඳ ලංසුවට එල්ල වූ දෛවයේ සරදමකි. මේ නිසා ට්‍රම්ප්ගේ බදු සෙල්ලම පිටුපස රුසියානු තෙල්වලට වඩා යමක් ඇති බව කරුණු විමසා බැලීමේදී පැහැදිලි වේ.

කලාපීය බල තුළනයේ නව පෙරැළිය

ඩොනල්ඞ් ට්‍රම්ප් මේ වනවිට අලු‍ත් බල චෙස් ක්‍රිඩාවක් දකුණු ආසියාව තුළ අරඹා ඇති බව පෙනේ. ඒ මිතුරා වන ඉන්දියාව අභියෝගයට ලක් කිරීම සඳහා ඉන්දියාවේ පසමිතුරා හා තම පැරණි මිතුරා වූ පාකිස්තානය වෙත අවතීර්ණ වීමයි. අමෙරිකාව හා පාකිස්ථානය අතර පෙර නොවු විරු ක්‍රියාකාරකම් මෑතකාලීනව දක්නට ලැබීම ඊට හේතුවකි.  පසුගිය ජුනි මාසයේ පාකිස්ථාන හමුදා ප්‍රධානී ජෙනරල් අසීෆ් මුනාර් වොෂිංටනයේ පස්දින නිල චාරිකාවකට සහභාගි විය. සාමාන්‍යයෙන් නොකෙරෙන පරිදි ඔහුට ධවල මන්දිරයට ඇරියුම් ලැබුණු අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සමග රාත්‍රී භෝජන සංග්‍රහයකට ද සහභාගි විය. මෙය ඉන්දියාවේ දැඩි අවධානය යොමුවු සිද්ධියකි. ජෙනරල් මුනාර් යලිත් වරක් වොෂිංටන චාරිකාවකට සැරසෙන බව ද හින්දු පුවත්පත වාර්තා කරයි.  එමෙන්ම පාකිස්ථානය එරට ඉහළතම හමුදා ගෞරව සම්මානයක් වු නිෂාන්-ඊ-ඉම්තියාස් සම්මානය  අමෙරිකානු ඒකාබද්ධ මධ්‍යම හමුදා ප්‍රධානි ජෙනරල් මයිකල් කුරියෙල්ලා වෙත පිරිනමා තිබේ. ජෙනරල් කුරියෙලා විශේෂ හමුදා ගෞරව සහිතව ඉස්ලාමාබාදයේ නොබෝදා චාරිකා කළේය. එයද විශේෂ සිද්ධියකි. ඒ අතරම අමෙරිකාව ඉන්දියාවට සියයට 25ක තිරු බදු පනවද්දී පාකිස්ථානයට පැනවූයේ සියයට 20ක බද්දක් පමණි. මෙයද ඉන්දියාවට ඍජුව කළ අභියෝගයකි. අමෙරිකානු උපාය තුළ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු බිම දැමීමේ උපායක්ද දක්නට ලැබේ. ඒ පාකිස්ථානය හරහා චීනයට අභියෝග කිරිමයි. ඉන්දියාව අමෙරිකාව දෙසට යොමුව තිබෙන කළ නිරවි යුද සමයේ අමෙරිකාව සමග සිටි එහෙත් පසුව අමෙරිකාව විසින් අතහැර දමනු ලැබු පාකිස්ථානය ආසියානු බලවතා වන චීනය වෙතට යොමුවිය. දශක දෙකකට වැඩි කලක් තිස්සේ මෝරනු ලැබු මේ සබඳතාව දැන් ඉතා ශක්තිමත් අඩියක පවතී. බලවත් යුද ශක්තියක් සහිත පාකිස්ථානය අද වනවිට වඩාත් ශක්තිමත්ව ඇත්තේ චීනයේ යුද තාක්ෂණය නිසාවෙනි. ඉන්දියාවේ නොබෝදා සිදු කෙරුණු “ඔපරේෂන් සින්ධුර්” අවස්ථාවේ මේ බව හොඳින් පැහැදිලි වි තිබිණ. පාකිස්ථාන හමුදා එල්ල කළ චීන PL  15 මිසයිල කොටස් ඉන්දු කාශ්මීරයෙන් හමුවීම ඊට එක් උදාහරණයකි. දැන් අමෙරිකාව පාකිස්ථානයට සමීප වීම තුළ පාකිස්ථානයේ ඇති චීන අවි පද්ධති හා චීන යුද තාක්ෂණය වෙත වඩාත් පහසුවෙන් අවතීර්ණ වීමේ ඉඩකඩක් අමෙරිකාව වෙත හිමිවේ. එය මේ වනවිට චීනයේ අවධානයට ලක්වූ තත්වයක් බව අන්තර්ජාතික මාධ්‍ය සදහන් කරයි. 

ඉන්දියාවේ ප්‍රතිචාරය

ඉන්දියාව දැනටමත් ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇත්තේ ඉන්දියාව එරට ජාතික අභිලාෂවලට මුල්තැන දෙන අතර බලපෑම්වලට යටත් විමට සූදානම් නැති බවයි. ජනාධිපතිනි ද්‍රෞපදි මුර්මු අමෙරිකානු ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියක මේ බව දැක්වේ. අගමැති නරේන්ද්‍ර මෝදිද ජනතාව අමතමින් ප්‍රකාශ කළේ බදු අර්බුදය තුළ දේශපාලනිකව තමන් ඍජු බලපෑමකට ලක්වන මුත් ඉන්දීය ගොවියන්ගේ හා කිරි ගොවියන්ගේ අයිතින් පාවා දිමට හා බලපෑම්වලට නතුවීමට තම රජය කිසිසේත් සුදානම් නැති බවයි. සාකච්ඡා සදහා අවස්ථාවක් ලබා නොදීමෙන් ට්‍රම්ප් ඉන්දියාව බිත්තියට හේත්තු කර තිබේ. ඉන්දියාවට මෙහිදි අමෙරිකානු වෙළෙඳපොළ සම්පූර්ණයෙන්ම නොතකා හළ නොහැකිය. ඒ මන්ද යත් ඉන්දියාවේ ප්‍රධානතම විදෙස් වෙළෙඳපොළ අමෙරිකාව වන බැවිනි. අනෙක් අතට රුසියාව සමග ඇති තෙල් හා අනෙකුත් ගනුදෙනු අත්හැර දැමිමට ඉන්දියාවට නොහැකි වන්නේ ඉන් ඇතිවන පාඩුව හා ගැටලු‍ද බරපතළ වන බැවිනි. මේ නිසා දැන් ඉන්දියාව පත්ව ඇත්තේ “උණු හින්දා බොන්නත් බැරි - කිරි හින්දා අහක දමන්නත් බැරි තත්වයකටයි. මේ නිසා ඉන්දියාව මේ වනවිට ඉන්නේ අතිශයින් තීරණාත්මක තත්වයකයි.

 



අදහස් (0)

ද - ආසියාවේ භූ දේශපාලනික හැරවුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 464 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16954 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 671 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site