IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දිට්වා සුළි කුණාටුවෙන් ලංකාවට ගෙවුම් ශේෂ - මුල්‍ය පීඩනයක්

දිට්වා කඩාවැදුණේ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩ එමින් සිටියදී
ශක්තිමත්ව ආර්ථිකය ගොඩනගා ගැනීමට ලංකාවට හැකියාව ලැබුණත් ආර්ථිකයට ඇති අවදානම් තත්වය පහව ගොස් තිබුණේ නෑ
අයවැයට මූල්‍යකරණය සැපයීමෙන් මහ බැංකුව වැළකී සිටිනු ඇති
මෙම වසරේ රජයේ ආදායම සහ ප්‍රදාන දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 16 ක්

විමුක්ති එස් රුද්‍රිගු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ සහ වැඩබලන සභාපති කෙන්ජි ඔකමුරා

දිට්වා සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ විනාශය මානුෂීය සහ යටිතල පහසුකම් නැවත ගොඩ ගැනීමේ හදිසි අවශ්‍යතාවක් ඇතිකර තිබෙන බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට ගෙවුම් ශේෂ සහ මූල්‍ය පීඩනයක් එල්ල වී තිබෙන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ සහ වැඩබලන සභාපති කෙන්ජි ඔකමුරා මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩ එමින් සිටියදී සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ සහාය ඇතිව ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ඵල දරමින් තිබියදී දිට්වා සුළි කුණාටුව මෙරටට කඩාවැදුණු බව ඔහු සඳහන් කළේය.
ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අනුව ක්‍රියාත්මකවීම හේතුවෙන් ශක්තිමත්ව ආර්ථිකය ගොඩ නගා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණත් මෙරට ආර්ථිකයට ඇති අවදානම් තත්වය පහව ගොස් නොතිබූ බවත් ආර්ථික අර්බුදයට පෙර තිබූ දළ දේශීය නිෂ්පාදිතයට ශ්‍රී ලංකාව පැමිණ නොසිටි බවත් ඔහු පැවැසුවේය.
මෙම වසරේ ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගෙන තිබීම හේතුවෙන් ආපදාවට ලක්වුණු ජනතාවට කඩිනම් සහන සැලසීමට රජය ක්‍රියා කළ බවත් අවශ්‍ය වුවහොත් මෙරට මූල්‍ය පද්ධතියට ද්‍රවශීලතාව සැපයීමට මහ බැංකුව සූදානම්ව සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් අයවැයට මූල්‍යකරණය සැපයීමෙන් මහ බැංකුව වැළකී සිටිනු ඇතැයිද ඔහු පැවැසුවේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරනු ඇති බවත් අවස්ථාවක් ලද සැණින් මෙරට බලධාරීන් සමග සාකච්ඡා ආරම්භ කරනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙම වසරේ රජයේ ආදායම සහ ප්‍රදාන දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 16 ක් වනු ඇති බවත් එය ලබන වසරේදී සියයට 15.2 දක්වා පහළ බසිනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා නිකුත් කළ නවතම වාර්තාව මගින් පුරෝකථනය කර ඇත.
එසේම මෙරට ප්‍රාථමික ශේෂය මෙම වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 3.4 ක් වනු ඇති බවත් එය ලබන වසරේදී සියයට 2 ක දක්වා පහළ යනු ඇති බවත් එම වාර්තාවේ දැක්වේ. මෙම වසරේදී ශ්‍රී ලංකාවේ ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 21.28 ක් වනු ඇති බවත් එය ලබන වසරේදී බිලියන 22.66 දක්වා වර්ධනය වනු ඇති බවත් එම පුරෝකථනය පෙන්වා දෙයි.
ලබන වසරේදී ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.38 කින් වර්ධනය වන විට අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 151 කින් වර්ධනය වනු ඇතැයි එම පුරෝකථනයේ සඳහන් වේ. මෙම වසර අවසානයේ මෙරට දළ විදෙස් සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6.55 ක් වනු ඇති බවත් එය ලබන වසරේදී බිලියන 8.88 ක් දක්වා වර්ධනය වනු ඇති බව අපේක්ෂා කරන බවත් එම වාර්තාවේ දැක්වේ.
මෙරට ප්‍රාථමික ශේෂය සැලකිය යුතු මට්ටමකින් මෙම වසරේදී අභිබවා ගොස් තිබෙන බවත් එයට හේතුව මෝටර් රථ ආනයනයෙන් ලැබුණු ආදායම සහ ප්‍රාග්ධන වියදම් අඩුවෙන් ක්‍රියාත්මක කිරීම බවත් එම වාර්තාවේ සඳහන් වේ. සිවුවැනි පුරෝකථන සමාලෝචනයේදී වාහන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක් වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබුණත් එය වසර අවසාන වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.8 සීමාවට පැමිණ තිබෙන බව එම වාර්තාවේ දැක්වේ.
ණය තිරසාරභාවය යථා තත්වයට පත් කිරීමේදී ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගෙන තිබුණත්, එයට තිබෙන අවදානම් තත්වය තවමත් ඉහළ මට්ටමක පවතින බව එම වාර්තාවේ සඳහන් වේ. ණය තිරසාරභාවය ආරක්ෂා කර ගැනීම සඳහා රාජ්‍ය මුදල් ප්‍රවේශමෙන් කළමනාකරණය කළ යුතු බවද එම වාර්තාවේ දැක්වේ.



අදහස් (0)

දිට්වා සුළි කුණාටුවෙන් ලංකාවට ගෙවුම් ශේෂ - මුල්‍ය පීඩනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site