IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ඩොලර් උල්පතක් කළහැකි ගමන්මලු කර්මාන්තය

 

 

  • සෘජ‌ුවම විදෙස් රටවල්වලට අපනයනය කිරීමට නිශ්චිත වැඩපිළිවෙළක් නෑ
  • අතරමැදියන් හරහා විදෙස් වෙළෙඳපොළට අපනයනය කිරීමෙන් ලැබෙන්නේ සොච්චමයි
  • අමුද්‍රව්‍ය සඳහා භාවිත කරන්නේද අමු රෙදි පොල් කටු හා මැටි බඳුන් 
  • ඔහුගේ චිත්‍ර නිර්මාණ රටට ඩොලර් එන කර්මාන්තයක්
  • රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උත්පාදනය කරන්නත් පුළුවන්

කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත


සිය හැකියාවෙන් මෙරටට ඩොලර් උත්පාදනය කිරීමට වෙර දරන අය හිඟ නොවෙති. එහෙත් ඒ අයට අතහිත දීමට සිටින අය නම් හිඟ වෙති. ඒ අපේ රටේ හැටිය. වෙනත් රටවල නම් සිය හැකියාවෙන් රට ගොඩ දාන්න ඉදිරිපත් වන අය සිටීනම් ඔවුන් සුරක්ෂිත කරති. දිරි දෙති. ඒ ඒ රටවල් වල හැටිය. මේ මේ රටේ හැටිය. ඒ රටවල් දියුණු වන්නත් අපේ රට දියුණුවේ ආපස්සට යන්නත් මෙය ප්‍රබල හේතුවක් වන්නේය.

දක්ෂයාට තැන දුන්නේ නම් හැකියාව තියෙන අය හඳුනා ගත්තේ නම් ඔවුන්ට දිරියක් දුන්නේ නම් අපේ රට මෙලහකටත් දියුණුවී හමාරය. සුරපුරයක් වී අහවරය.

අපේ මේ වෑයම මේ එවන් දක්ෂයකු රටට හඳුන්වා දීමටය. සිය හැකියාවෙන් රටට ඩොලර් මවන ඔහු නමින් කේ.ඩී.කමල්පිය ය. ගම අහංගමය. එහෙත් දැන් ඔහු තාවකාලිකව පදිංචිව සිටින්නේ කරාපිටියේය.

කමල්පිය සැබවින්ම දක්ෂ අපූරු නිර්මාණකරුවෙකි. ඔහුගේ දෑතින් රටටම ඩොලර් වස්සන්නට හැකියාව තිබේ. අවාසනාව එය අදාළ බලධාරීන් හඳුනා නොගැනීමය. ඔහුගේ නිර්මාණ සෘජුවම විදෙස් රටවල්වලට අපනයනය කිරීමට නිශ්චිත වැඩපිළිවෙළක් නැතිව කමල්ප්‍රිය හිරවී සිටින්නේය. මෙවැනි කමල්ප්‍රිය ලා ලංකාවේ ඇති තරම් සිටිති.

මේ නිසාම අද කමල්ප්‍රියට සිදුව ඇත්තේ සිය නිර්මාණය අතරමැදියන් හරහා විදෙස් වෙළෙඳපොළට අපනයනය කිරීමටය. මෙයින් නිර්මාණකරුවූ ඔහුටත් පොදුවේ රටටත් වන දේ අල්පය. එය හරියට කන්දක් විලි ලා මී පැටියෙක් බිහි කරනවා යන්නට හොඳම නිදසුනකි. අපි පළමුව ඔහුගේ නිර්මාණ මොනවාදැයි යන්න හඳුනා ගැනීම වැදගත් යයි සිතමු.

කමල්ප්‍රිය දක්ෂ චිත්‍ර ශිල්පියෙකි. සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය ශිල්පියෙකි. නැතහොත් සිය චිත්‍ර ශිල්පය අමුතුම ආකාරයට හසුරුවන්නෙකි. ඒ නිසාම ඔහුගේ චිත්‍ර නිර්මාණ රටට ඩොලර් එන කර්මාන්තයක් බවට පත්ව තිබේ. ඔහු අමුද්‍රව්‍ය සඳහා භාවිත කරනුයේද අමුතු ද්‍රව්‍යයි. අමු රෙදි පොල් කටු හා මැටි බඳුන් ඒ අතරය. තමා අතට පත්වන අමුරෙද්දෙන් අමුතු අමුතු රටා මවා ඒවා ගමන්මලු‍ බවට පත් කරන්නේ විදෙස් සංචාරකයන් මවිතයට පත් කරවමිනි. ඒ තරමටම අමු රෙද්දෙන් නිර්මාණාත්මකව නිෂ්පාදනය කරන ගමන් මලු‍ විශිෂ්ටය. අනර්ගය. ඒ දෙස එක වරක් බැලු‍වොත් දෙවරක් බැලීමට හිතෙන තරම් ලස්සනය. මේ මනරම් නිර්මාණයට ලොබ බදින සුද්දන්ට ඒවා මහාඅනර්ඝ සිහිවටනය. 

ඒ විතරක්ම නොව කමල්ප්‍රියගේ අතින් හැඩවෙන ඉවතලන පොල් කටුවලටද සංචාරකයෝ ඇල්මක් දක්වති. සිය නිෂ්පාදන අතරින් සංචාරකයන්ගේ සිත හොඳටම ඇදීගොස් ඇත්තේ අමු රෙද්දෙන් නිෂ්පාදනය කෙරෙන ගමන් මලු‍වලටය. ඒ නිසාම අමු රෙද්දෙන් ගමන් මලු‍ වැඩි වැඩියෙන් නිෂ්පාදන කරන්නේය. වසර 25 පමණ කාලයක සිට ඔහු මේ නිර්මාණ කටයුතු වල නිරතව සිටින්නේය. එහෙත් ඔහු අපේක්ෂා කළ අරමුණ කරා යෑමට තවමත් අසමත්ව ඇති බව කමල්ප්‍රිය කීවේය. ඔහුට දැන් අවශ්‍ය නිෂ්පාදකයකුවීම නොව ව්‍යවසායකයකු වීමටය.

ඒ තුළින් රටට ලබාදෙන ඩොලර් ප්‍රමාණය වැඩි කිරීම එහි එහිධාන අරමුණය. සිය බල ප්‍රදේශයේ රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උත්පාදනය කිරීම අනෙක් අරමුණය. මේ අරමුණු දෙකම කරප්පින්නා ගෙන කමල්ප්‍රිය නිර්මාණකරණයේ වෙනදා මෙන් යෙදී සිටින්නේ ඊට තමන්ගේ පැත්තෙන් කළ හැකි දෙයක් නැති නිසාය. තමන්ගේ මේ නිර්මාණ දක්ෂතාවලින් රටට වැඩක් කළ හැකිවුවත් ඊට ඉඩ දෙන්නෝ කවරහුද? එය සිහිනයක් පමණක් බව ඔහුට ඒත්තුවී ගියත් ඒ සදහා ඉදිරියට තැබූ පය ආපාසට ගැනීමට ඔහු සූදානම් නැත.

මේ පිළිබඳව කමල්ප්‍රිය මෙසේ කීවේය.

ඇත්තටම මම පාසල් යන කාලයේ ඉඳලාම චිත්‍රවලට ලොකු කැමැත්තක් දැක්වූවා. මම ගියේ කතළුව මහා විදයාලයටයි. කතලු‍ව විදයාලයට යන සමයේ ඉඳන්ම තමයි මම චිත්‍ර අඳින්න පටන් ගත්තේ. මේ සිතුවම් ඇඳීමේ කර්මාන්තයත් අලු‍ත් විදිහට කරන්නයි මට ඕන වෙලා තිබුණේ. ඒ සඳහා පාසල් අධයාපනයෙන් පස්සෙදී පවා ඒ සඳහා ලොකු උනන්දුවක් තිබ්බා සිතුවම් නිර්මාණය කිරීමට. ඒ නිසයි මම සිතුවම් නිර්මාණය කිරීම වැඩිදුරටත් හැදෑරුවේ.

මම විහාර බිතු සිතුවම් පිටපත්කර සංරක්ෂණය කිරීමටත් මේ තුළින් පියවර ගත්තා. අපේ පෞරාණික සිතුවම් කලාව සංරක්ෂණය කර ඉදිරි පරම්පරාවට දායාද කිරීමයි මෙහි අරමුණවී තිබුණේ. මේ විහාර බිතු සිතුවම් කලාවත් මගේ නිර්මාණ සඳහා එකතු කළා. මේ නිර්මාණ සඳහා විදෙස් වෙළෙඳ පොළේ ඉහළ ඉල්ලු‍මක් තියෙනවා. අමු රෙද්දෙන් ගමන් මළු නිර්මාණාත්මකව නිෂ්පාදනය කිරීමට පටන් ගැනීමත් සමගම මගේ කර්මාන්තයට අලු‍ත් පණක් ආවා. විදෙස් සංචාරකයන් මේ ගමන් මල්ල මගෙන් මිලදී ගැනීමට මාව සොයන් එන මට්ටමටම එය දැන් දියුණුවී තිබෙනවා. විදේශිකයෙක් මම නිර්මාණය කරන ගමන් මල්ලක් මිලදී ගන්නවා කියන්නේ රටට එන ඩොලර් ප්‍රමාණය වැඩිවෙනවා කියන එකයි. විදේශිකයන් අතර මේ ගමන් මල්ලට ඇති ඉල්ලු‍ම ඉතා ඉහළයි.ඒ නිසා මට අවශ්‍ය කරන්නේ මම ම නිෂ්පාදනය කරන ගමන් මල්ල මගේ අතින්ම විදෙස් රටවලට යවන්නයි. එතකොට අතරමැදියන් නැහැ. ගමන් මල්ලත් විදෙස් වෙළෙඳ පොළට හොඳ ගණනකට දෙන්නත් පුළුවන්. එයින් රටට ලබෙන ආර්ථික වාසියත් ඉහළයි. ඒ විතරක්ම නෙමෙයි මෙමගින් රැකියා රැසක් බිහි කරන්න පුළුවන්.

භාවිතයෙන් ඉවතලන පොල් කට්ටත් මගේ නිර්මාණාත්මක නිෂ්පාදනවල තවත් අමු ද්‍රව්‍යයක්. මේ නිර්මාණයෙන් ද විදෙස් වෙළෙඳ පොළ ජය ගන්න අපිට පුළුවන්. ඒ තුළින් ද විශාල රැකියා සංඛ්‍යාවක් නිර්මාණය කර ගන්න පුළුවන් වෙනවා. මැටි බඳුන් වල නිර්මාණයද ඉතා හොඳ මට්ටමක තියෙනවා. ඒවගේම මම ජාතික ශිල්ප සභාවේ සාමාජිකත්වය ලබාගෙන එහි සාමාජිකයෙක් වුණා.

මේ ක්ෂේත්‍රයෙන් මට මෙතෙක් ලැබුණ ඉහළම සම්මානය තමයි 2018 වසරේ පැවති රාජය චිත,මූර්ති උළෙලේදී සාම්ප්‍රදායික චිත්‍ර විශිෂ්ට සම්මානය හිමිවීම. ඒ වගේම 2018 වසරේදීම දකුණු පළාත් සාහිත්‍ය කලා උළෙලේදී විවෘත චිත්‍ර ප්‍රථම ස්ථානය මට ලැබුණා.

මම වත්මන් රජයෙන් එම රජයේ මැති, ඇමතිවරුන්ගෙන් ඉල්ලන්නේ රටටම ඩොලර් විඳින්න පුළුවන් මේ කර්මාන්තය සඳහා විදෙස් වෙළෙඳ පොළක් හඳුනා ගන්න උදව් කරන්න කියන එකයි.



අදහස් (0)

ඩොලර් උල්පතක් කළහැකි ගමන්මලු කර්මාන්තය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17657 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site