IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන

”‍ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් වීම: ණය සහ යහපත් පාලනය”‍

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා. මූ. අරමුදලේ) සහාය ඇතිව දැනට ක්‍රියාත්මක කෙරෙන විස්තීර්ණ ණය පහසුකම හා සම්බන්ධ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පළමු අර්ධය අවසන් වී ඇති අවස්ථාවේ දී එම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව මෙතෙක් ලබා ඇති ප්‍රගතිය හා එයින් උගත් පාඩම් පිළිබඳ සමාලෝචනයක් කිරීමට මෙන්ම ආර්ථිකයේ ඉදිරි ගමන හා මතු විය හැකි අභියෝග සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට අවස්ථාවක් සකසමින්, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජා. මූ. අරමුදල විසින් එකාබද්ධව ‘ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් වීම: ණය සහ යහපත් පාලනය‘ මැයෙන් සමුළුවක් 2025 වසරේ ජූනි මස 16 වැනි දින කොළඹ දී පවත්වන ලදී. මෙම සමුළුවේ සමාරම්භක සැසියෙන් අනතුරුව විද්වත් මණ්ඩල සාකච්ඡා සැසි හතරක් පවත්වන ලදී. ජා. මූ. අරමුදල හා එහි සහාය ඇතිව ක්‍රියාත්මක කෙරෙන ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාව මෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සමාජයේ බොහෝ මතවාද පවතී. දැනට සිදු කරන ලද සහ සිදු කෙරෙමින් පවතින ප්‍රතිසංස්කරණවලින් වඩාත් ම බලපෑමට ලක් වන කණ්ඩායම වන මහජනතාවට ජා. මූ. අරමුදල් වැඩසටහන, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව නිවැරදි තොරතුරු ගෙන ඒමේ අරමුණින් මෙම සමුළුවේ දී සාකච්ඡාවට බඳුන් වූ කරුණු අළලා කොටස් පහකින් යුතු ලිපි මාලාවක් ගෙන ඒමට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි. මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජා. මූ. අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් සමාරම්භක සැසියේ දී පවත්වන ලද දේශන ඇසුරෙන් මෙම ලිපිය සැකසී ඇත.

 

දශක කිහිපයක් පුරා මෙරට ආර්ථිකයේ රාජ්‍ය මූල්‍ය සහ විදේශ අංශවල පැවති දුර්වලතා කොවිඞ්-19 වසංගතය සහ මෑත කාලීනව ගනු ලැබූ වැරදි ප්‍රතිපත්ති තීරණ නිසා වඩා උත්සන්න වීම හේතුවෙන් 2022 වසරේ දී ශ්‍රී ලංකාවට පෙර නොවූ විරූ ණය අර්බුදයකට මුහුණපෑමට සිදුවිය. භාවිත කළ හැකි දළ නිල සංචිත ඉතා අඩු මට්ටමකට පහත වැටීම හේතුවෙන් විදේශ ණය සේවාකරණය ඉතා අසීරු වීම නිසා තෝරාගත් විදේශ ණය කාණ්ඩ සඳහා ණය සේවාකරණය තාවකාලිකව අත්හිටුවීමට 2022 වසරේ අප්‍රේල් මාසයේ දී රජය පියවර ගත්තේය. පෙර බොහෝ වාර ගණනක් දළ නිල සංචිත සීමා වීම නිසා ශ්‍රී ලංකාව විදේශ අංශයේ ගෙවුම් තුලන අර්බුදවලට මුහුණ දී තිබුණ ද මෙවර තත්ත්වය වඩාත් සංකීර්ණ වූයේ, රාජ්‍ය ණය, ආර්ථිකයට දැරිය නොහැකි ඉහළ මට්ටමකට ළඟා වී තිබීමයි. එබැවින් පෙර මතු වූ ගෙවුම් තුලන අර්බුදවල දී මෙන් ජා. මූ. අරමුදලෙන් සහාය නැවත ලබා ගැනීමෙන් පමණක් මෙවර මුහුණ දීමට සිදු වූ ආර්ථික අර්බුදය විසඳීමට නොහැකි විය. එබැවින් ජා. මූ. අරමුදලෙන් විස්තීර්ණ ණය පහසුකමක් ලබා ගැනීමට සමගාමීව රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක් සහ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගත්තේය. රජය විසින් ගනු ලැබූ මෙම පියවරවල අරමුණ වන්නේ සාර්ව ආර්ථික ස්ථායීතාව යළි ප්‍රතිස්ථාපනය කිරීම මෙන්ම යළිත් මෙවැනි ආර්ථික අර්බුද ඇති වීම වළක්වා ගැනීමය.

ජා. මූ. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ සහාය ඇතිව ක්‍රියාත්මක කෙරෙන පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහන හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව විශාල ප්‍රගතියක් අත් කරගෙන ඇත. කාර්තු හයක් පුරා සංකෝචනයක් වාර්තා කළ ශ්‍රී ලංකා ආර්ථිකය 2023 වසරේ දෙවන භාගයේ සිට වර්ධන මාවතකට නැවත අවතීර්ණ විය. නිවැරදි ප්‍රතිපත්ති හේතුවෙන් උද්ධමනය ශීඝ්‍රයෙන් අඩු වී ඇති අතර, දෙවසරක් එකදිගට, එනම් 2023 සහ 2024 වසරවල දී, විදේශ ජංගම ගිණුමේ ධන ශේෂයක් වාර්තා විය. නම්‍යශීලී විනිමය අනුපාතිකයක් පවත්වා ගනිමින්, දළ නිල සංචිත සැලකිය යුතු මට්ටමකින් වර්ධනය කර ගැනීමට හැකි වී ඇත. රාජ්‍ය මූල්‍ය කාර්යසාධනයේ අගය කළ යුතු යහපත් වර්ධනයක් ඇති වී තිබෙන අතර, අයවැය පරතරය අඩු කරගනිමින් දෙවසරක් අඛණ්ඩවධන ප්‍රාථමික ශේෂයක් වාර්තා කිරීමට රජයට හැකි වී තිබේ. රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය බොහෝ දුරට අවසන් වී ඇත. වසර දෙකහමාරකට පෙරාතුව දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයකට මුහුණ පා සිටි ශ්‍රී ලංකාව, කෙටි කාලයක් තුළ සාර්ව ආර්ථික ස්ථායීතාව නැවත ඇති කරගනිමින් මේ වෙන තෙක් පැමිණ ඇති ගමන්මග සැබවින් ම ප්‍රශංසනීයයි. මේ සියලු‍ ජයග්‍රහණවලට රජය, මහ බැංකුව, ජා.මූ. අරමුදල, අනෙකුත් බහුපාර්ශ්වීය ජාත්‍යන්තර ආයතන මෙන්ම දේශීය සහ විදේශීය බහු පාර්ශ්වීය හා වාණිජ ණය හිමියන් ඉතා සමීපව සහයෝගයෙන් කටයුතු කිරීම හේතු විය. එමෙන්ම විශේෂයෙන් අගය කළ යුතු වන්නේ අර්බුදය නිමා කිරීමට සහ එවැන්නක් නැවත ඇති නොවීමට සිදු කරන ප්‍රතිසංස්කරණ නිසා කෙටි කාලීනව බලපෑමට ලක් වන මහජනතාවගේ කැපකිරීම සහ දරා ගැනීමයි.

 

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය

 

2022 වසරේ දී තෝරා ගත් විදේශ ණය සේවාකරණය අත්හිටුවීමට සහ ස්වෛරීත්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකාව විසින් ගන්නා ලද තීරණය දුෂ්කර නමුත් අත්‍යවශයෙන් ම ගත යුතු වූවක් විය. මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් ශ්‍රී ලංකාවට දැරීමට සිදුව තිබූ ණය බර කළමනාකරණය කර ගත හැකි මට්ටමකට අඩු කර ගැනීමට හැකි වී තිබේ. විදේශ ණයහිමියන් විසින් ඩොලර් බිලියන 3ක ණය කපා හැර ඇති අතර, තවත් ඩොලර් බිලියන 25ක ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් අඩු පොලී අනුපාතික යටතේ එම ණය ආපසු ගෙවීමේ කාලය දිගු කර ඇත. ණය ප්‍රතිව්‍යුහගත කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කර නැවත වරක් ගෝලීය දර්ශකවලට ඇතුළත් වී ඇති අතර ඒවායේ ණය ශේණිගත කිරීම ඉහළ නංවා ගැනීමට හැකි වී තිබේ.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් විය. සෑම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක දී ම ණය සම්බන්ධ සහන සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ගැළපුම් ඒකාබද්ධ කිරීම මගින් ණය තිරසාරභාවය ස්ථාපිත කළ යුතුය. එක් එක් රටට විශේෂිත තත්ත්ව පිළිබඳව සලකා බැලීම මගින් ණය තිරසාර ඉලක්ක තෝරා ගත යුතුය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල, ණය තිරසාර ඉලක්ක තීරණය කිරීමේ දී අර්බුදයේ තීව්‍රභාවය මෙන්ම රටේ ඉහළ මට්ටමක පවතින පෞද්ගලික ඉතුරුම්, සංචාරක ලැබීම් සහ විදේශ ප්‍රේෂණ පිළිබඳව සලකා බලන ලදී. ජා. මූ. අරමුදලේ විශ්ලේෂණයන්ට අනුව, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා ඉදිරි දශකය තුළ දී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස විදේශ ණය සේවාකරණය අඩකින් අඩු වන අතර, විදේශ ණය සහ මුළු ණය තොගය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතාංකයක් ලෙස, පිළිවෙලින්, සියයට 27කින් සහ 34කින් පහත වැටෙනු ඇත.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුළ දී මූල්‍ය අංශය හා සමාජ ස්ථාවරත්වයට බලපාන අවදානම් පාලනය කිරීම පිළිබඳව විශේෂිතව සලකා බලන ලදී. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණයවලින් විශාල ප්‍රමාණයක් දේශීය ණය වේ. විදේශ ණය සම්බන්ධයෙන් සහන ලබා ගැනීමෙන් පමණක් ණය තිරසාරභාවය යළි ඇති කළ නොහැකි බව බලධාරීන් විසින් හඳුනා ගත් අතර ණය තිරසාර බව සඳහා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ද අත්‍යවශ්‍ය විය. ශ්‍රී ලංකාවේ දේශීය මූල්‍ය අංශය, මහ බැංකුව සහ අර්ථසාධක අරමුදල රාජ්‍ය අංශයට සැලකිය යුතු ලෙස නිරාවරණය වීම නිසා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රවේශමෙන් සිදු කළ යුතු විය. මූල්‍ය අංශයේ හා සමාජ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම සඳහා දේශීය ණය කපා හැරීමක් සිදු නොකළ අතර පොලී අනුපාතික අඩු කිරීම සහ කල්පිරීම් දිගු කිරීම මගින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගැනුණි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ විදේශ ණය හිමියන් කණ්ඩායම සංකීර්ණ වූ අතර, සමහර ණය හිමියන්ට මෙවැනි ණය ප්‍රතිව්‍යුහගත කිරීමක දී වේගවත්ව ප්‍රතිචාර දැක්වීම සඳහා අභ්‍යන්තර ක්‍රියාපටිපාටියක් නොතිබීම හේතුවෙන් ඔවුන් අතර සම්බන්ධීකරණය අසීරු ක්‍රියාවලියක් විය. ප්‍රංශය, ඉන්දියාව සහ ජපානය සභාපතීත්වය දරන නිල ණයහිමි කමිටුව බොහෝ ණයහිමියන් අතර සම්බන්ධීකරණය සිදු කළ අතර චීනය මෙම කණ්ඩායම සමඟ නිල වශයෙන් එක් නොවූවද ඔවුන් හා සම්බන්ධ වී කටයුතු කළේය. මෙවැනි සම්බන්ධීකරණයක් තුළ වුව ද ණයහිමි කණ්ඩායම් අතර තොරතුරු බෙදා ගැනීමේ දී අභියෝග පැවති අතරනිල ද්විපාර්ශ්වික ණයහිමියන්ට සමාන ආකාරයෙන් සැලකීම සම්බන්ධයෙන් ගැටලු‍ විසඳා ගැනීමට සිදු විය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට උපකාර කිරීම සඳහා, ජා. මූ. අරමුදලේ කාර්ය මණ්ඩලය තොරතුරු සැපයීම හා සම්බන්ධීකරණ කටයුතුවලට සහාය දීම මගින් ක්‍රියාශීලීව දායක විය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අත්දැකීම අනාගතයේ දී ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය අනෙකුත් රටවලට එම ක්‍රියාවලිය සරල කර ගැනීමට පූර්වාදර්ශයක් සපයයි. මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අත්දැකීම ණය තිරසාර ඉලක්ක සැකසීමේ දී සලකා බැලිය යුතු පුළුල් වපසරියකින් යුතු සාධක පිළිබඳව අවබෝධයක් ලබා දුන් අතර ම, ලබා දෙන ණය සහන විවිධ සාර්ව ආර්ථික තත්ත්ව යටතේ දී වෙනස් වන ආකාරයේ නව ණය උපකරණ (macro-linked bonds) හඳුන්වා දීමට ද සිදු විය. එමෙන්ම ණයහිමියන්ට සිය සම්බන්ධීකරණය වැඩිදියුණු කර ගැනීම පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියෙන් හැකි වූ අතර ඔවුන්ට නව ණය උපකරණ සැලසුම් ගැන සිතා බැලීමට අවස්ථාව ද ලැබුණි. ජා. මූ. අරමුදල විසින් ණය සම්බන්ධව ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති සඳහා වැදගත් ප්‍රතිසංස්කරණ සිදු කිරීමට ද මෙම අත්දැකීම යම්තාක් දුරකට හේතු විය. ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී පැන නගින දුෂ්කර ගැටලු‍ පිළිබඳව සාකච්ඡා කර එකඟතාවයක් ඇති කර ගැනීමටත් ණයහිමියන් අතර සම්බන්ධීකරණය වැඩි කිරීමටත් ජා. මූ. අරමුදල, ලෝක බැංකුව සහ G20 කණ්ඩායමේ සභාපතිත්වය විසින් ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස රැස්වීම (Global Sovereign Debt Roundtable) කැඳවන ලදී. මෙම ප්‍රයත්නවල වැදගත් ප්‍රතිඵලයක් වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම දී අනුගමනය කළ යුතු පියවර හා ඒ සම්බන්ධ කාල රාමුව පිළිබඳව සකස් කෙරුණු අත්පොතය. මෙම මුලපිරීම් හා ප්‍රයත්න හේතුවෙන් ඝානාව වැනි රටවල මෑත කාලීනව සිදු කරන ලද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලි වේගවත් වී ඇත.

 

ආර්ථික ප්‍රතිසංස්කරණ

 

ජා. මූ. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන ක්‍රියාත්මක කිරීමත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් මගින් ශ්‍රී ලංකාවට සාර්ව ආර්ථික ස්ථාවරත්වය යම් තාක් දුරකට ඇති කර ගැනීමට හැකි වුවත් එපමණකින් අපට සෑහීමකට පත් විය නොහැකියි. සාර්ව ආර්ථික ස්ථාවරත්වය ආර්ථිකයේ ඉදිරි ගමනට පදනමක් සැපයුවත්, දිගු කාලයක පුරාවට ආර්ථිකයේ මුල් බැසගත් ව්‍යුහාත්මක ගැටලු‍ තවම අවසන් වී නොමැත. මෙම ව්‍යුහාත්මක ගැටලු‍ විසඳීමට ආර්ථික ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය වේ.

යහපත් පාලනයක් පවත්වා ගැනීම සඳහා රාජ්‍ය අංශය තුළ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ මේ අතරින් ප්‍රමුඛත්වය ගනී. මහජනතාවට අවශ්‍ය සේවා සැලසීමට රාජ්‍ය සේවය ශක්තිමත්ව පැවතිය යුතු වුව ද, ප්‍රතිසංස්කරණ හරහා රාජ්‍ය අංශයේ පිරිවැය අඩු කර කාර්යක්ෂමතාව ඉහළ නැංවීම ඉතා වැදගත්ය. වෙනස් වී ඇති ආර්ථික සමාජීය අවශ්‍යතාවලට නොගැළපෙන රාජ්‍ය ආයතන වසා දැමීම හෝ එම ආයතනවල අරමුණු සහ කාර්යභාරය වෙනස් කිරීම මෙන්ම එකම කාර්ය සිදුකරන රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීම හරහා මෙම ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුය. එමෙන්ම රටට ඵලදායී ව්‍යාපෘති අහිමි වීමට සහ ඵලදායීතාව අඩු ව්‍යාපෘතිවල පිරිවැය ආර්ථිකයට දැරීමට හේතු වූ අල්ලස් සහ දූෂණය වැළක්වීම ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික ප්‍රගමනයට තීරණාත්මකසාධකයකි. ශ්‍රී ලංකාව වැනි කුඩා වෙළෙඳපොළක් පවතින රටක, ආර්ථික හා සමාජීය වශයෙන් සංවේදී අංශවල ඒකාධිකාර ඇති වීම වළක්වා ගැනීමට රාජ්‍ය ව්‍යවසායයන් හරහා වෙළෙඳපොළට මැදිහත් වීමට රජයට සිදු විය හැකි නමුත් එම රාජ්‍ය ව්‍යවසායයන් රාජ්‍ය මූල්‍ය අංශයට බරක් නොවිය යුතුය. එබැවින් රාජ්‍ය ව්‍යවසායයන් මගින් සපයන භාණ්ඩ හා සේවා සඳහා පිරිවැය ආවරණය කෙරෙන මිල යාන්ත්‍රණ පවත්වා ගැනීම එම ආයතන රාජ්‍ය මූල්‍ය අංශයට බරක් නොවන බව සහතික කරනු ඇත.

තිරසාර ආර්ථික වර්ධනයක් පවත්වා ගෙන යාමට සහ රජය පිළිබඳව මහජනතාවගේ විශ්වාසය නැවත ඇති කිරීම සඳහා යහපත් පාලනයක් ඇති කිරීම අතිශයින් ම වැදගත් වේ. මේ සඳහා මූලික පියවරක් වශයෙන් පාලනය හා සම්බන්ධ නීතිමය රාමුව ශක්තිමත් කිරීමට රජය කටයුතු කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා නව මහ බැංකු පනතක් හඳුන්වා දීම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම හා ඒ හා සම්බන්ධ වගවීම වැඩිදියුණු කිරීමේ අරමුණින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතක් ගෙන ඒම මෙන්ම දූෂණ විරෝධී නීති රාමුව ශක්තිමත් කිරීම මෙහි දී ගනු ලැබූවිශේෂ පියවර වේ. මෙලෙස යහපත් පාලනය හා වගවීම සම්බන්ධ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ආර්ථිකමය වශයෙන් ද ඍජු ප්‍රතිලාභ ලබා දෙයි. එම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම මගින් ඉදිරි දශකය තුළ දළ දේශීය නිෂ්පාදිතය තවදුරටත් සියයට 7කින් අමතරව වර්ධනය වීමටත් රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත් විට ප්‍රතිශතාංක 6කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කළ හැකි බවත් ජා. මූ. අරමුදල විසින් සිදු කරන ලද පර්යේෂණ මගින් පෙන්නුම් කර ඇත.

සාමාන්‍යයෙන් අවදානමකට ලක් විය හැකි ජන කාණ්ඩ පසුගිය කාලයේ මතු වූ ආර්ථික අර්බුදයෙන් විශාල වශයෙන් පීඩාවට පත් වූහ. නවතම ලෝක බැංකු ඇස්තමේන්තුවලට අනුව 2024 වසරේ දී දරිද්‍රතා අනුපාතය සියයට 24.5ක් වැනි ඉහළ මට්ටමක පැවතුණ අතර, දරිද්‍රතාව අඩු කර ගැනීමට කටයුතු කිරීම ප්‍රතිපත්ති ප්‍රමුඛතාවක් විය යුතුය. එබැවින් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරන අතර ම අවදානමට ලක් විය හැකි ජන කාණ්ඩ මෙම අර්බුද සමයේ දී ආරක්ෂා කර ගැනීම රජයේ වගකීම වේ. කෙසේ වූවත් සමාජ ආරක්ෂණ වැඩසටහන් පුළුල් කරන අතර ම, ඒවා වඩාත් හොඳින් ඉලක්කගත කිරීම මගින් සමාජ ආරක්ෂණ ජාල වඩාත් සාධාරණ ලෙස අවදානමට ලක් විය හැකි ජන කාණ්ඩ ආවරණය කරන බව සහතික කළ යුතුය.

ආර්ථික අර්බුදයට හේතු සාධක වූ ගැටලු‍වලට යොදන ලද පිළියම්, එනම් බදු ප්‍රතිසංස්කරණ, තිරසාර නොවන සහනාධාර ඉවත් කිරීම, පිරිවැය පිළිබිඹු කරන බලශක්ති මිලකරණය ආදී ප්‍රයත්න නිසා සාමාන්‍ය ජනතාවට බොහෝ කැපකිරීම් කිරීමට සිදු විය. සාර්ව ආර්ථික ස්ථායීතාව නැවත ඇති කරන අතර, ඉදිරි කාලය තුළ දී ආර්ථික වර්ධනය වේගවත් කිරීමට වර්ධනාභිමුඛ ප්‍රතිපත්ති අනුගමනය කිරීම වැදගත් වන්නේ එබැවිනි. විශේෂයෙන් ම, ඍජු විදෙස් ආයෝජන වැඩි වශයෙන් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීමටත්, ආර්ථිකයේ කොඳු නාරටිය බඳු වූ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නැවත නඟා සිටු වීමටත්, දැනට නගරබද වැනි සමහර ප්‍රදේශවලට පමණක් සීමා වී තිබෙන ආර්ථික වර්ධනය අනෙකුත් ප්‍රදේශ කරා පැතිරවීමටත් වර්ධනාභිමුඛ ප්‍රතිපත්තිවල අවධානය යොමු විය යුතුය.

මෙවැනි ආර්ථික අර්බුදයක දී රටකට ආර්ථික වශයෙන් සිය ස්වෛරීභාවය සහ ස්වාධිපත්‍ය පවත්වා ගැනීම පහසු කාර්යයක් නොවේ. ජා. මූ. අරමුදල හා සම්බන්ධ වැඩසටහන අවසන් වනවිට මෙම අර්බුදය සම්පූර්ණයෙන් ම විසඳා ශ්‍රී ලංකාවට ස්වශක්තියෙන් සිය ණය සේවාකරණය පවත්වා ගෙන යාමට සහ රාජ්‍ය ණය දරා ගත හැකි මට්ටමක් දක්වා අඩු කර ගැනීමට හැකි වනු ඇත.

ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කළ යුතු ආර්ථික ප්‍රතිසංස්කරණ කිසිවක් පහසු ඒවා නොවනු ඇත. දේශීයව මතු වන අභියෝගවලට අමතරව, ගෝලීය වශයෙන් මතුවන ආර්ථික හා භූ දේශපාලනික ගැටුම් මෙන්ම දේශගුණික විපර්යාස මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියන්ට අවදානම් ඇති කරයි. ප්‍රතිපත්තිමය වශයෙන් වැරදි පියවරක් ගැනීමට ශ්‍රී ලංකාවට කිසිදු ඉඩ ප්‍රස්ථාවක් නොමැති වන්නේ එබැවිනි. ශ්‍රී ලංකාව වැනි අවදානමට ලක් විය හැකි ආර්ථිකයන්ට ඉදිරි කාලයේ දී අර්බුදවලින් ආරක්ෂා වී සිටීමට ප්‍රතිසංස්කරණ සිදු කිරීම සහ ස්වාරක්ෂක (buffers) ගොඩ නැගීම අනිවාර්ය වේ.

ශ්‍රී ලංකාවේ දැනට ජා. මූ. අරමුදලේ සහායෙන් සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ වැඩසටහන මේ වන විට ශක්තිමත්ව හා ඵලදායීව ක්‍රියාත්මක වේ. නමුත් ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉතිහාසය මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට ඇති අවදානම් ද සිහිපත් කර දෙයි. ශ්‍රී ලංකාව ජා. මූ. අරමුදල් වැඩසටහන්වලට මීට පෙර දහසය වරක් සහභාගී වූවද එයින් අඩක් පමණ අතරමග අතහැරීම නිසා ඒවායේ නිසි ප්‍රතිඵල නොලබා ම අවසන් විය. කාලය ගත වන විට ප්‍රතිසංස්කරණ සිදු කිරීමට ඇති උද්යෝගය අවසන් වී ඒ වන තෙක් පරිශ්‍රමයකින් ලබා ගත් ජයග්‍රහණ ආපසු හැරවීමට ප්‍රතිපත්ති සකස් වීමට ඉඩ ඇත. එමගින් ආර්ථික වර්ධනය අඩාල වී පෙර පැවති ආර්ථික අර්බුදවලට නැවත නැවත ලක්වීමේ විෂම චක්‍රය තවදුරටත් ශ්‍රී ලංකා ආර්ථිකයට දරාගත නොහැකිය. එබැවින් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ජවය දිගට ම පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වන අතර, සියලු‍ පාර්ශ්වකරුවන්ගේ සහාය මේ සඳහා ලබා ගැනීමට විනිවිද භාවයකින් යුතුව, සාර්ව සහභාගීත්වයට ප්‍රමුඛත්වය දෙමින් වගවීමක් සහිතව කටයුතු කළ යුතුය. ජා. මූ. අරමුදල සමඟ අතීතයේ දී ක්‍රියාත්මක කෙරුණු වැඩසටහන් දහසයට වඩා මෙම වැඩසටහන වෙනස් වීමට - මෙය ශ්‍රී ලංකාවට ජා. මූ. අරමුදලෙන් සහාය ලබා ගත යුතු අවසන් වාරය වීමට - ප්‍රතිපත්ති සම්පාදකයන්, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නන් සහ මහජනතාව ඇතුළු සියලු‍ පාර්ශ්වකරුවන්ගේ සහාය අවශ්‍ය වේ.

වැඩිතුර තොරතුරු සඳහා

https://www.youtube.com/watch?v=FY2bC9UwXN4

ආචාර්ය යශෝධා සේනාධීර

නියෝජ්‍ය අධ්‍යක්ෂ

ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා මහ බැංකුව



අදහස් (1)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන

sene Tuesday, 29 July 2025 04:18 PM

නඩුත් බඩුත් දෙකම ??

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 159 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 306 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 656 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site