IMG-LOGO

කොස් පලදාවෙන් නිසි ප්‍රයෝජන ගන්න බැරිද?

 

මනාව පැසුණු කොස් ඵලදාව


 

  • රට පුරා හෙක්ටයාර් 27,392 ක කොස් වගා කරලා
  • වාර්ෂික කොස් අස්වැන්න ටොන් 758,900 ක්
  • අස්වැන්නෙන් ටොන් ලක්ෂ 06 ක් පමණ වාර්ෂිකව අපතේ යයි
  • කොහොල්ල නිසා කොස් ආහාරයට ගැනීම සමහරෙක් අතහැර දමති
  • කොස් ගසට බත් ගස ලෙස ද ව්‍යවහාර කළත් ඵලදාවෙන් වැඩි හරියක් අපතේ
  • අතීතයේ මෙරට ආහාර සුරක්ෂිතතාවට කොස් විශාල පිටිවහලක් වී ඇති බව සනාත වෙයි
  • කොස් මාමා ගමේ මෙන්ම නගරයේත් කොස් වැවීමට මුලික වුණා 

බුල්නෑව ප්‍රදීප් රණතුංග 


මේ වන විට නැවතත් කොස් අස්වනු නෙළන අවදිය එළැඹී තිබේ. එහෙත් මෙසේ පල දරන වාර්ෂික කොස් අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් ලක්ෂ 06 කට ආසන්න ප්‍රමාණයක් අපතේ යන බව සිදුකළ සමීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි සදහන්වේ. ඉකුත් 2021 වසරේ සිදුකළ සමීක්ෂණයකට අනුව මෙරට හෙක්ටයාර් 27392 ක (හෙක්ටයාර් විසිහත්දහස් තුන්සිය අනුදෙකක) කොස් වගා කර ඇතැයි හෙළිදරව් වී තිබේ. එහිදී එම වසරේ මුළු කොස් පලදාව මෙට්‍රික් ටොන් 758,900 ක් (හත් ලක්ෂ පනස් අට දහස් නව සියයක්) බවට ද ගණන් බලා තිබිණි. මෙම වාර්තාවලට අනුව මෙරට කොස් පලදාවෙන් ඉහළ ප්‍රතිශතයක් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අපතේ යන බව පැහැදිලි වෙයි. 

අතු බරට කොස් මනාව ඵලදරන කාලය මෙරටුන්ට නුහුරු නොවුවකි. ඒ සිංහලයාගේ ප්‍රධාන ආහාරය වන බත් තරමටම කොස් ද ජනප්‍රිය ආහාරයක් වන බැවිනි. එහෙයින්ම කොස් ගසට බත් ගස ලෙස ද ව්‍යවහාර කෙරෙති. ගම්බදව මෙන්ම නගරයේ බොහෝ දෙනකු ද කොස් රසට ලොල් වුවද තවමත් මෙරට කොස් ඵලදාවෙන් වැඩි ප්‍රමාණයක් මෙසේ නිකරුණේ විනාශ වන වග සැඟවිය නොහැක්කකි. කොස් වාරයේ දී ගස් යට වැටී හැල්මේ විනාශ වී යන කොස් ගෙඩි ගණන මෙතෙකැයි කිව නොහැකි තරම්ය. 

කොස් අප රටෙහි ආහාර සුරක්ෂිතතාව කෙරෙහි කොතරම් බලපෑමක් කළේ ද යත් බ්‍රිතාන්‍ය පාලකයන් මෙරට ගම්මැදි වල තිබූ කොස් ගස් කපා විනාශ කිරීමට තරම් සාහසික වු බව කියැවේ. එහෙයින් කොස් මෙරට ආහාර සම්ප්‍රදාය හා අත්‍යන්තයෙන් බැඳී පවතින්නක් වග ද සැඟවිය නොහැක්කකි. මේ කොස් වාරයේ මනාව පැසුණු කොස් මදුළු එකලස් කොට මහමග පසෙකට වී අලෙවි කොට දිවි සරිකරන වෙළෙදුන් පිරිසක් ද වෙති. එය එක්තරා අන්දමක කලාවකි. කොහොල්ල දෑතේ තවරා නොගෙන මනාව මදුළු බේරීම කළ යුත්තේ පරෙස්සමටය. සමහරෙකු කොස් රස විඳීමට ප්‍රිය කළ ද කොහොල්ල සදහා ඇති අකැමැත්ත ඒ සදහා හරස් වී ඇත. එවැනි බොහෝ දෙනකුට මේ වෙළෙදාම මහෝපකාරයකි. එහෙත් එය රට පුරා කොස් ඵලදාව ලක්ෂ ගණනින් අපතේ යෑම වැළකීමට ප්‍රමාණවත් වෙළෙඳ‌ාමක් නොවේ. 

ලක්වැසියන් කොස් ඵලදාව විවිධ ආකාරයෙන් සකස් කරමින් ආහාරයට එක්කර ගැනීම සිදුකරනුයේ දුරාතීතේ සිටමය. පෝෂණ ගුණයෙන් අනුන හොඳින් පැසුණු කොස් තම්බා පොල් සමග හෝ පොල් සම්බෝලයක් සමග ආහාරයට ගැනීම සාම්ප්‍රදායික ගැමි ආහාර රටාවේ අනිවාර්ය අංගයක්ව පැවත තිබේ. කොස් මැල්ලු‍මක් ලෙස මෙන්ම කොස් මදුළු ව්‍යාංජනයක් ලෙස සකසා ගත හැකිවේ. මෙසේ සකසන කිරි කොස් ව්‍යාංජනය කා අතරත් ජනප්‍රිය ආහාරයකි. කොස් තම්බා, වියළා තෙලේ බැද අමුත්තන්ට තේ පැන් සංග්‍රහයකදී වුවද පිළිගැන්වීමට සුදුසුය. කොස් ගෙඩියෙහි අවස්ථා කිහිපයක දී ආහාරයට ගැනීම ලාංකික ආහාර සම්ප්‍රදායට ආවේනික වුවකි. කොස් ගෙඩිය ළපටි අවදියේ දී සකසන පොළොස් ව්‍යාංජනය ආහාරයට එක්කර ගැනීමෙන් ලේ ධාතුව පිරිසුදු වන බව දේශීය වෛද්‍යවරු ද පවසති. 

වෙසක්, පොසොන් ආදි පොහොය දින අරබයා මහ මග කොස් තම්බා දැන් දැන් දන්සල් පැවැත්වීම ද සිරිතක්ව පවතී. ගැමියන්ගේ සරල, සැහැල්ලු‍ දිවි පෙවෙත සවිමත් කරන්නක් ලෙසත්, දේශීය ආහාර සුරක්ෂිතතාව සහතික කරන්නක් ලෙසත් දුරාතීතේ සිට අද දක්වාම කොස් මෙරට ජන ජීවිත හා යාව ජීවව පවතී. 

 

සාම්ප්‍රදායික ගම්මැද්දේ ගැමියන් කොස් හෙවත් බත් ගසෙන් ගත් ඵල ගැන මනාව දත් මහවැලියෙහි, මීගලෑවේ, ජනශ්‍රැති පර්‌යේෂකයකු වන සෝමරත්න උල්පතගම මහතා මෙසේ කරුණු කීවේය.

“වැලි කොස් ඇට දාන එක, කොස් මදුළු වේලලා දුමේ දාන එක වගේ දේවල් ඒ කාලේ හැම ගං ගෙදරකම වගේ සිද්ධ වුණා. වැලි කොස් ඇට මුල්ලක් හැම ගෙදරකම වගේ තිබුණා. ගෙයි මුල්ලකට වෙන්ඩ වැලි අතරේ කොස් ඇට රඳවලා උඩින් මැටි ගානවා. එතකොට හුළං වදින්නේ නෑ. කොස් අවාරේ එනකොට හොඳට හයිවෙලා තියෙන මැටි තට්ටුව අයින් කරලා කොස් ඇට ප්‍රයෝජනේට ගන්නවා. මාස පහ හයක් වුණත් මේ විදිහට කොස් ඇට කල් තියාගන්න පුළුවන්. ආයෙත් කොස් වාරේ එනකොට මේ විදිහට වැලි කොස් ඇට මුල්ලක් දානවා.”‍

ඉදුණු කොස් වැල හෝ වරකා ලෙස ආහාරයට ගත හැකි ඉතා මිහිරි පලතුරකි. කොස් ඇට මනා පෝෂණ ගුණයකින් යුක්ත වේ. කොස් ඇට ව්‍යාංජනයක් මෙන්ම කළු පොල් මාළුව ආකාරයෙන් සෑදීමට ද ගෘහණියෝ ඇලු‍ම් කරති. කෙසෙල් මුව, කොහිල දලු‍ වැනි එලවළු වලට කොස් ඇට දැමීමෙන් රසවත් ව්‍යාංජනයක් තැනීමට ගෘහණියෝ දක්ෂ වෙති. කොස්වල බහුල ලෙස කාබෝහයිඩ්රේට් අඩංගු වේ. ප්‍රෝටීන්, මේදය, කැල්සියම් වැනි පෝෂක වර්ග කොස් ඵලදාවේ අනුන බව දේශීය වෛද්‍යවරුන්ගේ පෙන්වාදීම වී ඇත. 

නිවසට අවැසි ආහාර බෝග ගෙවත්ත තුළදීත්, ගමට අවැසි ආහාර බෝග ගම තුළදීත්, සමස්තයක් ලෙස රටට අවැසි ආහාර බෝග රට තුළදීත් නිපදවීමේ අවැසි බව සලකුණු කරන දේශීය ආහාර බෝග නිෂ්පාදන වැඩපිළිවෙළක අවැසි බව අන් කවරදාටත් වඩා අද දැනෙමින් තිබේ. එහෙත් මේ සා රසයෙන් හා ගුණයෙන් අනුන කොස් ඵලදාව කෙරෙහි තවමත් ඇත්තේ අඩු අවධානයක් බවට කොස් වාරේ තැන තැන විනාශ වන කොස් ඵලදාවම හොඳ සාක්ෂියකි. කොස් වාරෙට පැසුණු කොස් ඉදී ගස් යට වැටී කුණුවී යන දසුන තවමත් වගකිව යුතු කිසිවකු නොදැකීම ජාතියේ අභාග්‍යයකි. 

 

අතීතයේ කොස් ඵලදාවෙන් ලැබූ ප්‍රයෝජන පිළිබඳව මනා අවබෝධයක් ඇති මහවැලි එච්. කලාපයේ, ගල්නෑව, හුණුපොලගම පුරාණ ගමෙහි ඩී. එම්. කරුණාවති මහත්මිය මෙසේ තොරතුරු පැවසුවාය. 

“ඉස්සර කොස් මදුළු උණු වතුරෙන් තම්බලා, අව්වේ වේලලා, පොට්ටනි බැදලා දුමේ දාල තියෙනවා. ඕන වෙනකොට වතුරේ පෙඟෙන්ඩ දාලා කිරි කොස් මාලු‍ හදන්න, තම්බන්න එහෙම ගන්නවා. කිරි දෙන අම්මලාට කිරි එරෙන්න කොස් ඖෂධයක් වගේ. අවාරේකදී වුණත් ඒ කාලේ ගෙවල් වල කොස් වේළලා තියාගත්තේ එහෙම වෙලාවට ප්‍රයෝජනේට ගන්න පුළුවන් හින්දා. කොස් කපලා, සුද්ද කරලා, කොහොල්ල අයින් කරන්ඩ සෑහෙන වෙලාවක් යනවා. ඒ හින්දා මේ ක්‍රමේ ඒකටත් හොඳ විසඳුමක්. සමහරු මදුළු තම්බලා කනවා. සමහරු වෑංජන හදලා කනවා. කොහොම කෑවත් ගුණේ අඩුවක් වෙන්නේ නෑ. ඒත් ඒක දැන් ඉන්න සමහරු දන්නේ නෑ. ඒ හින්දම වටිනාකමක් නෑ.”‍ 

කොස් ඵලදාව කෙරෙහි අවධානය යොමු කරන කල්හි කොස් වගාව මෙරට ඈත ගම්මැදි වල මෙන්ම නාගරික ගෙවතු වල ද ව්‍යාප්ත කිරීමට මුලික වී ඇති “කොස් මාමා” ලෙස විරුදය ලත් “ආතර් වී දියෙස්” මහතා පහසුවෙන් අමතක කළ හැකි අයකු නොවේ. ජාතික ආහාර බෝග නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ විශ්වාසයෙන් මෙරටට ගැළපෙන පිරිමැසුම්දායක ආහාර රටාවක් කෙරෙහි අවධානය යොමු කරමින් කොස් ආදි ගහ කොළ සිටුවීමේ වැදගත්කම පහදමින් මෙතුමා ගමින් ගමට ගොස් ඇත. නිදහසින් පසුව ගතවු මුල් දශකයක පමණ කාලය තුළ මියෙන තෙක්ම මෙරට තුළ කොස් වගාව ව්‍යාවප්ත කිරීම උදෙසා ඉමහත් අවංකභාවයෙන් කටයුතු කොට ඇති හෙයින්ම ආතර් වී දියෙස් මහතා කෘතවේදී ජනයාගේ හදවත් තුළ කොස් මාමා ලෙසින් අද ද ජීවමානව සිටී. 

දියෙස් මහතා සිය නිවසට පැමිණෙන ඕනෑම අයකුට කොස් පැළ හෝ කොස් ඇට ලබාදීමට කටයුතු කොට ඇති බව වාර්තා වේ. ගිය සෑම ගමකින්ම බීජ වර්ග එකතු කොටගෙන විත් ගෙවත්තේ පැළ තවාන් ඇති කොට මෙතුමා නිවසට පැමිණි හැමට පැළ බෙදීමට ක්‍රියා කොට තිබේ. මගුල් ගෙවල් ආදි උත්සව අවස්ථා වලදී කොස් වලින් සාදා ගත් රසවත් කෑම හදුන්වාදීමට ද දියෙස් මහතා මූලික වී ඇත. 

තැපෑලෙන් කොස් බීජ යැවීමට කටයුතු කොට ඇති එතුමා දහඅට මසකින් ඵල දරන කොස් වර්ගයක් මලයාසියාවෙන් මෙරටට ගෙන්වා හඳුන්වා දීමට ප්‍රමුඛ වී ඇතැයි සඳහන්වේ. 1918 වර්ෂයේ දී ඇරඹී එතුමාගේ මේ මාහැගි වෑයමට ඉකුත් 2018 වසර වන විට වසර සියයක් සැපිරිණි. කොස්, පොළොස් කන නිරෝගී මිනිසුන් සිටි එදවස වෙත යළි පිවිසෙන්නට අද අපට සිදුව ඇත. ඒ සඳහා අවැසිව ඇත්තේ අන් කවරක් හෝ නොව සිතීමේ වෙනසකි. නිසි වැඩපිළිවෙළකි.

 

රසින් රස පිරි වරකා

මහ පාරේ කොස් වෙළෙඳ‌ාම සිදුවන අන්දම

ගුණෙන් සපිරි කොස් ඇට



අදහස් (0)

කොස් පලදාවෙන් නිසි ප්‍රයෝජන ගන්න බැරිද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1675 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site