(මනෝජ් හර්ෂික)
කුරුඳු තෙල් නිස්සාරණයේදී ඉවතලන අපජලය භාවිත කරමින් විශේෂිත වූ සබන් කැටයක් නිෂ්පාදනය කිරීමට ගාල්ල කරන්දෙණිය මඩ කුඹුර මහා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක සමත්වී තිබේ.
ලබන වසරේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින ටී.එච්.ශෂිකලා මධුවන්ති කුමාරසිරි සිසුවිය මෙම සබන් කැටය නිෂ්පාදනය කර ඇත.
මෙම නව නිපැයුම මඟින් ජාතික හා ජාත්‍යන්තර තරඟ සහ ප්‍රදර්ශන රැසකින් ජය ගැනීමට ඇයට හැකිව තිබේ.
ශෂිකලා මධුවන්ති කුමාරසිරි සිසුවිය ලංකාදීපයට මෙසේ පැවසීය.
“මම ජීවත් වන ගාල්ල කරණ්දෙණිය ප්‍රදේශයේ. මේ ප්‍රදේශයේ මිනිසුන් වැඩිපුරම ජීවනෝපාය ලෙස කරන්නේ කුරුඳු කර්මාන්තයයි. කුරුඳු තෙල් නිස්සාරණයේ දී ඉවතලන අපජලය පරිසරයට එකතු වීමෙන් ඇතිවන පාරිසරික ගැටලු අවම කරගැනීමේ ක්‍රමයක් පිළිබඳව මම නිතරම කල්පනා කළා. එහි ප්‍රතිඵලයක් විදියට මෙම සබන් කැටය නිෂ්පාදනය කිරීමට හැකිවුණා.
මදුරුවන් පළවා හැරීමට, ආයුර්වේද ප්‍රතිකාරවලදී භාවිත කිරීමටත්, විවිධ චර්ම රෝග සඳහාත්, විෂබීජ නාශකයක් ලෙස මෙම සබන් කැටය යොදා ගන්න පුළුවන්. ඒ වගේම මෙම සබන් කැටය භාවිතයේදී හා ඉන් පසුවත් ශරීරයට සිසිල් බවක් ලැබෙනවා.
කුරුඳු තෙල් නිස්සාරණයේදී ඉවතලන අප ජලය, කුරුඳු තෙල් මිලිලීටර එකක ප්‍රමාණයක් හා සාමාන්‍යයෙන් සබන් නිෂ්පාදනය කිරීමට යොදාගන්නා අමුද්‍රව්‍ය මම යොදා ගත්තා. වෙළඳපොළෙහි අලෙවි කිරීමට තිබෙන සාමාන්‍ය කුරුඳු සබන් කැටයක මිලට වඩා බොහෝ අඩු මුදලකට මෙය පාරිභෝගිකයා වෙත අලෙවි කිරීමට පුළුවන්.
මෙම නිර්මාණය සඳහා මේ වසරේ මැලේසියාවේ පැවැති ජාත්‍යන්තර තරුණ විද්‍යාඥයින්ගේ සමුළුවේදී ජූරියේ විශේෂතා සම්මානයත් ලංකාවේ පැවැති සහසක් නිවැවුම් ප්‍රදර්ශනය සහ තරඟයේදී සමස්ත ලංකා රිදී පදක්කමත් දිනා ගැනීමටත් මට හැකි වුණා.
මෙම සබන් කැටය නිර්මාණය කිරීමේ දී මගේ පාසලේ විද්‍යාව උගන්වන රමණි ප්‍රියංකා ගුරුතුමිය, මගේ සොහොයුරිය වන ටී.එච්.ශානිකා මධුවන්ති කුමාරසිරි සහ පාසල් මිතුරියක වන එම් .ඒ.ජයනි ලක්මාලී මට උදවු කළා. සබන් කැටයේ විශේෂතා වැඩිදියුණු කිරීමටත් කුරුඳු නිස්සාරණයෙන් පසු ඉවතලන අපජලය ආශ්‍රයෙන් වෙනත් නිෂ්පාදනයක් කරන්නත් ඉදිරියේ දී මම බලාපොරොත්තු වෙනවා” යැයිද ඇය පැවසුවාය.




COMMENTS
ජයවේවා..!!! දුවට තවත් නව නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා...!!!
රත්තරං පුතේ ඔබගේ සියලු උත්සාහයන් සාර්ථක වේවා !! අනාගතේ ඔබ උපන් රටට අවංකව වැඩ කරන පුරවැසියකු ලෙස කටයුතු කිරීමට ඔබට හැකිවේවා !!
නුඹ පුතේ වටිනවා වඩා රත්තරං ... ඉපදුනානම් රටක හරිහමන් ...
සොයුරිය ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!!
ඔබ රටට ආඩම්බරයක්... ඔබේ උත්සාහයන් තවතවත් මල්ඵල ගැන්වේවා...!!!
නුඹ පුතේ වටිනවා වඩා රත්තරන්... ඉපදුණා නම් රටක හරිහමන්... ඉපදුණු රටේ වරදක් නෑ. යසට තිබුණු රට අවුරුදු 70ක් තිස්සේ කාලා විනාශ කරලා තියෙන්නේ දේශපාලුවෝ...
සුබ පැතුම් පුතේ...!
සුභ පැතුම්! පුංචි පුංචි වැඩි දියුණු කිරීම් කලකදී මහ විශාල වෙනසක් සිදුකරයි.
සුබ පැතුම්! පුංචි දුවේ....
ජයවේවා...!!! නුඹට දුවේ හොඳ උත්සාහයක් අරන් තියෙන්නේ...
දක්ෂ දරුවෙක්
පුංචි නුඹට දැනෙන දෙය , මහා පරිමාණයෙන් පරිසයට වින කටින මහ උන්ට නොදැනෙන්නේ මන්ද. දුවේ ඔබට ජය !
බොහොම හොඳයි, කරුණාකර පේටන්ට් බලපත්‍රයක් ලබා ගන්න.
කුරුඳු තෙල් සබන් වලට නම් පිටරවලත් ඉල්ලුමක් තිබෙන්න පුළුවනි. සබන් නිපදවන එක එතරම් ලොකු වැඩක් නොවේ. නමුත් කුරුඳු තෙල් අපද්‍රව්‍ය පාවිචිය අලුත් අදහසක්. මේ අදහස රෙජිස්ටර් කරන කඩිනමින් කලොත් තමා හොඳ. නැතිනම් වෙනත් අය පොහොසත් වෙන්න ඉඩතිබෙනවා.
මේ වගේ දේවල් කෙරුවොත් කරන්නෙ ගාල්ල මාතර පැත්තෙ ඉපදිච්ච කෙල්ලො කොල්ලො ... මාත් ගාල්ලෙ ඉපදුන නිසා ආඩම්බරයි දුවේ ... ඔබට තෙරුවන් සරණින් තව තවත් නව නිපැයුම් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවායි පතනවා .. !