මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා මහතා ඇතුළු ආයතනික කළමනාකාරිත්වය වෙත සමස්ත රන් සම්මානය පිරිනමන අයුරු.


ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙල 2026 දී National Business Excellence Awards (NBEA) 2026 සමස්ත ජයග්‍රාහකයාට හිමි රන් සම්මානයෙන් (Overall Gold Award) මහජන බැංකුව පිදුම් ලබයි. සමස්ත ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නායකත්වය, පාලන ක්‍රියාවලිය, නවෝත්පාදනය, ගනුදෙනුකාර සේවය සහ තිරසර කාර්යසාධනය යන අංශයන්හි දැක්වූ විශිෂ්ටත්වය අගයමින් මෙම සම්මානය මහජන බැංකුව වෙත පිරිනැමිණි.
එමෙන්ම සුවිසල් කාණ්ඩය (Extra-Large Category)” දේශීය වෙළෙඳපොළ ප්‍රවේශයේ විශිෂ්ටත්වය (Local Market Reach) සහ බැංකු අංශය (Banking Sector) යන ප්‍රධාන කාණ්ඩ ත්‍රිත්වයේම ජයග්‍රාහකයා බවට පත්වීමටද මහජන බැංකුව සමත් විය. 
මේ පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.
“මෙවන් සම්මානවලින් පිදුම් ලැබීම, විශිෂ්ටත්වය සඳහා වන අප බැංකුවේ අඛණ්ඩ කැපවීම සහ කාර්ය මණ්ඩලයේ සාමූහික උත්සාහය පිළිබඳ මනා නිදසුනක් වෙනවා. දශක හයකට අධික කාලයක් මුළුල්ලේ ගනුදෙනුකරුවන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය මින් මනාව පිළිබිඹු වෙනවා. මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් ලෙස, ශ්‍රී ලංකාවේ සමාජ - ආර්ථික සංවර්ධනයට අර්ථාන්විත දායකත්වයක් ලබා දෙන අතරම, අපගේ කොටස්කරුවන් සඳහා තිරසාර වටිනාකමක් නිර්මාණය කිරීමට අපි අඛණ්ඩව කැපවී සිටිනවා.”
මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා මහතා මෙසේ පැවසීය. 
“ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී සමස්ත රන් සම්මානය දිනා ගැනීම වඩාත් අභිමානවත් සහ සුවිශේෂ අවස්ථාවක්. මෙහි ගෞරවය අපගේ ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවයක් ලබාදීම වෙනුවෙන් වෘත්තීයභාවයෙන්, කැපවීමෙන් සහ කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කළ සෑම කාර්ය මණ්ඩල සාමාජිකයකුටම අයත් වෙනවා. 
අපගේ සේවා තවදුරටත් වැඩිදියුණු කරමින් සහ ඩිජිටල් පරිවර්තනය වේගවත් කරමින් මෙරට පොදු ජනතාවගේ බැංකුව ලෙස තවදුරටත් ඉදිරියට යාම අපගේ අපේක්ෂාවයි.”