ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය යළිත් තහවුරු කරමින් එක්සත් රාජධානියේ ‘ද බෑන්කර්’ සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලොව ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ 2026 සංස්කරණයේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත.
මූල්‍ය ශක්තිමත්භාවය ඇගයීම සඳහා ‘ද බෑන්කර්’ සඟරාව ප්‍රධාන නිර්ණායකයක් ලෙස භාවිත කරන පළමු පෙළ ^Tier I& ප්‍රාග්ධනයෙහි සියයට 12.1ක වර්ධනයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ අනෙකුත් බැංකු අබිබවා අංක 1 ස්ථානය හිමිකර ගැනීමට කොමර්ෂල් බැංකුව සමත් විය. විශේෂයෙන්ම මෙලෙස ලොව පිළිගත් ප්‍රමුඛතම බැංකු ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවට කොමර්ෂල් බැංකුව ඇතුළත් වූ 14 වැනි අවස්ථාව මෙය වන අතර එය ශ්‍රී ලාංකික මූල්‍ය ආයතනයක් විසින් ලබාගත් වැඩිම ඇතුළත් වීම් සංඛ්‍යාවද වෙයි. එමෙන්ම මෙම ප්‍රමුඛතම ගෝලීය බැංකු 1000 ලැයිස්තුවට ඇතුළත් වූ ශ්‍රී ලංකාවේ පළමු බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ක්ෂේත්‍රය තුළ නව ප්‍රමිතියක් ද ඇති කර ඇත.
මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා මෙසේ අදහස් දැක්වීය. “මෙවැනි ගෝලීය ශ්‍රේණිගත කිරීමකදී ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස පිළිගැනීම අපට විශාල ගෞරවයක් වන අතර එය අපගේ ශක්තිමත් ප්‍රාග්ධන කළමනාකරණය, වෙනස් වන වෙළෙඳපොළ තත්වයට සාර්ථකව මුහුණ දීමේ හැකියාව සහ දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කිරීමේ කැපවීම පිළිබිඹු කරයි. මෙම ඇගයීම අනාගත බැංකුකරණය සඳහා ශක්තිමත් පදනමක් ගොඩනැගීමට අපගේ කැපවීම තවදුරටත් තහවුරු කරයි.” 
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, “ද බෑන්කර් සඟරාව වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුව බැංකු ක්ෂේත්‍රයේ ඉහළම පිළිගැනීම හිමි ශ්‍රේණිගත කිරීමයි. එම ලැයිස්තුවට 14 වැනි වරටත් ඇතුළත් වීම අපගේ ශක්තිය සහ ස්ථාවරත්වය පිළිබඳ වැදගත් සාක්ෂියකි. කොමර්ෂල් බැංකුව සමග ගනුදෙනු කරන සියලු‍ම පාරිභෝගිකයන්ටද මෙය ඔවුන් තැබූ විශ්වාසය තහවුරු කරන ඇගයීමක්,” බවයි.
ලොව විශාලතම බැංකු 5,000කට අධික සංඛ්‍යාවක දත්ත සමුදායකින් සම්පාදනය වන ‘ද බෑන්කර්’ සඟරාවේ ප්‍රමුඛතම බැංකු 1000 ශ්‍රේණිගත කිරීම බැංකුවල ශක්තිය හා ස්ථාවරත්වය මැන බැලීමේ වඩාත්ම පිළිගත් ජාත්‍යන්තර මිනුම් දණ්ඩක් ලෙස සැලකේ. මෙම ශ්‍රේණිගත කිරීම ප්‍රධාන වශයෙන් පළමු පෙළ ප්‍රාග්ධනය මත පදනම් වන අතර අනෙකුත් කාර්යසාධන දර්ශක රැසක් ද සැලකිල්ලට ගනු ලබයි.