
ඕනෑම නගරයක වෙළෙඳසලකට ගොඩවැදුණු විට LANKAQR ස්ටිකරයක් කවුන්ටරය අසල අලවා තිබෙනු දැකීම අද සාමාන්‍ය දසුනකි. එහෙත් එම QR කේතය ස්කෑන් කර ගෙවීම් කරන පාරිභෝගිකයකු දැකීම නම් තවමත් ඉතා දුර්ලභය. බොහෝ දෙනෙක් තවමත් පුරුදුව සිටින්නේ මුදල් නෝට්ටු භාවිතයට හෝ ඩෙබිට්/ ක්‍රෙඩිට් කාඩ්පතක් යන්ත්‍රයට යොමුකර ගෙවීම් සිදු කිරීමටය. මෙරට ඩිජිටල් ගෙවීම් සඳහා අවශ්‍ය තාක්ෂණික යටිතල පහසුකම් මනාව ස්ථාපිත කර තිබුණ ද, ජනතාව තම එදිනෙදා ගෙවීම් සඳහා තවමත් සම්පූර්ණයෙන්ම හුරු වී නොමැති බවට මෙය හොඳම නිදසුනකි.
ඉලක්කම් කියන ඇත්ත කතාව
මහ බැංකු දත්තවලට අනුව, 2025 වසර අවසන් වන විට LANKAQR සඳහා ලියාපදිංචි වී සිටි වෙළෙන්දන් සංඛ්‍යාව 460,990 දක්වා සියයට 9.6කින් ඉහළ ගොස් ඇත. එහෙත්, එම වසර තුළ සිදු වූ LANKAQR ගනුදෙනු ප්‍රමාණය සියයට 2.9කින් පහත වැටී මිලියන 1.15 ක් ලෙස සටහන් වී ඇත. එහි සමස්ත වටිනාකම ද සියයට 9.4කින් බිඳවැටී රුපියල් බිලියන 4.8 ක් බවට පත් වී ඇත. ලියාපදිංචි වී සිටින මුළු වෙළෙන්දන් සංඛ්‍යාවෙන් මෙම ගනුදෙනු ප්‍රමාණය බෙදා බැලුවහොත්, එක් වෙළෙන්දකු වසරකටම සිදුකර ඇත්තේ, QR ගෙවීම් 3 කටත් වඩා අඩු සංඛ්‍යාවකි.
අනෙක් පසින්, කාඩ්පත් භාවිතය (POS Terminals) වේගයෙන් ඉහළ යමින් පවතී. 2025 දී POS හරහා සිදු වූ ගනුදෙනු ප්‍රමාණය සියයට 21.6 කින් වැඩි වී මිලියන 438 ක් වූ අතර, එහි වටිනාකම රුපියල් ට්‍රිලියන 2 ක් විය. සමස්ත කාඩ්පත් ගනුදෙනු සංඛ්‍යාව හා සැසඳීමේදී LANKAQR හරහා සිදුව ඇත්තේ සියයට 0.3 ක තරම් ඉතා ක්ෂුද්‍ර ගනුදෙනු ප්‍රමාණයකි.
එසේ නම්, ශ්‍රී ලාංකිකයන් ඩිජිටල් ගෙවීම්වලට අකමැතිද? නැත. 2025 වසරේදී CEFTS (ඔන්ලයින් බැංකු මුදල් හුවමාරු) හරහා සිදු වූ ගනුදෙනු ප්‍රමාණය සියයට 28.4 කින් ඉහළ ගොස් මිලියන 260.1 ක් ලෙස සටහන් වී ඇත. මෙයින් පැහැදිලි වන්නේ ජංගම දුරකතන යෙදවුම් (Mobile Apps) හරහා මුදල් හුවමාරු කිරීමට ජනතාව බිය නැති නමුත්, වෙළෙඳසලකට ගොස් QR කේතයක් ස්කෑන් කර ගෙවීමේ පුරුද්ද තවමත් අප අතර ගොඩනැගී නොමැති බවයි.
සුළු ව්‍යාපාරිකයාට ලැබෙන සැබෑ සහනය
සාම්ප්‍රදායික කාඩ්පත් යන්ත්‍රයක් (POS Terminal) පවත්වාගෙන යාම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට විශාල පිරිවැයකි. එහෙත් LANKAQR යනු කිසිදු ආරම්භක පිරිවැයක් නොමැති, කුඩා වෙළෙඳසල්, පදික වෙළෙන්දන්, ත්‍රිරෝද රථ රියැදුරන් සහ කැෆෙ වැනි ව්‍යාපාර සඳහාම හඳුන්වා දුන් ඉතා සහනදායී විසඳුමකි.
මෙහි ඇති ප්‍රධානතම වාසිය නම් බොහෝ අවස්ථාවලදී කිසිදු නඩත්තු වියදමකින් තොරව මුද්‍රිත QR ස්ටිකරයක් කවුන්ටරයේ අලවා තැබීම පමණක් ප්‍රමාණවත් වීමයි. එසේම මුදල් ගිණුමට ලැබුණු බව දැන ගැනීමට සාමාන්‍ය ජංගම දුරකතනයකට SMS පණිවිඩය ප්‍රමාණවත් වන අතර, අය කෙරෙන උපරිම වෙළෙඳ වට්ටම් අනුපාතය ද සියයට 1කි. මාරු මුදල් සෙවීම, දවස අවසානයේ මුදල් ගණන් කිරීම සහ බැංකුවල තැන්පත් කිරීමට යාම සඳහා සිදුවන වෙහෙස ආදී අපහසුතා ද මේ හරහා සම්පූර්ණයෙන්ම නැති වී යයි.
අපට වැරදුණේ කොතැනද? ඉන්දියාවෙන් සහ කෙන්යාවෙන් ඉගෙනගත හැකි පාඩම්
අපගේ කලාපීය අසල්වැසියා වන ඉන්දියාව දෙස බලන විට “UPI” ගෙවුම් පද්ධතිය එරට ජන ජීවිතයේ අත්‍යවශ්‍ය කොටසක් වී අවසන්ය. 2026 ජූනි මාසයේදී පමණක් ඉන්දියාවේ UPI ගනුදෙනු බිලියන 22.72 ක් සිදු වී ඇති අතර, එරට වෙළෙන්දෝ මිලියන 65 කට අධික සංඛ්‍යාවක් මෙම පද්ධතිය භාවිත කරති.
ඉන්දියාවේ මෙම සාර්ථකත්වයට ප්‍රධාන හේතු කිහිපයක් බලපා ඇත. එක් එක් බැංකුවට වෙන වෙනම QR නොමැතිව ඕනෑම බැංකු ඇප් එකකින් ස්කෑන් කළ හැකි පොදු ක්‍රමවේදයක් පැවතීම, කුඩා ගනුදෙනු සඳහා වෙළෙන්දන්ගෙන් හෝ පාරිභෝගිකයන්ගෙන් ගාස්තු අය නොකිරීම සහ එදිනෙදා බස් ගමනේ සිට එළවළු මිලදී ගැනීම දක්වා සෑම තැනකදීම QR භාවිතයට පහසුකම් සැලසීම ඊට හේතු විය.
තවත් පසෙකින් කෙන්යාව ‘M-Pesa’ වැනි ජංගම දුරකතන පදනම් කරගත් මුදල් හුවමාරු (Mobile Money) පද්ධති හරහා ඩිජිටල් විප්ලවයක් සිදු කර ඇත. 2026 මැයි වන විට කෙන්යාවේ මොබයිල් මනි ගිණුම් සංඛ්‍යාව මිලියන 94 ක් ඉක්මවා තිබූ අතර, නියෝජිතයන් මගින් සිදුවන ගනුදෙනු ප්‍රමාණය මිලියන 214 කට අධික විය.
ලංකාවේ LANKAQR අපේක්ෂිත තරම් සාර්ථක නොවීමට තවත් එක ප්‍රධාන හේතුවක් වන්නේ වෙළෙඳසල් හිමියන් සහ සේවකයන් තුළ පවතින නොදැනුවත්කමයි. ගෙවීමක් සාර්ථකව සිදු වූයේ දැයි තහවුරු කරගන්නා ආකාරය, පාරිභෝගිකයකු පෙන්වන “Screenshot” එකක් සහ සැබෑ ගෙවීමක් අතර වෙනස හඳුනාගැනීම පිළිබඳව වෙළෙඳ සේවකයන් දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වේ.
මුදල් අච්චු ගැසීමේ පිරිවැය සහ ඩිජිටල් අනාගතය
මහ බැංකු දත්තවලට අනුව, සංසරණය වන මුදල් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.57 දක්වා ඉහළ ගොස් ඇති අතර, එයින් ට්‍රිලියන 1.25 ක්ම පවතින්නේ මහජනතාව භාරයේය. 2024 වසරේදී රුපියල් බිලියන 2.95 ක් වූ මෙරට මුදල් නෝට්ටු මුද්‍රණ පිරිවැය, 2025 වන විට සියයට 37.1 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 4.04 ක් දක්වා වැඩි වී තිබේ.
සෑම වසරකම නෝට්ටු මුද්‍රණය කිරීමට, පරණ වූ නෝට්ටු වෙනුවට අලුත් නෝට්ටු නිකුත් කිරීමට, මුදල් ප්‍රවාහනය කිරීමට සහ ආරක්ෂාවට රජය සහ බැංකු පද්ධතිය වැය කරන්නේ රටේ ජනතාවගේ ධනයයි.
අප ඩිජිටල් ගෙවීම් වෙත යොමුවීම යනු හුදෙක් එම කර්තව්‍යය පමණක්ම නොවේ. එය මුදල් නෝට්ටු මුද්‍රණයට යන රුපියල් බිලියන ගණනක පිරිවැය ඉතිරි කරමින්, මෙරට අවිධිමත් ව්‍යාපාර නිත්‍යානුකූල මූල්‍ය පද්ධතියට එකතු කරගන්නා ජාතික කාර්යභාරයකි.
ඊළඟ වතාවේ නගරයේ කඩයකින් තේ එකක් බොන විට, එළවළු ටිකක් හෝ පොතක් මිලදී ගන්නා විට, ගෙවීමට මුදල් නෝට්ටු සෙවීමට ප්‍රථම ඔබේ ජංගම දුරකතනය අතට ගෙන QR කේතය ස්කෑන් කිරීමට පුරුදු වන්න. මන්ද, ඒ කුඩා ස්කෑන් කිරීම පිටුපස රටේ විශාල මූල්‍ය අනාගතයක් රැඳී පවතින බැවිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd