IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


කෝටි ගණනක් ගිලදමු කයිකාවල වරාය ව්‍යාපෘතිය

 

  • මේ වරාය ව්‍යාපෘතිය අසාර්ථක ව්‍යාපෘතියක් ලෙස බලධාරීන්ට තේරැම් යන විටත් ඒ සඳහා රැපියල් කෝටියකට අධික මුදලක් වැයකරලා
  • කයිකාවල ධීවර වරායට මුල්ගල් තබා දැන් දස වසරකටත් වැඩියි. අද වන විට මුල්ගල දකින්නවත් නෑ
  • කයිකාවලට වරායක් නැති නිසා ඔවුන්ගේ ධීවර යාත්‍රා ගාල් කරන්න තැනක් නෑ
  • ධීවර වරාය හදන්න ගෙනා ලොකු කළු ගල් වෙරළේ තැන් තැන්වල ගොඩ ගහලා
  • කුඹුරැවල වැඩි ජලය මුහුදට බැස යාමට තිබුණු ඇළ මාර්ගයත් ඇහිරිලා
  • මේ අවනඩුව අදාළ බලධාරීන්ට කිව්වා. ඒත් තවම වැඩක් වුණේ නැහැ

 කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත සහ පිටිගල ඩී.ජේ.විජේසිංහ


රටට ගමට කිසිදු සෙතක් නැති රටේ ආර්ථිකය නැතිභංගස්ථාන කිරීමට උර දුන් අසාර්ථක ව්‍යාපෘති ගාලු‍ දිසාවේ රැසක් තිබේ. ඒ අතරින් අසාර්ථකව වැඩ අතරමග නතර කළ ධීවර වරායද එකකි. එහි පෙරමුණේම තිබුණේ පැරෑලිය ධීවර වරාය ව්‍යාපෘතියයි. අපි මීට ප්‍රථම ඒ ගැන මේ පිටුවෙන් අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කළෙමු. දැනට එම පුවතට සාර්ථක ප්‍රතිඵල ලැබෙමින් පවතී. අදාළ බලධාරීන්ගේ අවධානය එම පුවතට යොමුවී අප පෙන්වාදුන් පරිදි මේ අසාර්ථක ව්‍යාපෘතිය පිළිබඳව සම්පූර්ණ පරීක්ෂණයක් මේ වනවිටත් සිදුවෙමින් පවතී.
තවත් මෙවන් සුදු අලියකුවන් ධීවර වරායක් ගාලු‍ දිසාවේම තිබේ. මෙය පිහිටියේ බෙන්තොට ප්‍රාදේශීය සභාවට අයත් ඉඳුරුව කයිකාවල ප්‍රදේශයේය. කයිකාවල ධිවර වරාය ලෙස මෙය හඳුන්වනු ලැබේ. මේ ධීවර වරායේද ඉදිකිරීම් අද නතරවී ඇත. පැරෑලිය මෙන්ම මේ ධීවර වරාය ඉදිකිරීමට යයි කියමින් මුල් ගල්ද තැබිණ. ඒ ඉඳුරුව කයිකාවල ප්‍රදේශයේ තෝරාගත් වෙරළ තීරයකය. ඉඳුරුවේ ධීවරයන් මේ ස්ථානය එදා ප්‍රයෝජනයට ගත්තේ නැංගූරම් පොළක් ලෙසය. ඒ නිසාම එදා ඉඳුරුවේම ධීවරයන් සිය ධීවර යාත්‍රා ගාල් කළේ මේ ස්ථානයේය. මේ නැංගූරම් පොළ ධීවර වරායක් ලෙස උසස් කර දෙන්නැයි ඉඳුරුවේ ඇතැම් ධීවරයෝ එවකට පැවති ආණ්ඩුවලින් ඉල්ලා සිටියහ. මෙය හොඳ ඡන්ද ඉල්ලමක් ලෙස සැලකූ ඇතැම් දේශපාලකයෝ කයිකාවලට ධීවර වරායක් ඉදිකරදීමට පොරොන්දු  වූහ. එහෙත් ඉඳුරුව ධීවරයන්ගේ නොපසුබට උත්සාහයට පින්සිදු වන්නට දේශපාලකයන්ට කයිකාවලට ධීවර වරායක් ලබාදීමට සිදුවිය. ඔවුහු උත්සවයක් පවත්වා මේ ස්ථානයේ ධීවර වරායක් ඉදිකිරීමට මුල්ගල් තැබූහ. මේ වරාය ව්‍යාපෘතිය අසාර්ථක ව්‍යාපෘතියක් ලෙස බලධාරීන්ට,නිලධාරීන්ට තේරුම් යන විටත් ඒ සඳහා රුපියල් කෝටියකට අධික මුදලක් වැයකර තිබේ. මෙවැනි අසාර්ථක ව්‍යාපෘති හඳුන්වා දෙමින් ජාතියේ මුදල් කාබාසිනියා කළ ඇත්තෝ කවරහුද?
කයිකාවල ධීවර වරාය සඳහා මුල්ගල් තබා දැන් දස වසරකටත් වැඩිය. අද වන විට තැබු එම මුල්ගල දක්නටවත් නැත. මේ මුල් ගල තැබීමේ උත්සවයට පමණක් ලක්ෂ ගණනක් වැය කරන්නට ඇති බව ප්‍රදේශවාසීහු අප සමග කීහ.
කයිකාවල ධීවර වරායට අත්වී ඇති ඉරණම පිළිබඳව විවිධ අය විවිධ කතා කීහ. ඔවුන්ගෙන් වැඩි දෙනා පැවසූවේ මෙවැනි ව්‍යාපෘති නිසා කයිකාවල ධීවර ජනතාව පමණක් නොව කයිකාවල කුඹුරු හිමියන්ද දැඩි අසීරුතාවට පත්වී ඇති බවය. මේ ඔවුන් කී කතාය.
බෙන්තොට ප්‍රාදේශීය සභා මන්තී ජේ.ඉඳුරුවගේ:- කයිකාවල ධීවර වරාය රටේ මුදල් කෝටි ගණන් කාබාසිනියා කරමින් මේ වන විට වැඩ අතහැර දමා තිබෙනවා. මේ ධීවර වරායට අත්ව ඇති අවාසනාවන්ත ඉරණම දැක්කාම අපිට ඇත්තේ දුකක්, කනගාටුවක් වගේම කේන්තියක්. මේ විදිහට නැති නාස්ති කළේ ජනතාවගේ මුදල්. එක්කෝ මේ වගේ ව්‍යාපෘති කරන කොට මේවා සාර්ථක ඒවාද අසාර්ථක ඒවාද කියලා පරීක්ෂණ කරන්න ඕන. අඩුම තරමින්වත් ඒ පිළිබඳව සොයා බලන්න ඕන. මේ දෙකම කෙරිලා නැහැ කියලා අපිට දැන් විශ්වාසයි. මේ අය කයිකවල සහ ඒ අවට ධීවරයන් රැවැට්ටුවා.
මේ ස්ථානයේ වරායක් හදන්න මුල්ගල තබන විට කයිකාවල ධීවරයන්ගේ හිත් සතුටිමන් පිරුණා. එහෙත් කාලයක් යන කොට තමයි කයිකාවල ධීවර වරාය හීනයක් කියලා දැන ගන්න ලැබුණේ. මේ වරායේ ඉදිකිරීම් වැඩ අතරමග නතර කරලා දැන් ධීවරයන්ට විතරක් නෙමෙයි මුළු කයිකාවලටම ප්‍රශ්නයක් වෙලා.
ලයනල් වීරසිංහ :- කයිකාවල ධීවර වරාය දැන්නම් සුදු අලියෙක් වෙලා. රුපියල් කෝටි ගණනක් ගිලපු සුදු අලියෙක්. මේ සුදු අලියට යට කළේ රජයේ මුදල්. කයිකාවල ධීවරයන්ට ධීවර වරායක් අවශ්‍යයි. කයිකාවල ධීවරයන්ට වරායක් නැති නිසා ඔවුන්ගේ ධීවර යාත්‍රා ගාල් කරන්න තැනක් නැති වෙලා. ඒ අයට තමන්ගේ ධීවර යාත්‍රා ගාල් කරන්න වෙන වෙන ධීවර වරාය සොයාගෙන යන්න වෙලා. මේක ඒ අයට කරන ලොකු අසාධාරණයක් වගේම විශාල කරදරයක්.
කෝටි ගණනක් රජයේ මුදල් කාබාසිනියා කරලා ව්‍යාපෘතිය අතරමග නතර කරලා දැමීම ජාතික අපරාධයක්. මේ වරාය හදන්න අරගෙන අවුරුදු දහයකට වැඩියි. වියදම් කරපු මුදල කෝටි ගණනක්. මේ මුදල් වියදම් කළේ කාගේ අනුදැනුම යටතේද. 
කමල් ද සොයිසා :- කයිකාවල ධීවර වරාය හදන්න ගෙනා ලොකු කළු ගල් වෙරළේ තැන් තැන්වල ගොඩ ගහලා. සමහර කළු ගල් තොග තිබූ තැනක්වත් සොයා ගන්න බැරි විදිහට කැලෑවට යටවෙලා. මේ කළු ගල් ඉවත් කරන්නත් බැහැ.
කයිකාවල ධීවරයන්ට මේ වැඬේ හරියට මිරිස් දීලා ඉඟු‍රු ගත්තා වගේ වැඩක්. අතරමග නතර කරලා තිබෙන මේ ධීවර වරායේ වැඩ කවදා ඉවර කරයිද මන්දා. අපි එතකන් බලාගෙන ඉන්නවා. දියුණු වෙමින් පවතින අපි වගේ රටකට මේ වගේ අසාර්ථක ව්‍යාපෘති ගැළපෙන්නේ නැහැ.
බෙන්තොට ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී මධුභාෂිකා දිල්හානි :- මේ වරාය හදන්න කියලා ගෙනාවා ලොකු කළුගල්. මේ කළු ගල් වරාය හැදීමට ගෙන ආ අවස්ථාවේදී ඒවා ගත්තේ කිරලා. ඒ සඳහා රුපියල් ලක්ෂ ගණනක් වටිනා බිම් තරාදියක් වරාය භූමියේ හයි කළා. මුහුද ආසන්නයේ නිසා එම බිම් තරාදිය මේ වනවිට විශාල වශයෙන් දිර දිර යනවා. මේ වගේ විනාශවෙවී යන ජාතික සම්පත් රැසක්ම මේ වරාය භූමියේ තිබෙනවා.
ඒ. රංජිත් :- ධීවර වරාය හදන්න පටන් ගැනීමත් සමගම කුඹුරුවල වැඩි ජලය මුහුදට බැස යාමට තිබිණු ඇළ මාර්ගය ඇහිරිලා. දැන් ඒ කුඹුරුවලිනුත් වැඩක් ගන්න බැරිවෙලා. එක ව්‍යාපෘතියකින් පාඩු දෙකයි. අපි මේ අවනඩුව අදාළ බලධාරීන්ට කිව්වා. ඒත් තවම වැඩක් වුණේ නැහැ. වැඩක් වෙන පාටකුත් නැහැ.
කයිකාවල ධීවර වරායේ ඉදිකිරීම් වැඩ අතර මග නතර කරලා දැමීමෙන් කයිකාවල ධීවරයන්ට වගේම ප්‍රදේශවාසීන්ටත් දැන් මේක ලොකු ප්‍රශ්නයක් වෙලා. ධීවර වරාය හදන බිමේ ඇති අංග සම්පූර්ණ දෙමහල් ශාලාව මේ වනවිට තියෙන්නේ විනාශ වෙමින්. මෙවැනි ගොඩනැගිල්ලක් හදන්න මේ කාලයේ හැටියට රුපියල් කෝටි ගණනක් වැය කරන්න ඕන. වරායේ තැන්පත් කරන ගල්වලට දාන්න ගෙනා කම්බි දැල් තොගයක්ද එහි පැත්තක විනාශ වෙමින් තියෙනවා.
අපි මේ පිළිබඳව බෙන්තොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, ගාලු‍ දිසා පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතාගෙන් විමසූවෙමු. ඒ මහතා මෙසේ කීවේය.
කයිකාවල ධීවර වරායේ ඉදිකිරීම් නැවතිලා දැන් කාලයක් වෙන බව ඇත්ත. මේක පහුගිය කාලවලදී කරපු වැඩක්. එහි බර අදින්න වෙලා තියෙන්නේ අපිට. අපි උත්සහා ගන්නවා මේ ධීවර වරාය හදන්න පුළුවන්ද කියලා.



අදහස් (0)

කෝටි ගණනක් ගිලදමු කයිකාවල වරාය ව්‍යාපෘතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1666 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1408 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 501 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site