මෙම ලිපිය ආයෝජකයන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම සහ දැනුවත් මූල්‍ය තීරණ ගැනීමට අවශ්‍ය මගපෙන්වීමක් ලබාදීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් සකස් කරන ලද ලිපියකි.
කොටස් වෙළෙඳපොළක් යනු ආයෝජකයන් විසින් ලැයිස්තුගත සමාගම්වල කොටස් මිලදී ගැනීම හා විකිණීම සිදුකරනු ලබන ස්ථානයයි. ශ්‍රී ලංකාව තුළ එසේ කොටස් මිලදී ගැනීම හා විකිණීම සිදුවන්නා වූ ස්ථානය කොළඹ කොටස් වෙළෙඳපොළයි. එය ද්විතියික වෙළෙඳපොළ ලෙස ද හඳුන්වනු ලබයි. එය කොටස් වෙළෙඳපොළක් ලෙස ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙන් බලපත්‍ර ලබා ඇත. කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්වල කොටස් මිලදී ගන්නා ආයෝජකයන්ට එම සමාගම්වල කොටස් අයිතිකරුවන් බවට (කොටස් හිමියන්) පත්වීමටත් එම සමාගම් විසින් ගෙවන ප්‍රතිලාභ භුක්ති විඳීමටත් අවස්ථාව සැලසේ.
දිගුකාලීන ආයෝජනයක් ලෙස මෙහි වැදගත්කම පැති කිහිපයක් ඔස්සේ සාකච්ඡා කළ හැකිය. එක් පසකින් කොටස් මිල ගණන් ඉහළ යාම හරහා ආයෝජකයන්ට ආදායමක් (ප්‍රාග්ධන ලාභයක්) උපයා ගැනීමට කොටස් වෙළෙඳපොළ උපකාරී වේ. තවත් පසෙකින් ව්‍යාපාරවලට අරමුදල් සපයා ගැනීමටත්, එම අරමුදල් සමාගම්වල වර්ධනයට සහ නව ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා යොදා ගැනීමට උපකාරී වේ. සුරක්ෂිතභාවය අතින් ගත් විටද කොටස් වෙළෙඳපොළ යනු දිගුකාලීන වගකීමක් සහිත නිවැරදි ආයෝජන තේරීමකි. කොටස් වෙළෙඳපොළක දක්නට ලැබෙන තවත් විශේෂ වැදගත්කමක් වන්නේ එය රටක ආර්ථික වර්ධනයට දායකත්වයක් සැපයීමයි. කිසියම් රටක කොටස් වෙළෙඳපොළ සක්‍රීය වීම එරට ආර්ථිකයේ තිරසාර වර්ධනයක් සඳහා දායක වේ.
ආයෝජකයන්ට, ව්‍යාපාරවලට සහ ආර්ථිකයට ප්‍රතිලාභ ලැබිය හැකි සහ විශේෂ වැදගත්කමක් දක්වන ආයෝජන ක්ෂේත්‍රයක් ලෙස මෙම කොටස් වෙළෙඳපොළ ආයෝජනය හැඳින්විය හැකිය. එසේම කොටස් වෙළෙඳපොළ ආයෝජනය යනු දිනෙන් දින වෙනස් වන තොරතුරුත් සමග යාවත්කාලීන වෙමින් සිදුකළ යුතු ආයෝජනයකි. කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු කරන ආකාරය පියවරෙන් පියවර විමසා බැලීම මෙම ලිපියේ මූලික අරමුණ වන අතර කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන නවක ආයෝජකයන්ට මෙන්ම දැනට ආයෝජනය කරන්නන්ටද මෙම ලිපිය කියවීම ඉතා වැදගත් වේ.
පළමුවෙන් කළ යුතු වන්නේ මනා හැදෑරීමක් කිරීමයි
කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කරන්නකු පළමුවෙන්ම කළ යුතු වන්නේ කොටස් වෙළෙඳපොළ ආයෝජනය පිළිබඳව මූලික දැනුමක් ලබා ගැනීමයි. (Educate Yourself) නැතහොත් මනා හැදැරීමක් කිරීමයි. කොටස් වෙළෙඳපොළට මුලින්ම පිවිසෙන අයකුට කොටසක් යනු කුමක්ද? කොටස් වෙළෙඳපොළක් යනු කුමක්ද? කොටස් වෙළෙඳපොළෙහි පවතින කොටස් මිල ගණන්වල ඉහළ යාම සහ පහත වැටීම (බුල් මාර්කට් සහ බෙයාර් මාර්කට් තත්වය) සිදුවන්නේ කෙසේද? ගනුදෙනු වන සුරැකුම්පත් වර්ග මොනවාද (සාමාන්‍ය කොටස්, වරණිය කොටස්, සමාගම් ණයකර ආදී) කොටස් වෙළෙඳපොළ ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවාද සහ ආයෝජනයේදී ආයෝජකයාට ලැබෙන ආරක්ෂාව කුමක්ද යනාදී වශයෙන් අවබෝධයක් තිබිය යුතුය.
එවැනි අවබෝධයක් ලබා ගැනීමට අපේක්ෂා කරන ආයෝජකයකුට, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ වෙබ් අඩවිය වන www.sec.gov.lk, කොළඹ කොටස් හුවමාරුවේ (CSE) වෙබ් අඩවිය වන www.cse.lk, වෙත පිවිසීමෙන් මෙම විස්තර ලබාගෙන තම දැනුවත්භාවය ඉහළ නංවාගත හැකිය. එම ආයතනවල සමාජ මාධ්‍ය නාලිකා හරහා (FB, Twitter (X) YouTube වැනි) භාෂා ත්‍රිත්වයෙන්ම සිදුකරන පළකිරීම්ද ඒ සඳහා ප්‍රයෝජනයට ගත හැකිය. මීට අමතරව මෙම ආයතන මගින් නොමිලේ සිදු කරනු ලබන වැඩමුළු, සම්මන්ත්‍රණ, ආදියට සම්බන්ධ වී දැනුම ඉහළ නංවාගත හැකිය. එසේම ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් වෙළෙඳපොළ පවත්වනු ලබන විවිධ පාඨමාලා හැදෑරීමටත් එම ආයතන මගින් පළ කරනු ලබන පොත්පත්, සහ වෙනත් අධ්‍යාපන ප්‍රකාශන ද පරිශීලනය කළ හැකිය.
ආයෝජන අරමුණු/ ඉලක්ක තීරණය කිරීම
කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කිරීමට අපේක්ෂා කරන ආයෝජකයන් තමන්ගේ වයස, ආදායම, දරාගත හැකි අවදානම ගැන අවධානය යොමු කරමින් තම අනාගත ආයෝජන අරමුණු තීරණය කළ යුතුය. එය ආයෝජනය සාර්ථකව පවත්වාගෙන යාමට උපකාරී වේ. උදාහරණ ලෙස යම් ආයෝජකයකු තරුණ වයසේ පසුවන්නකු නම් ඔහුට වැඩි අවදානමක් ගත හැකි අතර ඔහුට වසර 5ක් හෝ 10ක් වැනි දිගු කාලයකට ආයෝජනය කළ හැකිය. තම අරමුදල් රඳවා තබාගත හැකි කාලය අනුව ආයෝජනය දිගුකාලීව හෝ කෙටිකාලීනව පවත්වාගත හැකිය. කිසියම් ආයෝජකයකුගේ අනාගත අරමුණු මොනවාද යන්න උදාහරණ ලෙස නිවසක් ඉදිකිරීම, වාහනයක් මිලදී ගැනීම, තම දූ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මුදල් වෙන් කිරීම ආදී දිගුකාලීන සහ කෙටිකාලීන අරමුණු පෙන්වා දිය හැකිය. මේ අනුව කිසියම් ආයෝජකයකු කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් මෙම කරුණු පිළිබඳව ප්‍රථමයෙන් අවධානය යොමුකළ යුතු අතර එය සාර්ථක ආයෝජනයකට ගැලපෙන නිවැරදි පියවරක් ද වේ.
කොටස් වෙළෙඳපොළෙහි ගනුදෙනු කිරීමට CDS ගිණුමක් විවෘත කර ගැනීම
බැංකුවක ගනුදෙනු කිරීමට බැංකු ගිණුමක් ආරම්භ කළ යුතුය. එසේම කොටස් වෙළෙඳපොළෙහි ගනුදෙනු කිරීමටද කොළඹ කොටස් හුවමාරුවේ මධ්‍යම තැන්පතු ක්‍රමය (CDS) තුළ CDS ගිණුමක් ආරම්භ කළ යුතු වේ. ඒ සඳහා ආයෝජකයකුට ක්‍රම දෙකක් භාවිත කළ හැකිය. එනම් කොටස් තැරැව්කාර ආයතනයට ගොස් ගිණුමක් ආරම්භ කර ගැනීම හා කොටස් වෙළෙඳපොළ විසින් හඳුන්වා දී ඇති CSE Mobile App පහසුකම හරහා තමන් තනිවම ගිණුමක් ආරම්භ කර ගැනීමයි. බොහෝ ආයෝජකයන් වර්තමානය වන විට තම ස්මාර්ට් ජංගම දුරකථනය භාවිත කර CSE Mobile App පහසුකම බාගත කරගෙන තමා විසින්ම CDS ගිණුමක් ආරම්භ කිරීම වැඩි වශයෙන් දැකගත හැකිය. එම CSE Mobile App පහසුකම බාගත කර ගැනීම එතරම් අපහසු කාර්යයක් නොවන අතර තම ජංගම දුරකථනයේ “Google play” හෝ “Play Store” වෙතින් එය බාගත කරගත හැකිය.
මෙම CSE Mobile App පහසුකම හරහා CDS ගිණුම ආරම්භ කර ගැනීමට උත්සාහ කරන්නකු කලින් සූදානම් කරගත යුතු විස්තර කිහිපයක් ඇත. ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපත්, ඊ-මේල් ලිපිනයක්, බැංකු ගිණුම් විස්තර, ස්ථිර පදිංචිය සනාථ කිරීම සඳහා යම් ලියවිලිවල පිටපත් ආදිය එම විස්තරවලින් කිහිපයකි. එම විස්තර සූදානම් කරගත් පසු තමා බාගත කරගත් CSE Mobile App එකෙහි මුලින් ලියාපදිංචි විය යුතුය. අනතුරුව පියවරෙන් පියවර ඉහත විස්තර ද ඇතුළත් කරමින් ඉදිරියට යා යුතුය. එම පියවර අතර එක් විශේෂ පියවරක් වන්නේ ආයෝජකයා විසින් කොටස් තැරැව්කාර ආයතනයක් තෝරා ගැනීමයි.
කොටස් තැරැව්කාර ආයතනයක් තෝරා ගැනීම
තම ස්මාර්ට් ජංගම දුරකථනය හරහා CDS ගිණුමක් විවෘත කරගන්නා ක්‍රමවේදය තුළ ඉහත කී අයුරින් පියවරෙන් පියවර ඉදිරියට යාමේදී තමන්ට කැමැති කොටස් තැරැව්කාර ආයතනයක් තෝරා ගැනීමේ පියවර ද සම්පූර්ණ කළ යුතුය. වර්තමානය වන විට ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙන් බලපත්‍ර ලබා ඇති කොටස් තැරැව්කාර සමාගම් සංඛ්‍යාව 27ක් වන අතර ඉන් කැමැති ආයතනයක් තෝරාගත යුතු වේ. කොටස් ගනුදෙනු හා සම්බන්ධ සියලු කටයුතු ස්මාර්ට් දුරකථනය හරහා කර ගැනීමට හැකියාව තිබුණද, ආයෝජකයකු තමන් හොඳින් දන්නා, පහසුවෙන් සම්බන්ධ කරගත හැකි, පර්යේෂණ ඒකකයක් පවත්වාගෙන යන සහ තමා ජීවත් වන ප්‍රදේශයට සමීපව ක්‍රියාත්මක වන කොටස් තැරැව්කාර සමාගමක් තෝරාගැනීම ආයෝජකයාට වැදගත් විය හැකිය.
කොටස් තැරැව්කාර ආයතනයක් තෝරාගැනීමේ පියවරින් පසු සහ කොටස් තැරැව්කාර සමාගමේ ගනුදෙනුකරු හඳුනාගැනීමේ විස්තරද භාරදුන් පසු එම තොරතුරුවල අඩුපාඩු ඇත්නම් කොටස් තැරැව්කාර සමාගම විසින් නැවත ඒවා නිවැරදි කර එවන ලෙස අදාළ අයැදුම්කරු වෙත දැනුම් දෙයි. කොටස් තැරැව්කාර ආයතනය විසින් සියලු තොරතුරුවල නිවැරදිභාවය තහවුරු කර ගැනීමෙන් පසු කොළඹ කොටස් හුවමාරුවේ මධ්‍යම තැන්පතු ක්‍රමය වෙත දැනුම්දීමෙන් පසු මධ්‍යම තැන්පතු ක්‍රමය විසින් CDS ගිණුම විවෘත කළ බව ඊ-මේල් මගින් ආයෝජකයාට දැනුම් දෙනු ඇත. අනතුරුව කොටස් තැරැව්කාර ආයතනයේ ආයෝජන උපදේශකවරයා සමග සම්බන්ධ වෙමින් කොටස් මිලදී ගැනීම් සම්බන්ධව ඉදිරි පියවර සාකච්ඡා කරගත යුතු වේ.
කොටස් මිලදී ගැනීම සඳහා මුදල් තැන්පත් කිරීම
කොටස් මිලදී ගැනීමක් කිරීමට නම් ආයෝජකයා විසින් කොටස් තැරැව්කාර ආයතනය විසින් ලබාදෙන උපදෙස් අනුව ක්‍රියා කර එම ආයතනයේ බැංකු ගිණුම් අංකය වෙත මුදල් තැන්පත් කළ යුතු වේ. බොහෝ බැංකු ගනුදෙනු ද වර්තමානය වන විට ඔන්ලයින් හරහා සිදුකෙරෙන බැවින් ආයෝජකයන්ට වඩා පහසුවෙන් මුදල් තැන්පත් කිරීම් කළ හැකිය. එසේ නොමැති නම් ආයෝජකයකුට බැංකුව වෙත ගොස් කොටස් තැරැව්කාර ආයතනයේ බැංකු ගිණුමට මුදල් තැන්පත් කර තැන්පතු පත්‍රිකාව ඊ-මේල් මගින් තැරැව්කාර ආයතනය වෙත යැවිය හැකිය. ඉහත කුමන හෝ ආකාරයකට මුදල් තැන්පත් කළ බවට තහවුරු කර ගැනීමෙන් පසු ආයෝජකයාට කොටස් ගැනුම් ඇණවුම් ඉදිරිපත් කළ හැකිය.
කොටස් ගැනුම් හා විකුණුම් ඇණවුම් ඉදිරිපත් කිරීම (Buy orders and Sell orders)
කොටස් මිලදී ගැනීමට ප්‍රථමයෙන් ආයෝජකයාට, තමන් මිලදී ගැනීමට අපේක්ෂා කරන සමාගම් පිළිබඳව යම් ආකාරයක අවබෝධයක් තිබීම වැදගත්ය. තමා ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපාර ක්ෂේත්‍ර, සමාගම් සහ එම සමාගම් කුමන පුවරුවක් යටතේ ලියාපදිංචි වී ඇති ඒවාද (ප්‍රධාන පුවරුව, දිරිසවි පුවරුව යනාදී වශයෙන්) යන්න පිළිබඳව සොයා බැලිය යුතුය. සියලු ගැනුම් ඇණවුම් සහ විකුණුම් ඇණවුම් ආයෝජකයන් විසින් තම ආයෝජන උපදේශකවරයා වෙත භාරදිය යුතුය. මෙම ඇණවුම් ඊ-මේල්, වට්ස්ඇප්, ෆැක්ස් ආදී තහවුරු කළ හැකි ක්‍රමවේදයකට යැවීමට ආයෝජකයන්ට පහසුකම් සලසා දී තිබේ. එම ඇණවුම් පැහැදිලිව ලබා දීම ආයෝජකයාගේ වගකීමකි. එසේ තමා ලබාදුන් ඇණවුම් නිසි ලෙස සිදුවූවාද යන්න කොටස් තැරැව්කාර ආයතනය විසින් ගනුදෙනු දිනයේම එවනු ලබන ගනුදෙනු තහවුරු කිරීමේ ලේඛනයෙන් දැනගත හැකිය. එවැනි ලේඛන ගැන අප ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.
කොටස් මිලදී ගැනීම හා විකිණීම පිළිබඳ ඇණවුමක් භාරදීමේදී සමාගමේ නම, කොටස් ප්‍රමාණය සහ කොටසක මිල කුමක්ද යන්න ආයෝජකයා විසින් සඳහන් කළ යුතුය. මිලදී ගැනීමට සුදුසු සමාගම් පිළිබඳව ආයෝජකයන් මනා අධ්‍යයනයක් කර කොටස් මිලදී ගැනීම වැදගත්ය. ඒ සඳහා වැදගත් වන්නා වූ ලියකියවිලි ලෙස සමාගම්වල මූල්‍ය වාර්තා, වාර්ෂික වාර්තා, කොටස් තැරැව්කාර ආයතන විසින් ප්‍රකාශයට පත් කරන පර්යේෂණ වාර්තා ආදිය භාවිතයට ගත හැකිය. ඊට අමතරව තමන්ට යම් උපදෙසක් අවශ්‍ය නම් එය ද තම ආයෝජන උපදේශකවරයාගෙන් ලබාගත හැකිය.
කොටස් ආයෝජනය හා සම්බන්ධ සරල උදාහරණයක්
“සංජය” නමැත්තාගේ වයස 30ක් යැයි උපකල්පනය කරමු. ඔහුට බැංකු ඉතුරුම් තැන්පතු, ස්ථාවර තැන්පතු තිබුණද, වසර 5ක් තුළ වටිනා ආදායමක් ලබාගත හැකි ආයෝජනයක් ඔහු සොයමින් සිටී. එසේ ආයෝජන ක්‍රම ගැන සොයමින් සිටින අතරතුර ඔහුට කොටස් වෙළෙඳපොළ ආයෝජනය පිළිබඳව දැන ගැනීමට ලැබේ. ඒ සඳහා ඔහු ප්‍රථමයෙන් කළේ කොටස් වෙළෙඳපොළ ආයෝජනය ගැන මූලික දැනුමක් ලබා ගැනීමයි. ඔහු කොටස් වෙළෙඳපොළ ආයෝජනය ගැන හොඳින් අධ්‍යයනය කරන ලද අතර කොටස් මිල ඉහළ හෝ පහළ යා හැකි බව සහ කොටස් වෙළෙඳපොළ ආයෝජනයෙහි අවදානමක් පවතින බවත් එම අවදානම කළමනාකරණය කරගත හැකි බවත්, කොටස් මිල ඉහළ යන විට ප්‍රාග්ධන ලාභයක් (Capital Gain) ලැබිය හැකි බවත් සහ කොටස් ළඟ තබාගෙන සිටින විට ලාභාංශ (dividends) ලෙස අමතර ආදායමක් ලැබිය හැකි බවත් ඔහු අවබෝධ කර ගත්තේය.
ඉන් අනතුරුව ඔහු කොටස් ගිණුමක් (CDS) ආරම්භ කර ගන්නා ආකාරය කෙසේද යන්න කොටස් තැරැව්කාර ආයතනයකට ගොස් විස්තර ලබාගෙන අනතුරුව CSE Mobile App පහසුකම බාගත කරගෙන ඔහුගේ ජාතික හැඳුනුම්පත, බැංකු ගිණුමේ පිටපත, ලිපිනය තහවුරු කිරීම සඳහා අවශ්‍ය ලියවිලි ආදිය සූදානම් කර ගත්තේය. නිවැරදිව තොරතුරු ඇතුළත් කරමින් ඔහුට ගැලපෙන කොටස් තැරැව්කාර ආයතනයක්ද තෝරාගෙන එම CSE Mobile App පහසුකම හරහා CDS ගිණුමක් ආරම්භ කර ගැනීමට ඔහුට වැඩි කාලයක් ගත කිරීමට අවශ්‍ය නොවීය.
ඔහුගේ ආයෝජන ඉලක්කය වූයේ වසර 5ක් තුළ රු. 500,000ක් ආයෝජනය කර ලාබයක් ලබා ගැනීමයි. ඒ සඳහා ඔහු වෙළෙඳපොළ හොඳින් විශ්ලේෂණය කරමින් ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන සමාගම් කිහිපයක් තෝරාගෙන සාර්ථක ආයෝජන කළඹක් ගොඩනගා ගැනීමට තීරණය කළේය. එම කොටස් මිලදී ගැනීමට අදාළ රුපියල් 100,000 ක මුදලක් කොටස් තැරැව්කාර ආයතනයේ බැංකු ගිණුමෙහි තැන්පත් කර තැන්පතු පත්‍රිකාව කොටස් තැරැව්කාර ආයතනය වෙත යවා ඒ බව තහවුරු කළේය. ආයෝජන උපදේශකවරයාගේ උපදෙස් ද පිළිපදිමින් ඔහුගේ අවශ්‍යතාව අනුව මුල් ආයෝජනය ලෙස එක් සමාගමක රුපියල් 40,000ක කොටස්ද, දෙවැනි සමාගමෙන් රුපියල් 30,000ක් වටිනා කොටස්ද, තුන්වැනි සමාගමෙන් රුපියල් 30,000ක් වටිනා කොටස්ද මිලදී ගැනීම සඳහා ඇණවුම් ආයෝජන උපදේශකවරයා වෙත ලබා දුන්නේය.
මෙසේ මිලදී ගත් කොටස් වසරක පමණ කාලයක් CDS ගිණුමෙහි රඳවා තබාගනිමින් පවත්වාගෙන ගියේය. ඒ අතරතුර ඔහු වෙළෙඳපොළ ගැන හොඳින් අධ්‍යයනය කරමින් කොටස් මිලදී ගත් සමාගම්වල කාර්යසාධනය ගැන ද අවධානය යොමු කළේය. ඔහු කොතරම් කාර්යබහුල අයකු වුවත්, කොටස් මිල ගණන්, වෙළෙඳපොළ තොරතුරු ආදිය තම ජංගම දුරකථනයෙන්ම ලබාගත හැකි නිසා ඔහුට ආයෝජනය ගැන තොරතුරු ලබා ගැනීමට එතරම් වෙහෙසීමට අවශ්‍යතාවක් මතු නොවීය. මේ නිසා ඔහුට ආයෝජනය කළ සමාගම්වලින් ලාභාංශ ලෙස හොඳ ප්‍රතිලාභයකුත්, කොටස් වෙළෙඳපොළ සැලකිය යුතු මට්ටමක් දක්වා ඉහළ ගොස් තිබුණු බැවින් කොටස් විකුණා සෑහීමකට පත් විය හැකි ප්‍රාග්ධන ලාබයකුත් ලබා ගැනීමට හැකි විය. කොටස් වෙළෙඳපොළෙහි ගනුදෙනු ආරම්භ කර පවත්වාගෙන යමින් ප්‍රතිලාභ ලබන මට්ටම දක්වා ක්‍රියා කළ යුතු ආකාරය මෙම සරල උදාහරණය මගින් පැහැදිලි වේ.
කොටස් වෙළෙඳපොළ ආයෝජනය යනු මනා හැදැරීමකින් යුතුව, සංයමයකින් යුතුව, යාවත්කාලීන සහ නිවැරදි තොරතුරු මත පිහිටා සිදුකළ යුතු ආයෝජනයකි. එසේ ක්‍රියා කළහොත් කොටස් වෙළෙඳපොළෙන් තම ආයෝජනයට සරිලන ප්‍රතිලාභයක් ලබාගත හැකිය. ඒ සඳහා අනුගමනය කළ යුතු තවත් පියවර ගණනාවක් ඇති අතර අපගේ ඉදිරි ලිපි හරහා එම පියවර ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමු.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කොටස් වෙළෙඳපොළ ආයෝජනය පියවරෙන් පියවර
Chaminda Friday, 17 October 2025 11:40 AM
සුපිරියි....
SameeraThursday, 23 October 2025 04:19 PM
මට වැඩි විස්තර අවශ්‍යයි.
Nadeeshani Silva Saturday, 18 October 2025 12:26 PM
හොද ලිපියක්...
Samantha Rathnyaka Saturday, 18 October 2025 09:03 PM
CDC ඇප් එකේ කොටස් මිලදි ගත් පසු ඒවා දිස් වන ආකාරය, ඇප් එක හසුවරන විදිහ කියලා දෙන්න.
Dileep Sunday, 19 October 2025 04:34 PM
ඉතාමත්ම පැහැදිලියි.
B. L Dilshan Sunday, 19 October 2025 06:09 PM
ගොඩක් හොද පෝස්ට් එකක්...
Anjala Warnasooriya Sunday, 19 October 2025 06:15 PM
මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණය කරන විදිහ කියලා දෙන්න.
Bala Manage Keerthirathne Sunday, 19 October 2025 06:34 PM
ඉතා හොඳ දැනුම්වත් කිරීමක්...
Lakshitha prabath Sunday, 19 October 2025 06:45 PM
හොදයි...
Channa hashan Sunday, 19 October 2025 08:32 PM
සුපිරියි...
KDCR LIYANAGE Sunday, 19 October 2025 09:45 PM
ස්තුතියි...
vag Sapal Dinupriya Wednesday, 22 October 2025 08:05 AM
සුපිරියි.
Amila Ekanayaka Wednesday, 22 October 2025 10:22 AM
වටිනා ලිපියක්...
Niranjan Weerasekara Wednesday, 22 October 2025 11:17 AM
ඇත්තටම හොද ලිපියක්...
Anilka Sandyani Thursday, 23 October 2025 06:45 PM
ඉතා පහැදිලියි, Atrade app එක ගැන අවබෝධය මදියි. ඒක ගැන පැහැදිලි කරන්න.