IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


ආපදා තත්වය ආර්ථිකයට කෙසේ බලපාවීද?

දැනට නිකුත්ව ඇති (2012/12/01) නිල දත්ත මූලාංශ්‍රවලට අනුව පසුගිය සතිය තුළ දිත්වා සුළිකුණාටුව හේතුවෙන් රට මුහුණ දුන් ආපදා තත්වය වටිනා ජීවිත 390 කට අධික සංඛ්‍යාවක් අහිමි කර ඇති අතර 352ක් පමණ අතුරුදන්ව සිටී. ආපදාවේ බලපෑමට ලක්ව ඇති පුද්ගලයන්ගේ ගණන ආසන්න වශයෙන් මිලියන 1.4ක් පමණ වේ. වටිනා ජීවිත අහිමි වීම්වලට අමතරව, පෞද්ගලික සහ පොදු දේපලවලට අදාළව විශාල හානියක් සිදුව ඇති අතර ඒ පිළිබද තක්සේරුවක් මෙම අවස්ථාව වනවිට නිශ්චිතව ඉදිරිපත්ව නැත. පොදු දේපල අතර ආර්ථික සහ සමාජීය යටිතල පහසුකම්වලට සිදුව පවතින හානිය අති මහත් බව දැනටමත් පළවන වාර්තා අනුව හැඟේ. 
බොහෝ ජාත්‍යන්තර ආයතනවලට (ලෝක බැංකුව, ආසියානු සංවර්ධන වැනි) අනුව ශ්‍රී ලංකාව යනු පාරිසරික බලපෑම්වලට දැඩි අවදානමක් සහිත රටක් වේ. 1995-2024 කාලපරිච්ඡේදයට අදාළව මුහුණදුන් ස්වාභාවික විපත් හේතුවෙන් අහිමි වූ ජීවිත සහ ආර්ථික අලාබය පදනම් කර සකසන ලද ගෝලීය පාරිසරික අවදානම් දර්ශකයට (Global Climate Risk Index) අනුව, රටවල් 200ක් අතරින්, ශ්‍රී ලංකාව පසුවන්නේ 41 වැනි ස්ථානයේය. එමගින් අදහස් වන්නේ මෙරට තුළ සිදුවන ස්වාභාවික ආපදා සමාජ ආර්ථික පරිසරයට විශාල බලපෑමක් එල්ල කරන බවයි. මෙම ලිපියේ අරමුණ වන්නේ වත්මන් ආපදා තත්වය මෙරට ආර්ථිකට ඇතිකළ හැකි කෙටිකාලීන බලපෑම සාකච්ඡා කිරීම වේ. 


 2016 - ගංවතුර සහ නායයෑම්  ඇති කළ ආර්ථික බලපෑම 
2016 වසරේ මැයි මස මැදභාගයේ දී දිවයින පුරා ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව, වසර 18ක කාලයකට පසුව වාර්තා වූ ඉහළම වර්ෂාව වූ අතර ඒ හේතුවෙන්, මෙරට සියලු‍ම ප්‍රධාන ගංඟාවල ජල මට්ටම් ශීඝ්‍ර ලෙස ඉහළ යන ලදී. එහි ප්‍රතිඵලය වුයේ වසර 25කට පසුව අත්විඳින ලද ප්‍රබලතම ගංවතුර සහ නායයෑම් ඇතිවීම වේ. ආපදා කළමනාකරණ අමාත්‍යංශයට අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 25න්, 24ක් ගංවතුරේ බලපෑමට ලක්වීම විය. ගංවතුර සහ නායයෑම් හේතුවෙන් නිවාස 59,000කට පමණ හානි වූ අතර ඒ අතරින් නිවාස 6,000කට අධික සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම විනාශ විය. විශේෂත්වය වූයේ හානි වූ නිවාසවලින් සියයට 85ක්ම කොළඔ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඒවා වීමය. නායයෑම් හේතුවෙන් පවුල් 4,000ක් පමණ බලපෑමට ලක් වූ අතර ඒවා සියල්ලම පාහේ කෑගල්ල දිස්ත්‍රික්කයේ වීම විශේෂිතය. බලපෑමට ලක්වූ මුළු පවුල් ගණන ලක්ෂ 5කට ආසන්න වූ අතර වටිනා ජීවිත 93ක් අහිමි විය. පුද්ගලයන් 117 දෙනෙක් අතුරුදන් වූවන් ලෙස සටහන් විය.
ලෝක බැංකුවේ සහ යුරෝපා සංගමයේ අනුග්‍රහය මත සිදුකළ පශ්චාත් ආපදා අවශ්‍යතා අගැයීම (Post-Disaster Needs Assessment)  වාර්තාවට අනුව, 2016 මැයි මස සිදුවූ ගංවතුර සහ නායයාම් හේතුවෙන් අහිමි වූ සහ හානියට පත් වූ සමාජ, ආර්ථික සහ නිෂ්පාදන වත්කම්වල මුළු වටිනාකම රුපියල් බිලියන 105ක් විය. එම අගය ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 723කි. මෙම බලපෑමෙන් සියයට 55ක් (රුපියල් බිලියන 57ක්) සමාජ කේෂ්ත්‍රයට (නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපන වැනි) අදාළව සිදුව පැවති අතර ආර්ථික යටිතල පහසුකම් (වාරිමාර්ග, ප්‍රවාහන, විදුලිය වැනි) වලට සිදුව පැවති හානිය මුළු ප්‍රමාණයෙන් සියයට 7ක් (රුපියල් බිලියන 7) පමණ විය. නිෂ්පාදන අංශයට සිදුව පැවති හානිය රුපියල් බිලියන 35ක් පමණ වූ අතර එම අගය මුළු බලපෑමෙන් සියයට 33ක් විය. මුළු බලපෑමෙන් සියයට 90ක්ම පෞද්ගලික වත්කම් මත පදනම් විය. ලෝක බැංකු සහ යුරෝපා සංගමයේ වාර්තාවලට අනුව, ගංවතුර සහ නායයාම්වලින් භෞතික සම්පත්වලට වූ හානිය යථා තත්වයට පත්කිරීමට රුපියල් බිලියන 139ක් අවශ්‍ය වෙතැයි ගණනය කර පැවති අතර කෙටි කාලීනව රුපියල් බිලියන 7කට ආසන්න මුදලක් අවශ්‍යව පැවතිණි. 
මෙහිදී අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ ඉහත ගණනය කිරීම් මගින් සෘඡු පිරිවැය පමණක් සැලකිල්ලට ගෙන ඇති අතර ගංවතුර සහ නායයාම්වලට අදාළ වක්‍ර පිරිවැයද (ව්‍යාපාර කටයුතු අඩාල වීම) සැලකිල්ලට ගතහොත් ආර්ථිකයට සිදු වූ මුළු පිරිවැය ගණනය කොට ඇති සෘඡු පිරිවැය මෙන් දෙගුණයකි. සංවර්ධනය වෙමින් පවතින රටවල ස්වාභාවික ආපාදාවලට අදාළව කරනු ලැබ ඇති අධ්‍යයනවල පෙන්වා දී ඇති කරුණක් වන්නේ වක්‍ර පිරිවැය, සෘජු පිරිවැය හා සමාන මට්ටමක් හෝ ඊට මදක් වැඩි අගයක් ගන්නා බවයි (Ex: Quantifying indirect economic losses from extreme events to inform global and local adaptation strategies).  ඒ අනුව ගත්කල 2016 වසරේ ගංවතුර සහ නායයෑම්වලට අදාළ මුළු පිරිවැය ආසන්න වශයෙන් ඇ. ඩොලර් බිලියන 1.5 ක් පමණි. 2016 වසරේ ඇති වූ ගංවතුර සහ නායයාම් නිසා ඇති වූ කෙටිකාලීන ආර්ථික බලපෑම පිළිබඳව අදහසක් පැවතීම වර්තමාන ආපදා තත්වය කොටිකාලීනව කුමන පිරිවැයක් ආර්ථිකයට ඇති කරාවිද යන්න පිළිබඳ අවබෝධ කරගැනීමට උපකාරී වේ. එසේම එම බලපෑමෙන් ආර්ථිකය යළි නගාසිටුවීමට කොපමණ මුදල් ප්‍රමාණයක් අවශ්‍යවේවිද යන්න අවබෝධ කරගැනීමට ද උපකාරී වේ. 


 ආපදාවලට අදාළව  ආර්ථීක පිරිවැය සිදුකර ඇති  පුරෝකථන 
වත්මන් ආපදා තත්වය ඇතිවීමට සතියකට පෙර ලෝක බැංකුව මගින් ප්‍රකාශයට පත්කරන ලද Country Climate and Development Report  මගින් පෙන්වා දී ඇති කරුණු පිළිබඳව අවධානය යොමු කිරීම මෙහිලා ඉතා වැදගත් වෙතැයි සිතේ. එම වාර්තාවට අනුව 1975-2022 කාලය තුළ ආන්තික අවස්ථා අවස්ථා (Extreme events) 25,000 කට පමණ මුහුණ දීමට මෙරටට සිදුව ඇති අතර මේ හේතුවෙන් වාර්ෂිකව ඇ. ඩොලර් මිලියන 380ක පමණ පිරිවැයක් දැරීමට සිදුව ඇත. එම අගය ආසන්න වශයෙන් දළ දේශීය නිෂ්පාදනයේ සියයට 0.4ක් පමණ ප්‍රමාණයකි. විශේෂයෙන්ම එම කාලය තුළ සිදුව ඇති ගංවතුර හේතුවෙන් වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 240 පමණ පිරිවැයක් එක්කර ඇත. ඒ අනුව වැඩිම පිරිවැයක් දැරීමට සිදුවන ආන්තික සිදුවීම වන්නේ අධික වර්ෂාව හේතුවෙන් සිදුවන ජල ගැලීමය. ලෝක බැංකු ගණනය කිරීම්වලට අනුව කාලගුණික විපර්යාස හේතුවෙන් ලංකාවට දැරීමට සිදුවන පිරිවැය 2035 වනවිට දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශයක් ලෙස සියයට 1ක් දක්වාත් 2053 වනවිට 3.5ක් දක්වාත් ඉහළයාමට නියමිතව ඇත. මෑත කාලීනව ලංකාව මුහුණ දීමට නියමිත කාලගුණික විපර්යාසවලට අදාළව කරනු ලැබු අධ්‍යයන සියල්ලක්ම පෙන්වා දී ඇති කරුණක් වන්නේ ආන්තික සිදුවීම නිසා මෙරටට දරන්නට සිදුවන ආර්ථික පිරිවැය අඛණ්ඩව ඉහළ යාමක් සිදුවන බවයි. එබැවින් දේශගුණික බලපෑම්වලින් ආරක්ෂාවීමට අදාළව කළයුතු වන්නා වූ අයෝජන නිසි පරිදි කිරීමේ වැදගත්කම මෙමගින් මනාව පැහැදිලි වේ. 
2016 දී සිදුවූ ජලගැලීම් සහ නායයෑම් සැලකිල්ලට ගනිමින් ප්‍රධාන ගංඟාද්‍රෝනි ආශ්‍රිත ගංවතුර පාලනය සඳහා ලෝක බැංකු ආධාර යටතේ ව්‍යාපෘති ආරම්භ කළ කරන ලදී. උදාහරණයක් ලෙස කැලණි ගඟ ආශ්‍රිත ගංවතුර පාලනයට හංවැල්ල සිට මෝදර දක්වා ගඟ දෙපස ගංවතුර පාලනයට බැමි ඉදිකිරීමට සහ ගඟේ ඉහළ කොටසේ අමතර වතුර රඳවා ගැනීමට නව ජලාශ ඇති කිරීමට යෝජනා විය. එම ව්‍යාපෘතිය යටතේ මූලික අදියර ක්‍රියාත්මක වූ අතර ව්‍යාපෘතියට අදාළ බොහොමයක් කටයුතු සිදුවෙමින් පැවතිණ. අනෙකුත් ජලාශ ආශ්‍රිතව ද ගං වතුර පාලනයට අදාළ පියවර ගනිමින් පැවතිණි. එහෙත් 2019 වසරේ බලයට පැමිණි ආණ්ඩුව එම ව්‍යාපෘති සියල්ලම පාහේ නවතා දැමීම සිදු කරන ලදී. එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක වූයේ නම් අද ජනතාව මුහුණපා ඇති ගැටලු‍ බොහොමයක් විසඳාගැනීමට හැකියාව තිබිණ. එමෙන්ම, 2016 වසරේ මැයි මස ගංවතුර සහ නායයෑම් සිදුවීමට සති කීපයකට පෙර එවැනි සිදුවීමක් නිසා නිවාසවලට සහ ව්‍යාපාරවලට සිදුවිය හැකි හානි රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීම රජය මගින් සිදුකළ අතර ඒ හේතුවෙන් ඒ අවස්ථාවේදී සිදු වූ අලාභහානි සඳහා වන්දි ලබාගැනීමට එවක රජයට හැකියාව ලැබිණි. ඉහත උදාහරණ දෙක මගින් පෙන්වා දීමට උත්සාහ කළේ දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට නිසි පියවර ගැනීමේ වැදගත් කමයි. එමෙන්ම කුමන රජයක් යටතේ වුවද එවැනි ව්‍යාපෘති ඉදිරියට කරගෙන යාමේ වැදගත් කමයි. 


 ආපදාවට අදාළ කෙටිකාලීන  බලපෑම් 
සමාජීය අංශයට සිදුව ඇති  බලපෑම 
මේ වනවිට පළකර ඇති වාර්තාවලට අනුව නිවාස 432 පූර්ණ වශයෙන් විනාශ වී ඇති අතර අර්ධ වශයෙන් බලපෑමට ලක්ව ඇති නිවාස සංඛ්‍යාව 15,688 කි. එමෙන්ම, ප්‍රධාන පෙළේ රෝහල් කීපයක් (බදුල්ල, හලාවත, මයියංගනය, ගම්පහ වැනි) ගංවතුර හේතුවෙන් බලපෑමට ලක්ව ඇති බව වාර්තා වේ. බලපෑමට ලක්ව ඇති පාසල් පිළිබඳව තොරතුරු මෙතෙක් නිල වශයෙන් දන්වා නැති නමුත් ආපදාව හේතුවෙන් විභාග සහ පාසල් යළි ආරම්භ කිරීම කල් දමන ලදී. 2016 වසරේ ගංවතුර සහ නායයෑම් සමග සැසදීමේ දී මෙවර බලපෑමට ලක්ව ඇති නිවාස සංඛ්‍යාව පහළ අගයක් බව පෙනේ. එනමුත් මෙම අංශයට අදාළව සිදුව ඇති බලපෑම සැලකිය යුතු එකක් වන අතර ඊට අදාළ පිරිවැය ඉහළ මට්ටමක පවතී යැයි උපකල්පනය කළ හැකිය. 


 ආර්ථික යටිතල පහසුකම්වලට  සිදුව ඇති බලපෑම 
ආර්ථික යටිතල පහසුකම් යටතේ වාරිමාර්ග, මහාමාර්ග, ජලය සහ සනීපාරක්ෂක කටයුතු, විදුලිය සහ සන්නිවේදන ක්ෂේත්‍රයට සිදුව ඇති බලපෑම ඉතා විශාල වේ. දැනට වාර්තාවන අන්දමට දිත්වා සුළි කුණාටුව හේතුවෙන් විදුලි බිදවැටීම් 61,000ක් පමණ වාර්තා වී ඇත. දින තුනක් තිස්සේ පැවති වර්ෂා තත්වය හේතුවෙන් දිවයිනේ මුළු විදුලි සැපයුමෙන් සියයට 25-30ක් පමණ ප්‍රමාණයකට බලපෑම් එල්ල කරනු ලැබිණි. මේ නිසා අත්‍යවශ්‍ය සේවා ඇතුළු සාමාන්‍ය ජන ජීවිතයට දැනෙන බලපෑමක් ඇතිවිය. සන්නිවේදන පද්ධතියටද දැඩි හානි සිදුව ඇති බව මධ්‍ය වාර්තා පළවූ අතර විශේෂයෙන්ම ෆයිබර් ඔප්ටික්කේබල් හානියට පත් වූ අවස්ථා මෙන්ම සම්ප්‍රේෂණ මධ්‍යස්ථානවලටද හානි සිදුව ඇත.
මහාමාර්ග පද්ධතියට විශාල බලපෑමක් එල්ල කර ඇති අතර ප්‍රධාන මාර්ග 200කට වැඩි ගණනක් බලපෑමට ලක් විය. එමෙන්ම ප්‍රධාන පාලම් 10ක් හානියට පත්ව ඇත. වාරිමාර්ග ක්ෂේත්‍රයට සැලකිය යුතු බලපෑමක් එල්ල වී ඇති බව දැනට ඉදිරිපත්ව ඇති වාර්තා අනුව පෙනීයයි. වාරිමාර්ග පද්ධතිය යථා තත්වයට පත්කිරීමට විශාල මුදලක් අවශ්‍ය බව දැනටමත් ඇස්තමේන්තු කර ඇතැයි සඳහන්ය. මාවිල්ආරු ජලශයේ බැම්ම ඇතුළු තවත් ජලාශවලට හානි සිදුව ඇති බව වාර්තා වේ. එමෙන්ම ජලය සහ සනීපාරක්ෂක පද්ධතියට ද සැලකිය යුතු බලපෑමක් ගංවතුර හේතුවෙන් සහ විදුලිය බිදවැටීම නිසා සිදුව පවතී. 2016 වර්ෂයේ දී ඇති වූ ගංවතුර සහ නායයෑම් නිසා ආර්ථික යටිතල පහසුකම්වලට අදාළව සිදුවූ පාඩුව (සෘඡු පිරිවැය) රුපියල් බිලියන 7ක් පමණ වුවත් මෙවර එම අගය ඉතා ඉහළ මට්ටමක් ගන්නා බව කිව යුතුය. ගංවතුර සහ නායයෑම් නිසා සිදුවූ සෘජු පිරිවැය සැලකිල්ලට ගතහොත් එම අගය බිලියන 100-150ක පමණ වීමට වැඩි ඉඩකඩක් පවතී. 


 නිෂ්පාදන අංශයට සිදුව ඇති  බලපෑම 
දැනට පළවන වාර්තාවලට අනුව, කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 5ක පමණ ප්‍රමාණයක වගාව ජලගැලීම් හේතුවෙන් විනාශයට පත්ව පවතී. අනුරාධපුරය, පොලොන්නරුව, අම්පාර වැනි දිස්ත්‍රික්කවල කුඹුරු ගොවිතැන් ආරම්භ කරන අවධියේම විනාශවීම වැඩි වශයෙන්ම සිදුවීමට හේතු වූයේ ජලාශවල වාන් දොරටු විවෘත කිරීමෙන් මුදාහරින ලද විශාල ජල ප්‍රමාණය සහ ජලාශවලට සිදුවූ හානි වේ. විශේෂයෙන්ම නුවරඑළිය, බදුල්ල, මාතලේ වැනි ප්‍රදේශ අශ්‍රිතව ලැබුණු අධික වර්ෂාව හේතුවෙන් උඩරට එළවළු වගාවට ඉතා අහිතක තත්වයක් ඇතිවූ අතර ඒ හේතුවෙන් සැලකිය යුතු වගා හානියක් සිදුව පවතී.
එමෙන්ම පැවති අයහපත් කාලගුණික තත්වය සංචාරක කර්මාන්තයට ද අහිතකරව බලපෑම් එල්ල කිරීමට නියමිතය. විශේෂයෙන්ම දකුණු ප්‍රදේශය හැර සෙසු සියලු‍ම ප්‍රදේශ සංචාරක කටයුතු සඳහා යෝග්‍ය තත්වයේ නොපැවතීම මෙන්ම ප්‍රධාන මංමාවත් ආශ්‍රිත සිදුවූ නායයෑම් සංචාරකයන්ගේ පැමිණීම අඩාළ කිරීමට හේතු වෙතැයි අපේක්ෂා කළ හැකිය. එමෙන්ම සැපයුම් ජාල බිද වැටීම ද නිෂ්පාදන කටයුතුවලට අහිතකරව බලපෑ අතර විශේෂයෙන්ම විදුලි බිදවැටීම් නිෂ්පාදන කටයුතු සඳහා අහිතකරව බලපෑවේය. කර්මාන්ත අංශයට ද ජල ගැලීම් අහිතකරව බලපෑම් එල්ල කර ඇත. විශේෂයෙන්ම සුළු සහ මධ්‍ය පරිමාණ නිෂ්පාදන සහ වෙළෙඳ ආයතනවල නිෂ්පාදන කටයුතු කෙරෙහි අහිතකර බලපෑම් එල්ල කරන ලදී.


 සාර්ව ආර්ථිකයට ඇති කරන  බලපෑම 
ඉහත පෙන්වා දුන් අහිතකර තත්ව හේතුවෙන් දළ දේශීය නිෂ්පාදනයේ පහළයාමක් ඉදිරි කාර්තු දෙක තුළ ඇති වීමට වඩා වැඩි ඉඩකඩක් පවතී. කෘෂිකාර්මික භාණ්ඩ සැපයුම බිදවැටීම හේතුවෙන් රට තුළ උද්ධමනකාරී තත්වයක් ද කෙටිකාලීනව ඇති වෙතැයි අපේක්ෂ කළ හැකිය. එමෙන්ම විපතට පත්වූ පිරිසට අවශ්‍ය කෙටිකාලීන සහ මැදිකාලීන සහන ලබාදීමට මෙන්ම ආර්ථික යටිතල පහසුකම් යථා තත්වයට පත්කිරීමට ද රජයට ඉහළ වැය බරක් දැරීමට සිදුවනු ඇත. එවැනි වියදම් එක්කෝ 2025 වර්ෂයට වෙන්කළ එහෙත් වියදම් නොකළ මුදල් මගින් හෝ අමතර අරමුදල් සපයා ගැනීමෙන් කළ යුතු වේ. එමගින් රාජ්‍ය මූල්‍යයට යම් තෙරපුමක් ඇති කළ හැකි අතර, යම් යම් වියදම් කපා හැරීමක් නොකළහොත් අයවැය හිඟය පුළුල්වීමට ඉඩ පවතී. විශේෂයෙන්ම අත්‍යඅවශ්‍ය ආහාර ද්‍රව්‍ය දේශීයව සපයා ගැනීම දුෂ්කරවීම නිසා ආහාර සුරක්ෂිතතාවට බාධා ඇතිවිය හැකිය. ආහාර ද්‍රව්‍ය ආනයන මෙන්ම ඉදිකිරීම් කේෂ්ත්‍රයේ ඇතිවන නව අවශ්‍යතා හේතුවෙන් ආනයන වියදම් ඉහළයාමට ඇති ඉඩකඩ ඉහළ වේ. ගෙවුම් ශේෂය මත කුමන බලපෑමක් ඇති කරාවිද යන්න තීරණය වන්නේ ආපදා තත්වය තුළ විදේශ රටවල්, ආයතන සහ දේශීය/ විදේශීය පරිත්‍යගශිලීන් කොතෙක්දුරට මෙම අවස්ථාවේදී අධාර/ උපකාර කිරීමට ඉදිරිපත්වීම මතය. දැනට පෙනෙන්ට ඇති පරිදි, විදේශ රටවලින් නිල වශයෙන් සැලකිය යුතු සහයෝගයක් ලැබීමට ඇති ඉඩකඩ පහළ මට්ටමක පවතී. විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරයට ඇතිවී තිබෙන අයහපත් තත්වය ඉක්මනින් යථා තත්වයට පත්වීමෙන් ගෙවුම් ශේෂයට ඇතිවිය හැකි අහිතකර තත්වය මගහරවා ගැනීමට පුළුවන. 


 නිගමනය 
දිත්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්වය සැලකිය යුතු පිරිවැයක් ආර්ථිකයට එක් කර ඇත. 2016 වසරේ දී ගංවතුර සහ නායයෑම් අශ්‍රිතව ඇති වූ අහිම්වීම සහ හානි නිසා ආර්ථිකයට ඇ. ඩොලර් මිලියන 734 ක පමණ සෘජු පිරිවැයක් දැරීමට සිදු වූ අතර වක්‍ර පිරිවැය ද එකතු කළ විට එම සමස්ත පිරිවැය ඇ. ඩොලර් බිලියන 1.5 පමණ වෙතැයි ගණනය කළ හැකිය. වත්මන් ආපදා තත්වය හේතුවෙන් දැරීමට සිදුව ඇති පිරිවැය, 2016ට සාපේක්ෂව, සැලකිය යුතු මට්ටමකින් ඉහළ එකක් වෙතැයි අපේක්ෂා කළ හැකිය. ඒ අනුව පසුගිය අත්දැකීම් සහ ජාත්‍යන්තර අධ්‍යයනවල සොයාගැනීම් මත පදනම්ව, සමස්ත (සෘජු සහ වක්‍ර) පිරිවැය ඇ. ඩොලර් බිලයන 1.5-2.0ත් අතර අගයක් වෙතැයි දළ වශයෙන් ඇස්තමේන්තු කළ හැකිය. 
විශේෂයෙන්ම දැනටමත් රටේ සෑම පුරවැසියන් හතර දෙනකුගෙන් එක් අයකු දරිද්‍රතාවෙන් පෙළෙන අතර ඉදිරියේ දී දුප්පත්කම තවදුරටත් ඉහළයාමට වැඩි ඉඩකඩක් පවතී. ණය අර්බුදයෙන් පසුව 2023 අවසාන භාගයේ සිට මහත් වෙහෙසක් සහ කැපකිරීමෙන් ආර්ථික ස්ථායීතාව අත්කර ගැනීමට සමත් විය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළද සාර්ථකව අවසන් කිරීම සිදුවෙමින් පවතින වටපිටාවක් තුළ ලංකේය ආර්ථිකයට පළමුව ගෝලීයවත් දෙවනුව දේශීයවත් කම්පන දෙකකට මෙම වසරේදී මුහුණ පෑමට සිදුව ඇත. ඇමරිකානු තීරු බදු ප්‍රතිපත්තියත් සමග ගෝලීය වෙළෙඳාම සහ ආයෝජන සම්බන්ධතා වඩාත් ආරක්ෂණවාදී ස්වරූපයක් ගැනීම ඉන් එකක් විය. අනෙක වන්නේ සුළිකුණාටුව හේතුවෙන් බිඳවැටී ඇති දේශීය ආර්ථිකයයි. මෙම තත්ව දෙකම ආර්ථික ස්ථායීතාවට හානියක් නොවන අයුරින් කළමනාකරණය කළ යුතු අතර ස්ථායීතව ආරක්ෂා කරගනිමින් තිරසාර ඉහළ ආර්ථික වර්ධනයක් අත්පත් කරගත යුතුව ඇත. 
ණය අර්බුදයට ලක් වූ බොහොමයක් රටවල් යළි යළිත් අර්බුදවලට තල්ලු‍ කරන ලද්දේ අභ්‍යන්තර සහ බාහිර කම්පනවලට සාර්ථකව මුහුණ නොදුන් නිසා බව ණය අර්බුදවලට මුහුණ දුන් බොහොමයක් රටවල ඉතිහාසය පෙන්වා දෙයි. රට හමුවේ ඇති ප්‍රධාන අභියෝගය වනුයේ මුහුණපා ඇති බාහිර සහ අභ්‍යන්තර‌, බාහිර කම්පන මධ්‍යයයේ වුවද ආර්ථික ස්ථායීතාව ආරක්ෂා කරගනිමින් ඉහළ තිරසාර ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට අවශ්‍ය වන්නා වූ ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීමය. විශේෂයෙන්ම රට හමුවේ ඇති පාරිසරික සහ සංවර්ධන අභියෝග සැලකිල්ලට ගනිමින් ජාතික සංවර්ධන සැලස්මක් සකස් කිරීම පිළිබඳව ඉක්මනින් අවධානය යොමු කළ යුතුව ඇත. රට තුළ නීතිගතව ඇතත් තවමත් ක්‍රියාත්මක නොකර සිටින ආර්ථික පරිවර්තන පනත හැකි ඉක්මන්නින් ක්‍රියාත්මක කිරීම පිළිබදව අවධාන යොමු කළ යුතුව ඇත.

 



අදහස් (0)

ආපදා තත්වය ආර්ථිකයට කෙසේ බලපාවීද?

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6143 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 318 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 347 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1281 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site