IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


අඹගහවැව වළං කර්මාන්තයේ අවනඩුව

ඇලුමිනියම් භාජන මිලදී ගැනීමට ජනතාව වැඩි කැමැත්තක් දැක්වීමෙන් මැටි වළං නිසි මිලකට අලෙවි කර ගැනීමට නොහැකියි

මැටි ලබා ගැනීමට රජයෙන් වෙන් කර දෙන ලද ඉඩමේ මැටි අවසන් වෙලා

එක් මැටි ගුලියක් වෙනුවෙන් අයකරන මුදල රුපියල් 150 ක් 200 ක්

මැටි ගුලියකින් සාමාන්‍ය ප්‍රමාණයේ වළං දහයකට වඩා නිපදවීමට නොහැකියි

මැටි වළං නිෂ්පාදන අලෙවි කිරීමේ වෙළෙඳ මධ්‍යස්ථානයක් පඬුවස්නුවර රාජධානිය තුළම පිහිටා ඇතත් එහි වෙළෙඳුන්ට අවශ්‍ය පහසුකම් නෑ

වළං කර්මාන්තය දියුණු කර ගන්න රජයෙන් කිසිම සහනයක් දීල නැහැ

පිදුරු අත්ට්‍රැක්ටරයකට රුපියල් 7,000 සිට 10,000 අතර මිලක්


බිංගිරිය වික්ටර් සෝමවීර


සාම්ප්‍රදායික මැටි වළං කර්මාන්තයට අවශ්‍ය වන ප්‍රධාන අමුද්‍රව්‍ය වශයෙන් යොදාගන්න මැටි ලබාගැනීමේ අපහසුතාව ඇතූළු ගැටලු‍ රැසක් හේතූවෙන් පඬුවස්නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අඹගහවැව මැටි ආශ්‍රිත නිෂ්පාදන ගම්මානයේ පාරම්පරික මැටි වළං කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යාමට අසීරුවී ඇතැයි එම ගම්මානයේ පදිංචි මැටි වළං කර්මාන්තකරුවෝ පවසති. 

වළං පිලිස්සීමට අවශ්‍ය දර පොල්ලෙලි පිදුරු මෙන්ම දහයියා සොයා ගැනීම අපහසුවීම ඔවුන් මුහුණදෙන තවත් ගැටලු‍ කීපයකි. බලධාරීන්ට හා නිලධාරීන්ට ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන ලෙස කොතෙක් ඉල්ලීම් කළත් නිසි විසඳුමක් තවමත් නොලැබීම හේතුවෙන් මැටි වළං කර්මාන්තය දිනෙන් දිනම අභාවයට යමින් පවතින බව අඹගහවැව ගම්මානයේ පදිංචිකරුවෝ පවසති.

මැටි වළං භාවිත කිරීම වෙනුවට වෙළෙඳපොළේ තිබෙන ඇලුමිනියම් භාජන මිලදී ගැනීමට ජනතාව වැඩි කැමැත්තක් දක්වන හෙයින් මැටි වළං නිසි මිලකට අලෙවි කර ගැනීමට අපහසු වී ඇතැයි ද මැටි වළං නිපදවන්නෝ පවසති.

මැටි වළං නිපදවීමට සුදුසු මැටි පඬුවස්නුවර කොළමුණු ඔයට ආසන්නව තිබෙන බව පෙන්වා දෙන අඹගහවැව ගම්මානයේ වැසියන් පවසන්නේ මීට වසර ගණනාවකට ඉහතදී මැටි ලබා ගැනීමට රජයෙන් වෙන් කර දෙන ලද ඉඩමේ මැටි අවසන් වී ඇති හෙයින් කුඹුරු ඉඩම් අයිතිකරුවන්ට එක වර දහස් ගණනින් මුදල් ගෙවා මැටි ගුලි ලබා ගැනීමට සිදුවී තිබෙන බවයි. 

මේ ආකාරයට ලබාගන්නා එක් මැටි ගුලියක් වෙනුවෙන් රුපියල් 150 ක් 200 ක් වැනි මුදලක් අය කරන අතර එක් මැටි ගුලියකින් සාමාන්‍ය ප්‍රමාණයේ වළං දහයකට වඩා නිපදවීමට නොහැකි බවත් රැගෙන එන මැටි ලෝඩ් එකට එකවරම මුදල් ගෙවා මිලදී ගැනීම අපහසු බවත් මැටි වළං කර් මාන්තකරුවෝ පවසති. 

පඬුවස්නුවර අඹගහවැව ගම්මානයේ පාරම්පරික මැටි වළං කර්මාන්තකරුවන් වෙසෙන නිසා මැටි ආශ්‍රිත නිෂ්පාදන ගම්මානය යනුවෙන් හඳුන්වන අතර පවුල් 200කට වඩා වැඩි පිරිසක් මෙහි වාසය කරති. මැටි වළං නිෂ්පාදන අලෙවි කර ගැනීමේ පහසුව සඳහා වෙළෙඳ මධ්‍යස්ථානයක් ද පඬුවස්නුවර රාජධානිය තුළම පිහිටා ඇතත් එහි වෙළෙඳුන්ට අවශ්‍ය පහසුකම් ආදිය නොමැති බව ජනතාව පවසති. සාමාන්‍යයෙන් මාස කීපයකට කලින් සති අන්ත සෙනසුරාදා හා ඉරිදා දිනවල පමණක් මෙහි නිමි මැටි භාණ්ඩ අලෙවි කළත් දැනට හලාවත මුන්නේශ්වරම දේවාලයේ වාර්ෂික මංගල්‍යය සමය ආරම්භ වී තිබෙන හෙයින් දිනපතාම මෙම වෙළෙඳ පොළ විවෘතව තිබෙන බව වෙළෙඳාමේ නිරත වී සිටින වළං කර්මාන්තකරුවෝ පවසති. මෙහි පවුල් 40 ක සාමාජික පිරිසක් මැටි වළං අලෙවි කිරීමට එක්ව සිටින බවත් ඔවුහු පවසති. පඬුවස්නුවර අඹගහවැව ගම්මානයේ වෙසෙන මැටි වළං කර්මාන්තකරුවෝ ජනතාවට ගෑස් වළං හා මැටි පිඟන්, මැටි තාච්චි ගේකුරුළු කූඩා, මල් වාස්, වතුර ෆිල්ටර වැනි නිෂ්පාදන අලු‍තෙන් වෙළෙඳපොළට හඳුන්වා දීමට ද සමත් වී සිටිති.

අඔගහවැව ගම්මානයේ පදිංචි එච්. එන්. බේබිනෝනා මෙසේ කීවාය. 

තවමත් මේ ගමේ අතින් ක්‍රියාත්මක කරන සකපෝරු තිබෙනවා. විදුලියෙන් ක්‍රියාත්මක කෙරෙන සකපෝරුත් තිබෙනවා. මේ ස්ථානයේ වළං විකුණන අය 40ක් සිටිනවා. මැටි වළං කර්මාන්තයේ යෙදී සිටින අය ඇතුළුව පවුල් 200 කට වඩා වැඩි පිරිසක් අඔගහවැව ගම්මානයේ පදිංචි වෙලා සිටිනවා. 

මේ උදවියගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ වළං කර්මාන්තයයි. මේ කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යන්න බැරි තත්වයක් උදාවෙලා තිබෙනවා. එයට ප්‍රධාන හේතුව වන්නේ මැටි ලබාගැනීමට සුදුසු භූමියක් නොමැතිවීමයි. වළං හැදිල්ලෙන් අපිට කිසිම ලාබයක් නැහැ. මැටි ගුලිය ගන්නෙ සල්ලිවලට. දර, පිදුරු, පොල් ලෙලි හැම දේම සල්ලිවලට ගන්නෙ. මැටි ගන්න කුඹුරක් තියෙනව නම් අපිට වළං හදන්න පහසුයි. 

අඔගහවැව ආර්. එන්. කමලාවති මෙසේ පැවැසුවාය.

අපිට මහ පරිමාණයෙන් වළං හදන්න බැහැ. පුළුවන් හැටියට ජීවත් වෙන්න කියක් හරි මුදලක් හොයා ගන්න වළං ටිකක් හදන තැනකින් අරගෙන පොඩි ලාබයක් තියාගෙන විකුණ ගන්නවා. රජයෙන් අපිට වළං කර්මාන්තය දියුණු කර ගන්න කියල කිසිම සහනයක් දීල නැහැ. වළං කර්මාන්තය දියුණු කරගන්න රජයෙන් කිසිම අවධානයක් යොමු වෙලා නැහැ. 

පී. එන්. සුමිත් දුෂ්‍යාන්ත කිවේ මෙවැන්නකි.

මැටි විතරක් නොවෙයි ලී කුඩු, දහයියා, පිදුරු, දර ටික, පොල් ලෙල්ල ආදි සෑම දෙයක්ම සල්ලි දීල ගන්න ඕන. ඒ මදිවට මැටි ටික ඇද ගන්න බලපත්‍ර ගන්න ඕන. බලධාරීන්ගේ නිසි අවධානය යොමු නොවෙන නිසා දැන් මෙය කෞතුක භාණ්ඩයක ගානට වැටිලා. 

පවුල් 400ක් පමණ අඹගහවැව ගම්මානයේ ඉන්නවා. මෙතරම් පිරිසක් ඉන්න ගමකට එක දවසින් මැටි අදින්න හැකියාවක් නැහැ. පසුගිය කාලෙ අපිට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ.

මෑත කාලෙ තමයි ගොඩාක් ප්‍රශ්නවලට මුහුණ පාන්න සිදුවුණේ. මේ ගමේ මිනිසුන් හදන වළංවලට නිසි මිලක් ලැබෙන්නෙ නැහැ. වළං අලෙවි කරගන්න සුදුසු වෙළෙඳ පොළක් නැහැ. ඉස්සර වගේ කඩවලට තොග මිලට දාල විකුණන්න බැහැ. වළං කර්මාන්තය දැන් අභාවයට යමින් තිබෙනවා. 

මෙහිදී අදහස් දැක්වූ අඹගහවැව ටී. කරුණාවතී මෙසේ පැවැසුවාය.

දැන් හලාවත මුන්නේශ්වරමේ වාර්ෂික මංගල්‍ය සමය පටන් අරගෙන තිබෙන නිසා අපි සතියේ හැමදාම වළං වෙළෙඳාම් කරනවා. අපි වෙන පළාත්වල පොළවල්වලට වළං විකුණන්න අරං යන්නෙ නැහැ. හෙට්ටිපොල පොළට විතරක් දෙන්නෙක් තුන් දෙනෙක් යනවා. වළං හදන එක ලේසි නැහැ.

වී මෝල් වලින් අහක දාන දහයියාවලටත් දැන් මුදලක් ගෙවන්න ඕන. දහයියා පෝර උරයක් රුපියල් 200ක් වෙනවා. අහක දාන පිදුරු අත්ට්‍රැක්ටරයක් රුපියල් 7000 සිට 10,000ක් විතර මිලක් වෙනවා. පොල් පිත්තක් රුපියල් 10යි. දිගින් වැඩි පොල් පිත්තකට ඊට වඩා වැඩි මුදලක් අය කරනවා. පොල් ලෙල්ලක් රුපියල් 5 ක් 8ක් විතර වෙනවා. කොහු මෝල්වලට විකුණන්න ලෙලි කපන නිසා මිල වැඩි වෙලා තිබෙනවා. කැලෑ දර යාරයක මිලත් ඉහළ ගිහින් තිබෙනවා. දර යාරයක් රුපියල් 3,000 ක් පමණ වෙනවා. එහෙම තියෙද්දී අපි හදන ගෑස් වළදක් දෙන්නෙ අඩු මුදලකටයි. රුපියල් 10,000ක් වැය කරල දර ලෝඩ් එකක් අරගත්තට අපිට කිසිම ලාබයක් නැහැ. අත්ට්‍රැක්ටරයකින් මැටි ලෝඩ් එකක් ගෙන්වා ගන්න රුපියල් 6,000ක් අය කරනවා. 

එක මැටි ලෝඩ් එකකට මැටි ගුලි 1,000ක් ගහල අරගෙන ආවොත් ඒකට රුපියල් 35,000ක් ගෙවන්න වෙනවා. 

අඹගහවැව ගම්මානයේ වෙසෙන ජේ. ඒ. රාණි පත්මලතා කීවේ මෙවැනි කතාවකි.

වළං හදන්න මැටි ගුලි 30 ක් ගෙදරට ප්‍රවාහනය කරගන්න රුපියල් 6,000ක් ගන්නවා. ඉදිරි කාලයේ මේ කර්මාන්තය කරගෙන යන්න බැරි තත්වයක් උදාවෙනවා. කාටහරි ණයක් වෙලා මුදලක් ලබා ගත්තත් ගෙවන්න විදියක් නැහැ.

ජී. බී. සිසිලම්මා මෙසේ පැවැසුවාය.

වළං අලෙවි කරන්න වෙන් කරල තිබෙන ස්ථානයට බිම් කුලිය හැටියට රුපියල් 150 ක් ගෙවනවා. විදුලිය ලබාගන්නවට ගෙවන්න ඕනෑ. පොඩි ළිපක් රුපියල් 200 යි. ඩබල් ළිපක් රුපියල් 400ක් වෙනවා. වළං හදන අයට මැටි නැති එක ලොකු ප්‍රශ්නයක්. බලධාරීන්ට මැටි නැති ප්‍රශ්නය ගැන කියල තිබෙනවා. එහෙත් ඒ අය මේ ගැන ඇහැ ඇරල බලන්නෙ නැහැ.

 

ආර්. ඒ. නිමලසිරි: දියුණු තාක්ෂණයෙන් මැටි උපයෝගි කරගෙන මැටි පිඟන් මැටි තාච්චි ආදි දේවල් නිපදවයි. මෙවැනි නිර්මාණ එළිදැක්වීම තනියම කළ නොහැකි නිසා රැකියා විරහිත කාන්තාවන් කීපදෙනකුගේ සහාය ලබාගෙන රැකියා අවස්ථා උදාකර දීමට ද ඔහු සමත් වී ඇත. 



අදහස් (0)

අඹගහවැව වළං කර්මාන්තයේ අවනඩුව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 425 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16819 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 649 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site