අල්කයිඩා නායකත්වයට රැකවරණය ලබාදුන් ඇෆ්ගනිස්ථානයේ තලෙබාන් පාලනයට එරෙහිව ගෙන ගිය යුද්ධයේදී එක්සත් ජනපදයට නොමඳ සහායක් ලබාදුන් පාකිස්තානය ජනාධිපති ජෝර්ජ් බුෂ් හැඳින්වූයේ තම සමීපතම මිතුරෙකු ලෙසිනි. එහෙත් පසුගිය මාස 18ක පමණ කාලය තුළදී මෙම සබඳතාව පිරිහී ගොස් පසමිතුරු රටවල් බවට ආසන්න තත්ත්වයකට පත්ව ඇත. පසුගිය සතියේ ඉන්දියාවේ සහ ඇෆ්ගනිස්ථානයේ සංචාරයක යෙදුන එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලියොන් පැනේටා පාකිස්තානය සම්බන්ධයෙන් තම ඉවසීමේ සීමාව ඉක්ම යෑමට ආසන්න බව අවස්ථා දෙකකදීම අවධාරණය කෙළේය. ඉන්පසුව නැවතත් පෙන්ටගනයේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී එක්සත් ජනපදය, පාකිස්තානයේ වයඹ දිග දේශ සීමා ප‍්‍රදේශයේ ත‍්‍රස්තවාදී කඳවුරුවලට එරෙහිව හුදකලා සටනක් කරන බව කීවේය. ඉන් ඔහු අදහස් කෙළේ පාකිස්තානයේ දේශ සිමා ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක වන හකානි ජාලයට අයත් කණ්ඩායම් විනාශ කර දැමීමට පාකිස්තානය උනන්දු නොවන නිසා තමන්ට එම කාර්යය තනිවම කිරීමට සිදුව ඇති බවය. මෙම ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක වන ත‍්‍රස්තවාදී කණ්ඩායම්වලට එරෙහිව හමුදා මෙහෙයුමක් දියත් කරන්නැයි එක්සත් ජනපදය පාකිස්තානයට බලපෑම් කළද, පාකිස්තානය එය සැලකිල්ලට ගත්තේ නැත. පාකිස්තානය පෙන්වා දෙන ආකාරයට ඇෆ්ගනිස්තානයේ ත‍්‍රස්තවාදී සටනට සහාය දැක්වීම නිසා තම රටත් හමුදාවත් ඉමහත් පරිත්‍යාගයක් කර ඇති නමුත් එක්සත් ජනපදය ඊට නිසි සැලකිල්ලක් දක්වා නැත. එක්සත් ජනපදයේ සී.අයි.ඒ. සංවිධානයේ සහ පාකිස්ථානයේ අයි.එස්.අයි. සංවිධානයේ සහාය ඇතිව ගොඩනගන ලද තලෙබාන් සංවිධානය විනාශ කිරීමට ජනාධිපති බුෂ් දියත් කළ ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයට සහාය දැක්වීමට එවකට පාකිස්තානයේ පාලකයාව සිටි මුසාරෆ් ගත් තීරණය පහසු එකක් වූයේ නැත. ඊට හිලවු වශයෙන් පාකිස්තානයට වසරකට ඩොලර් කෝටි 300කට අධික මුදලක් ආධාර වශයෙන් ලැබුණද, රට තුළ හටගත් ප‍්‍රචණ්ඩත්වය ඊට පෙර කිසිදාක නොවූ තරම්ය. එක්සත් ජනපදයේ සෙනෙට් සභාවෙන් කරන ලද අධ්‍යයනයක් අනුව පාකිස්තානයට මිලිටරි ආධාර වශයෙන් ලබාදුන් මුදලෙන් තුනෙන් දෙකකට වඩා වියදම් කර ඇත්තේ එක්සත් ජනපදය තුළමය. එම නිසා එම මුදල් රටින් පිටව යෑමක් සිදුව නැත. ඇෆ්ගනිස්ථානයේ යුද්ධයට සහාය දීමත් සමග පාකිස්තානයේ ආගමික මූලධර්මවාදී කණ්ඩායම්වල නව පිබිදීමක් ඇතිවූ අතර පෙර කිසිදිනක වාර්තා නොවූ මරාගෙන මැරෙන කණ්ඩායම්වල ප‍්‍රහාර දිනපතාම පාහේ වාර්තා විය. හමුදානායක පර්වෙස් මුසාරෆ් බලය අත්හැරිය නමුත් ඉන්පසු මහජන ඡුන්දයෙන් තේරී පත්වූ ජනාධිපති සර්දාරිට රට තුළ සාමකාමී තත්ත්වයක් උදා කිරීමට හෝ අන්තවාදී මූලධර්මවාදී කණ්ඩායම් අකර්මන්‍ය කිරීමට හැකියාවක් ලැබුණේ නැත. රට තුළ පවතින ඇමරිකන් විරෝධය වඩාත් උත්සන්න විය. මෙවැනි තත්ත්වයක් යටතේ දේශසීමා ප‍්‍රදේශවල රැකවරණය ලබන සටන්කාමී සංවිධාන විනාශ කිරීමට හමුදා මෙහෙයුමක් දියත් කිරීම උපායමාර්ගිකව අසීරු කටයුත්තක් වීමට අමතරව ජනතා විශ්වාසය සිඳ දැමීමක්ද විය හැකිය. එහෙත් එක්සත් ජනපදය හා පාකිස්තානය අතර හොඳහිත පළුදු වීමට ප‍්‍රබල ලෙස බලපෑවේ පසුගිය වසරේ ජනවාරි මාසයේදී සී.අයි.ඒ. සංවිධානයට සම්බන්ධ පුද්ගලයෙකු ලාහෝර් නගරයේදී පුද්ගලයින් දෙදෙනෙක් ඝාතනය කිරීමත්, එම වසරේම මැයි මාසයේදී අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඉස්ලාමාබාද් නගරය අසල ඇබොටාබාද්හිදී ඝාතන කිරීමත්ය. පළමු සිද්ධියේදී මියගිය පුද්ගලයින් දෙදෙනා වෙනුවෙන් එක්සත් ජනපදය වන්දි මුදලක් ගෙවීම නිසා අදාළ සැකකරු නිදහස් කළත් ජනතා අප‍්‍රසාදය තුනී වූයේ නැත. බින් ලාඩන් ඝාතනයෙන් පැහැදිලි වූයේ එක්සත් ජනපදය, පාකිස්ථානු රජයේ අනුදැනුමකින් තොරව රට තුළ ක‍්‍රියාත්මක වීමය. මෙය බොහෝ නිරීක්ෂකයින් හැඳින්වූයේ පාකිස්තානයේ ස්වෛරීත්වය නොතැකීමක් සේය. ඉන්පසු පසුගිය නොවැම්බර් මාසයේ ඇෆ්ගන්-පාකිස්ථානු දේශ සීමා ප‍්‍රදේශයේදී නේටෝ හමුදාව එල්ල කළ ප‍්‍රහාරයකින් පාකිස්ථානු හමුදා භටයින් 24 දෙනෙක් මියයෑම තත්ත්වය වඩාත් උද්වේගකරවීය. එහිදී හදිසි පියවරක් වශයෙන් ඇෆ්ගනිස්ථානයේ නවතා ඇති නේටෝ හමුදාවට, පාකිස්තානය හරහා වැටී ඇති සැපයුම් මාර්ග වසා දැමීමට ඉස්ලාමාබාද් පාලනය තීරණය කෙළේ රට තුළ කැකෑරෙමින් තිබූ ඇමරිකන් විරෝධයට හිසනැමීමක් වශයෙනි. මීට පෙරද අවස්ථා කීපයකදී මෙම සැපයුම් මාර්ග වසා දැමුවද එය සති කීපයකට පමණක් සීමා විය. එම නිසා මෙම වසා දැමීමද සති කීපයකට පමණක් සීමාවනු ඇතැයි එක්සත් ජනපදයේ ආරක්ෂක අංශ අපේක්ෂා කළ ද මාස හතක් තිස්සේ ඊට විසඳුමක් ලැබුණේ නැත. මෙම අඩුව පිරිමසා ගැනීමට රුසියාව හා මධ්‍යම ආසියානු රටවල් හරහා ඇති මාර්ගයක් යොදාගන්නා නමුත් එම මාර්ගය දීර්ඝ මෙන්ම අතිශය වියදම්කාරීද වන්නේය. පාකිස්තානු සැපයුම් මාර්ගය විවෘත කිරීමට ප‍්‍රධාන බාධකය වී ඇත්තේ පසුගිය නොවැම්බර් මාසයේ සිදුකළ ප‍්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමාව ඉල්ලා සිටිය යුතු යැයි පාකිස්තානය අවධාරණය කිරීමය. එම ප‍්‍රහාරය අත්වැරැද්දක් බව පවසන එක්සත් ජනපදය ඒ වෙනුවෙන් සමාව ඉල්ලීමට සූදානම් නැත. ලොව එකම සුපිරි බලවතා වන එක්සත් ජනපදයට එය මදිපුංචිකමක් මෙන්ම මෙම වසර අගදී නැවතත් ජනාධිපති තරගයට පිවිසෙන ජනාධිපති  ඔබාමාට එවැන්නක් දේශපාලන වශයෙන් අවාසියක්ද විය හැකිය. සැපයුම් මාර්ගය විවෘත කිරීම පිළිබඳව හමුදා නායකත්ව මට්ටමෙන් හා දේශපාලන නායකත්ව මට්ටමෙන් සාකච්ඡුා වට ගණනාවක් පැවැත්වුවද විසඳුමක් ලබා ගැනීමට හැකියාවක් නොවීය. අවසාන වශයෙන් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට පාකිස්තානයේ මාසයක අධික කාලයක් රැඳී සිටි ඇමරිකානු නියෝජිත පිරිස මේ සතියේ සඳුදා ආපසු සිය රට ගියේ හිස් අතිනි. මෙම නියෝජිත පිරිස තවදුරටත් ඉස්ලාමාබාද් නගරයේ රැුඳී සිටීම අනවශ්‍ය කාරණයක් වූයේ එක්සත් ජනපද පෙන්ටගනයේ නියෝජිතයෙක් වූ පීටර් ලැවොයි මුණගැසීමට පාකිස්තානු හමුදානායක කසානි ප‍්‍රතික්ෂේප කිරීම නිසාය. මෙම සිද්ධිය ගැන ප‍්‍රකාශයක් කළ එක්සත් ජනපද ප‍්‍රකාශකයෙක් සැපයුම් මාර්ගය නැවත විවෘත කිරීම පිළිබඳව එකඟතාවකට කැමති නම් තමන් නැවතත් පැමිණීමට සූදානම් බව සඳහන් කෙළේය. කෙසේ වෙතත් එක්සත් ජනපදය හා පාකිස්තානය අතර ඇති සබඳතා බරපතළ පිරිහීමකට පත්ව ඇති බව පැහැදිලිය. ඊට අමතර සාධකයක් වන්නේ පාකිස්තානයේ ප‍්‍රධාන පසමිතුරා වන ඉන්දියාව, එක්සත් ජනපදයේ කළණ මිතුරෙක් කර ගැනීමට ගන්නා උත්සාහයයි. එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් ඇතුළු උසස් නිලධාරීන් පාකිස්තානය විවේචනය කරන අතර ඉන්දියාව පැසසීමට පසුබට වන්නේ නැත. ඉන්දියාවට ඇෆ්ගනිස්ථානය සම්බන්ධයෙන් ආර්ථික හා දේශපාලන මෙන්ම ආරක්ෂක කටයුතුවලින්ද ප‍්‍රමුඛ වැඩ කොටසක් ඉටුකිරීමට අවස්ථාව ලැබී ඇතැයි ආරක්ෂක ලේකම් පැනේටා සිය ඉන්දියානු සංචාරයේදී ප‍්‍රකාශ කෙළේය. ඇෆ්ගනිස්ථානය සමග ලේ සබඳකමක් ඇතැයි සලකන පාකිස්තානයට මෙය සුවදායක ප‍්‍රවෘත්තියක් නොවේ. ඊට අමතරව මේ සතියේදී ධවල මන්දිරයේ ප‍්‍රකාශකයෙක් ඉන්දියාව තම ආරක්ෂක වැඩපිළිවෙළේ මුල්ගලක් බව අවධාරණය කෙළේය. ඉන් පැහැදිලි වන්නේ එක්සත් ජනපදයේ සමස්ත උපායමාර්ගික සැලැස්ම තුළ ඉන්දියාව වඩාත් ප‍්‍රමුඛ වන්නේය යන්නයි. පාකිස්තානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළට සම්බාධක පනවා ඇති එක්සත් ජනපදය අන්තර්ජාතික පරමාණුක බලශක්ති ආයතනයේ නීති රීති නොසලකා ඉන්දියාව න්‍යෂ්ටික සැපයුම් කණ්ඩායම සමග ගනුදෙනු කිරීමට අවස්ථාවක් ලබා දුන්නේය. එහෙත් එක්සත් ජනපදයට පාකිස්තානය සම්පූර්ණයෙන්ම නොතකා සිටිය නොහැක. දැනට ප‍්‍රකාශයට පත්කර ඇති ආකාරයට 2014 අවසන් වන විට ඇෆ්ගනිස්ථානයේ රඳවා සිටින ඇමරිකානු හමුදාව ඉවත් කර ගන්නේ නම් කාබුල්හි ස්ථාවර රජයක් ස්ථාපිත කිරීම අනිවාර්ය සාධකයකි. දූෂණ හා වංචා චෝදනා එල්ල වී ඇති ජනාධිපති කර්සායිගේ රජයට ජනතා සහයෝගයක් ඇතැයි කිව නොහැක. එමෙන්ම දශකයකට අධික කාලයක් සටන් කළද තලෙබාන් හා අනෙකුත් සටන්කාමී සංවිධානවල ශක්තිය දුර්වල වී ඇත්තේද නැත. විශේෂයෙන්ම හකානි ජාලයට කාබුල් නගරයටම ප‍්‍රහාර එල්ල කිරීමට හැකියාවක් පවතී. නේටෝ හමුදාව ඉවත්කර ගැනීමට පෙර මෙම කණ්ඩායම් සමග එකඟතාවක් ඇතිකර ගැනීමට එක්සත් ජනපදය සූදානම් වුවද එය සාර්ථක බවක් මෙතෙක් දක්නට නැත. එවැනි එකඟතාවක් නොමැතිව හමුදා ඉවත්කර ගැනීමෙන් ජනාධිපති කර්සායිට හෝ ඒ වෙනුවට පත් වෙන වෙනත් පුද්ගලයෙකුට කොපමණ කලක් බලයේ රැඳී සිටිය හැකිද යන්න තීරණය කරන්නේ හකානි ජාලය වැනි කණ්ඩායම්වල ක‍්‍රියාකාරීත්වයයි. එක්සත් ජනපදයේ ආරක්ෂක ප‍්‍රධානීන් පවසන ආකාරයට මෙම කණ්ඩායම් සියල්ල පාලනය කරන්නේ පාකිස්තානයේ අයි.එස්.අයි. සංවිධානය විසිනි. පාකිස්තානය මෙම සම්බන්ධතාව බිඳ දමා ඔවුන්ට රැකවරණය දීම ප‍්‍රතික්ෂේප කරන්නේ නම් හැර ඇෆ්ගනිස්තානයේ කෙරෙන යුද්ධය ජයගත නොහැක. නේටෝ හමුදා ඉවත්කර ගැනීමෙන් පසුව ඇෆ්ගනිස්තානයේ දේශපාලනයට බලපෑමක් කිරීමට නම් පාකිස්තානයට මේ සම්බන්ධතා පවත්වා ගැනීම අත්‍යවශ්‍ය සාධකයකි. ඇෆ්ගනිසතානයේ ඉන්දියානු බලපෑම සීමා කිරීමටද යොදාගත හැක්කේ එවැනි බල කණ්ඩායම්ය. එවැනි පරිසරයක් තුළ පාකිස්තානය හා එක්සත් ජනපදය අතර සබඳතා පිරිහීමට එකම හේතුව වන්නේ සැපයුම් මාර්ග වසා දැමීම පමණක් නොවේ. ඉන්දියාව පදනම් කරගත් එක්සත් ජනපද උපායමාර්ගික වැඩපිළිවෙළ පාකිස්තානය දකින්නේ තමාටද ඇති තර්ජනයක් සේය. මෙහිදී පාකිස්තානය පතන්නේ චීනයේ සහායයි. ඒ අනුව පාකිස්තානු-ඇමරිකානු සබඳතා පිරිහීම තේරුම් ගත යුත්තේ එක්සත් ජනපදයේ සමස්ත උපාය මාර්ගික සැලසුමේ කොටසක් ලෙසය.
සටහන-මහින්ද හත්තක
පාකිස්තානයේ ඇමෙරිකානු විරෝධතාවක් සර්ධාරි සහ හූ ජින්ටාවෝ නේටෝ තෙල් ටැංකි එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පැනේටා ඇමෙරිකා ඩ්‍රෝන ප‍්‍රහාරයකින් මියගිය අල්කයිඩා නායකයෙක්