දකුණු අප්‍රිකාවේ නැගෙනහිර කේට් පළාතේ කූණූ කඳුකර ගමේ සුදු පැහැ කූඩාරමක තැන්පත් කර තබූ නෙල්සන් මැන්ඩෙලා දේහය ඉදිරිපිට ඉටිපන්දම් 95ක් දැලිවිණි.

ඒ අතර දහස් ගණන් දෙනා සිය නායකයාට , වීරයාට, විමුක්තිකාමියාට අවසන් ගෞරව දැක්වූහ.

පසුගිය දෙසැම්බර 05 වැනි දා මැන්ඩෙලා මිය ගියේ පෙනහළු ආබාධයකිනි.

මැන්ඩෙලාගේ දේහය තැන්පත් කළ මංජුසාව හමුදා පෙරහරකින් එහි කූඩාරමේ තැන්පත් කැරිණි.

මැන්ඩෙලා සිනාමුසු මුහුණින් සිටින දැවැන්ත පින්තූරයක් පසෙක විය.

මැන්ඩෙලාගේ සිරුර ඔහු ඉප දී ජීවත් වෙමින්, කෙළි සෙල්ලම් කළ පුංචි ගමට ළඟ වූයේ සෙනසුරාදා ය.

මේ ගමට ඔහු තදින්ම ඇළුම් කළේය.

කුඩා කළ මැන්ඩෙලා එහි ගමේ ගවයන් හා එළුවන් බලා ගත්තේ ය. ඔහුගේ නෑයෝ ගමේ සොහොනේ නිදති.

තාත්තා සැබවින්ම අයිති තැනට ආවා යැයි මැන්ඩෙලාගේ දියණිය මාර්කි මැන්ඩෙලා කීවාය.

ජාතිවාදී, වර්ණභේද වාදයට එරෙහිව සටන් කළැයි මැන්ඩෙලා 27 වසරක් සිරබත් කෑවේය.

1990 දී හිරෙන් නිදහස් වූ ඔහු ඉන් සිව් වසරකට පසු එහි ප්‍රථම කළු ජනපති විය.  සාමය, සංහිඳියාව සමාව දීම වැනි උතුම් ගුණාංග දකුණු අප්‍රිකාවටම කියා දෙමින් වෛරය හා ක්‍රෝධය පිටු දකිමින් ක්‍රියා කළ ඔහු අන්තර් ජාතික වශයෙන් පිළිගත් සාම දූතයෙක් විය.

කූණූ ගමට දේහය රැගෙන ඒමට පෙර ප්‍රිටෝරියා නුවර දින තුනක් රාජ්‍ය ගෞරව සඳහා තම්පත් කර තැබිණි.

ලොව රට රටවල් රැසක් නායකයෝ ද ඔහුට අවසන් ගෞරව දැක්වූහ.

ඉතා සංවේදී හා නෙතට කඳුළු ගලා ආ අවමඟුලක දී --ප්‍රිටෝරියා ගුවන් තොටේ දී -- දේහය පාලක අප්‍රිකා ජාතික කොංග්‍රසයට භාර දීමෙන් අනතුරුව යුද හමුදා හෙලිකොප්ටරයකින් කූණූ ගමට රැගෙන යනු ලැබීය.

ගමේ දී දේහය රැගත් පෙරහර තැන තැන නතර කිරීමට සිදු විය. ඒ ගමේ මිනිසුනට අවසන් බුහුමන් දැක්වීම සඳහාය.

යුද හමුදාවෙන් දේහය ඔහුගේ නිවසේ වැඩිහිටියනට බාර දුන් පසු පෙට්ටිය වසා තුබූ දකුණු අප්‍රිකා ජාතික කොඩිය ඉවත් කැරිණි.

ඒ වෙනුවට ෂෝෂා ජනයාගේ සංකේතය වන සිංහ සමකින් පෙට්ටිය අවාරණය කැරිණි.

රෑ බෝ වූ පසු ගම් නායකයෝත්, ගෝත්‍රික නායකයෝත්, ඔහුගේ පවුලේ අයත් තෙම්බු ගෝත්‍රික සිරිතට දේහය මුර කළහ.

අවසන් අවමඟුල් උළෙලට මැන්ඩෙලා පවුලේ සාමාජිකයෝ, බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමාරයා, ජනාධිපති ජේකබ් සූමා ඇතුළු මැති ඇමැතිවරු ද, ප්‍රාදේශීය හා  විදේශ අමුත්තෝ ද පැමිණියහ. අඩුගණනේ හාරදහස් පන්සිය දෙනෙක් එහි  සිටියහ.

දැවැන්ත රූපවාහිනී තිර මගින් අවමඟුලේ සජීවි ඡායාරූප ගම පුරා ප්‍රදර්ශනය විය.

 සම්ප්‍රදාය අනුව යමින් ඉර මුදුන් වූ පසු මැන්ඩෙලා කූණු ගමේ නිල් කඳුකරය අතර වළක මිහිදන් ‍කැරිණි.