ඉස්ලාමීය ආගමේ ශුද්ධ ග‍්‍රන්ථයක් වූ කුරානය ගිනිබත් කිරීමෙන් කුපිත වූ ඇෆ්ගන් ජනතාවගේ විරෝධය යටත්වීමටත් පෙර නැවතත් එවැනිම කුපිතකාරී සිද්ධියක් නිසා එක්සත් ජනපදය ප‍්‍රමුඛ විදේශීය රටවල හමුදා කෙරේ නැවත වරක් විරෝධයක බීජයක් හට ගෙන ඇත. ඒ පසුගිය ඉරිදා අලූයම 3.00ට පමණ දකුණු දිග ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් ප‍්‍රදේශයේ සිදු කරන ලද ඝාතනයි. එක්සත් ජනපද හමුදා ප‍්‍රකාශකයන් පවසන ආකාරයට කඳවුරෙන් පිටව ගිය හමුදා සෙබලෙක් පුද්ගලයන් 16 දෙනකු ඝාතනය කොට  ආපසු සිය කඳවුරට පැමිණ භාරවී ඇත. මරා දමන ලද පුද්ගලයන්ගෙන් නම දෙනකු ළමයින් වන අතර තවත් තිදෙනකු ස්ත‍්‍රීන්ය. වඩාත්ම ඛේදනීය වන්නේ මියගිය අයගෙන් 11 දෙනකු එකම පවුලක සාමාජිකයන් වීමය. සිද්ධිය ගැන වාර්තාවීමත් සමඟ කාබුල් නගරයේ නේටෝ හමුදා නායකයෝත් මෙන්ම එක්සත් ජනපද ජනාධිපති ඔබාමා සිය කනගාටුව පළ කළහ. ඇෆ්ගන් ජනාධිපති  කර්සායි මෙය කිසිසේත් සමාව දිය නොහැකි අපරාධයක් යැයි හැඳින් වූයේය. කුරානය ගිනි තැබීමෙන් පසු රටපුරා ඇවිළ ගිය විරෝධතා ව්‍යාපාරය වැන්නක් නැවත ඇතිවීම වැළැක්වීමට පියවර ගෙන ඇති බවද වාර්තාවේ. කුරානය ගිනිබත් කිරීම අත්වැරැද්දක් ලෙස හැඳින්වූ ආකාරයටම මෙම සිද්ධිය මානසික විකෘතියට පත් සෙබලකුගේ හුදකලා  ක‍්‍රියාවක් ලෙස හඳුන්වා තිබීම නිසා එහි බරපතළකම අඩුවනු ඇතැයි කිව නොහැක. අනිත් අතට ගම්වැසියන් උපුටා දක්වන සමහර වාර්තාවල සඳහන් වන ආකාරයට මෙම ප‍්‍රහාරයට භට කණ්ඩායමක් සහභාගී වී ඇත. සිද්ධියේ ස්වභාවය එය තනි පුද්ගලයකුගේ ක‍්‍රියාවක ලෙස හැඳින්වීම අපහසු බව සමහර නිරීක්ෂකයෝ පෙන්වා දෙති. එක් නිවසක වැසියන් මරා දැමීමෙන් පසුව එම නිවසට ගිනි දැමීම තුවාලවලින් මියගිය ළමයකුගේ මළ සිරුරක් වෙනත් තැනකට ගෙන යාමේ අදහසින් වාහනයකට දමා තිබීම වැනි කරුණු ගණනාවක් නිසා සැක සහිත තත්ත්වයක් මතු වුවද එක්සත් ජනපද හමුදා අංශ එය හුදෙක් මානසික තත්ත්වයකින් පෙළන සොල්දාදුවකුගේ ක‍්‍රියාවක් යන මතයේ දැඩිව සිටී. මීට පෙර විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වෙමින් සිටියදී ගුවන් ප‍්‍රහාරයකට ලක්ව විස්සක පමණ පිරිසක් මියයෑම හැඳින්වූයේ තලෙබාන් කණ්ඩායමක් යැයි වරදවා හඳුනා ගැනීමක් සේය. තවත් අවස්ථාවක දර එකතු කිරීම සඳහා කැලයට ගොස් සිටි ළමයින්  පිරිසක් මරා දැමීම ඔවුන් ගරිල්ලා භටයන් යැයි වරදවා තේරුම් ගත් නිසා සිදු වූ බව වාර්තා විය. එවැනි පසු බිමක් යටතේ මෙම සිද්ධිය තනි පුද්ගලයකුගේ ක‍්‍රියාවක් බව තහවුරු කළ ද ඉන් ඛේදවාචකයේ බරපතළකම හෝ වගකීමේ අඩුවක් වන්නේ යැයි කිව නොහැක. කෙසේ වුවත් මෙම සිද්ධීන් මාලාවෙන් පැහැදිලි වන ආකාරයට එක්සත් ජනපදයට ඇෆ්ගනිස්තානයෙන් පිටව යෑමට සිදු වන්නේ මූලික අරමුණු සපුරා ගැනීමෙන් තොරවය. 2014 දී ඇමරිකන් හමුදා ප‍්‍රමුඛ නේටෝ හමුදා ඉවත් කර ගැනීමට සැලසුම් කර තිබුණද ඊට පෙර දෙරට අතර ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමට ඇමරිකන් ජනාධිපතිවරයාට අවශ්‍ය විය. එවැනි ආරක්ෂක ගිවිසුමකින් අපේකෂා කළේ ඇෆ්ගනිස්ථානය තුළ ඇමරිකන් හමුදා කණ්ඩායමක් දිගටම රඳවා තැබීමය. එහෙත් ඇෆ්ගනිස්ථානයේ සාමාන්‍ය ජනතාව  තුළ පවතින දැඩි ඇමරිකන් විරෝධය නිසා ජනාධිපති කර්සායිට එවැනි ගිවිසුමකට එළඹීම පහසු කටයුත්තක් නොවේ. කුරානය ගිනි බත් කිරීමත් සමඟ රට පුරා ඇවිල ගිය  විරෝධතාවයේ මූලික ඉල්ලීමක් වූයේ සියලූ විදේශීය හමුදා වහාම ඉවත්ව යා යුතුය යන්නයි. එම විරෝධතාවයේදී දක්නට ලැබුණු ආකාරයට ඇමරිකානුවන්ට කිසිම ඇෆ්ගන් ජාතිකයකු විශ්වාස කළ හැකි තත්ත්වයක් නැත. මේ නිසා රජයේ දෙපාර්තමේන්තුවල උපදේශකයන් වශයෙන් පත් කර  සිටි ඇමරිකානු නිලධාරීන් සියලූ දෙනා ඉවත් කර ගැනීමට පියවර ගැනිණි. ඒ ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව ගැන සහතිකයක් නොවූ බැවිනි. එහෙත් ඇමරිකානු හමුදා කණ්ඩායම් ඇෆ්ගනිස්ථානය තුළ රඳවා ගැනීමේ ගිවිසුමකින් තොරව ඉවත්ව යෑමට සිදු වන්නේ නම් යුද්ධය වෙනුවෙන් දැනටමත් වැය කර ඇති ඩොලර් බිලියන 500කට වඩා වැඩි මුදල සම්පූර්ණයෙන්ම අපතේ යැවීමකි. අනෙක් අතට එක්සත් ජනපදය තුළින්ම ඇෆ්ගන් යුද්ධයට එරෙහිව පළවන මතය  දැඩි වෙමින් පවතින බව පෙනේ. පසුගිය ඉරිදා වොෂින්ටන් පෝස්ට් පුවත්පත හා ඒබීසී පුවත් ජාලය පැවැත්වූ ජනමත විමසුමකදී සියයට 60ක්ම ඇෆ්ගනිස්ථානයේ යුද්ධයක් කිරීමේ අවශ්‍යතාවයක් දකින්නේ නැත. සියයට 40ක් ඊට දැඩි සේ විරුද්ධ වෙති. මෙම වසරේ නොවැම්බර් මාසයේදී දෙවන වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඔබාමාට මෙම ජනමතය නොසලකා සිටිය නොහැක. ඔහු 2008  දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ යුද්ධය හැකි ඉක්මනින් අවසන් කොට  ඇමරිකානු භටයින් ආපසු ගෙන්වා ගැනීමේ පොරොන්දුව ඇතිව යන්නද අමතක කළ නොහැක. පසුගිය ඉරිදා සිද්ධියෙන් පසු ජනාධිපතිවරයාට  රිපබ්ලිකන් පක්ෂයෙන් නාමයෝජනා අපේක්ෂාවෙන් සිටින අය පවා ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමරිකානු භටයන්ගේ ජීවිත අනතුරුදායක තත්ත්වයක  පවතින බව පිළිගත්හ. නියමිත කාලයට පෙර එනම් 2014 අවසන්වීමට පෙර ඇමරිකන් භටයන් ආපසු ගෙන්වාගැනීමේ කිසිම සැලැස්මක් නැති බව ජනාධිපති ඔබාමා අවධාරණය කළද  ගැටලූව වන්නේ ඉන් පසුව හෝ බලය පවරා දෙන්නේ කාටද යන්නයි. එක්සත් ජනපද කොංග‍්‍රස් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නායකයන් පවසන ආකාරයට ජනාධිපති හමීඞ් කර්සායිට රට තුළ සැබෑවටම බලයක් නැත. සෙනෙට් සභික චක් ෂුමාන් පවසන ආකාරයට රට තුළ කිසිවෙක් කර්සායි විශ්වාස කරන්නේ නැත. ඇමරිකානු ආධාර යටතේ ගොඩ නගන ලද ඇෆ්ගන් ගුවන් හමුදාව වැඩි වශයෙන් යොදා ගන්නේ  හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය ජාවාරමට හා නීති විරෝධී අවි ආයුද ප‍්‍රවාහනය කිරීමට බව සමහර  වාර්තාවල සඳහන් වේ. මෙම චෝදනා ජනාධිපති කර්සායි දැඩිව ප‍්‍රතික්ෂේප කරන නමුත් ඔහුගේ පාලන යන්ත‍්‍රය අතිශයෙන් දුෂිත බව බැහැර කළ නොහැක. වංචා හා දුෂණ ගැන ක‍්‍රියා කරන බවට ඔහු ප‍්‍රසිද්ධියේ පොරොන්දු වුවද මෙතෙක් එවැනි කිසිවක් සිදුව නැත. එම නිසා එක්සත් ජනදය ප‍්‍රමුඛ රටවල් මුහුණ දී ඇති බරපතළම ගැටලූව වන්නේ හමුදා ඉවත් කර ගැනීමෙන් පසු ඔවුන්ට හිතවත් පාලන ව්‍යුහයක් ස්ථාපිත කරන්නේ කෙසේද? යන්නයි. මීට එක විසඳුමක් වන්නේ දැනට සටන් වැද සිටින තලෙබාන් කණ්ඩායම සමඟ සාකච්ඡුා කොට දෙපාර්ශ්වයටම පිළිගත හැකි පාලනයක් ගැන එකඟතාවක් ඇති කර ගැනීමය. දැනට පළවී ඇති වාර්තා අනුව තලෙබාන් සංවිධානය එක්සත් ජනපදය සමඟ සාකච්ඡා  කිරීමට සූදානම් නමුත් හමීඞ් කර්සයිගේ නායකත්වය පිළිගැනීමට  සූදානම් නැත. කර්සායි නොමැතිව තලෙබාන් සංවිධානය සමඟ ඇතිකර ගන්නා එකඟත්වයකින් අදහස් වන්නේ තලෙබාන් සංවිධානයට  නැවත  රට භාරදීම හා තම මිතුරා අතහැර දැමීමය. ඇත්තෙන්ම මේ දෙකම එක්සත්  ජනපදයේ දර්ඝකාලීන දේශපාලන උපාය මාර්ගයට කිසිසේත්ම ගැලපෙන්නේ නැත. එසේ වුවත් සුපිරි බලවත් එක්සත් ජනපදයට විකල්ප මාර්ගයක් ඇති බවක් නොපෙනේ.
සටහන - මහින්ද හත්තක
ඇමරිකා හමුදා භටයන් අතින් මියගිය පුද්ගලයන් සිහිකරමින්... ඇෆ්ගන් ජනපති කර්සායි ඇමෙරිකානු ආරක්ෂක ලේකම් සැනේටා ඇමෙරිකානු ජනාධිපති ඔබාමා