සිරියානු ගුවන් සේවයට අයත් ගුවන්යානයක් තුර්කි ගුවන් තලය හරහා රුසියාවේ සිට සිරියාවේ ඇලෝපෝ නගරය දක්වා පියාසර කරමින් සිටියදී තුර්කි ගුවන් හමුදාව විසින් ඇන්කරා ගුවන්තොටුපලට ගොඩ බැසීමට අණ කිරීමත් සමඟ මාස විස්සකට අධික කාලයක් තිස්සේ දිග් ගැසෙමින් පවතින සිරියානු අර්බුදය වඩාත් තියුණු මුහුණුවරක් ගන්නා බව පෙනේ. තුර්කි ගුවන් තලය හරහා පියාසර කළ මෙම සිරියානු ගුවන් යානයට ඇන්කරා ගුවන් තොටුපළට බැස්සවීමට අණ කළේ එහි යුද උපකරණ හා මුණිස්සම නීති විරෝධීව ප‍්‍රවාහනය කරන බවට තොරතුරු ලැබුණ නිසා බව තුර්කි රජය ප‍්‍රකාශ කළත් එම යානයේ තිබී සොයා ගත් කිසිවක් මෙතෙක් ප‍්‍රකාශයට පත් නොකිරීමද විශේෂයකි. අවසානයේදී පැය නමයක පමණ කාලයක් රඳවා ගත් එම ගුවන් යානය සිරියාවට යෑමට නිදහස් කළද ඒ පිළිබඳ අර්බුදය තවම විසඳී නැත. ඒ බව පැහැදිලි වන්නේ මේ සතියේ සඳුඳා ආර්මේනියාවේ සිට සිරියාවට පැමිණෙමින් තිබූ මගී ගුවන්යානයක්ද නැගෙනහිර තුර්කියේ ගුවන්තොටුපළකට හරවා යැවීමට තුර්කි ගුවන් හමුදාව පියවර ගැනීමෙනි. එම ගුවන් යානයේද සැකකටයුතු කිසිත් නොමැති නිසා පසුව සිරියාව බලා පියාසර කිරීමට ඉඩදී ඇත. මෙම අර්බුදය නිසා සිරියාව තම ගුවන් තලය හරහා පියාසර කිරීමට තුර්කි ගුවන් යානාවලට ඉඩ නොදෙන බව නිවේදනය කළේය. එහෙත් පසුගිය ශ‍්‍රිෂ්මයේදී සිරියාව තුර්කි ගුවන් හමුදාවට අයත් ප‍්‍රහාරක ජෙට් යානයක් සිරියානු වෙරළබඩ ප‍්‍රදේශයේදී වෙඩි තබා බිම දැමීමත් සමඟ තුර්කි ගුවන්යානා සිරියානු ගුවන් තලයට පිවිසෙන්නේ නැත. තුර්කිය ඊට ප‍්‍රතිචාරයක් වශයෙන් සිරියානු ගුවන්යානාවලට තම රට හරහා පියාසර කිරීමට ඉඩ නොදෙන බව ප‍්‍රකාශ කළේය. සඳුදා සිරියාව බලා පියාසර කළ ආර්මේනියානු ගුවන් යානය පිළිබඳ සිද්ධියෙන් පෙනී යන්නේ සිරියාව බලා පියාසර කරන අනෙකුත් ගුවන්යානාවලටද අවකාශය සීමා කිරීමේ හෝ නවතා දැමීමේ සූදානමක් පවතින බවයි. එය පැහැදිලිවම තුර්කිය සිරියාවේ පවතින අර්බුදයට ඍජු මැදිහත්වීමට අවස්ථාවක් කර ගැනීමටද බෙහෙවින් ඉඩ ඇත. සිරියානු හමුදාව කැරලිකරුවන්ට එල්ල කළ ප‍්‍රහාරයකදී තුර්කි දේශ සීමාව අසලට වැටුණු බෝම්බයකින් සිවිල් වැසියන් පස්දෙනකු මිය යාමත් සමඟ තුර්කි හමුදාවද ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළ බවද වාර්තා වේ. ඊට අමතරව සිරියානු දේශ සීමාව අසල තුර්කි හමුදාව විශාල වශයෙන් ඒකරාශී කර ඇති අතර ඔවුන්ට සහායවීම සඳහා එක්සත් ජනපද හා බි‍්‍රතාන්‍ය විශේෂ භට කණ්ඩායම් සිටින බවද වාර්තා වේ. ඒ සමඟම සිරියාවේ දකුණු දේශ සීමාව අසල ජෝර්දානයේද ඇමරිකානු විශේෂ භට කණ්ඩායම් රඳවා ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සඳහන් කර තිබිණ. තුර්කිය කලක් තම සගයෙකුව සිටි සිරියානු ජනාධිපති බෂීර් අල් අසාඞ් ගේ පාලනය පෙරළා දැමීමට කුමන සිද්ධියක් හෝ හේතු සාධක කර ගැනීමට සූදානම් බව රුසියාවේ සිට පැමිණි ගුවන් යානය නතර කිරීමට ක‍්‍රියා කළ ආකාරයෙන් පැහැදිලිය. එම ගුවන් යානයෙන් යුද අවි සහ මූණිස්සම් ප‍්‍රවාහනය කරන බවට තොරතුරු ලැබුණු බව තුර්කි රජය ප‍්‍රකාශ කළත් එවැන්නක් සොයා ගත් බවක් හෙළි කළේ නැත. තුර්කි අගමැති රිසෙප් ටොයිප් එර්ඩොගාන් සිවිල් ගුවන් යානයේ අවි ආයුධ ප‍්‍රවාහනය කරන බව ස්ථිරවම ප‍්‍රකාශ කළත් විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ හමුදාමය වටිනාකමක් ඇති උපකරණ ප‍්‍රවාහනය කරන බවට තොරතුරු ලැබුණ බවය. සිද්ධිය වූ වහාම ප‍්‍රකාශයක් කළ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වික්ටෝරියා නූලන්ඞ් එහි අවි ආයුධ තිබූ බවට කිසිදු සැකයක් නැති බව පැවසුවාය. අවසානයේ වාර්තාවන ආකාරයට එම ගුවන් යානයේ තිබී ඇත්තේ රුසියාවෙන් සිරියාවට ලබාදී ඇති මිසයිල ආරක්ෂක පද්ධතියේ ඉලෙක්ට්‍රොනික උපකරණවලට අවශ්‍ය කරන අමතර කොටස්ය. බොහෝ නිරීක්ෂකයන් පෙන්වා දෙන ආකාරයට එම අමතර කොටස්, යුද අවි හෝ මූණිස්සම් වශයෙන් හැඳින්වීමට නොහැකිය. මෙම සිද්ධිය සිරියාව සමඟ ඍජු ගැටුමකට යෑමට සූදානම් තුර්කියට ඊට පිවිසුම් මාර්ගයක් තනා ගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට පැහැදිලි සාක්ෂියකි. මීට වසර දෙකකට පෙර අරාබිකරයේ පාලකයන්ට එරෙහිව ජනතා නැගිටීම ඇරඹෙත්ම සිරියාවේ ගැටුම්වලට තුර්කියේ සහාය මෙන්ම මැදිහත්වීම ප‍්‍රසිද්ධියේම දක්නට ලැබිණ. සිරියානු විපක්ෂ කණ්ඩායම්වලට සෞදි අරාබිය හා කටාර් වැනි රටවලින් යොමු කළ ආධාර හා උපකරණ ලබාදීම සම්බන්ධීකරණය වූයේ තුර්කිය හරහාය. ලිබියාවේ නිදහස් හමුදාවේ ආකෘතිය පදනම කරගෙන සිරියානු නිදහස් හමුදාව ගොඩ නැගුවේද තුර්කි හමුදාවේ ඍජු මැදිහත්වීම යටතේය. අරාබි රටවලින් පැමිණි අල් කයිඩා හා අනෙකුත් සටන්කරුවන් කඳවුරු බැඳ ගත්තේද සිරියානු දේශ සීමාව අසල තුර්කියේය. සිරියාවට එරෙහිව ප‍්‍රහාර දියත් කෙරෙන්නේ මේ කඳවුරු පදනම් කරගෙන නිසා සිරියානු හමුදාවෙන් ඒවාට ප‍්‍රතිප‍්‍රහාර එල්ලවීමටද ඉඩ ඇත. කෙසේ වුවත් තුර්කියට දැනට අවශ්‍ය වන්නේ එහි සරණාගත කඳවුරුවල සිටින ලක්ෂයකට අධික සිරියානු සරණාගතයන් සඳහා සිරියානු දේශ සීමාව අසල ගම්මානයක සරණාගත කඳවුරු ඉදිකිරීමටය. ඒ සඳහා මූලික අවශ්‍යතාවය වන්නේ දේශසීමා ප‍්‍රදේශයෙන් සිරියානු භටයන් පලවා හැරීමය. එහෙත් තුර්කියේ සහාය ඇතිව සටන් කරන සිරියානු නිදහස් හමුදාවට තවත් එවැනි හැකියාවක් නොමැති නිසා තුර්කි හමුදාවට ඍජුවම මැදිහත් වීමට සිදුව ඇති අතර දැන් අවශ්‍ය වන්නේ ඊට හොඳ හේතුවකි. තුර්කිය නේටෝ සංවිධානයේ සාමාජිකයකු නිසා තුර්කිය සටනට මැදිහත් වන්නේ නම් ඊට නේටෝ රටවලටද මැදිහත්වීමට අවස්ථාවක් හිමිවේ. ඒ නේටෝ සාමාජික රටකට ප‍්‍රහාරයක් එල්ල වන්නේ නම් අනෙකුත් සාමාජික රටවල් එය තමන්ට එල්ල වූ ප‍්‍රහාරයක් සේ ප‍්‍රතිචාරයක් දැක්විය යුතු බවට ගිවිසුම් කොන්දේසි අනුව දක්වා ඇති නිසාය. කෙසේ වුවත් තවමත් තුර්කියට හෝ නේටෝ රටවලට සිරියාව සම්බන්ධයෙන් ඍජු හමුදාමය මැදිහත්වීමකට අවස්ථාව ලැබී නැත. ලිබියාවේ මෙන් ”ජනතාව ආරක්ෂා කිරීමේ” අයිතිය යටතේ සිරියාවේ ගුවන් තහනම් කලාපයක් පිහිටුවීමට එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් යෝජනාවක් සම්මත කර ගැනීමට ගත් උත්සාහය එහි නිෂේධ බලය හිමි රුසියාවේ සහ චීනයේ විරෝධය නිසා වැළකින. ලිබියාවේ ගුවන් තහනම් කලාපයක් පිහිටුවීමෙන් පසු නේටෝ හමුදාව ගඩාෆිට එරෙහිව ගුවන් ප‍්‍රහාර එල්ල කරන විට ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් වූ රුසියාවට හෝ චීනයට එය වැළැක්වීමට කිසිදු පියවර ගත නොහැකි වූ නිසා එම වැරැද්ද දෙවැනි වරටත් කිරීමට ඒ රටවල් දෙක සූදානම් නොවන බව පෙනේ. දෙවැනිව තුර්කිය හා අනෙකුත් අරාබි රටවල් ඇතුළුව එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර රටවල් සැලසුම් කරන්නේ අල් අසාඞ් ගේ පාලනය ඉවත් කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් පිහිටුවීමට වඩා ඔවුනට අවනත පාලන ක‍්‍රමයක් ස්ථාපිත කිරීම යැයි රුසියාව හා චීනය යන රටවල් දෙකම සිතනවා විය හැකිය. සිරියානු අර්බුදය විසඳා ගැනීමට රුසියාවෙන් ඉදිරිපත් වූ කිසිම යෝජනාවකට එක්සත් ජනපදයෙන් හෝ සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් කලාපයේ රටවලින් සහායක් ලැබුණේ නැත. තුන්වැනිව සිරියානු අර්බුදය එක්සත් ජනපදය මැද පෙරදිග තෙල් සම්පත් පිළිබඳව ඒකාධිකාරී බලයක් තහවුරු කර ගැනීමේ සහ රුසියාව හා චීනය කොටු කිරීමට සැලසුම් කරන ව්‍යාපාරයේම කොටසක් ලෙස ඒ රටවල් දෙකේම පිළිගැනීමක් පවතින බවද පෙනේ. විදේශීය රටක ඇති එකම රුසියානු නාවික මධ්‍යස්ථානය සිරියාවේ පිහිටා ඇති අතර අසාඞ් බලයෙන් ඉවත් කළහොත් එහි අනාගතය ගැන රුසියාවට සහතිකයක් නැත. එවැනි වාතාවරණයක් යටතේ සිරියානු අර්බුදයට තුර්කියේ ඍජු මැදිහත්වීමක් වුවහොත් රුසියාව ඊට කවර ආකාරයෙන් ප‍්‍රතිචාර දක්වනු ඇත්ද යන්න තවම නිශ්චිත නැත. රුසියාව හා චීනය යන රටවල් දෙකම සිරියානු අර්බුදයට සාකච්ඡුාමය විසඳුමක් ලබා ගැනීමට යෝජනා කරන්නේ අවි ගැටුමකට මැදිහත් වීමේ අනතුර වැළැක්වීමට විය හැකිය. සිරියානු ගුවන්යානා සිද්ධියත් සමඟ රුසියානු ජනාධිපති පුටින් ඔක්තෝබර් 14 වැනිදාට නියමිතව තිබූ තුර්කි නිල සංචාරය දින නියමයක් නැතිව කල් දැම්මේය. සිවිල් ගුවන් යානා සම්බන්ධයෙන් සිරියාව හා තුර්කිය අතර ඇති විය හැකි ගැටුම් වැළැක්වීමට ඒ දෙරටේ නියෝජිතයන්ගේ සම්බන්ධීකරණ කමිටුවක් රුසියාව යෝජනා කළද තුර්කිය ඊට ප‍්‍රතිචාරයක් දැක්වූයේ නැත. එම නිසා රුසියාවට (එමෙන්ම චීනයටත්) මෙම අර්බුදයේදී තම ආර්ථික හා දේශපාලන වුවමනාවන් සහතික කර ගැනීමට ඇති විකල්පය වන්නේ අල් අසාඞ් ගේ පාලනය බිඳ වැටීම වැළැක්වීම හා තුර්කියේ හා එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර රටවල සහාය ලබන සිරියානු විපක්ෂ කණ්ඩායම බලය අත්පත් කර ගැනීම වැළැක්වීමය. ඒ සඳහා හමුදාමය මැදිහත්වීමකට රුසියාව හා චීනය සූදානම්ද යන්න පැහැදිලි නැත. එමෙන්ම  ඕනෑම මොහොතක සිරියාවට ඇතුළුවීමට තුර්කියට හැකියාව තිබුණද එය අනතුරුදායක මෙන්ම දීර්ඝ කාලීන යුද්ධයකට මුල පිරීමක් විය හැකි නිසා තුර්කිය එම අවදානම භාර ගන්නේද යන්නත් කිව නොහැකිය. දැනට මාස විස්සකට අධික කාලයක් තිස්සේ දිග හැරෙන මෙම ගැටුම තවත් සෑහෙන කලක් පවත්වා ගැනීමට අල් අසාඞ්ට ද හැකියාවක් පවතින බව පෙනේ. එහිදී වැයවන සාමාන්‍ය ජනතා ජීවිත ගැන දෙපාර්ශ්වයම අවංකව සැලකිලිමත් වන්නේ ද නැත. එහෙත් කල්ගත වන මෙම ගැටුම අසල්වැසි රටවලට ව්‍යාප්තවීමේ පැහැදිලි අනතුරක් තිබීමත් ඊට සන්නද්ධ බලයෙන්ම විසඳුම් සෙවීමේ උත්සාහයත් තවත් යුද්ධ ගණනාවක ආරම්භයක් බව සැඟවිය හැකි සත්‍යයකි.
සටහන: මහින්ද හත්තක
තුර්කි අගමැති රිසෙප් ටොයිප් එර්ඩොගාන් සිරියානු ජනාධිපති බෂීර් අල් අසාඞ් සිරියානු රජයේ හමුදා කැරැලිකරුකරුවන් අතට පත්වූ යුද ටැංකියක් සිරියානු කැරැලිකරුවෝ