වෙනිසියුලා නායක හියුගෝ චාවේස්ගේ අභාවය ගැන සඳහන් කරන බටහිර ජනමාධ්‍ය වාර්තා නඟන එකම ප‍්‍රශ්නය වන්නේ චාවේස් නොමැති වෙනිසියුලාවේ ඔහු මුල පුරන ලද දේශපාලන ආර්ථික ක‍්‍රියාමාර්ග තව කොපමණ කලක් පවතින්නේද යන්නයි. එම ජනමාධ්‍යකරුවන් සඳහන් කරන ආකාරයට පුම්බන ලද ප‍්‍රතිරූපයක් ගොඩ නඟා ගත් චාවේස් නිර්මාණය කරන ලද දේශපාලන ආර්ථික ප‍්‍රතිපත්ති රාමුව ඉදිරියට ගෙන යෑම පහසු වන්නේ නැත. වෙනිසියුලාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ අභාවයෙන් දින 30ක් ඇතුළත පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් චාවේස්ගේ සමීප දේශපාලන සගයකු වන නිකොලස් මදුරෝ ජය ගන්නා නමුත් ඔහුට චාවේස් අනුගමනය කළ ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග තවදුරටත් පවත්වා ගැනීමට නොහැකි වනු ඇත. වෙනිසුවෙලාව ඉක්මනින්ම නැවත වරක් එක්සත් ජනපදයේ දේශපාලන ක්ෂේත‍්‍රයට ඇතුළුවීමෙන් එහි ”ප‍්‍රජාතන්ත‍්‍රවාදය” තහවුරු වීම වැළැක්විය නොහැකිය.

චාවේස්

දශ ලක්ෂ ගණන් දුගී දුප්පත් ජනතාවගේ අපරිමිත ගෞරවාදරය දිනාගත් චාවේස් වැනි නායකයකු නොමැති වීමේ හිඩැස ඉක්මනින්ම පුරවාලීම පහසු සරල කටයුත්තක් නොවේ. ඒ ඔහු පිළිගත් සම්මතවලට පටහැණිව යමින් ඔහුගේම වචනයෙන් සඳහන් කරන්නේ නම් 21 වැනි සියවසේ සමාජවාදය ගොඩනැඟීමට උත්සාහ කළ නිසාය. ඉක්මනින් සංවර්ධනය වන වෙනත් රට වල මෙන් කෝටි ප‍්‍රකෝටිපතියන් බිහි වීමට හිතකර ප‍්‍රතිපත්ති රාමුවක් අනුගමනය නොකළ නිසා ඔහු ජාත්‍යන්තර මූල්‍ය ආයතන වල සහ එක්සත් ජනපදයේ බැංකුකරුවන්ගේ සුරතලෙක් නොවූයේය. චාවේස්ගේ මූලික පරමාර්ථය වූයේ සමෘද්ධිමත් කරකාස් නගරය වටාත් වෙනිසියුලාවේ වෙනත් ප‍්‍රදේශ වලත් දරිද්‍රතාවයේ පතුළටම කිඳා බැස සිටි අසරණ ජනතාවට වඩාත් යහපත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය සමාජ ආර්ථික පදනම ශක්තිමත් කිරීමය. 2002දී හමුදාවේ කැරැුල්ලකින් චාවේස් බලයෙන් පහ කර සිර කඳවුරක රඳවා නව පාලකයකු පත් කිරීමට ධනපති අතලොස්සක් ගත් උත්සාහය ව්‍යාර්ථ කළේ ද මෙම පැල්පත් වාසී ජනතාවය. චාවේස්ගේ පාලනය යටතේ වෙනිසියුලාවේ ”මානව හිමිකම් තත්ත්වය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය” පිරිහීමට ලක් වූ නිසා එක්සත් ජනපදය වහාම එම කැරලිකරුවන්ගේ රජය පිළිගත්තේය.
ලොව විශාලතම තෙල් සම්පත් ඇති රටක් වශයෙන් හැඳින්වෙන වෙනිසියුලාව එක්සත් ජනපද වෙළෙඳ දෙපාර්තමේන්තුව ගණන් බලා ඇති ආකාරයට වෙනිසියුලාවේ තෙල් සංචිත ප‍්‍රමාණය බැරල් ටි‍්‍රලියන 1.36කි.
ජන සංඛ්‍යාවේ ප‍්‍රතිශතයක් වශයෙන් ලොව වැඩිම දුප්පතුන් ද සිටි රටකි. 1970 ගණන් වල ලෝකයේ තෙල් මිල ශීඝ‍්‍රයෙන් ඉහළ ගිය ද එරට දරිද්‍රතා ප‍්‍රමාණයේ කිසිදු වෙනසක් සිදු නොවීය. තෙල් මිල ඉහළ යෑමේ වාසිය හිමි වූයේ දුෂිත රජයේ පාලකයන්ට හා එක්සත් ජනපද තෙල් සමාගම්වලටය. නැවත වරක් අසූවේ අග භාගයේදී හා අනූවේ දශකයේදී තෙල් මිල පහත වැටීමත් සමග එවකට බලයේ සිටි ජනාධිපති කාර්ලොස් ඇන්ඩෙ‍්‍රස් පොර්ස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව ජනතාවට ලබා දී තිබුණු සුළු සහන පවා කපාදැම්මේය. ඉන් කුපිත වූ ජනතාව රජයට එරෙහිව වීදි බැස උද්ඝෝෂණය කළ නිසා ඔහු හමුදාව යොදා එම විරෝධතාව මැඩපැවැත්වූයේය. එහිදී 3000කට අධික පිරිසක් මිය ගියහ. ඒ වන විට හමුදාවේ ලූතිනන් කර්නල් තනතුරක් දැරූ හියුගෝ චාවේස්ගේ දේශපාලන සංවේදිතාව පිබිදුණේ මෙම නිර්නුකම්පිත ඝාතනය සමගය. ඔහුගේ ආදර්ශය වූයේ ස්පාඤ්ඤයට එරෙහිව සටන් කොට වෙනිසියුලාවට නිදහස අත් කර දුන් සයිමන් බොලිවාර්ය. දුෂිත පාලකයන් පන්නා දමා ජනතාවාදී පාලනයක් පිහිටුවීම අරමුණුකරගත් රහසිගත ව්‍යාපරය නම් කළේද ”බොලිවාර් ව්‍යාපාරය” නමිනි. චාවේස්ගේ අභාවයෙන් වැඩ බලන ජනාධිපති තනතුරට පත් නිකොලස් මදුරෝ එහි ආරම්භක සාමාජිකයෙකි. කෙසේ වූවත් සන්නද්ධ බලයෙන් පාලනය පැහැරගැනීමට ගත් උත්සාහය අසාර්ථක වූ අතර හියුගෝ චාවේස් සහ ඔහුගේ හිතවතුන්ට සිර දඬුවම් නියම විය. වසර කීපයකට පසු සමාව ලබා සිරෙන් නිදහස් වූ චාවේස් 1998 දී, තම ප‍්‍රතිවාදියා වූ ලෝක රූප සුන්දරිය පරදවා සියයට 56ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබාගනිමින් ජනාධිපති තනතුරට පත් වූයේ සාම්ප‍්‍රදායික දේශපාලකයන් පුදුමයට පත් කරවමිනි. ඉන් පසුව පැවති සෑම ඡන්ද විමසීමකින්ම චාවේස් පහසුවෙන් ජය ගත්තේය. අවසානයේදී ඔහු පරාජය වූයේ පිළිකා රෝගයටය.
බලයට පත් චාවේස්ට සිය ආර්ථික වැඩ පිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමට දේශීය මෙන්ම විදේශීය බලපෑම් එල්ල විය. දුප්පත් සහ දිළිඳු ජනතාවට සෙත සැලසෙන වැඩ පිළිවෙළ ඔහුගේ විරුද්ධවාදීන් හැඳින්වූයේ සම්පත් විනාශ කිරීමක් සේය. රටේ ප‍්‍රධාන විදේශ ආදායම් මාර්ගය වූ තෙල් අපනයෙන් වැඩි බදු ප‍්‍රමාණයක් අය කිරීම තෙල් සමාගම්වල විරෝධයට හේතු විය. මේ නිසා 2002 දී ප‍්‍රධාන තෙල් සමාගම් සිය නිෂ්පාදන කටයුතු නතර කර දමා චාවේස්ගේ රජය බංකොලොත් කිරීමට සූදානම් වූහ. එම සමාගම් වල සහායට එක්සත් ජනපදය ද ඉදිරිපත් වූයේය. එහෙත් ඒ සියලූ බාධක හා ගැටලූ ජයගත් චාවේස්, ඔහු බලයට පැමිණෙන විට තෙල් සමාගම්වලින් අය කළ සියයට එකක් වූ රාජ්‍ය අය භාරය පසුගිය වසර වන විට සියයට 16.6 දක්වා වැඩි කිරීමට සමත් වූයේය. එමෙන්ම තෙල් සමාගම් ජනසතු කොට ඉන් ලැබුණු ආදයම දුප්පත් හා දිළිඳු ජනතාවගේ ජීවන තත්ත්වය නඟා ලීමට, අධ්‍යාපනය, සෞඛ්‍යය හා නිවාස වැනි යටිතල පහසුකම් ගොඩනැගීමට යෙදුවේය. එම වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමේදී ඔහුගේ සහායට ඉදිරිපත් වූයේ අසල්වැසි  කියුබාව හා එහි නායක පිදෙල් කැස්ත්‍රෝය. චාවේස් 1998 දී බලයට පැමිණෙන විට සමාජ සේවා කටයුතු සඳහා වෙන් කර තිබූ සම්පත් ප‍්‍රමාණය 2010 වන විට සියයට 61කින් වැඩි වී ඩොලර් බිලියන 777ක් විය. ඔහුගේ විරුද්ධවාදීන් මෙය හැඳින්වූයේ සම්පත් නාස්තියක් සේය.
සමාජයීය වශයෙන් එහි ප‍්‍රතිඵල අනෙක් කිසිම (කියුබාව හැර) ලතින් ඇමරිකානු රටකට අත්කර ගත නොහැකි තත්ත්වයකි. දකුණු ඇමරිකාවේ විශාල ආර්ථිකය වශයෙන් හැඳින්වෙන බ‍්‍රසීලය බොහෝ දර්ශක අතින් වෙනිසියුලාව ආසන්නයේ හෝ නැත. සාමය, සුබ සාධන වැඩ පිළිවෙළ නිසා ලොව ඉහළම ආදායම් පරතරයක් පැවති වෙනිසියුලාව දැන් ලතින් ඇමරිකානු රටවල් අතුරින් අඩුම ආදායම් පරතරය ඇති රටයි. (ගිනි සංගුණකය 54කි) 1996 දී සියයට 71ක් වූ දරිද්‍රතාව පසුගිය වසර වන විට සියයට 21 දක්වා පහත වැටිණ. අන්තදුගී භාවය එම කාල සීමා ඇතුළත සියයට 40 සිට 7.3 දක්වා පහත වැටිණ. 2000 පෙර පැවති පාලකයන් යටතේ වෙනිසියුලාවට අවශ්‍ය ආහාර සම්පූර්ණයෙන්ම පාහේ ආනයනය කෙරිණි. එහෙත් චාවේස්ගේ පාලනය යටතේ හඳුන්වා දුන් ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළ නිසා ආහාර ද්‍රව්‍ය ආනයනය සියයට 30 දක්වා පහත වැටිණ. ආර්ථික අර්බුදවලට මුහුණ දී සිටින උරුගුවේ වැනි රටවලින් ඔහු ගවයින් ආනයනය කළේ ඒ සඳහා තෙල් ලබාදීමෙනි. සමහර ලතින් ඇමරිකානු රටවලට ඔහු තෙල් ලබා දෙනුයේ ලෝක වෙළෙඳපොළ මිලට වඩා අඩුවෙනි. එක්සත් ජනපදයේ දුප්පත් ජනතාවට පවා ඔහු එවැනි සහන මිලට ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කළේය.

වැඩ බලන ජනාධිපති මදුරෝ


ස්වාධීන විදේශ ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා ඔහු එක්සත් ජනපදයේ උදහසට ලක් වූව ද රට සංවර්ධනය කිරීමේ සැලැස්මට කොමියුනිස්ට්වාදී රටක් වන කියුබාවෙන් ආධාර ලබාගත්තේය. පළමුවෙන්ම කියුබානු වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගත් චාවේස් පසුව කියුබාවේ සහාය ඇතිව වෛද්‍ය විද්‍යාල ගණනාවක්ම පිහිටු වූයේය. එම නිසා 1996 දී 10,000කට වෛද්‍යවරුන් 18ක් සිටි වෙනිසියුලාව දැන් 10,000කට වෛද්‍යවරුන් 58ක් සිටින උසස්ම වෛද්‍ය සේවයක් පවත්වා ගෙන යන රටක් බවට පත්ව ඇත. දැන් වෙනිසියුලාවට පාසල් යන වයසේ සිටින ළමයින්ගෙන් සියයට 85ක්ම පාසල් යන අතර ඉන් සෑම තිදෙනකුගෙන් එක් අයකු විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපනය ලබයි. චාවේස්ගේ පාලනයට එරෙහිව බටහිර රටවලින් නැෙඟන තවත් චෝදනාවක් වන්නේ ඔහු නිසි ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ගයක් නොමැතිව රජයේ සේවය පුළුල් කිරීමෙන් විශාල අයවැය පරතරයක් පවත්වාගෙන යන බවය. එහෙත් යථාර්ථය වන්නේ වෙනිසියුලාවේ මුළු සේවා නියුක්තියෙන් රාජ්‍ය සේවයේ සිටින සංඛ්‍යාව සියයට 18.4කි. නිවැරැුදි මූල්‍ය ප‍්‍රතිපත්ති අනුගමනය කරන නෝර්වේහි එම අනුපාතය සියයට 29කි. එමෙන්ම වෙනිසියුලාවේ අය වැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 51.3කි. එහෙත් යුරෝපා සංගමයේ මෙම ප‍්‍රතිශතය සියයට 82.5කි.
ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් නිදහස් ස්වාධීන විදේශ ප‍්‍රතිපත්තියක අවශ්‍යතාව හියුගෝ චාවේස් නිවැරැුදිව අවබෝධකර ගත්තේය. ආර්ථික අර්බුදවලට සහ ගෙවුම් ශේෂ දුෂ්කරතාවලට මුහුණ දී සිටින ලතින් ඇමරිකානු රටවලට ආධාර කිරීම ද ඔහුගේ විදේශ ප‍්‍රතිපත්තියේ පදනමක් විය. ඒ අනුව ඇමරිකානු භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කර තිබූ ඩොලර් බිලියන 20ක් ඉන් ඉවත් කොට ලතින් ඇමරිකානු රටවලට ලබාදුන්නේය. 2007 සිට ලතින් ඇමරිකානු රටවල  ආයෝජනය කර ඇති මුදල් ප‍්‍රමාණය ඩොලර් බිලියන 36කි. මෙම වැඩපිළිවෙළ වඩාත් ශක්තිමත් කිරීමට ඔහුගේ පුරෝගාමිත්වයෙන් ”ලතින් ඇමරිකානු සහ කැරිබියානු රටවල ප‍්‍රජාව” යනුවෙන් සංවිධානයක් බිහි කෙරුණි.
හියුගෝ චාවේස්ගේ අභාවයෙන් පසුව මෙවැනි සමාජ ආර්ථික ක‍්‍රමයක් පවත්වාගෙන යෑමට නොහැකි වන්නේ නම් ඒ එහි ඇති දුර්වලතාවක් නිසා නොවේ. මූලික වශයෙන් මෙවැනි වැඩ පිළිවෙළක් නිසා විශාල වශයෙන් ධනය ඒකරාශී කර ගැනීමට නොහැකි වූ සමාජ කොටස් ශක්තිමත් වීමෙනි. එහෙත් ඔවුන්ට ශක්තිමත් විය හැකි වන්නේ සාමාන්‍ය ජනතාව නැවතත් 1998ට පෙර පැවති දුර්දාන්ත පාලන ක‍්‍රමයකට ගාල් කිරීමෙනි. එහෙත් ලොව ධනවත්ම රටවල් මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ එය පහසු කටයුත්තක් විය නොහැකිය.

 

සටහන: මහින්ද හත්තක

 

කියුබානු නායක කැස්ත්‍රෝ සමඟ චාවේස්

 

චාවේස්ගේ අනුගාමිකයෝ

 

විරුද්ධ පක්ෂ නායක හෙන්රික් කැප්සීල්ස්

 

චාවේස්ට අවසන් ගෞරවය දැක්වීමට පැමිණි ඉරාන ජනපති

 

චාවේස්ට පක්ෂපාතී ජනතාව