නොයෙකුත් හේතූ නිසාවෙන් දරු පිළිසිදගැනීමකට හැකියාව නොමැති බටහිර කාන්තාවන් වෙනුවෙන් තම ගර්භාෂ කුලියට දීමට ඉදිරිපත් වන කාන්තාවෝ ඉන්දියාවේ සිටීති.

මෙය ඉන්දියාවේ අඩු ආදායම්ලාභී පවුල්වල අලූත්ම මුදල් ඉපැයීමේ ක‍්‍රමය වි තිබේ.මෙවන් කාන්තාවන්ගේ සේවය සැපැයීම වෙනුවෙන්ම පිහිටවුණු ආයතනයන්ද දැන් ඉන්දියාවේ ඇත.

වෛද්‍ය නයනා පටෙල් එවැනි ආයතනයක හිමිකාරිනියකි.ඇය යටතේ තම ගර්භාෂය කුලියට දීමට ඉදිරිපත්ව සිටින කාන්තාවන් 100 දෙනෙක් පමණ සිටීති.

‘‘සමහරුන් මේ දිහා බලන්නේ වපර ඇහින්.මට මරණ තර්ජනත් එල්ල වෙනවා ඇතැම් අවස්ථාවල.නමුත් මම මෙය වැරැද්දක් විදියට දකින්නේ නැහැ.

මා යටතේ ඉන්නා කාන්තාවන් තමන්ගේ ගර්භාෂයේ වෙනත් අයගේ දරුවන් වැඩිීමට අවස්ථාව ලබා දෙන්නට ඉදිරිපත්ව සිටින්නේ තමන්ගේම කැමැත්තෙන්‘‘ වෛද්‍ය නයනා පටෙල් කියයි.

සංසේචනය කරන ලද ඩිම්භයක් ගර්භාෂයේ වර්ධනය කිරීම මෙහිදී සිදුවේ.ඩිම්භය සැපැයෙනුයේ දරුවන් ලබා ගැනීමට කැමැත්තෙන් සිටිනා කාන්තාවයි.ගර්භාෂය කුලියට දීමට ඉදිරිපත්ව සිටිනා ඉන්දීය කාන්තාවන්ගේ කාර්යභාරය වන්නේ එම ඩිම්භය තම ගර්භාෂයේ වර්ධනය කර ගැනීමයි.

දරු උපතින් පසු ඩිම්බය ප‍්‍රදානය කළ කාන්තාවට ඉන්දියාවට පැමිණ තමන්ට දාව වෙනත් කෙනෙකුගේ කුසයෙන් උපන් දරුවා ලබා ගැනීමට හැක.මෙම ගර්භාෂ කුලියට දීමේ කි‍්‍රයාවලිය කි‍්‍රයාත්මක වන්නේ එලෙසය

මේ සදහා පවුම් 18,000 ( රුපියල් 3906000 ) ක පමණ මුදලක් අයකෙරේ.මෙම මුදලින් ගර්භාෂය කුලියට දෙන කාන්තාවට පවුම් 5000 (රුපියල් 1085000 ) ක් පමණ ගෙවන බව වෛද්‍ය නයනා පටෙල් පවසයි.

ඉදිරියේදී මෙවන් ගර්භාෂ කුලියට දෙන කාන්තාවන් වෙනුවෙන්ම රෝහලක්ද ඇති කිරීමට තමන් සැළැසුම් කර ඇතැයි ඇය කියයි.

සදාචාර විරෝධී යැයි පෙණුනද මෙම ක‍්‍රමයෙන් දරු සුරතල් බැලීමේ වාසනාව හිමිකරගත් දෙමව්පියන් නැතුවා නොවේ.දරුවකු හදා වඩා ගැනීම වඩා යෝග්‍ය වන්නේ නොවේදැයි බොහෝ දෙනා කියතත් දරුවන් නැති සොවින් ලත වෙන තමන්ගේම දරුවෙකු ලබා ගැනීම වෙනුවෙන්  ඕනෑම දෙයක් කිරීමට සූදානමින් සිටින දෙමව්පියන් නම් මේ ක‍්‍රමයට ඉත සිතින් කැමැත්ත පළ කර ඇති බව වෛද්‍ය නයනා සදහන් කරයි.