දූෂණ සහ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනාවලට ලක්වෙමින් සිටින ඉන්දීය අගමැති මන්මෝහන් සිංගේ කොංග‍්‍රස් පක්ෂයේ ජනපි‍්‍රයත්වය උරගා බැලීමේ අරමුණින් ඉන්දියාවේ ප‍්‍රාන්ත කිහිපයක මේ වනවිට ප‍්‍රාන්ත සභා මැතිවරණ ආරම්භ වී තිබේ. ‘කුල හීන රැජින’ ලෙසින් ද හැඳින්වෙන උත්තර ප‍්‍රදේශ් මහ ඇමැතිනිය මායාවතී, පෙරේදා (1) සිය මැතිවරණ ප‍්‍රචාරක කටයුතු ආරම්භ කළේ උත්තර ප‍්‍රදේශ් අගනුවර වන ලක්නව් නුවර මහා ජන රැලියක් අමතමින්ය. එම මැතිවරණ රැලියට ඇය පැමිණියේ හෙලිකොල්ටරයකිනි. ඇය මැතිවරණ වේදිකාවට ගොඩ වූ අවස්ථාවේදී රැස්ව සිටි  50,000 කට වැඩි පිරිස පී‍්‍රති ඝෝෂා පැවැත්වූහ. ප‍්‍රාන්තයේ දිළිඳු සහ කුලහීන ජනයාගේ ජීවත තත්ත්වය උසස් කිරීමෙහිලා තමා කළ මෙහෙවර එම අවස්ථාවේදී ඇය රැස්ව සිටි මහා ජන කන්දරාවට මතක් කර දුන්නාය. කලින් පැවැති ප‍්‍රාන්ත සභාවලදී එකදු පක්ෂයක්වත් කුලහීන සහ වරප‍්‍රසාද අහිමි ජනතාව වෙනුවෙන් සෙත සැලැසීමට කටයුතු නොකළ බව ද ඇය ප‍්‍රකාශ කළාය. ඉන්දියාවේ විශාලතම ප‍්‍රාන්තය ලෙස සැලකෙන උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්ත සභා මැතිවරණය ලබන අටවැනිදා පැවැත්වීමට නියමිතය. ලෝකයේ දිළිඳුම ජනයා බහුලව ම වාසය කරන ප‍්‍රදේශය ලෙසින් ද උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්තය සැලකෙයි. එහි ජනගහනය මිලියන 200 කි. මහ ඇමැතිනී මායාවතී මෙවර ප‍්‍රාන්ත සභා මැතිවරණයට ඉදිරිපත් වන්නී ප‍්‍රාන්ත පාලනය අක‍්‍රමවත් අයුරින් සිදුකරන බවටත් දූෂණවලට අනුබල දෙන බවටත් ඇයට එරෙහිව චෝදනා එල්ල වෙමින් තිබියදීය. මායාවතී, තම ප‍්‍රතිමා සහ පක්ෂ ලාංඡනය වන අලි රූප නගරය පුරා ඉදිකිරීමට ඉන්දීය රුපියල් බිලියන ගණනක අධික මුදලක් වැය කර ඇති බවට චෝදනා එල්ල වී ඇත. ඉන්දියාවේ නේරු/ගාන්ධි පවුලේ ඡන්ද දායක කොට්ඨාස පිහිටා ඇත්තේ ද උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේය. එහෙයින් දේශපාලනික වශයෙන් ද එය ඉතා වැදගත් වෙයි. දැනට ඉන්දියාවේ බලයේ සිටින කොංග‍්‍රසය උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ බලය ඇල්ලීමට විශාල ප‍්‍රයත්නයක් දරන අතර ඊට ඉදිරිපත් ව සිටින්නේ කොංග‍්‍රස් නායිකා සෝනියා ගාන්ධිගේ පුතු රාහුල් ගාන්ධිය. උත්තර ප‍්‍රදේශ් මහ ඇමැතිනී මායාවතීට අභියෝග කිරීම කොංග‍්‍රස් පක්ෂයට විශාල අභියෝගයක් වී ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. එම අභියෝගයට මුහුණ දීමට 41 හැවිරිදි රාහුල් ගාන්ධිට හැකිවේවිදැයි යන්න සැක සහිත යැයි ද දේශපාලන විචාරකයෝ වැඩිදුරටත් කියා සිටිති. ඉන්දියාවේ මීළඟ අගමැතිවරයා වනු ඇතැයි බොහෝ දෙනාගේ පැහැදීමකට ලක්ව සිටින්නේ ද රාහුල් ගාන්ධිය. එහෙත් කොංග‍්‍රස් පක්ෂය මුහුණ දී සිටින වංචා දූෂණ චෝදනා හමුවේ රාහුල් ගාන්ධිගේ ප‍්‍රතිරූපයට ද හානි සිදුවී ඇත. ඉන්දියාවේ ප‍්‍රාන්ත සභා ඡන්ද ඇරැඹුණේ මනිපූර් ප‍්‍රාන්තයෙනි. ඒ, පසුගිය 28 වැනිදාය. මනිපූර් ප‍්‍රාන්තයෙන් ඇරැඹුණු මැතිවරණ කටයුතු දින පහක් තිස්සේ පැවැත් වේ. මැතිවරණය ආරම්භ වූයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සමඟිනි. මාවෝ කැරැලිකරුවන් මනිපූර් ඡන්ද පොළකට කඩා වැදී එල්ල කළ ප‍්‍රහාරයකින් පුද්ගලයෝ පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මැතිවරණ නිලධාරීහු තිදෙනෙක්, ආරක්ෂාවට සිටි හමුදා භටයෙක් සහ සිවිල් වැසියෙක් ඒ අතර වෙති. තවත් සිවිල් වැසියන් දෙදෙනකු තුවාල ලැබූ අතර ඔවුන් කඩිනමින් රෝහල් ගත කළ බව පොලිසිය පැවැසීය. කැරැලිකරුවන්ගේ ප‍්‍රහාරයට හසුවූයේ මනිපූර් ප‍්‍රාන්තයේ අගනුවර වන ඉම්පාල් නුවරට දකුණු දෙසින් පිහිටි තංග්පායි නමැති ගම්මානයේ ඡුන්ද පොළය. ප‍්‍රහාරය සිදුකළේ නාගලන්ත බෙදුම්වාදී කැරැලිකරුවන් යැයි පොලිසිය කියයි. උතුරින් නාගලන්තය, දකුණින් මිසෝරාම් සහ බටහිරින් ඇසෑම් යන ප‍්‍රාන්තවලට මායිම් වූ මනිපූර්, නැගෙනෙහිරින් බුරුම දේශ සීමාව යාබදව පිහිටා ඇත. මනිපූර් ප‍්‍රාන්තයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇවිළෙන්නට වූයේ මැතිවරණ කටයුතු ඇරැඹීමටත් පෙරය. මැතිවරණයට දින දෙකකට පෙර බෝම්බ තුනක් පුපුරුවමින් මාවෝවාදී බෙදුම්වාදීන් මනිපූර් වැසියන්ට අනතුරු අඟවා සිටියේ මැතිවරණය වර්ජනය කරන ලෙසටය. මාවෝ කැරැලිකරුවන්ගෙන් එල්ල වූ එම තර්ජන හේතුවෙන් ඡන්ද පොළවලට විශේෂ හමුදා සහ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට මනිපූර් ප‍්‍රාන්ත මහ ඇමැති ඔක්රාම් සිං ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබේ. මීට අමතරව කැරැලිකරුවන්ගේ ප‍්‍රචණ්ඩත්වය බහුල ප‍්‍රදේශවල ඡන්ද මධ්‍යස්ථාන එම ප‍්‍රදේශයේ පොලිස් ස්ථානවල ස්ථාපිත කිරීමට ප‍්‍රාන්ත බලධාරීන් කටයුතු කර ඇති බව ද වාර්තා විය. ඊසාන දිග ඉන්දියාවේ බෙදුම්වාදී අරගලය ඇරැඹුණේ 1947 වසරේදී ඉන්දියාව නිදහස් රාජ්‍යයක් වීමෙන් පසුවය. වාර්ගීක කැරැලිකරුවන්ගෙන් සමන්විත මාවෝවාදී  බෙදුම්වාදී කල්ලි 30 කට ආසන්න සංඛ්‍යාවක් රජය සමඟ නිරන්තරයෙන් අවි ගැටුම් ඇති කර ගනියි. දිස්ති‍්‍රක්ක නවයකින් සමන්විත වන මනිපූර් ප‍්‍රාන්තයේ 1984 වසරේ සිට පැවැති මැතිවරණවලින් එකකදී හැර අනෙක් හැම විටම තම බලය තහවුරු කර ගැනීමට කොංග‍්‍රස් පක්ෂය සමත් වී ඇත. මනිපූර් ප‍්‍රාන්තයේ මේ වනවිටත් බලය ඇත්තේ කොංග‍්‍රස් පක්ෂය සතුවය. මනිපූර් ප‍්‍රාන්ත සභා මැතිවරණයෙන් දින දෙකකට පසු පන්ජාබ් ප‍්‍රාන්ත සභා මැතිවරණ ඇරැඹිණි. ඊට දැඩි රැකවල් යෙදීමට පන්ජාබ් ප‍්‍රාන්ත බලධාරීහු පියවර ගත්හ. ඒ, බෙදුම්වාදී කැරැලිකරුවන්ගෙන් බාධා එල්ල වීමේ අවදානමක් පැවැති හෙයිනි. ඡන්ද පොළ ආරක්ෂක කටයුතු වෙනුවෙන් පොලිසියේ සහ හමුදාවේ නිලධාරීන් 75,000 යොදවා ඇතැයි ප‍්‍රාන්ත බලධාරීහු පවසති. පන්ජාබ් ප‍්‍රාන්තයේ දැනට බලයේ සිටින්නේ කොංග‍්‍රස් පක්ෂයයි. පන්ජාබ් ප‍්‍රාන්තය පිහිටා තිබෙන්නේ ඉන්දු/පාකිස්තාන දේශ සීමාවට යාබදවය. ඉන්දියාවේ ආහාර ගබඩාව ලෙස සැලකෙන පන්ජාබ් ප‍්‍රාන්තය ඉන්දීය අගමැති මන්මෝහන් සිංගේ ගම් ප‍්‍රදේශය ද වන හෙයින් බහුතරයක් කොංග‍්‍රස් පක්ෂයට සහාය පළ කරනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. උත්තරකාන්ද් ප‍්‍රාන්ත සභා මැතිවරණය ඇරැඹුණේ පන්ජාබ් ප‍්‍රාන්ත මැතිවරණයට සමගාමීවය. උත්තරකාන්ද් ප‍්‍රාන්තයේ බලය පවතින්නේ භාරතීය ජනතා පක්ෂය සතුවය. ඔවුන් මෙවර උත්සාහ ගන්නේ එම බලය දිගටම පවත්වා ගැනීමටය.
විදෙස් පුවත් ඇසුරින් - ලූසිත ජයමාන්න
ඉන්දීය අගමැති සිං පන්ජාබ් ප‍්‍රාන්ත ඡන්ද පොළක් මනිපූර් ප‍්‍රාන්ත ඡන්ද පොළක් කුලහීන රැජින මායාවතී