
ගරු කතානායක තුමනි, “සල්ලි කියන්නේ දෙවියන්ගේ මල්ලියි.” කියා අපේ ගම් පළාත්වල කියමනක් තිබෙනවා. නමුත් එය වැරදියි. මුදලට ගන්න බැරි දෙයක් ලෝකයේ තිබෙනවා. ඒ තමයි උතුම් සහ අවංක මිනිසුන්ගේ හෘදය සාක්ෂිය. මම ආඩම්බරයෙන් නැවතත් කියනවා. උතුම් මිනිසුන්ගේ හෘදය සාක්ෂිය සල්ලිවලට ගන්න බෑ කියලා.” එක් තීරණාත්මක අවස්ථාවකදී දෙහිවල ගල්කිස්ස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
ආචාර්ය කොල්වින් කී අයුරින් එවැනි අවංක උතුම් මිනිසුන් වර්තමාන දේශපාලන බිමේ නොමැතිද? යනුවෙන් කෙනකුට සිතුණොත් එය පුදුමයක් නොවන්නේ අද්‍යතන සමාජයේ කියන කෙරෙන දේ අසද්දී දකිද්දීය.
උතුරු මැද පළාත් සභාවේ බලය පිළිබඳව මතුව තිබෙන අර්බුදය සම්බන්ධයෙන් දෙපාර්ශවයක් අතර හුවමාරු වෙන චෝදනා සහ ප්‍රතිචෝදනා ගැන සලකා බලන විට පෙර කී අන්දමේ සිතිවිල්ලක් කෙනකුට ඇතිවුවහොත් එහි වැරැද්දක් දැකිය නොහේ. මෙවැනි දේශපාලන අර්බුද විසඳිය හැකි එකම මාර්ගය සහ මාධ්‍යය මුදල්, වරප්‍රසාද හෝ වරදාන පමණක් යැයි සිතෙනු නිසැකය. මෙහි ඇත්ත නැත්ත අපි නොදනිමු. ඒ නිසා තීන්දුවක්ද අප සතුව නැත. මෙවැනි කතා සහ සිදුවීම් අතීතයේදීද නොයෙක් විට අසා ඇත්තෙමු. මේ එවැනි අවස්ථා කීපයක් සිහියට නැගීමකි.
කොළඹ නගර සභාව දෙවැනි වන්නේ අපේ පාර්ලිමේන්තුවට පමණක් යැයි සලකනු ලැබූ යුගයක් විය. ඒ බලය විමධ්‍යගත කරමින් පළාත් සභා පිහිටුවීමට පෙර කාලයේය. මේ එම යුගයේ සිදුවීමකි. 1954 වසරේදී පැවැති කොළඹ නගර සභා මැතිවරණයෙන් වම, දකුණ කරට කර ආසන දිනාගෙන තිබුණි. එක්සත් ජාතික පක්ෂය ආසන දොළහක්, සම සමාජ පක්ෂය ආසන හයක් සහ පිලිප්-කොමියුනිස්ට් පෙරමුණ කොට්ඨාස හයක් වශයෙනි.
ගුණසිංහ මහතාගේ කම්කරු පක්ෂයෙන් දෙදෙනෙක් සහ වමට බර තවත් දෙදෙනෙක්ද ආසන දිනා සිටියහ. තියුණු තරගයකින් පසු ආචාර්ය ඇන්.ඇම්. පෙරේරාට නගරාධිපති තනතුර හිමිවූවේ හිටපු නගරාධිපති ටී. රුද්‍රා මහතාට සහයෝගය නොදෙන බවට වමේ මන්ත්‍රීවරු රාශියක් කියා සිටි නිසාය.
රුද්‍රා මහතාද ස්වාධීන මන්ත්‍රීවරයකු වශයෙන් ඇන්.ඇම්. ට සහාය දුන්නේය. ඇන්.ඇම්. නගරාධිපති ධුරය දැරීම අගමැති සර් ජෝන් කොතලාවලට මහත් හිසරදයක් විය.
තවත් වසරකට පමණ පසු එළඹෙන බුද්ධ ජයන්ති උළෙල වන විට සිදුකිරීමට නියමිත උත්සව මාලාවේදී රටට සම්ප්‍රාප්ත වන රාජ්‍ය නායකයන් පිළිගැනීම ප්‍රධාන පුරවැසියා වශයෙන් ඇන්.ඇම්ට ඉඩ ලැබෙනු දැකීමට ඔහු කැමැති නොවීය.
පසුගිය වසරේ රජයට එරෙහිව පැන නැඟුණු මහා හර්තාලය අවස්ථාවේදී ඇන්.ඇම්. ඉටුකළ කාර්යභාරයත් ඔහු නගරාධිපතිව සිටියදී එවැන්නක් සිදුවුවහොත් පැවැතිය හැකි අනර්ථයත් ගැන සර් ජෝන් අගමැතිවරයා සිතා බැලීය. දිගු කලක් ඇන්.ඇම්ට කොළඹ නගරාධිපති ධුරය දරන්නට ඉඩ දිය නොහැක. මෙම කාර්යය සඳහා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් සර් උක්වත්තේ ජයසුන්දර මහතා සමගද සාකච්ඡා කර සැලසුමක් සකස් කළේය.
ඒ අනුව ඇන්.ඇම්ට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් විය. වම-දකුණ සම සමව ආසන ගණනක් පවතින තත්ත්වය හමුවේ එක් ඡන්දයක් පවා ඉතා තීරණාත්මකය. ඡන්ද විමසීමේදී කොමියුනිස්ට් පක්ෂයෙන් කොටහේන කොට්ඨාසය දිනාගෙන සිටි ඇන්තනි මාසේල්ස් මහතා කිසිවකු නොසිතූ අයුරින් ඇන්.ඇම්ට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළේය.
එක් ඡන්දයකින් විශ්වාස භංග යෝජනාව ජය ගත්තේය. ඇන්.ඇම්ට නගරාධිපතිධුරය අහිමි විය. මෙම සිදුවීම එකල දේශපාලන ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයක් ඇතිකළ අතර වාමාංශිකයෝ ඇන්තනි මාසෙල්ස් මහතාට දැඩි ලෙස චෝදනා කළහ. ඔවුන් කියා සිටියේ ඔහු බලවත් කණ්ඩායමකගේ මුදල් බලයට යටවී ඇති බවයි.
ඉතා කෙටි කලකින්ම මාසෙල්ස් මහතා පළාත් පාලන දේශපාලනයෙන් ඉවත් වූ බව කියනු ලැබේ.
එක්දහස් නවසිය හැට හතරේ ජූනි මාසයේ පිහිටුවන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ලංකා සමසමාජ පක්ෂයේ සභාග රජය එම පක්ෂ දෙක තුළම සිටි සමහර බලවත් කොටස්වල සතුටට හේතු වූවේ නැත. සමසමාජ පක්ෂයේ බලවත් කණ්ඩායමක් එම හවුල තම පක්ෂයේ විප්ලවවාදී ප්‍රතිපත්තිය ධනපති පන්තියට පාවා දීමකැයි චෝදනා කරමින් පක්ෂයෙන් ඉවත්ව වෙනම පක්ෂයක් ලෙස කටයුතු කළහ.
එවකට බුලත්සිංහල මන්ත්‍රී එඞ්මන් සමරක්කොඩි, මොරටුව මන්ත්‍රී මෙරිල් ප්‍රනාන්දු යන මහත්වරු දෙදෙනාත් ප්‍රකට වෘත්තීය සමිති නායකයකු වූ බාලා තම්පෝ මහතාත් මෙම පිරිසේ නායකයෝ වූහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළද කලක සිට අළු යට ගිනි පැවතියේය. විශේෂයෙන් පක්ෂය ආරම්භයේ සිටම නායකත්වයේ දෙවැනි ස්ථානයේ සිටි සී.පී. ද සිල්වා මහතා සිටියේ සිත් නොහොඳිනි. එයට හේතු ගණනාවක් තිබුණි. නවක මන්ත්‍රීවරයකු ලෙස 1960 මාර්තුවේදී මැතිසබයට පැමිණි ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා රජය තුළ තමාට වඩා ඉහළ තැනක් ලබන්නේය යන හැඟීමක් ඔහුට දැනුණි.
බණ්ඩාරනායක පවුලේ සමීපතම ඥාතියකු වූ ෆීලික්ස් රාජ්‍යාරක්ෂක හා විදේශ උප ඇමැතිවරයාද විය. ඒ මුදල් ඇමැති ධුරයට අමතරවය. අගමැතිනිය පාර්ලිමේන්තු ආසනයක් දිනා මැති සබය නියෝජනය නොකරන වාතාවරණය හමුවේ පාර්ලිමේන්තුවේදී අගමැතිනිය වෙත යොමු කරන ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ සභානායක සහ රජයේ දෙවැන්නා වූ සී.පී. නොව රාජ්‍යාරක්ෂක හා විදේශීය උප ඇමැති ෆීලික්ස් ඩයස්ය.
මෙම නොහොඳ නෝක්කාඩුවට අමතරව මාක්ස්වාදීන් නොරුස්සන දක්ෂිණානාංශික මතවාදයකට ගරු කළ සී.පී. සමසමාජ පාක්ෂිකයන් සමග හවුල් ආණ්ඩුවකට යාම ගැන සිටියේද අගමැතිනිය සමග සිත් නොහොඳිනි.
හවුල් ආණ්ඩුවේ මුදල් ඇමැති ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ඉදිරිපත් කළ ප්‍රථම අය වැය ලේඛනය බලවත් මත භේදයකට තුඩු දුන්නේය. මත්පැන් බොන එය අත්‍යවශ්‍ය යම් පුද්ගලයකුට තම ඉඩමේ එක් පොල් ගසක රා මැද ගැනීමට අවසර දීමට ඔහු යෝජනා කළේය.
ජාතික පුවත්පත් රජයට පවරාගෙන එහි අයිතිය රජයට පවරා ගැනීමටත් මේ දිනවල රජයෙන් යෝජනාවක් ඉදිරිපත් විය. මෙය අතිශය මත භේදයට ලක්විය. අදහස් ප්‍රකාශ කිරීමේ මානව අයිතියට පහර වදින යෝජනාවක් ලෙස එය විවිධාකාර විවේචනයන්ට ගොදුරු විය.
එවකට විපක්ෂනායක ඞ්ඞ්ලි සේනානායක මහතා සියලු විපක්ෂ බලවේග ඒකරාශී කර රජයට එරෙහිව විශාල ජන බලයක් ගොඩ නැගීමට සමත් විය. දීර්ඝ ක්‍රියාවලියක් අවසානයේ 1964 දෙසැම්බර් තුන්වැනිදා සවස පාර්ලිමේන්තුවේ තීරණාත්මක ඡන්ද විමසීමක් සිදුකෙරුණි. ඒ එකල පැවැති රාජාසන කතා ස්තූති යෝජනාව පිළිබඳ විවාදය අවසානයේ පැවැත්වෙන ඡන්ද විමසීමයි.
රජයට පැහැදිලි බහුතරයක් තිබුණි. එහෙත් අවසාන මොහොතේ සිදුවූයේ විපර්යාසයකි. බලසම්පන්න ශ්‍රී ලංකා - සමසමාජ හවුල් රජය මැතිසබේදී එක් ඡන්දයකින් පරාජයට පත් වීමයි.
එසේ වූවේ රජයේ මන්ත්‍රීන් 14 දෙනෙකු එයින් ඉවත්ව විපක්ෂය සමග ඡන්දය දීම නිසාය. එම විපක්ෂයට ගිය මන්ත්‍රී පිරිසට නායකත්වය දුන්නේ සභානායක සී.පී. ද සිල්වා මහතාය. ඔහු සමග එක්ව විපක්ෂයට සහාය දුන් අනෙක් මන්ත්‍රී පිරිස වූයේ ඒ.එච්. ද සිල්වා (පොළොන්නරුව), ආර්. ලක්ෂ්මන් ද සිල්වා (බළපිටිය), ඩබ්ලිව්.ජී.ටී.ඇම්. ඇල්බට් සිල්වා (මොනරාගල), සර් රාසික් ෆරීඞ් (මැද කොළඹ), පී.පී. වික්‍රමසූරිය (දෙවිනුවර), එඞ්මන්ඞ් විජේසූරිය (මස්කෙළිය), ඩී.ඊ. තිලකරත්න (රත්ගම), ඉන්ද්‍රසේන සොයිසා (අම්පාර), ඇස්.බී. ලේනව (කැකිරාව), විජේබාහු විජේසිංහ (මීරිගම), චන්ද්‍රසේන මුණවීර (රත්තොට), මහානාම සමරවීර (මාතර) යන මහත්වරුය.
රජය බිඳ වැටීමෙන් කෝපයට පත් ආණ්ඩු හිතවාදීන් දිගින් දිගටම කියා සිටියේ විපක්ෂයෙන් ලබාගත් විශාල මුදල් ප්‍රමාණයන් නිසා ඒවා රැගෙන පක්ෂ මාරුව සිදුකළ බවයි. එහි ප්‍රධානම චෝදනාව එල්ල වූවේ සී.පී. ද සිල්වා මහතාටය.
ඔහු රුපියල් පනස් දහසක් ලබා ගත් බව බොහෝ විට කියැවුණි. “මින්නේරියෙ පනස් දහට රට වික්කා” යැයි පෙළපාළිවලදී හඬ නැගුණි.
එහෙත් මෙම මන්ත්‍රී ලැයිස්තුවේ සිටි සර් රාසික් පරීඞ් මහතා කෝටිපති දානපතියෙකි. ඔහුට කාගෙන්වත් රුපියල් පනස් දහසක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් තිබුණේ නැත. මෙම චෝදනාවේ ඇත්ත නැත්ත දන්නේ ඒ අයගේ හෘදය සාක්ෂියම පමණි.
රජය පරාජය වන අවස්ථාවේ මුලසුනේ සිටියේ කතානායක හියු ප්‍රනාන්දු මහතාය. මේ බැරෑරුම් අවස්ථාවේදී තමාගේ මන්ත්‍රී ඡන්දය හා මුලසුනට හිමිවන තීරක ඡන්දයත් පාවිච්චි කළේ නම් රජය බේරා ගැනීමට ඔහුට ඉඩ තිබුණි. එය සිදු නොවුණු අතර හියු ප්‍රනාන්දු මහතාටද මුදල් ගෙන එම රජය බිඳ දැමීමට කටයුතු කළේය යන චෝදනාව එල්ල කිරීමට ප්‍රතිවාදීහු අමතක නොකළහ. එහෙත් ඒ මහතා තමන් සතු බොහෝ ධනය දේශපාලනය වෙනුවෙන් කැප කළ අවංක දේශපාලනඥයකු බවද බොහෝ දෙනා දැන සිටියහ.
මෙවැනි චෝදනා එල්ල වූ තවත් ප්‍රධානම අවස්ථාවක් වන්නේ ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ සිද්ධියේදීය.
රජයේ බලසම්පන්න කැබිනට් ඇමැතිවරුන් වූ ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, ජී.ඇම්. ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගේ නායකත්වයෙන් පාලක එජාප මන්ත්‍රීවරු 47 දෙනෙකු සහ සම්පූර්ණ විපක්ෂයද අත්සන් කළ දෝෂාභියෝග යෝජනාවක්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 38 වැනි වගන්තිය යටතේ තමන් භාරගත් බව කථානායක ඇම්.එච්. මොහමඞ් මහතා නිවේදනය කළේය.
මෙයද දීර්ඝ ක්‍රියාදාමයක් වූ අතර 1992 ඔක්තෝබර් 7 වැනිදා කතානායකවරයාම ජනාධිපතිවරයාට සහ විපක්ෂනායකවරියට යැවූ නිවේදනයක් මගින් කියා සිටියේ දෝෂාභියෝගය තමන් ප්‍රතික්ෂේප කරන බවයි. අදාළ නොයෙක් පාර්ශ්වවලින් අල්ලස් ගැනීම් ගැන බරපතළ චෝදනා එල්ල විය. සත්‍ය අසත්‍යතාව කෙසේ වුවත් ජනතාව අතර මේ පිළිබඳව බොහෝ සෙයින් සාකච්ඡා ඇතිවූ බව අපට මතකය.
විවිධ අයට මේ ආකාරයෙන් අල්ලස් චෝදනා ඉදිරිපත් වූ අවස්ථා මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ බහුලය. මෝස්තරයක් වශයෙන් ප්‍රතිවාදීන්ට එසේ චෝදනා කරන්නෝද විරල නොවේ. කොමිසන් සභා පත්කිරීමෙන් හෝ තේරීම් කමිටුවලින් මේවා විසඳිය හැකි නොවනු ඇත. මක් නිසාද යත් තම හෘදය සාක්ෂිය හා ආත්ම ගෞරවය පිළිබඳ විවරණයක් මේ තුළ රැඳී ඇති බැවිනි.
සදාචාරාත්මක දේශපාලනය පිළිබඳ උතුම් කැපවීම රුපියල් ශතවලට ලඝු කරන ඕනෑම දේශපාලකයකුගේ පැවැත්ම ඉතා කෙටිය. එයටත් වඩා කොල්වින් ආර්. ද සිල්වා මහතා කීවාක් මෙන් අවංක බව සහ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ මිම්මක්ද මෙහි ගැබ්වී ඇති බවද අමතක නොකළ යුත්තකි.
සෝමසිරි වික්‍රමසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd