ජීවිතය යහමගට ගැනීමට නිවැරැදි මග පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි,

අනුරාධපුර පබා රණසිංහ මහත්මිය ලියා එවූ කතාවකි.   

කර්මය පලදෙයි තර්කය ගොළුවෙයි


අහිංසක සතුන් මරා කෑමට මිනිසා පුරුදු වීම නිසා සොබා දහම මිනිසාට දඬුවම් දෙන්නේ යැයි ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම්තුමා වරක් පැවසීය. නිවෙස්වල මසට සතුන් ඇති කර නිවෙස් තුළදීම මරා කෑම නිසා මිනිස් සිත ගොරෝසු වී අනුකම්පා විරහිත තත්ත්වයට පත්වී තම දරුවන් පවා මරා දැමීමට මිනිසා පෙළඹෙනු ඇතැයි එතුමෝ පැවසූහ. දැනට අඩ දශකයකට පමණ පෙර ඒ පැවසූ දෙය අද සැබෑවෙමින් පවතින බව හා ජනමාධ්‍ය තුළින් අපට දැකගත හැකි වේ.   


50 දශකයේ දී රජරට පුරා පැවති මැලේරියා වසන්ගතය නිසා බොහෝ අය ශාරීරිකව දුර්වල වූහ. ලේ හිඟකම නිසා වෙහෙසට පත්වීමත්, හතියත් නිසා ගොවිතැන් කිරීමට පවා ඔවුහු අසමත් වූහ. සාමාන්‍ය අසනීපවලට ගමේ වෙද මහතකුගෙන් ප්‍රතිකාර ගැනීම මිස රෝහල් කරා යාමට පුරුදු නොවූහ. පෞද්ගලික වෛද්‍ය සේවා එවකට තිබුණේම නැත.   
මල්හාමි තම ගමේ පමණක් නොව අවට ගම්වල පවා නම ගිය වෙදමහතෙකි. ලේ හිඟකමට රෝගීන්ට බෙහෙත් නියම කිරීමේදී කිරිඉබ්බන් හෝ තලගොයින් මරා මස් කෑමට ඔහු බොහෝ විට උපදෙස් දුන්නේය. වෛද්‍ය පොත්වල එය සඳහන්ව තිබිණි. පවට බිය ගම්වැසියන් ඌරන්, මුවන් වැනි සතුන් මැරුව ද තලගොයින් කිරිඉබ්බන් වැනි අහිංසක කුඩා සතුන් මැරුවේ කලාතුරකිනි. වෙද මහතාගේ අතවැසියකු ලෙස සේවය කළ ටිකිරා වෙද මහතාගෙන් උපදෙස් ලබන අයට මස් සැපයීම ආරම්භ කළේ ඒ නිසාවෙනි. මස් කෑමෙන් ලේ වර්ධනය වී අසනීපගති පහව යන විට වෙදමහතාගේ නම ද ප්‍රතිකාර ද බෙහෙවින් ජනප්‍රිය විය. ටිකිරාට ද මස් සැපයීමෙන් සෑහෙන වාසි ලැබුණි. කිරි ඉබ්බන් අව්ව තැපීමට උදේ වරුවේ වැව් ඉවුරට එන විට ටිකිරා උන් අල්ලාගෙන ගෝනියට දමා ගෙදර ගෙනැවිත් තබයි. ගනුදෙනුකරුවෙකු පැමිණි විට උන් මරා මස් සපයයි. සවස් වරුවේ තලගොයින් ඇල්ලීමට වන වදින ඔහු ආපසු එන්නේ තලගොයින් 10ක් 15ක් ගෝනියක දමා ගෙන ය. උන් ද ලී පෙට්ටියක දමා තබාගෙන ගනුදෙනුකරුවන් පැමිණි විට විකුණයි. දිනෙන් දින ඔහුගේ මස් ව්‍යාපාරය දියුණු විය.   


වෙද මහතාට ඖෂධ පැළෑටි සපයන ටිකිරත් ඖෂධ පිළියෙල කරන එතනාත් කල්යාමේ දී අඹු සැමියන් බවට පත්වූහ. එවකට අද මෙන් නීති නොතිබූ නිසා ඔවුන් විවාහ වී රජයේ කැලෑ පෙදෙසක් සුද්ද කරගෙන නිවෙසක් තනා ජීවත් වූහ. කල්යාමේදී දෙදෙනා දරුවන් හය දෙනෙකුගේ මව් පියන් බවට පත්වූහ.   


පවුලේ සංඛ්‍යාව වැඩි වනවාත් සමගම සතුන් මරන ප්‍රමාණය ද වැඩි වූයේ ආද‌ායම වැඩිකරගත යුතු නිසාය. දරුවන් ලොකු මහත් වෙද්දි මේ පව්කාර රස්සාව නතර කරන්නැයි බිරිඳ ඉල්ලා සිටිය ද ටිකිරා එය අත් නොහළේය. රෝගීන් වැඩි වන විට වෙද මහතාට ද වාසි වැඩිවෙයි. ටිකිරාට ද වාසිය. අවාසිය වූයේ අහිංසක සතුන්ටය.   
අහස පොළොව නුසුලන මෙම අපරාධය වැළැක්වීමට පන්සලේ හාමුදුරුවෝ නොයෙක් වර දෙදෙනාටම උපදෙස් දුන්හ. වෙදමහතා කීවේ මාන්දමට කිරි ඉබිමස් හා තලගොයි මස් ඖෂධ පොත්වල නියම කර ඇති බවයි. ටිකිරා කිව්වේ තමා වෙදමහතාට අවශ්‍ය දෑ සම්පාදනය කරනු විනා අපරාධයක් නොකරන බවයි.   


1957 දෙසැම්බර් මාසයේ අවසාන භාගයේ රජරට පළාතට නොකඩවා ඇදහැලුණු වර්ෂාව නිසා වැව් සියල්ල පිරී ගියේය. දෙසැම්බර් මස 27 වෙනිදා වන විට මුළු අනුරාධපුර නගරයම යටකරගෙන ගංවතුර ගැලුවේය. මතක ඇති කාලයක එවැන්නක් නොවූ බව පැරැන්නෝ කීහ. වැවක් අසල නිවෙස තනාගෙන සිටි ටිකිරාත් ඔහුගේ බිරියත් දරුවන් සිව් දෙනෙකුත් නින්දේදීම ගංවතුරට බිලි වූහ. වෙන පළාතක කඩයක සේවයට ගොස් සිටි වැඩි මහල් පිරිමි දරුවන් දෙදෙනා පමණක් දිවි ගලවා ගත්හ. 

 
ටිකිරාගේ නිවසම ගංවතුරට ගසාගෙන ගොස් තිබූ අයුරු දුටු බොහෝ දෙනා කීවේ වැවේ සිටි කිරි ඉබ්බන් මැරූ ටිකිරා සිය පවුලම සමග වැවට බිලි වූ බවයි. මේ පුවත සැලවූ වෙද මහතාට ද ඇති වූ මානසික කම්පනය නිසාම ඔහු ද සුව කළ නොහැකි අන්දමේ මානසික රෝගයකට ගොදුරු වී මිය ගියේය.   

 



අකුරැස්ස පහළ මලිදුව විත්‍රානන්ද ගුණවර්ධන මහතා ලියා එවූ කතාවකි

සතුන්ට ඇටවූ උගුලම මර උගුලක් වූ හැටි


අතීත ගොවියා වගා කටයුතු කරගෙන ඉතා අහිංසක දැහැමි දිවි පෙවෙතක් ගත කළේය. එවැන්නක් කළ නොහැකි අය කුලියක් මලියක් කර දිවි සරිකර ගත්හ. අතළොස්සක් දෙනෙක් ඉක්මනින් පොහොසතුන් වීමේ අදහසින් නොයෙකුත් අධාර්මික, නීති විරෝධී වැඩ කරමින් දිවි ගෙවූහ. එකල ගම්වල එතරම් උගත්කමක් ඇති අය වූයේ කීප දෙනෙකි. පිංතේරිස් ද මෙවන් වූ දුෂ්කර ගම්මානයක දිවි ගෙවුවෙකු විය. බොහෝ දෙනෙක් ඔහු හැඳින්වූයේ පිංතුවා නමිනි. පිංතුවා අනෙක් ගැමියන් මෙන් අහිංසක දිවි පෙවෙතක් ගත කරන්නට කැමති අයෙකු නොවීය. දඩබ්බරයෙකු වූ පිංතුවා තම ජීවිකාව සඳහා තෝරා ගත්තේ නීති විරෝධී ක්‍රියාවන්ය. මස් පිණිස සතුන් දඩයම් කිරීම ඉන් ප්‍රධාන තැනක් ගත්තේය.   


සතුන් මැරීමට උගුල් ඇටවීම ඔහුගේ පියතම ක්‍රියාව විය. ඒ සඳහා ඔහුට වූයේ හසල දැනුමකි. ඒ අතර ඔහුටම ආවේණික උගුල් වර්ගයක් විය. ඒ නම් සතුන් ඇල්ලීමට “හබක” ඇටවීමයි. “හබක” යනු කිතුල් කඳක් කුට්ටිකර කපා ඒ වායේ ඇතුළත බඩය සුද්ධ කර බෙරයක් මෙන් හොඳින් වසා එය බිම සිටුවා හෝ පැත්ත දමා තලගොයින්, මී මින්නන්, උගුඩුවන්, හාවුන් වැනි සතුන් ප්‍රිය කරන කෑම වර්ග ඒ තුළට දමා විවෘතව ඇති පැත්තේ ලෑල්ලකින් පියනක් ඇටවීමයි. ලණුවක් හෝ වැල් පොටක් ගෙන ලෑල්ලේ එක් කෙළවරක් ගැට ගසා අනෙක් කෙළවර කෑමක් අටවා හබක තුළට දමයි. මෙලෙස අටවන හබක තුළට යන සතුන් කෑම කන අතර තුර ලණුව ඇදීයාමෙන් “හබකේ” කට ලෑල්ලෙන් වැසී යයි. හබක තුළින් එළියට ඒමට නොහැකිව සතා ඒ තුළ හිරවෙයි. ඉන්පසු පිංතුවා රිසි සේ කිසිදු අපහසුවකින් තොරව සතා අල්ලා ගනී. ගම කෙළවරට වන්නට ඇති කැලෑව තුළ නිති පතා මෙවැනි හබක කීපයක් අටවා තැබීම පිංතුවාගේ සිරිතක් විය. දින කීපයකට වරක් උගුල් පරීක්ෂා කර බලා උගුල්වල හිරවී සිටින සතුන් මුගුරුවලින් තළා මස්කර විකිණීමෙන් මුදල් උපයා ගැනීම ඔහුගේ දින චරියාව විය. මේ ක්‍රියාවෙන් දිනෙන් දින ඔහුගේ අතමිට ඉතාමත් සරු විය. මේ පාපී ක්‍රියාව බොහෝ ගැමියන් අනුමත නොකළත් ලැබෙන මුදල ගැන සිතන පිංතුවාට නම් මෙයින් සිදුවන අවැඩක් හෝ පවක් ගැන නොසිතුණි. කිසිවකුගේ හඬට කන් දෙන්නට ඔහුගේ කැමැත්තක් නොවීය. එහෙත් එය නතර කරවීමට සොබාදහම තීරණය කර තිබූ බව පිංතුවාට නිකමට නොසිතුණි. ඒ දින කීපය ඉතා ඉක්මනින් උද‌ාවන්නට විය. පිංතුවා සුපුරුදු පරිදි එවැනි හබක කීපයක් අටවා නිවසට පැමිණියේ තරමක වැස්සක් ද වැටෙන අතරතුරය. ඒ ඔහුගේ අවසන් උගුල් ඇටවීම බව දැන සිටියේ සොබාදහම පමණි. දින දෙක තුනක් තිස්සේ ඇදහැලුණ වැස්ස නිසා පිංතුවාට උගුල් ගැන සොයා බැලීමට යාමට නොහැකි විය. දින කීපයකට පසුව කැලෑව තුළට ගිය පිංතුවාගේ සතුට ඉහ වහා ගියේ සෑම හබකක්ම කට හොඳින් වැසී තිබීම නිසාය. ඒ අනුව සෑම හබකකම සතකු හිරවී ඇති බව පිංතුවා හොඳින්ම දනී. හොඳ මුගුරක් ද අතැතිව වෙනදා මෙන්ම හබකක් අසලට ගිය පිංතුවා වැසී තිබූ ලෑල්ල හෙමින් සීරුවේ ඔසවන්නට වූයේ මුගුර ද හොඳින් සුදානම් කර ගනිමිනි. එහෙත් ඔහුට මෙතෙක් කිසිදිනක නොවූ දෙයකට මුහුණ දෙන්නට සිදුවිය.   


එදින හබක තුළ සිටියේ වෙන කිසි දිනක සිටි සතෙකු නොවේ. හබකේ ලෑල්ල එසවෙනවාත් සමගම තඩි පොළඟෙකු ඔහුගේ ඇඟට කඩා පැන්නේ දින කීපයක් නිරාහාරව සිටි බල්ලෙකු මෙනි. ඇඟ කීප පොළක්ම පොළඟා විසින් හපා කා තිබුණි. ඒ මේ අත දඟලමින් බේරෙන්නට උත්සාහ කළ ද ප්‍රමාද වැඩි විය. සිරුර පුරාම ලේ ගලන්නට විය. පොළඟාගේ විෂ කෙතරම් ද යත් විෂ ශරීරගත වී නොබෝ වේලාවකින්ම පිංතුවා සිහි මුර්ඡා වී ඇද වැටුණේ අඩියක් හෝ ඉදිරියට ඇවිද යා නොහැකිවය.   


උදෑසනින්ම කැලයට ගිය පිංතුවා සුපුරුදු වේලාවට නොපැමිණීම නිසා කලබල වූ නිවසේ අය හා අසල්වැසියෝ ඔහු සොයා කැලෑ වැදුණහ. පැය කීපයක සොයා බැලීමකින් පසු කෙඳිරි ගාමින් වැටී සිටි පිංතුවා හමුවිය. දැඩි ලෙස අසාධ්‍යව සිටි පිංතුවා ඉතා අමාරුවෙන් තමාට සිදු වූ දෙය පැවසූ අතර වහ වහා නිවෙසට ගෙනවිත් නොයෙකුත් ප්‍රතිකාර කළ ද දින කීපයක් කෑමක් බීමක් පවා නොගෙන මහත් වූ වේදනා විඳ අවසන් හුස්ම හෙළුවේ. හබකට අසුවන සතුන් නිරාහාරව දුක්විඳ මිය යන අයුරිනි.   

 



මතුගම පියසේන දොඩම්ගොඩ මහතා ලියා එවූ කතාවකි

නාගයන් මැරූ සුගතන් නාග විසෙන්ම මරුට   


ගැමි ගෙදරක උපත ලැබූ “සුගතන්” ගමේ පාසලට ගියේ පස් වැනි කැලෑසිය දක්වා පමණි. කරදඬු උස් මහත් වූ කිසිම වැඩක් පලක් නොකළ ඔහු රස්තියාදුකාර දඩබ්බර කොල්ලන් හා එකතු වී දඩාවතේ යාමට පුරුදුව සිටියේය. රා පොළේ හා සූදු පිටියේ නිතර කරක්ගැසූ ඔහු සහ සගයන් ගම්මුන්ට මහත් කරදරයක් විය. මුලින් කුකුල් හොරකමින් හා කෙසෙල් කැන් කැපීමෙන් ඇරඹුණ ඔවුන්ගේ හොරකම් ගෙවල් බිඳුම් හරක් හොරකම් ආදිය දක්වා දුරදිග ගොස් තිබුණි.

අගතියට පත් ගැමියන් නීතියේ පිළිසරණ සොයා නොගිය නිසා මොවුන්ගේ හොරකම් දිනෙන් දින වැඩි වුණා මිස අඩුවක් දක්නට නොවිණ. “සෑම කළු වලාවකම රිදි රේඛාවක්” දක්නට ලැබෙන බව සැබෑ කරමින් මේ ගැටවුන්ගේ ද හොඳ ගති ගුණ ද නොතිබුණා නොවේ. ගමේ මඟුලක්, මරණයක් හෝ තොවිලයක් වැනි කටයුතුවල දී වෙහෙසී වැඩට උදව් දෙන මෙම තරුණයින් අතර “සුගතන්” කැපී පෙනුණ අයෙකි. අසල්වැසියෙකුට හදිසි කරදරයක් වූ විට පළමුව එයට අත ගහන්නේ සුගතන් ය. ගම වටේම මහ කැලෑව වූ බැවින් විසකුරු සතුන් ගෙවල්වලට ඒම සාමාන්‍ය දෙයක් වී තිබුණ බව සැබෑවකි. කෑම සොයා ඇවිදන නාගයින් ගෙවල් තුළට රිංගා ගැනීම නිතර සිදුවුණ අතර නයි පලවා හැරීමට සුගතන්ගේ හා සගයින්ගේ පිහිට ලබාගැනීම ගම්මුන්ගේ පුරුද්දක් විය. ගෙවල් තුනකට වැදුණ නාගයින් තුන්දෙනෙක් මරා පුලුස්සා දමා තම වීරත්වය පෙන්වූ සුගතන් සිව්වෙනි ගෙදරට ද පියමං කළේ එහි වැදුණ නාගයාද පලවා හැරීමටය. මුගුරක් ද අතැතිව ගෙට වැදි සතා සොයමින් සිටි සුගතන්ට මුල්ලක සැඟව සිටි නාගයා ගැසූ එකම පහරින් “නාග විසෙන්” ඔහු මියගියේය.   


තමන් කළ අපරාධයේ ප්‍රතිවිපාක කෙදිනක හෝ තමන් වෙත එන බවට එය නිදසුනකි.   


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිද‌ා ලංකාදීපයට යොමු කරන්න.

 

 

සකස් කළේ
ප්‍රසන්න සංජීව තෙන්තකෝන්