ශ්‍රී ලංකාවේ තිබෙන්නේ බහු ජන වාර්ගික, බහු භාෂාමය, බහු ආගමික සංස්කෘතියකි. මෙවන් සංස්කෘතියකින් වර්ගය සමග බැඳී ඇති සිංහල දෙමළ ද්වි භාෂා භාවිතයේ ඓතිහාසික ස්වභාවය හොඳින් හඳුනාගෙන ජාතික ඒකාග්‍රතාව හා සහජීවනය සඳහා ඊට අනුකූල වූ ප්‍රවේශයක් අනුගමනය කරමින් දුර දක්නා නුවණක් ප්‍රකට කළ කිතුනු යතිවර ලකුණ ලෙස පූජ්‍ය පඬිවර ජාකෝමේ ගොන්සාල්වේස් (1676 - 1742) හිමි පාණන් පිළි ගැනේ. පෘතුගීසීන්ට යටත්ව පැවැති ගෝවේ දිවාරි නම් ගමේ උපත ලද හේ කොන්කනි බ්‍රාහ්මණයෙකි. .   


උන් වහන්සේ මෙරටට වැඩම කළේ තම ඥාතිවරයෙකු වූ ශුද්ධ වූ ජූසේවාස් මාහිමිපාණන්ගේ සිරිලක ආගමනය සිදු වී (1687) වසර 18කට පසු 1705 දීය. භාරතයේ සිට පැමිණියත් මෙම දෙදෙනා එවකට ශ්‍රී ලංකාවේ පැවැති සමාජ සංස්කෘතික හා දේශපාලන පසුබිම ගැන මැනැවින් දැන සිටියෝය.    


ගොන්සාල්වේස් චරිතාපදානය ලියූ ගරු එස්.ජී. පෙරේරා (1882 - 1950) නම් වූ ජේසු නිකායික ඉතිහාසඥයා මෙසේ පවසයි. ‘‘ගොන්සාල්වේස් පියනම මහනුවරට පැමිණි පසු දහම් දූත කාර්යයෙහිලා තම පූර්ණ දායකත්වය ලබා දීම ආරම්භ කළේය. මේ අතර පෙර සමුළුවකදී එළැඹි තිරණයක් විය. එනම් කොළඹ සිට මාතර දක්වා වූ වෙරළ තීරයේ ජීවත් වෙන කතෝලිකයින් බැහැ දැකීමත් මීගමුවේ සිට කොළඹ දක්වා වූ ඉතා වැදගත් එහෙත් අන්තරාදායක දුෂ්කර මීසම් වල කාර්යයන් හි වගකීමත් එතුමන්ට පැවරිය යුතු බවයි. එසේ නමුත් පුත්තලමේ සිට නේවාසිකව ලැඟුම් ගනිමින් එය ඉටු කිරීම දුෂ්කරව තිබුණි. සෙසු පූජක සගයින් දුටුවේ ගොන්සාල්වේස් පියතුමා තරම් අන් සුදුස්සෙකු මෙම ප්‍රදේශයේ සේවයේ යෙදවීමට නොමැති බවයි. එසේම සිංහල දෙමළ හා පෘතුගීසි යන ත්‍රෛභාෂා එක සේ හසුරුවමින් මේ වෙන විට දිවයිනේ දකුණු ලක කතෝලිකයින් අතර සැරි සැරීමට සමත් එකම පුද්ගලයා වෙන්නේ ද ඔහු බවයි. යාපනය මන්නාරම වන්නිය මාන්තෝට කම්මල සහ මීගමුවේ මිනිසුන් එවකට පොදුවේ ව්‍යවහාර කළේ දෙමළ භාෂාවයි. ලන්දේසින් ජීවත් වූ නගර වල බහුල ලෙස භාවිත වූයේ පෘතුගීසි භාෂාවයි. මක්නිසාද යත් පෘතුගිසීන්ගෙන් පැවත එනවුන් පමණක් නොව ලන්දේසි ගෙවල් වල පවා භාවිතා කළ භාෂාව වූයේ පෘතුගීසි නිසාත් විවිධ වාර්ගිකයින් අතර සමාජීය හා ව්‍යාපාරික ගනු දෙනු කළ හැකි එකම භාෂාව ලෙස නාගරික බහුතරය දැන සිටියේද එම බස නිසාත්ය.   


එබැවින් ගෝවා පූරේ සිට ලංකාවට පැමිණෙන ඔරතෝරියානු පියවරුන්ට ලන්දේසි නගර වල වැඩ කිරීම පහසු වූ අතර දෙමළ බස පිළිබඳ යම් දැනුමක් ලත් වහාම උතුරු කරේ සේවයේ යෙදවීමට ද හැකි විය. එහෙත් කොළඹ සිට මාතර දක්වා වූ දකුණේ ගම් දනව් වල සේවය සඳහා සිංහල භාෂාව චතුර ලෙස කථා කිරීමේ හැකියාව අත්‍යවශ්‍යව පැවතුනි. මේ නිසයි ලංකාවේ වැදගත්ම දහම් සේවා කලාපය සේ විටෙක සැලකුණු දකුණට යෝග්‍යතම පුද්ගලයා වෙන්නේ ගොන්සාල්වේස් පියතුමන් බව පිළිගනු ලැබුවේ.   


භාෂාව අරභයා තත්කාලීන සමාජ දේශපාලන භාවිතාව සමග තම ධර්මදූතික අරමුණු ගළපා ගනිමින් රචනා කරන ලද සිංහල ග්‍රන්ථ සංඛ්‍යාව 21 කි.   


(​ෙද්ව වේද පුරාණය, දේව වේද සංක්සේපය, සුවිශේෂ විසර්ජනය, දුක් ප්‍රාප්ති ප්‍රසංගය, ධර්මෝද්‍යානය, ප්‍රාතිභාර්යාවලිය, සුකෘත දර්පනය, දේව නීති විසර්ජනය, වේද කාව්‍යය, ක්‍රිස්තියානි පල්ලිය, අඥන ඖෂධය, මාතර ප්‍රත්‍යක්ෂය, බුදුමූල භේද කාරයින්ගේ තර්කය, දේව පරිහාරිය, මංගල ගීතිය, පසන්පොත, ඥානාංජනය, ආනන්ද කලිප්පුව හා ආත්ම සංරක්ෂණය) දෙමළ ග්‍රන්ථ 14 කි.   


ක්‍රිස්තියානි ආලයම්, දේව අරුල්වේද පුරාණම්, සන්තිය වේදගම, සංක්ෂේපම්, සුවිශේෂ විරැත්තරෙයි, වියාකූල පිරසංගම්, තර්ම උත්තියානම්, අත්පුක වරළාරු, ඥාන උනාචි, සුකුර්ත තර්පනම්, වාත්තියාරුම් තාර්කීකු කොණ්ඩකර්කම්, නව කර්කම්, මුසල්මාන් වේදම්, කඩවුල් නීර්ණයම්, නාලු වේදම්, මෙම ග්‍රන්ථාවලිය මුල් කරගෙන කිතු දහම තේමා කර ගත් සිංහල හා දෙමළ චූල සංස්කෘතික සම්ප්‍රදායක ආරම්භය සනිටුහන් විය.   
​ෙමම ග්‍රන්ථ රැස අතරින් පාස්කු කාලය සඳහා කිතු බැතිමතුන්ට කියැවීමට හා ඇසීමට සම්පාදිත සිංහල කෘතීන් දෙකක් (දුක් ප්‍රාප්ති ප්‍රසංගය සහ පසන් පොත) දෙමළ කෘතියක් (ව්‍යාකූල පිරසංගම්) විශේෂයෙන් හඳුනා ගත යුතුය. මක්නිසාදයත් මෙම ග්‍රන්ථ ත්‍රිත්වය ලාංකේය පාස්කු රංග කලාවේ උපතට තුඩු දුන් නිසාය.   


යාපනය ප්‍රදේශයේ සම්ප්‍රදායික දෙමළ සාහිත්‍යය තුළ ගැමි ප්‍රබන්ධ විරුත්තම් විධි 96 ක් ප්‍රචලිතව පැවති අතර ඒ ඇසුරින් තෝරා ගත් විරිත් තුළට කිතුනු තේමා ගැබ් කළ බවත් ඔහුගේ ව්‍යාකූල පිරසංගම් (1730) වැනි නිර්මාණයන් තුළ නාට්ටුකුත්තු වල එන ගැයුම් හා රැඟුම් ආර වක්‍රාකාරයෙන් ගැබ්ව තිබෙන බවත් පෙන්වා දී (Tamil Catholic Literary Tradition Of Sril Lanka Fr. Gnanamuthu Pilen Dram pp 109 - 110) ව්‍යාකූල පිරසංගම් රචනා කරන ලද්දේ එහිම සිංහල ග්‍රන්ථය වූ දුක් ප්‍රාප්ති ප්‍රසංගය (1728) රචතා කිරීමෙන් පසුවය. එම ග්‍රන්ථයේත් ඊට පෙර ලියන ලද අඥාන ඖෂධය 1715 වැනි තර්ක සංවාදාත්මක ග්‍රන්ථ වලත් නාට්‍ය රූපී ප්‍රකාශන ​ශෛලියක් දිස්වෙන බව රහසක් නොවේ. සම්ප්‍රදායික දෙමළ නාට්ටුකුත්තු වල එන නැටුම් වැනි අභිනය අංග ඉවතලා පාස්කු කාලය සඳහා යෝග්‍ය කථා වස්තූන් රඟ දැක් විය හැකිය. යන ආකල්පය ඉන් ජනිත කෙරිණි.   


ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තියේ ප්‍රධාන අවස්ථා නවයක් හඳුනා ගෙන ඒවා විස්තර කරන ගැදිමය ධර්ම දේශනා දුක් ප්‍රාප්ති ප්‍රසංගයෙන් ද ගැළපෙන නිදර්ශනාත්මක කවි බණ දේශනා නවයේ පසන්පොතෙන් ද උපුටා ගෙන සැදැහැවතුන්ගේ පහන් සංවේගය උදෙසා ඉදිරිපත් කිරීමට අවකාශ ලැබුණේ ගොන්සාල්වේස් හිමියන්ගේ සාහිත්‍ය ව්‍යාපාරය නිසාය. ඊට සමගාමීව රූකඩ අනුසාරයෙන් කිතු සිරිත ප්‍රාසාංගිකව සජීවීකරණයේ කලාවට මඟ පාදා දුන්නේය. දුක් ප්‍රාප්ති ප්‍රසංග දේශනා පවත්වන අතර දී පසෙකින් ප්‍රදර්ශනය කළ ක්‍රිස්තු ප්‍රතිමා (රූකඩ) බැතිමතුන් අතර කෙතරම් ජනප්‍රිය වුයේද යත් පසුව එබඳු ප්‍රතිමා (උදා- ගල්කණුවේ, බැඳ කසපහර තැලීම, කෲර වධබන්ධන වලට ලක් වූ එක්ෂෝ හෝමෝ නම් ජේසු රූපය) බොහෝ දේවස්ථානයන් හි අදත් ස්ථාවර සුරුවම් ලෙස ප්‍රදර්ශනය වේ. නිදසුන් අඩම්පන් පරප්පකන්ඩල් කලා ඔය ගෝනවිල පිහිටි දෙව් මැඳුරු.   


දුක් ප්‍රාප්ති ප්‍රසංගය රචනා කිරීමේදී ගොන්සාල්වේස් පරිකල්පනය උත්තේජනය කළ මූලාශ්‍ර ලෙසත් හඳුනාගත හැකිය. බටහිර කලා නිර්මාණ පුරාවෘත්ත අසම්මත සුබ අසුන් පමණක් නොව පැරණි සිංහල ජන සාහිත්‍ය කෘතිද ඒ අතර වෙති. සම්මත නව ගිවිසුම් පොත් වල අපට හමු නොවන චරිත නාම හා සිදුවීම් පිළිබඳ විස්තර දුක් ප්‍රාප්ති ප්‍රසංගයේදී අපට හමු වෙන්නේ මේ නිසාය. මල් උයනේ දී ජේසු සමිඳාණන් අත්අඩංගුවට පත් වූ කල පේදුරු ශ්‍රාවකයා විසින් කඩුවකින් කන කපා දැමූ පුද්ගලයා මාල්කු සහ කුරුස පත් කළ සොරුන් දෙදෙනා ගේ නාමයන් යෙස්තස් සහ දීමස් ගොන්සාල්වවේස් තුමන් උපුටා ගෙන ඇත්තේ අසම්මත නිකදේමුස්ගේ සුබ අස්න ඇසුරින් ජන ශ්‍රැතිය ඔස්සේ ගලාගෙන ආ බටහිර සාහිත්‍යයෙනි. තවද කුරුසයෙන් බාන ලද සමිඳු සිරුර මරිය මව් ඇකයේ හොබ වන සිද්ධිය ලිවීමට බලපා ඇත්තේ මයිකල් ඇංජිලෝගේ (1475 -1654) අසහාය පියෙටා මූර්තියේ අනු රූ දැකීමෙන් හට ගත් අනුප්‍රාණ්‍ය බවට සැක නැත. මරිය මව් ඇකයේ හොත් සිරුර බලබල මවුන් කරන වලප කියවන්නාට ජාකෝවේ ගොන්සාල්වේස් යනු මයිකල් ඇංජිලෝ නම් වූ ඉතාලි පුනරුද යුගයේ බිහි වූ ශ්‍රේෂ්ඨ මූර්ති ශිල්පියගේ ශ්‍රී ලාංකේය සාහිත්‍යමය ප්‍රතිරූපය යැයි හැඟෙනු ඇත.   


කල්යෑමේදී ගොන්සාල්වේස් යුගයේ රූකඩ ආධාරයෙන් නිරූපණය කළ පාස්කු කතන්දරයේ චරිත ක්‍රමයෙන් ජීවමාන ගැහැනුන් හා පිරිමින් වෙත ආරෝපණය වූහ. බොරලැස්සේ කේ. ලෝරන්ස් පෙරේරා (1923) මීගමුව දූවේ ගරු මර්සලින් ජය​ෙකාඩි පියතුමා (1939) වැනි ප්‍රවීණයින් විසින් කළ මඟ පෙන්වීම අනුව යමින් කල එළිය, බටගම, වාද්දුව, මොරටුව, පයාගල, වත්තල, මග්ගොන, දියලගොඩ, නයිනමඩම, පළඟතුරේ, කඳවල, කටාන, හල්පේ සහ හලාවත වැනි බොහෝ ගම් දනව් වලින් බිහි වූ නිර්මාණ කරුවෝ ස්වතන්ත්‍ර පාස්කු රැඟුම් රැල්ලක් නැංවූහ. රංගනයන්ට සහභාගී වෙන නළු නිළියන් සිය ගණනක් දක්වා වර්ධනය විය.   


යාපනය අර්ධද්වීපයේ උරුම්පිරෙයි හි 1967 දී මාහාචාර්ය ගරු එන්.එම්. සවරි පියතුමා සහ මීගමුවේ 2016 දී විජිත් රොහාන් හා වෛද්‍ය ප්‍රභාත් අශෝක දෙදෙනා එක්ව නිර්මාණය කළ පිළිවෙළින් වාල්වි තිරුමහන් සහ තාරකයාණෝ යන දුක්ෂ්‍ය කාව්‍ය දෙක ශ්‍රී ලාංකේය පාස්කු නාට්‍ය කලාව ඉඟි නළු කලාව හා මුසු කළෝය. එහෙත් මහ සිකුරාදා දින වාර්ෂිකව දේවස්ථාන පරිශ්‍රයන්හි පැවැත්වෙන පාස්කු දර්ශ වලදී ජේසුස් වහන්සේගේ චරිතය සඳහා යොදා ගන්නේ රූකඩ පමණක් වීම විශේෂත්වයකි. මෙයින් පිළිබිඹුවන්නේ නූතන ලාංකේය පාස්කු රැඟුම් සම්ප්‍රදාය සහ නවීනත්වය සමග මුසු වෙමින් ගලාගෙන යන බවයි. ගොන්සාල්වේසියානු සංස්කෘතික ප්‍රවේශය චිරස්ථායීව ඵල දරන බවයි. ගොන්සාල්වේසියානු සාහිත්‍ය ගැන සමාලෝචනයක යෙදෙන ආචාර්ය දොන් පීටර් පියනම එළඹෙන වැදගත් නිගමනයක් තිබේ. එනම් ගොන්සාල්වේස් නිර්මාණ සමුච්චය 5 වැනි සිය වසෙහි සිංහල ප්‍රාකෘතයෙන් ලියා තිබුණු අට්ඨ කතා පාලියට (මාගධියට) නැඟූ බුද්ධඝෝෂ ස්ථවිරයන් විසින් කළ ධර්ම සාහිත්‍ය සේවයට සමාන බවයි. (Historical Gleanings- P.95, 1992) සැබවින්ම මෙය ඉතා හොඳ සැසඳීමක් කරා අප ගෙන යන උපමාවකි. මෙම ග්‍රන්ථ කර්තෘ වරුන් දෙදෙනාම ඉන්දියාවේ සිට මෙරටට පැමිණි බ්‍රාහ්මණ වංශිකයෝ වෙති. බුද්ධ ඝෝෂයන් හෙළ අටුවා පාලියට පෙරළුවේ එකල ඉන්දියාවේ ශීඝ්‍ර ව්‍යාප්තියට පත් වෙමින් තිබූ බෞද්ධ මහායාන දහම් පොත් වලට ප්‍රතිචාර දක්වන්නට සමත් ථෙරවාදී ධර්ම සාහිත්‍යයක් එහි නොවූ නිසාය. එහෙත් එය ඌනපූර්ණය කරන ධර්ම සාහිත්‍යන් මහා විහාරය සතුව තිබුණි. බුද්ධ ඝෝෂ හිමියන් ලංකාවට වැඩම කළේ මෙම ධර්ම ව්‍යාඛ්‍යාන ජාත්‍යන්තර බොදු බස වූ පාලියට නගා ගෙන යෑම සඳහාය.   


ජාකෝමේ ගොන්සාල්වේස් හිමියන්ට මුහුණ දීමට සිදුව තිබූ අභියෝගය ද ඊට නොවෙනස්ය. ඒ සිංහලට නැගීම සඳහා එවන් කිතුනු පත පොත ලංකාවේ නොතිබීමය. මේ අනුව පිය නමට සිදු වූයේ ස්වතන්ත්‍ර නිර්මාණ සඳහා ග්‍රන්ථකරණයේ නියැළෙන්නට මිස පරිවර්නතයේ යෙදෙන්නට නොවේ. බුද්ධ ඝෝෂයන් ලංකාවේදී කළ එකම ස්වතන්ත්‍ර කෘතිය සීල සමාධි ප්‍රඥා ත්‍රිත්වය විස්තර කරමින් ලියූ විසුද්ධි මග්ගය පමණක් බව වියත් මතයයි. එදා පාලියෙන් ලියුවකි. ගොන්සාල්වේස් හිමියෝ ග්‍රන්ථ 35 ක් රචනා කළහ. බුදු ගොස් හිමියන් ලංකාවේ ථෙරවාදය ජාත්‍යන්තරයට ගෙන ගිය අතර ගොන්සාල්වේස් හිමි අන්තර් ජාතික කිතු දහම රැකුමට ලංකාවට අවුත් එය ස්වතන්ත්‍ර නිර්මාණ තුළින් හඳුන්වා දුන්හ. මහායානය ඉන්දියාවේදී ​ථෙරවාදීන්ට අභියෝගයක් වූවා සේම කැල්මිනිස්ත ඉගැන්වීම් ලංකාවේ දී කතෝලික ධර්මයට අභියෝගයක්ව පැවැතියේය.   


මෙම කර්තෘන් වහන්සේ​ දෙනම අතර පෙනෙන එක් වැදගත් වෙනසක් ඇත. එනම් ගොන්සාල්වේස් හිමියන් ලංකාවේ ජීවත් වූ දෙමළ මිනිසුන්ට දෙමළ බසින් කියැවිය හැකි ඇසිය හැකි තේරුම් ගත හැකි ධර්ම ග්‍රන්ථ 14 ක් ලියා තැබීමය. එසේම කවි මඟ හා බණ මග යන දෙකම එකට කලතන ලද රචනෝපක්‍රමයක් ඒ සඳහා යොදා ගැනීමය. මෙහි ප්‍රතිඵල වශයෙන් පාස්කු තේමාව දෘෂ්‍යකාව්‍යකරණයක් දක්වා ගෙන යා හැකි විය. එය අද පවා පුළුල් වෙමින් විකාශනය වෙන අයුරු නිරීක්ෂණය වේ. මෙනයින් ගොන්සාල්වේස් හිමියන් හඳුන්වා දුන් සංස්කෘතික ප්‍රවේශය වර්තමාන ශ්‍රී ලංකාව තුළ කල් පවත්නා ජන වාර්ගික සමගිය සහ අන්තර් සාමයික අවබෝධය ගැඹුරු කිරීම සඳහා යොදා ගත හැකි ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර්යයක් වන්නේය.   

 

 

 

 

රංජිත් නිමල් කුරේරා