ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි

 

දුම්රිය ගමනාගමනයෙහි සංකල්පය බිහිවී ඇත්තේ 16 වැනි සියවසේදී පමණය. එහෙත් දුම්රිය සේවාව බිහි කළ පුරෝගාමියා හෙවත් දුම්රිය සේ්වාවේ පියා ලෙස හැඳින්වෙන්නේ 1781 - 1848 කාලයේදී ජීවත් වූ බ්‍රිතාන්‍ය ජාතික සිවිල් හා යාන්ත්‍රික ඉංජිනේරුවරයකුව සිටි ජෝර්ජ් ස්ටීවන්සන්ය.   


1814දී පමණ පළමු දුම්රිය එංජිම ඔහු විසින් නිර්මාණය කරන ලද අතර, වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක කර වූ එම එංජිම යොදාගෙන එදා මුලින්ම දුම්රිය සේවාව ඔහු විසින් අරඹා ඇත්තේ මගී ප්‍රවාහනය සඳහා නොවීය. ගල් අඟුරු ප්‍රවාහනය කිරීම සිදුවිය.  

මගී ප්‍රවාහන කටයුතු සිදු කර ඇත්තේ තවත් වසර කිහිපයකට පසුවය. එනම් 1830දී පමණ මගී හා භාණ්ඩ ප්‍රවාහන සේවාවක් ලෙස එංගලන්තයේ ලිවර්පුල් සහ මැන්චෙස්ටර් අතර දුම්රිය ධාවනය කෙරිණි. අද අප කතා කිරීමට සූදානම් වන්නේ එම ඉතිහාසය ගැන නොවේ. එදා වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක කරවූ දුම්රිය සියවසයක් සපිරීමට මත්තෙන් ගිය දුර නම් බොහෝමය. අද අප රටේ නොවූව ද, බොහෝ දියුණු රටවල ස්ථාපිත කර ඇත්තේ විදුලි දුම්රිය සේවාවන්ය.   


ඒ අතරින් ලෝකයේ බොහෝ දෙනා අතර ප්‍රකටව ඇත්තේ ජපානයේ ෂින්කන්සෙන් අධිවේගී දුම්රිය සේවාවය. ෂින්කන්සෙන් යන්නෙහි ඉංග්‍රීසි තේරුම වන්නේ බුලට් ට්‍රේන් (Bullet Train) යනුවෙනි.   


වෙඩි තැබීමකදී උණ්ඩය යන වේගය අප දෑසට නොපෙනේ. මෙම දුම්රිය ධාවනය වන්නේද එලෙසින් වූ වේගයකිනි. ඒ හැරත් එහි එංජිම සහිත කොටස නිමවා ඇත්තේ බොහෝ විට බුලට් එකක (උණ්ඩයක) හැඩයෙනි. එනිසා ඉංග්‍රිසියෙන් බුලට් ට්‍රේන් යන අරුත, සිංහල බසට හරවා අධිවේගී දුම්රිය ලෙස භාවිතා කළ හැකිය. කෙසේ වෙතත් ෂින්කන්සෙන් යන්නෙහි ජපන් අරුත වන්නේ, නව බඳකින් යුතු මාර්ගය නොහොත් නව ප්‍රධාන රේඛාව (මාර්ගය) යන්නය. ප්‍රකට සමාගම් ලොව දිනූ විශේෂාංගයට අද අප විස්තර කරන්නේ, ලෝකයේ බොහෝ දෙනා අතර ප්‍රකටව ඇති ජපානයේ මෙම ‘‘ෂින්කන්සෙන්’’ අධිවේගී දුම්රිය අයත් සමාගමේ කතාවය.   


අධිවේගී දුම්රිය මගට පෙර ජපාන දුම්රිය මගෙහි ඇරඹුම : ෂින්කන්සෙන් අධිවේගී දුම්රිය මාර්ගය තැනීමට පෙර ජපාන දුම්රිය සේවයේ ආරම්භය දෙස බැලූ කල පෙනී යන්නේ, ජපාන දුම්රිය සේවය ස්ථාපිත වී ඇත්තේ අප ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය ස්ථාපිත වීමෙන් පසුවය. එනම් ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය ක්‍රියාත්මක වීම අරඹා ඇත්තේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදීය. හරියටම කිව්වොත් 1858 වසරේදීය.   


එහෙත් ජපානයේ දුම්රිය සේවය ස්ථාපිත වූ වසර ලෙස සඳහන් වන්නේ 1872ය. ටෝකියෝවේ ෂින්බාෂි සිට යොකෝහාමා දක්වා මුලින්ම දුම්රිය ගමන් අරඹා තිබේ.

   
‘‘ෂින්කන්සෙන්’’ ආරම්භය.   


අධිවේගී ෂින්කන්සෙන් දුම්රිය ජපානයේ ස්ථාපිත වූ වසර වන්නේ 1964ය. ආර්ථික කටයුතු සහ සංවර්ධන කටයුතු වඩාත් සාර්ථක සහ කාර්යක්ෂම කර ගැනීම උදෙසා ටෝකියෝව සහ ඔසාකා නගර අතර සුවිශේෂී මංසලකුණු විවර කරමින් එදා මේ අධිවේගී දුම්රිය සේවය ජනයාට විවර විය. එතැනින් ඇරැඹි අධිවේගී ෂින්කන්සෙන් දුම්රිය අද වන විට ජපානයේ උතුරු කෙළවර වන හොකයිඩෝ (හොක්කයිදෝ) දක්වාත්, දකුණේ කෙළවර වන කගෝෂිමා දක්වාත් ටෝකියෝවේ සිට ක්‍රියාත්මක වේ. ජපාන රාජ්‍යය සෑදී ඇත්තේ භූගෝලීය වශයෙන් ප්‍රධාන දූපත් පහක එකතුවකිනි.   


ෂින්කන්සෙන් ගමනාන්ත : ෂින්කන්සෙන් බුලට් ට්‍රේන් හෙවත් අධිවේගී දුම්රිය ටෝකියෝවේ සිට ක්‍රියාත්මක වන ගමනාන්ත සඳහන් වන්නේ මෙලෙසිනි. ටෝකියෝවේ සිට උතුරට හොකුරිකු (කනසාවාහි) නීගතා, යමගතා, සෙන්ඩායි, (බිහිසුණු සුනාමිය ඇතිවූ) ​ටොහෝකු, මොරිඕකා, අඕමෝරි, හොකයිඩෝ සහ හැකොදතේ වෙත ද ජපානයේ දකුණු ප්‍රදේශයේ පිහිටා ඇති ටොකයිඩෝ, නගෝයා, කියෝතෝ, ඔසාකා, සන්​ෙ‌යා්, හි​​රෝෂිමා, ෆුකුඕකා (ෆ්‍රකෝකා) කියුෂු සහ කගෝෂිමා දක්වා ද මෙම දුම්රිය සේවාව ක්‍රියාත්මකය.   
අද මෙලෙසින් ජපානය අධිවේගයෙන් හැඩ කරන ෂින්කන්සෙන් දුම්රිය සේවය එදා 1964දී ජපානයේ පැවැත්වූ ඔලිම්පික් උළෙලට සමගාමීව ආරම්භ කළ ද, ඒ වෙනුවෙන් වූ සංකල්පය බිහි වී ඇත්තේ ඊට දශක තුනකට පමණ පෙරදීය. එනම් 1939දී ඇරැඹි බිහිසුණු දෙවැනි ලෝක යුද්ධය ඇරඹීමට මාස කිහිපයකට පෙරදීය. ඒ සඳහා සැලසුම් දියත් කර ඇත්තේ ජපාන දුම්රිය සේවය විසිනි.   


එවකට ජපාන මාධ්‍ය විසින් එම ව්‍යාපෘතිය නම් කරන ලද්දේ ඩැන්ගන් රේස්ෂා (බුලට් ට්‍රේන්) නමිනි. පැය 9ක් ඇතුළතදී යමාගුචි දිස්ත්‍රික්කයේ ෂිමෝනොසෙකි වෙත ටෝකියෝවේ සිට පැයට කිලෝමීටර 160ක වේගයකින් ධාවනය කරවිය හැකි පරිදි අධිවේගී දුම්රිය නිර්මාණය කරවීම එහි සැලසුම විය. ඉනික්බිතිව ඒ වෙනුවෙන් දිගින් දිගටම කටයුතු සම්පාදනය වෙමින් පැවතිණි. අධිවේගී දුම්රිය මාර්ගය යනු සාමාන්‍ය දුම්රිය මාර්ගයක් මෙන් නොවේ. අධිවේගී දුම්රිය නිර්මාණය කිරීමටත් වඩා සංකීර්ණ කාර්යය වන්නේ ඒ වෙනුවෙන් දුම්රිය මග තැනීමය. මෙම දුම්රිය ක්‍රියාත්මක වන්නේ විදුලි බලයෙන් වීම ඊට ප්‍රධාන හේතුවකි.   


එමෙන්ම අධිවේගයෙන් ධාවනය කරවීම සිදුවන නිසා ජනශූන්‍ය ප්‍රදේශ හරහා මාර්ගය ඉදිකිරීම සිදු කළ යුතුය. සරලව කිවහොත් වඩාත් ආරක්ෂිතව එය නිර්මාණය කළ යුතුය. 1939දී සංකල්පයක් ලෙස එළිදැක්වී ආ ජපානයේ ෂින්කන්සෙන් අධිවේගී දුම්රිය සේවය අද වන විට යථාර්ථයක් වී ලබා ඇති දියුණුව සැබැවින්ම අප විස්මයට පත් කරවන්නකි.   

 

 

ඒ අරුමැසි විස්මය ගෙන ඒමට මුල්වූ ජපන් හපනා ලෙස සඳහන් වන්නේ ‘‘හිදේඕෂිමා’’ (Hideo Shima) නම් වූ අපූර්ව මිනිසාය. එනම් ෂින්කන්සෙන් දුම්රිය නිර්මාණය දියත් කිරීමට පුරෝගාමී වූ මිනිසා ලෙස හැඳින්වෙන්නේ ඔහුගේ නාමයයි. ෂිමා නිර්මාණශීලී වූ අතර, අධිවේගී දුම්රිය ජපානයේ ස්ථාපිත කිරීමට මුල් වූ මහ පුරුක ලෙස සඳහන් වන්නේ ෂින්ජි සොගෝය.

   
කවුද මේ හිදේඕෂිමා සහ ෂින්ජි සොගෝ?

   
හිදේඕෂිමා උපත ලැබුවේ 1901 වසරේදීය. ඔසාකාවේදී උපත ලද ෂිමා ටෝකියෝ ඉම්පීරියල් සරසවියේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ උපාධිධරයෙකි. ඔහුට ලැබි ඇත්තේ ඔහුගේ පියාගේ ආභාෂය විය හැකිය. ඔහුගේ පියා එවකට කටයුතු කර ඇත්තේ ගොඩනංවමින් පැවති ජපාන දුම්රිය ක්ෂේත්‍රය ශක්තිමත් කළ නිලධාරියකු ලෙසය. ෂින්කන්සෙන් අධිවේගී දුම්රිය නිර්මාණ ව්‍යාපෘතියේ ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කළේ ෂිමාය. 1925දී ජපන් රජයේ දුම්රිය සේවයට බැඳී සිටි ෂිමා මුලින් කළේ දුම්රිය අමාත්‍යාංශය වෙනුවෙන් (ජපන් දුම්රිය සේවය සඳහා) වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වූ දුම්රිය එංජිම නිර්මාණය කිරීමය. පසුව සිලින්ඩර තුනක ධාරිතාවයකින් යුතු එංජිම නිර්මාණය කිරීමට දායකත්වය ලබා දුන් අතර, දෙවැනි ලෝක යුද සංග්‍රාමයේදී මෝටර් රථ අංශය සඳහා ද ෂිමා සුවිශාල දායකත්වයක් ලබා දුන් ඉංජිනේරුවෙකු විය. ඔහු සතුව තිබූ බොහෝ දක්ෂතා ඉස්මතු කර ගත්තේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුවය. දුම්රිය සේවයට මෙන්ම මෝටර් රථ අංශයට සම්බන්ධව බොහෝ සෙයින් සක්‍රීය වී සිටි ෂිමා තම අරුම පුදුම ශක්තිය මුසු කළේ එම අංශවලට පමණක් නොවුණි.   


1969දී ෂිමා නැවත උපත ලද්දේ ජපාන ජාතික අභ්‍යවකාශ සංවර්ධන ආයතනයේ (NASDA) ප්‍රධානියා බවට පත්වෙමිනි. ජපන් රජයේ ඉමහත් ගෞරවාදරයට පත්වූ ෂිමා ලද සම්මාන ගෞරව සහ අගැයීම් බොහෝය. ජේම්ස් වොට් ජාත්‍යන්තර සමරු රන් පදක්කම ද, බ්‍රිතාන්‍ය යාන්ත්‍රික ඉංජිනේරු ආයතනය විසින් ඔහුට පිරිනමා තිබේ. ෂිමා මියගියේ වයස අවුරුදු 96ක් ආයු වළඳා වීම නිසා (1998දී) ෂින්කන්සෙන් දුම්රිය තාක්ෂණයෙහි බොහෝ දේ ප්‍රායෝගිකව අත්විඳීමට ඔහුහට හැකි විණි.   


තමා එදා දායක වී ඇරැඹි මෙම අධිවේගී දුම්රිය සේවය මෙතරම් දියුණුවීම සහ එය ආස්වාදය කළ හැකි වීම නිසා ජීවිතය සතුටින්ම ගෙවා දමන්නට ඇත.   


ෂින්ජි සොගෝ : ජපානයේ ජාතික දුම්රිය සේවයේ, සිව්වැනි සභාපතිවරයා වූවේ ඔහුය. 1884දී උපත ලද ෂින්ජි මුලින්ම ප්‍රකට වූයේ ටෝකයිඩෝ ෂින්කන්සෙන් අධිවේගී දුම්රිය නිර්මාණය කළ නිසාවෙනි. ඔහු ද හිදේඕ ෂිමා මෙන්, ටෝකියෝ ඉම්පීරියල් සරසවියේ උපාධිධරයකු විය.   


ෂිමා අධිවේගී දුම්රිය එංජිම නිර්මාණය කළ ද, ජපානයෙහි අධිවේගී දුම්රිය සේවය ස්ථාපිත කිරීමට පුරෝගාමී වූ චරිතය වූයේ මේ ෂින්ජි සොගෝය. එය දියත් කිරීම වෙනුවෙන් ඔහු හට බොහෝ අභියෝගවලට මුහුණදීමට සිදුවිණි. වෙසෙසින්ම අධිවේගී දුම්රිය ස්ථාපිත කිරීම යනු ලෙහෙසි - පහසු කටයුත්තක් නොවීය.   
ඒ වෙනුවෙන් අතිවිශාල මුදලක් වැය කිරීමට සිදුවූ අතර, ලෝක බැංකුව වැනි ආයතනයකින් ණය ගැනීම වෙනුවෙන් සැලසුම් පවා ඉදිරිපත් කොට එවකට ජපානයේ රාජ්‍ය පාලනයේ බලධාරින් වෙත යොමු කරවිය. එලෙසින් වූ බොහෝ ප්‍රයත්නයන්හි ඵලයකින් පසුව නීති අංශයේ උපාධිය ලබා සිටි ෂින්ජි සොගෝහට මෙම සුපිරි අධිවේගී දුම්රිය ක්‍රමය ජපානයේ ස්ථාපිත කරවීමට හැකි විණි.   


සොගෝ සහ ෂිමා යනු ජපානයේ අධිවේගී දුම්රිය ස්ථාපිත කරවීමට මුල්වූ මහ බල කණු දෙකකි. ෂිමා මිය ගියේ වයස අවුරුදු 96ක් ආයු වළඳා යැයි අපි කීවෙමු. ෂින්ජි සොගෝ මියගියේ වයස අවුරුදු 97ක් ආයු වළඳාය.   
මෙය සැබැවින්ම පුදුමාකාර සිදුවීමක් නොවේද? ජපානයේ අධිවේගී දුම්රිය ස්ථාපිත කිරීම උදෙසා අපට වඩා දියුණු ලොවකින් මෙහි පැමිණ සිට, ඒ කර්තව්‍ය කොට නික්ම ගිය චරිත යුගලයක් නොවන්නේද? ඒ ගැන සිතීම හෝ උපකල්පනය කිරීම පාඨක ඔබ සතුය.   


ෂින්කන්සෙන් කාගෙද? කාටද අයිති?   


ෂින්කන්සෙන් යනු එක් පුද්ගලයකුට අයත් වූවක් නොවේ. ජපාන දුම්රිය සමූහය හෙවත්, ජේ.ආර්. ගෲප් වෙතින් ක්‍රියාත්මක කරවයි. ජපානයේ දුම්රිය ‘‘හදවත’’ මෙම JR සමූහය බව පැවැසිය හැකිය. එම ආයතනය විසින් සමාගම් නමයකට පමණ අයත් දුම්රිය පද්ධති මෙහෙයවනු ලබයි. 

 
කෙසේ වෙතත් ජපන් රජය විසින් 1987දී පමණ මෙම ආයතනය පුද්ගලීකරණය කිරීමට පියවර ගත්තේය. 1980 දශකයේදී ලාභාංශ හිඟ වීම සහ ලාභ වංචාසහගත ලෙස සිදුවීම යන කාරණා මත භාණ්ඩ හා මගී ප්‍රවාහන දුම්රිය සේවයන්හි ගාස්තු වැඩි කිරීමට පවා සමූහය පියවර ගත්තේය.   
1987 වන විට ජපාන ජාතික දුම්රිය සේවය බිඳවැටීම නිසා ණය බරින් මිරිකී සිටි JR සමූහය ජපාන ජාතික බේරුම්කරන සංස්ථාව ලෙස හැරවුම් මගකට පිවිසිණි. එය වෙනම මාතෘකාවක් ඔස්සේ කතා කළ යුතු සංකීර්ණ පැහැදිලි කිරීමක් වන්නේය. එනිසා අප ඒ JR සමූහයේ පසුබැසීම සහ නැගිටීම පසෙක තබා ලෝකයේ බිලියන ගණනක ජනතාවගේ හද දිනූ මෙම අධිවේගී දුම්රිය ක්‍රියාත්මක වන අයුරු සහ එහි ඇති අපූර්වත්වය කුමක්ද කියා බලමු.   


ලොව වඩාත් ආරක්ෂිත සහ කාර්යබහුල දුම්රිය සේවාව : ‘‘ෂින්කන්සෙන්’’ දුම්රිය සේවය ස්ථාපිත කොට වසර පනහකට වඩා වැඩිය. එදා පැයට කිලෝමීටර දෙසීය ගණනක වේගයෙන් ධාවනය කළ හැකි අධිවේගී දුම්රිය සේවාවක් ලෙස ඇරඹී ෂින්කන්සෙන් දුම්රිය සතු නවීනතම දුම්රිය ධාවනය කෙරෙන වේගය ලෙස සඳහන් වන්නේ පැයට කිලෝමීටර 360ක් හෙවත් සැතපුම් 224 වේගයකිනි. මෙම ෂින්කන්සෙන් දුම්රිය H5 - E5 ලෙස හැඳින්වේ.   


JR සමූහය ෂින්කන්සෙන් සමාගම් පහකින් සමන්විතය. ඒ අනුව එක් එක් නාමයන් යටතේ සහ වර්ගීකරණය අනුව අධිවේගී දුම්රිය නිෂ්පාදනය කෙරේ. ගමනාන්ත ගත වන්නේද එක් එක් වේග සීමාවන් යටතේය. මේ සියල්ල පාලනය කෙරෙන්නේ ෂින්කන්සෙන් ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය වෙතිනි. ලොව පැය 24 පුරාම අතිශය කාර්යබහුල රාජකාරි මධ්‍යස්ථානයක් ලෙස මෙම ෂින්කන්සෙන් මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කළ හැකිය.   


විශ්වාස කරන්න, එක් දිනකදී ජපානය පුරා ධාවනය කෙරෙන ෂින්කන්සෙන් දුම්රිය ප්‍රමාණය 365ක් පමණ වේ. මේ නිසා අධිවේගී දුම්රිය ස්ථාන නිතරම අතිශය කාර්ය බහුල ස්වභාවයක් ගනී.   


‘‘එක් අධිවේගී දුම්රියක් ගමනාන්තයට පැමිණි පසු එය ශුද්ධ පවිත්‍ර කිරීමට ඇත්තේ විනාඩි දහයක වගේ ඉතා සුළු කාලයකි. මෙකී කර්තව්‍යයේ යෙදෙන පිරිස ඉතාම කඩිසරව එම රාජකාරිය කිරීමට වගබලා ගනී. දශමයක තරම් හෝ කුණු බිඳක් නොමැති තරමට සෑම ගමනාන්තයක් අවසනදී මෙන්ම නව ගමනාන්තයක් යාමට පෙර එසේ කිරීම නිරන්තරයෙන් සිදුවන්නකි.   


මෙනිසා ෂින්කන්සෙන් අධිවේගී දුම්රියක ගමන් ගන්නා මගීන් හට ගෙන දෙන්නේ ඉතා නැවුම් ආස්වාදයකි. මේ දැන් නිර්මාණය කොට මංගල ගමනට, එනම් ප්‍රථම වරට ධාවනයට එක් කළ දුම්රියක පහස මගීන් හට අත්විඳිය හැකි දෙයකි. ෂින්කන්සෙන් සේවය ලොව පුරා ප්‍රකට වීමට තවත් ප්‍රධාන හේතුවක් ඇත. මගීන්හට ලබා දෙන ආගන්තුක සත්කාරය එම හේතුවය. 2017දී එක්තරා අවස්ථාවක ෂින්කන්සෙන් දුම්රිය නියමිත වේලාවට තත්ත්පර 22කට කලින් ධාවනය වීම සිදුවිය. මේ අතපසුවීම නිසා වූ හේතුවෙන්, ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයේ පාලකයා සමස්ත ජාතියෙන්ම සමාව අයැද සිටියේය.   

 

 

‘‘ෂින්කන්සෙන්’’ ලබා දෙන සේවාව සුපිරි බව සැබෑය. එහෙත් ෂින්කන්සෙන් කාර්ය මඩුල්ල ජනාතවට දක්වන ගරුත්වය ඊටත් වඩා අගය කළ යුතු දෙයකි. මෙම අධිවේගී දුම්රිය ධාවනය කිරීම සඳහා නියමුවන් ලෙස සේවයට එක්වන්නේ පිරිමි පාර්ශ්වය පමණක්ම නොවේ. කාන්තාවන් අතර ද ඒ වෙනුවෙන් ඇත්තේ ඉහළ ඉල්ලුමකි. ඒ අනුව ෂින්කන්සෙන් කාන්තා/පිරිමි දෙපාර්ශ්වයම පදවන බව කිව හැකිය.   


කොතරම් තාක්ෂණය දියුණු වුවද, මෙහෙයුම් පද්ධතිය පරිගණකගත කර තිබුණ ද, දුම්රිය ස්ථානයෙන් පිටත්වන මොහොතේදී රියැදුරු දුම්රිය ස්ථානයේ සේවක මඩුල්ලට තම ස්තුතිය පුද කර සිටීමට කිසිවිටෙකත් අමතක නොකරයි.   


1964 පටන්ගත් දා සිට කිසිදු අනතුරක් නොවීමේ රහස : 1964දී ෂින්කන්සෙන් ධාවනයට එක්වූ දා සිට මේ දක්වා කිසිදු අනතුරක් නොවීමේ රහස වන්නේ, ධාවනයට යොදවා ඇති දුම්රිය දින විස්සකට වතාවක් පුංචි ඇණයේ සිට සියලු කොටස් පරීක්ෂා කර බැලීම නිසාය. පුංචි ඇණයක් පවා බුරුල් වී ඇති දැයි දැන ගැනීම සිදු කරන්නේ විශේෂිතව සාදා ඇති මිටියක් මගිනි.   


ඉතා සියුම් ලෙස වූ දෝෂයක් පවා ඇත්නම්, එය ධාවනයට යොදවන්නේ නැත. දුම්රිය පද්ධතියෙහි තත්ත්වය සියයට සියයක්ම නිවැරැදි තත්ත්වයේ ඇත්නම් පමණක් ධාවනයේ යෙදවීම සිදු කරයි. මෙලෙසින් වූ සුපරික්ෂාව නිසා අද දක්වා කිසිදු අනතුරක් සිදුවී නොමැති සේම, අනාගත​යේදී ද, අනතුරු සිදු නොවනු ඇත. මක්නිසාද යත් එදාටත් වඩා අද තාක්ෂණය දියුණු වී ඇති හෙයිනි. ෂින්කන්සෙන් ලොව වඩාත් ආරක්ෂාකාරී අධිවේගී දුම්රිය පද්ධතිය ලෙස ප්‍රකට වී ඇත්තේ මෙකී හේතු නිසාය.   


පාට පාට ෂින්කන්සෙන් : මෙලෙසින් වූ මෙම සුපිරි අධිවේගී දුම්රිය හැඩය මෙන්ම පැහැය ද එකිනෙකට වෙනස්ය. උදාහරණයකට ටෝකියෝවේ සිට, නගෝයා දක්වා ධාවනය කෙරෙන දුම්රිය ගනිමු. එහි වර්ණය සුදු සහිත පසුබිමක ඇති දම් පාටින් යුතුය. එලෙසින් විවිධ ගමනාන්ත දක්වා දිවෙන සහ ෂින්කන්සෙන් නිෂ්පාදනය කරන සමාගම්වලට අනුව වර්ණ සහ හැඩය වෙනස් කර තිබේ. 

 
ටෝකියෝවේ සිට හොකයිඩෝ වෙත ධාවනය කෙරෙන අධිවේගී දුම්රිය විටෙක කිලෝමීටර 29ක් පමණ දුරක් දිය යටින් ධාවනය කරවීම තවත් පුදුමයකි. මොන විදියට ධාවනය කළ ද, අධිවේගී දුම්රිය මාර්ගයට කිසිවකුට හෝ ඇතුළු වීමට නොහැකි පරිදි මාර්ගය නිමවා තිබීම ද තවත් විශේෂත්වයකි.   


භූමිකම්පාවලට ඔරොත්තු දීම : ජපානයට නිතර භූමිකම්පා ඇති වන බව අප සියලු දෙනා දන්නා කරුණකි. මෙම ෂින්කන්සෙන් දුම්රිය ධාවනය කිරීමේදී භූමිකම්පාවක් ඇතිවන බව කල්තියාම දැන ගැනීමේ තාක්ෂණයෙන් දුම්රිය පද්ධතිය සමන්විතය. එවැනි අවස්ථාවක ස්වයංක්‍රීයව දුම්රියේ තිරිංග (බ්‍රේක්) ක්‍රියාත්මක වී දුම්රිය නැවතීම සිදුවේ. ජපන් තාක්ෂණයේ පුදුමය අප විස්මයට පත්කරවන්නේ මෙවැනි දේ නිසාය. මෙකී ස්වභාවයෙන් යුතු වූ නිසා ‘‘ෂින්කන්සෙන්’’හි ගමන් කිරීමට කිසිදු බියක්-චකිතයක් ඇති කර ගත යුතුනොවේ.   


ජපාන අධිරාජයාගේ සිට රාජකීය පවුලේ අයගේ සිට, ජපන් අගමැතිගේ සිට සියලු තරාතිරම්වලට අයත් බොහෝ දෙනා මෙම ෂින්කන්සෙන් දුම්රියේ ගමන් කිරීම සාමාන්‍ය දෙයකි.   


අනාගතයේ එන සුපිරි වේගයෙන් යුතු ෂින්කන්සෙන් ඩීමියා. 

 
මෙම 2020 වසරේදී ජපානයේ පැවැත්වීමට තිබූ ඔලිම්පික් උළෙලට සමගාමීව ෂින්කන්සෙන් නව අධිවේගී කට්ටල ධාවනයට එක්කිරීමට නියමිතව තිබිණ.   


කෙසේ වෙතත් මේ වසංගතය හමුවේ එය කල් ගිය නිසා ඒවායෙහි පහස ලැබීමට තවත් ටික දිනක් බලා සිටීමට ජනතාවට සිදුවනු ඇත.   


හෙට දින ධාවනයට එක්කිරීම සඳහා ඇති ෂින්කන්සෙන් අධිවේගී දුම්රිය පැයට කිලෝමීටර 609ක පමණ වේගයකින් ධාවනය කෙරෙනු ඇත. ‘‘ඩීමියා මෝටර්’’ නමින් එය හැඳින්වේ. මේ වන විට එහි පරීක්ෂණ ධාවනය සිදු කර හමාරය.  

 

 

සටහන :
සඳුන් ගමගේ