IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


රුපියල් සීයේ මිනී මැරුම

 

මළගමක් වූ විට එම නිවසට රැස් වී අනිත්‍යය මෙනෙහි කරමින් වෙස්සන්තර කාව්‍යය, යසෝදරාවත හෝ සතර සතිපට්ඨානය ගායනා කරන කාලයක් අපේ රටේ ගම් නියම් ගම්වල තිබිණ.   

මෙසේ අනිත්‍යය මෙනෙහිකරමින් මිනියට තනි රැකීම සිදුකර තිබේ. එම ගායනා සඳහා ගම්මානවල පුරුදුකරුවෝ ද සිටියහ.   


ඇතැම් ප්‍රදේශවල පිරිමින්ට අමතරව කාන්තාවන් ද මේ ගායනා සිදුකර ඇති බව පැවසේ.   


මිනිය ගෙදර තිබෙන දිනවල පමණක් නොව හත් දවසේ ධර්ම‍දේශනය පැවැත්වෙන දිනය තෙක් එදා මේ හොඳ සිරිත් පැවතිණ.   


1960 ගණන්වලින් පසු එම සම්ප්‍රදායන් ක්‍රම ක්‍රමයෙන් ගිලිහී තිබේ. ඒ වෙනුවට මළ ගෙදර තනියට පැමිණ නිදි මරන පිරිමින් දාම් ක්‍රීඩාවට යොමු කර තිබේ. සමහරුන් කාඩ් ගැසීමට ද පෙළඹී ඇත. කාඩ් ගැසීම බූරුවා ගැසීම දක්වා ගොස් මළ ගෙවල්වල බූරු පිටි පවත්වාගෙන යාම නිසා මේ වන විට ගම්මානවල ජනයා සූදු කෙළීමට නැඹුරුවීම අද වන විට දැකිය හැකි තත්ත්වයකි.   


මෙවන් තැනක මත්පැන් ද අනිවාර්ය අංගයක් වී තිබේ.   


ගමේ මරණාධාර සමිති මත්පැන් දුම්වැටි තහනම් කරන අවස්ථා ඇතත්, මත්පැන්වලින් සප්පායම් වී මුදල් ඔට්ටුවට බූරුවා ගසන මළ ගෙවල් තවමත් පවතී.   


මේ ‍ඇබ්බැහි වීම් තුළින් සිදුවන කලහ හා මිනීමැරුම් පිළිබඳව ද අද අසන්නට ලැබේ.   


හල්දුම්මුල්ල මුරුතහින්න ගම්මානයේ නොබෝදා සිදුවූ මිනී මැරුමක් ද සූදුපිටියක් මුල්කරගෙන සිදුවූවක් බව පොලිසිය කියයි.   


අවුරුදු 81ක් ආයු විඳ මරණයට පත්වූ ඊ.කේ. ඇලිස්නෝනා ඉතා යහපත් දිවියක් ගත කළ අටදරු මවකි. ඇගේ මළගමට පැමිණ සිටි දෙදරු පියෙක් මෙහිදී අමානුෂික ලෙස ඝාතනය කර තිබුණි. අධිකාරි විතානලාගේ චමින්ද කුමාර හෙවත් සිසිරකුමාර (40) නමැති ඔහු මරණකාරියගේ ඥාතියෙකි. නෑකමට මරණකාරියගේ මුනුපුරෙකි.   


සිසිර කුමාරගේ මහ ගෙදර ඇත්තේ මළගෙදර ආසන්නයේ වුවත්, ඔහු හම්බන්තොට කාන්තාවක් සමග විවාහ වීමෙන් පසු හම්බන්තොට සමගිපුර පදිංචිව සිටියේය.   


සුජීවා හර්ෂණී නමැති බිරිඳ හඬා වැළපෙමින් මෙසේ කීවාය.  


‘‘අපි විවාහ වුණාට පස්සේ මහත්තයා යුද හමුදාවෙන් ඉවත්වෙලා පුද්ගලික සමාගමකට අයත් හම්බන්තොට ශාඛාවේ ආරක්ෂක අංශයේ රැකියාවක් ලබා ගත්තා. යුද හමුදාවෙන් ලැබිය යුතු කිසිම දීමනාවක් තවම ගත්තේ නැහැ. අපට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. එක් පුතෙක් 8 වන ශ්‍රේණියේ, අනෙක් පුතා 3 වන ශ්‍රේණියේ ඉගෙන ගන්නවා.   

 


මගේ මහත්තයා කාටත් උදව් කරන කෙනෙක්. මේ මළ ගෙදර පිළිබඳව දැනුම් දුන්නෙත් අද අත්අඩංගුවේ පසුවන සැකකාරයෙක්. ඒ ගොල්ල අපේ ගෙදරත් ඇවිත් තියෙනවා. ළඟදී අපි මුරුතහින්නෙ ගෙදරත් ගිහින් ආවා. ඒ නිසාත් ළමයින්ට ඉස්කෝලෙ පාඩුවන නිසාත් මහත්තයා විතරක් මළ ගෙදර ආවා.   


මහත්තයාගේ මාමා කෙනෙකුත් හම්බන්තොට වැඩ කරනවා. එයත් මහත්තයා එක්ක ගිහින් තියෙනවා. 

 
‘‘අනේ දෙයියනේ ඇයි මගේ මහත්තයට මෙහෙම දෙයක් කළේ?’’ යැයි ඇය හඬා වැටුණේ මිනිය හඳුනාගැනීම සඳහා බදුල්ල මහ රෝහලේ මෘත ශරීරාගාරයට පැමිණි අවස්ථාවේය.   


 ‘‘මළ ගෙදර තිබුණේ අපේ ගෙදර ළඟ. මැරුණ පුතා රාත්‍රී මගේ ගෙදර බත් කකා සිටියදී තමයි හොඳින් කතාකරලා එළියට අරන් ගිහින් මගේ ගෙදර ඉස්සරහ දී මේ අපරාධ කළේ’’ යැයි පවසමින් එම්.ජී. ප්‍රේමතිලක නමැති මාමා හඬා වැලපුණේය.   


‘‘ඔය අපරාධය කරපු අය මෙයාගේ යාළුවෝ. එදා එකට ඉඳන් සෙල්පි ගහලත් තියෙනවා. මේ බලන්න මහත්තයෝ’’ කියමින් ඔහු ජංගම දුරකතනයේ ඡායාරූප ද පෙන්නුවේය. මේ ඝාතනය සැලවූ වහාම බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා වහාම ක්‍රියාත්මක විය.   


සිද්ධිය වූයේ හල්දුම්මුල්ල පොලිස් වසමේ වුවත්, එම ස්ථානාධිපතිවරයා නිවාඩු ලබා සිටි බැවින් හපුතලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සාගර දයාරත්න මහතාට මෙම විමර්ශන කටයුතු භාරදුන් පොලිස් අධිකාරිවරයා එය මෙහෙය වූයේය.   


පොලිසිය මළ ගෙදරදීම එක් සැකකරුවකු අත්අඩංගුවට ගත්තේය. ඔහු යුද හමුදාවෙන් විශ්‍රාම ලැබූ 53 හැවිරිදි සාජන් මේජර්වරයෙකි.   ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවන් තුන්දෙනෙක් ඒ වන විටත් කොස්ලන්ද රෝහලට ඇතුළත් වී තිබිණ. හපුතලේ පොලිස් ස්ථානාධිපති සාගර කොස්ලන්ද මහතා, පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක එම්.එස්. දයාසිරි මහතා මාර්ගයෙන් වහාම එම සැකකරුවන්ට මුරකාවල් දැම්මේය.   
ඔවුන් රෝහල්ගත වූයේ විමර්ශන නොමග යැවීමට බව තේරුම් ගත් පොලිසිය, වෛද්‍යවරුන්ගෙන් තත්ත්වය විමසා එම සැකකරුවන් තිදෙනා රෝහලේදීම අත්අඩංගුවට ගත්තේය. තවත් සැකකරුවෙක් ගමේදී අත්අඩංගුවට ගැනිණ.   


මළ ගෙදර බූරුපොළක ඇතිවූ බහින් බස් වීමක් මෙම ඝාතනයට මුල් වී ඇතැයි බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා පැවසීය. විමර්ශනවලදී අනාවරණය වූ කරුණු මෙසේය.   


මියගිය කාන්තාවගේ අවසන් කටයුතු එම ගම්මානයේම සුසාන භූමියේ දී සිදුකර තිබෙනවා. ඉන්පසු එදින රාත්‍රී මෙම නිවසට පැමිණි ඥාතීන් පිරිසක් මුදල් ඔට්ටු අල්ලමින් බූරුවා ගහල තියෙනවා.   


මෙහිදී මරණකරු රුපියල් 100ක ඔට්ටුවක් දිනා ඇති අතර, සැකකරුවෙක් වන හිටපු යුද හමුදා සාජන් මේජර්වරයා සමග මේ පිළිබඳව බහින්බස්වීමක් වී ඔහු මරණකරුගේ කම්මුලට පාරක් ගසා තියෙනවා.   


ඊට පසු තවත් සැකකරුවෙක් මරණකරුට පොල්ලකින් පහරදීමට පැමිණි අවස්ථාවේ මරණකරු ඔහු තල්ලුකර දමා තිබෙනවා. එවිට ඔහු බිම වැටී මුහුණට තුවාල සිදුව තිබෙනවා. එම සැකකරු නිකපොත ත්‍රීවිලර් පාර්ක් එකේ රැකියාව කරන තම සහෝදරයන් දෙදෙනාට මේ බව දැනුම් දීමෙන් පසු, ඔවුන් ත්‍රීවිලර් 2 කින් පැමිණ මෙම අපරාධය සිදුකර තිබෙන බව ද සාක්කිවලින් අනාවරණය වූ බව පොලිස් අධිකාරිවරයා සඳහන් කළේය.   
බරපතළ තුවාල ලැබූ සිසිර හල්දුම්මුල්ල ප්‍රාදේශීය රෝහලට රැගෙන යන විටත් මියගොස් තිබිණ. ඝාතනයට යොදාගත් බවට සැකකරන පොලු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.   


බදුල්ල මහ රෝහලේ මෘත ශරීරාගාරයේ දී බදුල්ල මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය සඳකැන් වඩුගේ මහතා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළේය. පහරදීමක් හා සැසඳෙන මොට බලයක් සහිත පහරදීමෙන් මොළයට හා හිස්කබලට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව ඔහු සිය වාර්තාවෙන් අනාවරණය කළේය.   


බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.පී. ද සිල්වා මහතා වැඩිදුර විමර්ශන සිදුකළේය.   


අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවන ලදී. මහේස්ත්‍රාත් නියෝගය මත ලබන සැකකරුවන් 5 දෙනා ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.  

 

 

 

 

සටහන හා සේයා : බදුල්ලේ 
පාලිත ආරියවංශ



අදහස් (0)

රුපියල් සීයේ මිනී මැරුම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 157 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site