අද යාපනේ-2

තිස් වසරක යුද්ධය නිමාවීමෙන් පසු යාපනය අර්ධද්වීපය සාමාන්‍ය ලෙස පැවතුණි. 2009 වසරේ යුද්ධය අවසන් වී වසර කිහිපයක් පුරා හමුද‌ාව යාපනය අර්ධද්වීපයට ආවරණය වෙන පරිදි සිය ආරක්ෂක කටයුතු තර කර සිටිය ද උතුරේ දේශපාලන බලධාරීන්ගේ බලපෑම මත හමුද‌ා සාමාජිකයන්ගේ සංඛ්‍යාව සීමා කෙරිණ. ඇතැම් කඳවුරු ඉවත් කළ අතර හමුද‌ාව කඳවුරුවලට සීමා කෙරිණ. ඊට පසු වසර 3ක් පමණ ගියද යුද්ධයට වඩා යාපනය ජනතාව දැන් තවත් අර්බුදයකට මුහුණ පා සිටිති. ඒ මත්ද්‍රව්‍ය ජාවාරමයි.  

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් රැකියා නොමැති තරුණ පිරිස් ඉලක්ක කරගෙන මෙම ජාවාරම පවත්වාගෙන යති. සමහර තරුණයන්ට රැකියා නොමැත. ඒ නිසා ඔවුනට සිතේ හැටියට වියදම් කිරීමට නොහැකිය. එ් නිසා එම තරුණයෝ මෙයට ඉතා ඕනෑකමින් පෙළඹී සිටිති. ඇතැම් තරුණ පිරිස් දවසේ කුලී වැඩක නිරත වූවත් ඔවුන්ට ඉන් ලැබෙන්නේ රුපියල් 1200/-ක් තරම් වූ මුදලකි. එහෙත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගෙන් ඔවුන්ට දිනකට රුපියල් 5000ක පමණ මුදලක් හිමි වෙයි. මේ නිසා ඔවුහු එම ජාවාරමට ඉතා උනන්දුවක් දක්වති.  


යුද්ධය පැවති සමයේ උතුර නැගෙනහිර ආවරණය වෙන පරිදි නාවික හමුද‌ාව ශ්‍රී ලංකා මුහුදු තීරයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරිණ. දැනට එම මෙහෙයුම් ක්‍රියාත්මක නොවනවා නොවේ. එහෙත් යුද්ධය පැවති සමයේ ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරන ඕනෑම නෞකාවක් හෝ යාත්‍රාවක් නාවික හමුද‌ාවේ උකුසු ඇසට වසන් කොට දිවයිනට පැමිණීමට නොහැකිය. එහෙත් අද වෙනවිට ඉන්දියාවේ සිට මෙරටට කිලෝ ගණනින් ‘කේරළ ගංජා’ හෝ ‘හෙරොයින්’ පැමිණෙන බව යාපනයේ ජනතාව පවසති. මේ මත්ද්‍රව්‍ය ජාවාරම සාර්ථකව කරගෙන යාමට දැන් යාපනය හොඳ තෝතැන්නක් බව ඔවුහු සඳහන් කරති. දිවයිනේ විවිධ පළාත්වලට මෙන්ම විදේශ රටවලටද මත්ද්‍රව්‍ය බෙද‌ාහරින මධ්‍යස්ථානයක් බව සිය අනන්‍යතාව හෙළි කිරීමට අකමැති යාපනයේ ව්‍යාපාරිකයෙක් පැවසීය.  


දැන් යුද්ධය තිබූ කාලය වගේ නොවෙයි. ඕනෑම මත්ද්‍රව්‍යයක් යාපනයේ තිබෙනවා. ඒකෙන් මම අදහස් කරන්නේ නැහැ නැවත අපට යුද්ධයක් අවශ්‍යයි කියලා. මේ පවතින තත්ත්වය අපට ඉතාමත් වටිනවා. නමුත් දැන් මත්ද්‍රව්‍ය බහුලයි. ඇතැම් අය දන්නවා මේ ජාවාරම පසුපස සිටින්නේ කවුද කියලා. නමුත් ඔවුන්ට යහමින් මුදල් ලැබෙන නිසා ඔවුන් ඒ බව කියන්න කැමති නැහැ. සුඛෝපභෝගී වාහනවලින් පැමිණ තමයි ඔවුන් මේ ජාවාරම කරන්නේ.  


දැන් ඉස්සර වගේ නොවෙයි. යාපනය නගරයේ නිදහස තිබෙනවා. මාර්ග බාධක නැහැ. වාහන සෝදිසි කිරීම් නැහැ. ඕනෑම කෙනෙකුට දිවා-රාත්‍රී නිදහසේ ගමන් කිරීමට පුළුවන්. අනික යාපනයේ නගරයේ තැබෑරුම් සංඛ්‍යාව යුද්ධයෙන් පසු ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේවාට අවසර දුන්නේ කවුද කියලා දන්නේ නැහැ. අපි කියන්නේ මේවා මැඩපවත්වන්න නීතිරීති දැඩි කරන්න කියලා. නැතිනම් අපේ තරුණ පිරිස විනාශ වෙනවා.  


යාපනය නගරය තුළ සාමාන්‍ය ජන ජීවිතයට ද මෙම මත් උවදුර නිසා දැඩි ලෙස බලපෑම් එල්ල වී තිබේ. එහෙත් එම ජනතාව ඒ බව හෙළිකිරීමට අකමැත්තක් දක්වන්නේ යාපනය නගරය තුළ ක්‍රියාත්මක වෙන විවිධ කල්ලි කිහිපයක් නිසා වෙනි.  


අප පසුගිය සතියේ කතා කළේ ‘අවා’ සහ ‘දනුරොක්’ කල්ලි දෙක පිළිබඳවයි. බොහෝ දුරට මෙම කල්ලි දෙකට ප්‍රදේශයේ ජනතාව තුළ බියක් පවතියි. ඔවුන් මනුෂ්‍ය ඝාතන කරන්නේ දකුණු ඉන්දියාවේ චිත්‍රපටවල තිබෙන ආකාරයටයි. යාපනයේ බොහෝ තරුණ පිරිස් ඒ චිත්‍රපට නරඹන අයවලුන් වෙති. ඔවුන්ගේ මානසිකත්වය ඒ සඳහා නැඹුරු වී ඇත. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ එම චිත්‍රපටයේ වීරයාගේ චරිතය සැබෑ ආකාරයෙන් යාපනය නගරය තුළ පවත්වාගෙන යාමටයි.  


යාපනය නගරයේ සංචාරය කළ අපි, ප්‍රදේශයේ ජනතාවගෙන් අදහස් විමසීමක් කළෙමු. මේ නගරයේ ව්‍යාපාරිකයෙකු වන එස්. සුබන් මහතායි. ඔහු සඳහන් කළේ බොහෝ ජනතාව අතර මිල මුදල් හිඟවීම නිසා භාණ්ඩ මිලදී ගැනීමට ඔවුනට හැකියාවක් නොමැතිකමයි.  


“යාපනය නගරයේ කිහිප දෙනෙකු අතර මිල මුදල් ගැවසෙනවා. මොකද යුද්ධ කාලයේ ඔවුන් ඊට බියෙන් දේශපාලන රැකවරණ පතා විදේශ රටවලට ගියා. දැන් විටින් විට නිවාඩුවට ඔවුන් ලංකාවට එනවා. නැතිනම් මෙහෙ ඉන්න ඥාතීන්ට මුදල් එවනවා. ඒ වගේ අයට මිල මුදල් ටිකක් තිබෙනවා. නමුත් යාපනය නගරයෙන් පිට බොහෝ දෙනෙකුට මුදල් නැහැ. අපි නගරයේ ව්‍යාපාරික කටයුතු කරන නිසා අපිට දවසේ වියදමට මේ ල​ැබෙන මුදල ඇති. ඒත් තවත් පිරිසක් සිටිනවා තුන්වේල හරි හැටි කෑමක් කන්න බැරි”  


“​ෙමාකද මේ පළාත 30 වසරක යුද්ධයෙන් පීඩා වින්ද අය. ඔවුන්ගේ නිවාස විනාශ වුණා. ඉඩකඩම් නැතිවෙලා ගියා. ඉතින් ඔවුන් බොහෝම අසරණ වෙලයි සිටින්නේ. අඩුම තරමින් රජයවත් මැදිහත් වෙලා ඔවුන්ට නිවාස සාදා දීලා ඉඩකඩම් ටිකවත් ලබා දෙනවනම් ඔවුනට සහනයක් වෙනවා. නමුත් එහෙම වැඩපිළිවෙළක් තවමත් හරි හැටි ක්‍රියාත්මක වෙනවා දකින්නට නැහැ”   


යාපනය නගරයේ මෙන්ම උතුරේ සමස්ත ජනතාවම නැවත යුද්ධයකට හෝ අයහපත් වාතාවරණයකට කිසිසේත්ම කැමැත්තක් නොදක්වති. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ සාමයයි. දැනට උතුරු පළාතේ සාමය ස්ථාපනය කර ඇත. නමුත් විවිධ කල්ලිවලින් එල්ලවෙන බලපෑම් නිසා යාපනය ජනතාව දැඩි අසීරුතාවට පත් වී සිටිති. ඔවුන් ඉල්ලා සිටින්නේ මීට වඩා නීතිය ක්‍රියාත්මක කොට පොලිසියේ බලතල තවදුරටත් වැඩිකරන ලෙසයි.  
එල්.ටී.ටී.ඊ. සංවිධානය උතුරේ මෙන්ම නැගෙනහිර පළාත්වල බලය වසර 30ක පමණ කාලයක සිට තහවුරු කරගෙන සිටියේය. නමුත් දැන් ඒ සියල්ල විනාශ කොට යළිත් සාමය ස්ථාපිත කර තිබේ. යුද්ධය පැවති සමයේ එල්.ටී.ටී.ඊ යට සම්බන්ධ වීමට බොහෝ තරුණයන් මෙන්ම තරුණියන්ද අකමැති වූවත් එම සංවිධානයෙන් සිදු වූ බලපෑම් නිසා අකමැත්තෙන් වුවද ඔවු එම සංවිධානයට බැඳුණි. ඔවුන් බඳවා ගැනුණේ යුද්ධ හමුද‌ාව සමඟ සටන් කිරීමටයි. පසුව අවසන් මානුෂීය මෙහෙයුමේදී එම සංවිධානයට සම්බන්ධ වූ තරුණ පිරිස් නැවත යුද හමුද‌ාවට භාර වී පුනරුත්ථාපනය ලැබූහ. එසේ භාර වී පුනරුත්ථාපනය ලැබූ තරුණයන් කිහිප දෙනෙකු අපට හමුවිය. ඔවුන් සිය අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වූයේ සිය ජීවනෝපායට සහ ප්‍රදේශයේ ජීවත්වීමේදී ප්‍රදේශවාසීන්ගෙන් මතුවෙන බලපෑම් සැලකිල්ලට ගෙනයි.  


එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳී යුද හමුද‌ාව යටතේ පුනරුත්ථාපනය වූ තරුණයෙකු අපට හමුවුණේ යාපනය චාවකච්චේරිය ප්‍රදේශයේදීයි. ඔහු නමින් සම්මුගරාජා දිනෙෂ් වන අතර පදිංචිය චාවකච්චේරිය මීසාලේ ප්‍රදේශයේයි.  


“අපි නම් කිසිසේත්ම කැමති නැහැ රට නැවත යුද්ධයකට යනවට. අපි කැමැත්තෙන් නොවෙයි යුද්ධය කළේ. අපිව බලෙන් තමයි බඳවා ගත්තේ. බැඳුණේ නැතිනම් අපේ පවුලේ සියලු දෙනාම මරණවා. අපි කොහොමත් කැමති නැහැ නැවත ඒ වගේ යුගයක් එනවට. අපට මේ යන ක්‍රමය ඉතා හොඳයි. යාපනයේ ජනතාව යුද්ධයෙන් පීඩා වින්ද‌ා. නමුත් දැන් යුද්ධය අවසන්. දැන් ඔවුන්ට තිබෙන තවත් ප්‍රධාන ප්‍රශ්නයක් තමයි කඩු, පිහි, කිනිසි අතින් අරන් සැරිසරන තරුණ පිරිසකගෙන් එල්ලවන තර්ජන. ඒක එල්.ටී.ටී.යට වඩා භයානක තත්ත්වයකට එන්න කලින් මර්දනය කරන්න ඕනෑ. නැතිනම් ප්‍රශ්නය දුරදිග ගියාට පස්සේ විසඳුම් සොයලා වැඩක් නැහැ.”  
“මම අපේ තාත්තගේ කුඹුරුවල වැඩ කළේ. මුහමාලේ ප්‍රදේශයේ. හදිසියේම මුහමාලේ ඉඳලා එන පාර වැසුවා. අපි එතනදී කොටු වුණා. එතනදී අපිව එල්.ටී.ටී.ඊ. එකට බඳවා ගත්තා. පස්සේ මම ටික කාලයක් ඉඳලා හමුද‌ාවට බාර වුණා. වසර දෙකක කාලයක් මාව පුනරුත්ථාපනය කළා. එම කාලය තුළදී මට පෙදරේරු (මේසන්) වැඩ ඉගැන්වූවා. මම නිදහස් වෙලා එනකොට මේසන් වැඩ සඳහා අවශ්‍ය සියලු උපකරණ ලබා දුන්නා. දැන් මම මේ පළාතේ මේසන් වැඩ කරලා ජීවත් වෙනවා. මම විවාහකයි. මට දරුවෙක් සිටිනවා. දවසකට රුපියල් 1200ක් පමණ මුදලක් මට වැටුප් වශයෙන් ලැබෙනවා. ඒ මුදලින් මම අපේ පවුල නඩත්තු කරනවා. යුද්ධය නිමවීමත් සමඟ හුඟාක් මේසන් වැඩ තිබුණා. යුද්ධයෙන් විනාශ වූ ගොඩනැගිලි සකස් කරන්න දැන් නම් ටිකක් අඩුයි.”  


“අපි වගේ පුනරුත්ථාපනය වෙලා ආව අයට රුපියල් ලක්ෂ දෙකක ණය මුදලක් ලබා දුන්නා ස්වයං රැකියා ආරම්භ කරන්න. මාසයකට 7500ක් අය කරගන්න. ඒ මුදලින් සත්ව ගොවිපළවල්, මහන මැෂින්, වඩු වැඩ උපකරණ කට්ටල, ත්‍රීරෝද වගේ දේවල් අරගත්තා. තවත් පිරිසක් සුළු සුළු ව්‍යාපාර ආරම්භ කළා.”  

 

 

“අපි නම් කවද‌ාවත් නැවත යුද්ධයකට යනවට කැමති නැහැ. ඒ වගේ තත්ත්වයක් නම් දකින්නට කැමති නැහැ. දැන් හිටපු නියෝජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරම් මහත්මිය ප්‍රකාශයක් කළානේ. නමුත් අපි දකින්නේ එතුමිය දේශපාලන වශයෙන් ලාභ ප්‍රයෝජන ගන්න කරපු කතාවක් විදිහටයි. ඒ වගේ දෙයකට මේ පළාතේ ජනතාව උදව් කරන්නෙත් නැහැ. අපි දැන් අපේ පාඩුවේ ජීවත් වෙනවා. ඒක එතරම් තේරුමක් නැති කතාවක් විදිහටයි අපි දකින්නේ. අප කීයටවත් එවැනි තත්ත්වයක් ඇති​ වෙන්න ඉඩ දෙන්නේ නැහැ.”  


එල්.ටී.ටී.ඊ. සංවිධානය ද මුලින්ම සැදුණේ කුඩාවටයි. නමුත් වසර ගණනාවක් යන කොට එම සංවිධානය දැවැන්ත සංවිධානයක් ලෙස බලයට පත්විය. දැන් යාපනයේ ඇති වෙනත් කල්ලි නිසා ජනතාව තුළ අනියත බියක් ඇති වී ඇත.  


යාපනය දිස්ත්‍රික්කයේ චාවකච්චේරියේ පදිංචි කේ. සුකින්දන් මහතාගෙන් විමසීමක් කළේ වත්මන් තත්ත්වය දැන ගැනීමටයි. 


ඔහු සඳහන් කළේ දැනට යහපත් වතාවරණයක් යාපනයේ පැවතිය ද ඇතැම් කල්ලි නිසා යාපනයේ ජනතාව අතර තරමක බියක් පවතින බවයි.  


“දැන් ගහගැනීම්, කපා කොටා ගැනීම් වැඩි වෙලා තිබෙනවා. රක්ෂා නම් තරමක් දුරට අඩුයි. නමුත් රක්ෂාවක් සොයාගන්න බැරිකමක් නැහැ. එහෙත් ඒවාට යොමු නොවන අය තමයි එක එක කල්ලි ගැසී විවිධ අපරාධ කරන්නේ. අධ්‍යාපනය ලබන සිසුන්ට දිවා ආහාරය ලැබෙනවා. ප්‍රවාහන පහසුකම් අතින් බැලුවහොත් ගොඩක් තිබෙන්නේ යතුරුපැදි තමයි. දැන් පාපැදි ගොඩක් අඩුයි.” 

 
මෙතනදී විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ අර විජයකලා මහේෂ්වරම් හිටපු නියෝජ්‍ය ඇමැතිනිය කළ ප්‍රකාශය පිළිබඳව. ඇය සඳහන් කරන්න ඇත්තේ එල්.ටී.ටී.ය පවතින කාලයේ මෙවැනි දේවල් සිදුනොවුණ නිසා වෙන්න ඇති. ඒ දවස්වලත් මෙවැනි දේවල් ඉතාමත් සුළු වශයෙන් තිබුණා. නමුත් මේ තරම්ම නැහැ. ඒ වගේ චෝදනාවලට ලක්වූවන්ට ඒ මොහොතේම දඬුවම් ලබාදෙනවා. දැන් අපි ගතහොත් ස්ත්‍රී දූෂණයක් කළ කෙනෙක් හමුවුණා කියලා ඔහුව රැගෙනවිත් අවට ජනතාවත් කැඳවනවා. එතනදී ජනතාවගෙන් එල්.ටී.ටී.ඊ නියෝජිතයකු විමසනවා මොහුට ලබාදිය යුතු දඬුවම කුමක්ද කියලා. ජනතාව කිව්වහොත් මරණ දඬුවම ලබා දෙන්න කියලා ඒ මොහොතේම වෙඩි තබා මරා දමනවා. ඒක නිසා මිනිස්සු බය වුණා වැරදි කරන්න. නමුත් දැන් ප්‍රමාණවත් ලෙස නීතිය ක්‍රියාත්මකවීමක් නැහැ. නිදහස වැඩියි. ඒක නිසා තමයි අපරාධ ඉහළ ගොස් තිබෙන්නේ”  
නම, ගම සඳහන් කිරීමට අකමැති එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියාකරුවෙකුව සිට පුනරුත්ථාපනය වූ ​අයෙකු අප සමඟ සඳහන් කළේ මෙවැනි අදහසක්.  


“අපිට එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් බලපෑම් ආවා එම සංවිධානයට බැඳෙන්න කියලා. ඒ දවස්වල යුද්ධය ඉතා දරුණු ලෙස පැවති කලයක්. එම සංවිධානයේ මිනිස් බලය දුර්වල වෙලා තිබුණේ. ඒක නිසා සෑම නිවසකින්ම තරුණයෙකු හෝ තරුණියක එම සංවිධානයට බැඳිය යුතුයි. අපට ඔවුන් කීවේ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින එකම පාර්ශ්වය අපි නිසා අපත් සමඟ එකතු වෙන්න කියලයි. අපි බැඳුණේ නැතිනම් බලයෙන් බඳවා ගන්නවා. අපි ඉතින් බැඳුණා. පස්සේ අවසන් සටන යද්දී අපි අවි ආයුධ බිම දමලා යුද හමුදාවට බාර වුණා. එතනදී අප පුනරුත්ථාපනය කළා. අපිට හමුදාවේදී කිසිම බලපෑමක් එල්ල වුණේ නැහැ. අපි දන්න දේවල්වලට ඔවුන් යොමු කළා. ඒ සඳහා අවශ්‍ය පුහුණුව හොඳ‌ාකාරව ලබා දුන්නා. දැන් අපි සමාජයේ අනිත් අය සමඟ සහයෝගයෙන් වැඩ කටයුතු කරනවා”  


“අපි නම් කවද‌ාවත් යළිත් යුද්ධයකට යනවා නම් කොහෙත්ම කැමති නැහැ. අපට ඕනෑ සාමයයි. අපි දැන් නිදහසේ ජීවත් වෙනවා. අපේ දරුවන් දැන් අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා. දැන් මෙහෙ පාසල්වල සියලු පහසුකම් තිබෙනවා. ඒත් තවත් හොඳ ගුරුවරුන් පිරිසක් මෙහෙ පාසල්වලට ලබා දෙනවානම් හොඳයි.”   


වෙනද‌ා මෙන් යාපනය අර්ධද්වීපයේ මත්ස්‍ය සම්පත නොමැති බව නගරයේ කරවල වෙළෙඳ ව්‍යාපාරිකයෙකු වන කෝමේෂ්වරම් මහතා අප සමඟ ප්‍රකාශ කළේය. 

 


එයට හේතුව ලෙස ඔහු පෙන්වා දුන්නේ ඉන්දීය ට්‍රොලර් යාත්‍රා පැමිණ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මත්ස්‍ය සම්පත නෙළා ගෙන යන බවයි. ඒක නිසා අපේ මත්ස්‍ය සම්පත දැන් අඩුය.  
“මම කරන්නේ කරවල වෙළඳ‌ාම. දැන් කරවල මිල ඉතා ඉහළයි. ඒකට හේතුව තමයි මත්ස්‍ය සම්පත අපට අඩුවීම. සමහර බෝට්ටු මුහුදට ගියාම හිස් අතින් එන්න සිදුවෙන අවස්ථාත් තිබෙනවා. ඒක නිසා කරවල හිඟයක් තිබෙනවා. යාපනය නගරයේ සාමාන්‍යයෙන් ලොකු වේළපු ඉස්සන් කිලෝග්‍රෑමයක් රුපියල් 2000ත් 3000ත් අතර වෙනවා. මෙහෙ කරවලවල මිලට වඩා දැන් කොළඹ ප්‍රදේශයේ කරවල මිල අඩුයි. සමහර වෙලාවට අපි කොළඹින් කරවල ගෙනැවිත් මෙහෙ අලෙවි කරන අවස්ථාද තිබෙනවා. ඒ නිසා මෙයට නිසි වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනෑ. ශ්‍රී ලංකා මුහුද තීරය ආරක්ෂා කරන්න තවදුරටත් හමුදාව යොදවන්න ඕනෑ.”  


යාපනය දිස්ත්‍රික්කයේ මෙන්ම උතුරේ බහුතර ප්‍රදේශවල ජනතාව මිල මුදල් අතින් යහපත් ලෙස ජීවත් වුණා. යුද්ධයෙන් පසු ඒ සියල්ලම අහිමි වී තිබේ. රත්රන් භාණ්ඩවලටද යාපනය ජනතාවගේ දැඩි ඉල්ලුමක් තිබුණි. 
එහෙත් දැන් එය පහත වැටී ඇතැයි රන්භාණ්ඩ නිමැයුම්කරුවකු වූ දරනිෂන් මහතා අප සමඟ ප්‍රකාශ කළේය.  


“දැන් ප්‍රදේශයේ යහපත් තත්ත්වයක් පවතිනවා. අපට තිබෙන ප්‍රධාන ගැටලුව තමයි දැන් ඉස්සර වගේ රන් භාණ්ඩ සාදවා ගන්න ජනතාව එන්නේ නැහැ. මොකද ඉස්සර අපි රන් භාණ්ඩ අතින් තමයි සියලුම කැටයම් නිර්මාණය කළේ. දැන් විශාල වශයෙන් තිබෙනවා යන්ත්‍රානුසාරයෙන් සකස් කරන භාණ්ඩ. ඉතින් වෙනදා වගේ පාරිභෝගිකයන්ට කාලය නාස්ති කරන්න ඕනෑ නැහැ. අනික අතින් නිර්මාණය කරනවට වඩා යන්ත්‍රානුසාරයෙන් නිපදවන භාණ්ඩවල මිල අඩුයි. ඒ නිසා අපේ ආදායම අඩුවෙලා තිබෙනවා. දැන් මම මේ රන්භාණ්ඩ නිපදවන පොඩි ගොඩනැගිල්ල තුළ මේ වගේ ස්ථාන 15ක් පමණ තිබෙනවා. ඒක නිසා දවසකට ආදායමක් තිබෙනවා. සමහර දවස්වලට නැහැ. ඒ 15ටම බෙදිලා ගියාම සමහර විට අපට මුකුත් ලැබෙන්නේම නැති වේලාවලුත් තිබෙනවා. දැන් මාව දන්න අය මාව සොයාගෙන එනවා. ඉතින් ඒ අය හැමදාම රන්භාණ්ඩ සාදන්නේ නැහැනේ. අනික දැන් ජනතාවට මුදල් නැහැ.”  


“සාමාන්‍යයෙන් යාපනයේ දමිළ ජනතාව අතර විවාහයක් සිදුවුණහොත් අනිවාර් යෙන් තාලියයි, කොඩියයි අනිකුත් නලල්පට, ගෙල බැඳි මාලය අපට කියලා සාදවා ගන්නවා. නමුත් දැන් රන් භාණ්ඩ අලෙවි සල් සංඛ්‍යාව වැඩිවෙලා තිබෙනවා. අනික යන්ත්‍රානුසාරයෙන් ඒවා එලෙසම සාදවා තිබෙනවා. ඒ නිසා දැන් ඒවා අතින් සාදවා ගන්න එන්නේ නැහැ.”   


අද වෙනවිට යාපනය නගරය තුළ ඉතා සාමකාමී වාතාවරණයක් පැවතුණද විටින්විට ප්‍රදේශයේ තරුණයන්ගෙන් සැදුම් ලත් විවිධ කල්ලි නිසා ජනතාව තරමක් බියකින් පසුවෙති. මේ පිළිබඳ අප පසුගිය සති​ෙය් සටහන් කළෙමු. යාපනය නගරයේ පවතින තත්ත්වය පිළිබඳ උතුරේ දේශපාලනඥයන්ගේ අදහස් ලබන සතියට.  

 

 

 

 


සටහන - නිශාන්ත කුමාර බණ්ඩාර
ඡායාරූප - ඇලෙක්සැන්ඩර් බාලසූරිය


(යාපනයේ සංචාරයකින් පසු)