පෙරළුණු බෝට්ටුව  

 

 

කාලගුණය කැලඹුණු බව දැන දැනත් සීනිගම නුවන්ලා මුහුදු ගීයේ තුන් වේලට කැලඹෙන සිය දූ දරුවන්ගේ බඩ ගින්දර නිවා දැමීමටය. කැලැඹුණු කාලගුණය කාලයකින් ඉබේම පහව ගියත් සිය දුවා දරුවන්ගේ කැලඹුණු බඩ ගින්දර නිවා දැමීමට නම් අනිවාර්යයෙන්ම බඩට යමක් දැමිය යුතු බව දන්නා නුවන්ලා කාලගුණය කොච්චර කැලඹුණත් මුහුදු යන්නේ ඒ නිසාය. මුහුද ය​ෙකකු මෙන් රළුව තිබූ දිනවලත් මුහුදු ගිය ඔවුහු ඉකුත් සිකුරාද‌ා (25) පස්වරුවේ ඒ තරම්ම රළු නොවූ මුහුදෙන් මේ තරම්ම කරදරයක් වේ යැයි සිහිනෙකුදු නොසිතූහ. සිතු දේ නොමවන නොසිතු දේම වන මේ ලෝකයේ එද‌ා නුවන්ලා මුහුදෙන් ජීවිතය බේරා ගත්තේ අනූනවයෙන්ය. පෙර පිනකටය. මේ ඔවුන් මුහුදෙන් සිය ජීවිත බේරාගත් අයුරු කියාපාන කතාන්දරයයි. 

 
දිනය සිකුරාදාය. වෙලාව පස්වරු 4 වන්නට ඇත. එද‌ා සීනිගම පදිංචි ඩී.එච්. නුවන් අසල්වාසීන් වන සිය සගයන් වූ එම්.කේ.එස්. සඳරුවන් හා ඉනාසි ළහිරු සමග සීනිගම වෙරළ තීරයෙන් තමන්ගේම බෝට්ටුවෙන් මුහුදු ගියේ වෙනද‌ා මෙන්ය.  

පෙරළුණු බෝට්ටුව  


 බෝට්ටුව පැදවූවේ ද එය අයිති නුවන් විසින්මය. මේ බෝට්ටුවේ ගමන් ගත් අනෙක් දෙදෙනා වන සඳරුවන් බෝට්ටුවේ මැදට වන්නට ගමන් ගත් අතර ළහිරු එහි ගමන් ගත්තේ බෝට්ටුවේ ඇණියේය. (බෝට්ටුවේ ඉදිරියෙන්ම ඇති කොටස)  


මේ තිදෙනා ගමන්ගත් බෝට්ටුව එක පිම්මටම ගොඩබිම සිට දියඹට ගමන් ගත්තේය. ඔවුනට අවශ්‍ය වූවේ ඉක්මනින්ම මහ මුහුදට ගොස් මාළු අයිනක් වටකර දැල එළීමටය. මෙසේ ගමන්ගත් බෝට්ටුව එක පාරටම නතර වූවේ ඔවුන් කිසිවෙක් බලාපොරොත්තු නොවූ අයුරෙන්ය. මුහුදේදී බෝට්ටුව නතර වූ සැණින්ම එහි ගමන් ගත් නුවන්, සඳරුවන් හා ළහිරු එකිනෙකාගේ මුහුණු බැලුවේ මොකක්ද මේ වුණු අලකංචිය කියන්නාක් මෙන්ය. නොසිතූ නොපැතූ මොහොතක වුණු මේ අකරතැබ්බයෙන් තැතිගත් මේ තිදෙනා නතර වූ බෝට්ටුව යළි සක්‍රිය කිරීමට වෙර වීරිය ගත්තෝය. එහි කිසිදු පලයක් නොවී බෝට්ටුව මුහුදේ එහෙට මෙහෙට පැද්දෙමින් පාවෙමින් තිබුණේය.  

 

නුවන්ලාගේ දිවි බේරා දීමට පැමිණි දිල්ශාන්, මධුවන්ත, නිමන්ත  ​

 

එසේ පාවෙමින් තිබූ බෝට්ටුවට විශාල රළ පහරක් ගැසුවේ එය පෙරළෙන ආකාරයටය. පෙරළුණු බෝට්ටුව සමගම එහි සිටි නුවන්ලා ද මුහුදු පතුල බලා බෝට්ටුවට යටින් ගියෝය. එතැන් සිට වූ විස්තරය නැතහොත් ඒ අත්දැකීම සහ දිවි බේරාගත් හැටිත් ඔවුන්ගේම මුවින් පිටවූ සැටි මෙසේය.  


බෝට්ටුවේ අයිතිකරු වන නුවන් කී කතාව.  


කැඩුණු බෝට්ටුව හද‌ා ගන්න අපි මහන්සි ගනිමිනුයි සිටියේ. එහෙම ඉන්න කොට අපේ බෝට්ටුවට ලොකු රළ පහරක් ගැහැව්වා. ඒ එක්කම බෝට්ටුව පෙරළුණා. බෝට්ටුවේ සිටි අපි තුන්දෙනාම විසි වී ගොස් මුහුදු පතුලටම ගියා. මම උඩට මතුවෙන්න හිතාගෙන උඩට එමින් සිටියා. මම උඩට ආවේ පෙරළුණ බෝට්ටුවට යටින්. එහෙම එනකොට බෝට්ටුවේ තිබුණු දැල් ටික මගේ ඇඟේ පැටලෙන්න ගත්තා. මම දැනගත්තා ඇඟේ දැල් පැටලවුණොත් ආයේ බේරෙනවා බොරු කියලා. එහෙම හිතාගෙන මගේ ඇඟේ පැටලෙන්න එන දැල්වලින් බොහෝම අමාරුවෙන් බේරිලා උඩට ආවා.  


දෙයියනේ! මම උඩට අැවිත් තියෙන්නේ බෝට්ටුවට යටින්. බෝට්ටුව යටට යන නිසා එයින් බේරෙන්නත් මට විශාල මහන්සියක් ගන්න වුණා. කොහොම හරි මම උඩට ආවා. එතකොට මගේ ගෝලයින් දෙදෙනා වන සඳරුවනුයි. ළහිරුයි උඩට ඇවිල්ලා.​​ පෙරළුණු බෝට්ටුව ළඟ අත් ගගහා බෝට්ටුව ළඟට එන්න උත්සාහ ගන්නවා දැක්කා. මට බය හිතුනේ ළහිරුට පීනන්න බැරි නිසා. මමයි සඳරුවනුයි උඩ පවෙමින් හිටිය ළහිරු ළඟට ගිහිල්ලා ඔහුව ගිලී තිබූ බෝට්ටුවේ උඩ කොටසේ එල්ලුවා. අපි දෙදෙනාත් බෝට්ටුවේ එල්ලීගෙන සිටියා.  

 පාවෙමින් තිබූ බෝට්ටුව ගොඩ බිමට ගසාගෙන යනවා වෙනුවට ඔහේ පැද්දි පැද්දී තිබුණා. ඒ අසල විශාල ගල් පරයක් තිබුණා. බෝට්ටුව ඒ ගල් පරයේ වැදිලා ගි​ෙයාත් බෝට්ටුවේ කෑලි වගේම අපෙත් කෑලි විතරයි ඉතුරුවෙන්නේ. ඒ නිසා අපි තීරණය කළා බෝට්ටුව අතහැරලා ගොඩබිමට පිහිනන්න. එහෙම කරන්නත් බැහැ. මටයි සඳරුවන්ටයි පිහිනන්න පුළුවන්කම තිබුණට ළහිරුට පිහිනන්න බැරි බව මතක් වුණාම ඒ තීරණය අපි මඳකට වෙනස් කරලා තවදුරටත් බෝට්ටුවේ එල්ලීගෙනම සිටියා.  


 බෝට්ටුව ගල් පරයේ වදින්න ඇත්තේ තව ටික දුරයි. කරකියා ගන්න කිසිම දෙයක් දැන් අපිට නැහැ. පීනන්න බැරි ළහිරු දාලා අපි දෙන්නට පිහිනන්නත් බැහැ. තවදුරටත් බෝට්ටුවේ එල්ලිලා ඉන්නත් බැහැ. එහෙම ඉන්නකොට අපිට මතක් වුණා අපි බෝට්ටුවට තෙල් ගෙනා ප්ලාස්ටික් බැරල් එක. එ්කේ තිබුණු භූමිතෙල් ටික මුහුදටම හලලා ඒ බැරල් එක ළහිරුට අල්ල ගන්න කියලා අපි බෝට්ටුව අතහැරලා ගොඩබිමට පිහිනුවා.  
බැරල් එක අල්ලාගෙන සිටි ළහිරු අපි දෙදෙනා මැදිකරගෙන මාරුවෙන් මාරුවට තල්ලු කර කර ගොඩබිම දෙසට ගෙන එමින් සිටියා. එහෙම දුරක් ආවාම අපි දුටුවා අපේ පැත්තට බෝට්ටුවක් එනවා. ඒ බෝට්ටුව අපි ළඟටම ආවම තමයි දැක්කේ අපේ ගමේම තරුණයන් වන රුසිරු, දිල්ශාන්, රුවිත්, මදුවන්ත, එල්.ඩී. නිමන්ත එහි සිටිනා බව. පස්සේදී ඒ අය ආපු බෝට්ටුවට අපිව දාගත්තා. මුහුදු යන්න අාපු මේ අයට ආරංචි වෙලා තියෙනවා අපේ බෝට්ටුව පෙරළිලා අපි පිහිනන් එනවා කියලා. අපි ගොඩ බිමට එනකොට ගාලු පාරේ ගිය බස්, ලොරි, කාර් ඇතුළු වාහන නවතාගෙන ඉන්නවා දැක්කා. ඒ වගේම විශාල පිරිසක් වෙරළ තීරයේ රොක්වෙලා හිටියා.  


එම්.කේ.එස්. සඳරුවන්:-  


බෝට්ටුව පෙරළුණාම මමත් මුහුදු පතුළටම ගියා. උඩට ඇවිල්ලා බලන විට මාත් එක්ක ගිය අනෙක් දෙදෙනා දැක්කේ නැහැ. ඒ වෙලාවෙදි මට භය හිතුණා. ඒ දෙන්නට මොකද වුණේ කියලා. ඒ එක්කම ටික වේලාවකින්ම ළහිරු උඩට ආවා. උඩට ආපු ඔහු මුහුදේ අත පය ගගහා හිටියා ඔහුට පිහිනන්න බැහැ. මම ඔහුව බේරගන්න කියලා හිතාගෙන ළහිරු ළඟට යන්න හදන කොටම නුවන් අයියත් උඩට ආවා. අපි දෙන්නත් එක්ක මුහුදේ අත පය ගගහා හිටිය ළහිරුව ගෙනත් බෝට්ටුවේ එල්ලුවා.  


ඉනාසි ළහිරු:-  


මට හිතාගන්නවත් බැරිවුණා වුණේ මොකක්ද කියලා. ජීවිතය නම් බේරලා දුන්නේ නුවන් අයියයි සඳරුවන් අයියයි තමයි. මොකද ඉතින් මට පිහිනන්නවත් බැහැනේ. බෝට්ටුවෙන් පෙරළුණු ගමන්ම ඊයම් බරුව වගේ යට ගියා. යට ගිහිල්ලා උඩට එනකොට සඳරුවන් අයියා උඩට ඇවිල්ලා සිටියා. ඒ එක්කම නුවන් අයියත් උඩට ආවා. ඒ දෙන්න එක්ක මාව ගෙනල්ලා බෝට්ටුවේ එල්ලුවා. ඊට පස්සේ තමයි බැරල් එක අල්ලාගෙන ගොඩබිමට එමින් සිටියේ. මම නම් හිතුවේ එදා නම් මම ඉවරයි කියලයි.  


නුවන්ලාගේ ජීවිතය බේරාගත් තරුණ පිරිස තවත් පිරිසක් එක්ක බෝට්ටුවලින් මුහුදට ගොස් නුවන්ලාගේ පෙරළුණු බෝට්ටුව ද ගොඩබිමට ඇදගෙන ආවේ මහත් පරිශ්‍රමයක් දරමින්ය. ඒත් පෙරළුණු බෝට්ටුවේ එන්ජිම මුහුදුබත් වී ඇත්තේ නුවන්ලාට තවත් බඩේ පහරක් ද ගසමින්ය. මේ අහිංසක මිනිසුන්ට යළි මුහුදු යාමට එන්ජිමක් රැගෙන දීමට කෙනෙක් සිටී නම් එය නුවන්ලාගේ දරුවනට කරන මහඟු උපකාරයකි. මහත් වූ සද්ක්‍රියාවකි.

 

 

 

 

 


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත