ජීවිතය යහ මගට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   

 


මීගස්ආරේ ගුණපාල වික්‍රමාරච්චි මහතා ලියා එවූ කතාවක් මෙසේය.   

මහව කෝච්චියේ මාල කැඩූ ජිනදාසගේ ජීවන ඉරණම   


මධ්‍යම පළාතේ වැදගත් පවුලක දෙමව්පියන්ට දරුවන් පස් දෙනෙකි. ඔවුන්ගෙන් දරුවන් හතර දෙනෙක් හොඳට ඉගෙන ගෙන අද වෙන විට වැදගත් රැකියාවල නිරතව සිටිති. පවුලේ බාලයා පිරිමි දරුවා තරමක් දඟකාරකමට බර වැඩි විය. මේ හේතුවෙන්ම ඔහුට වැඩිදුර අධ්‍යාපනය කරගෙන යෑමට නොහැකි විය. සාමාන්‍ය පෙළ විභාගය සමත් වුවද ඉන් ඉහළට යෑමට ඔහුට නොහැකි වූයේ මිතුරන් ඇසුරට ඔහු තදින් යොමුවීමත් සමග පාසල් අධ්‍යාපන කටයුතු හරියට කරගෙන යෑමට නොහැකිවීම හේතුවෙනි. අපි ඔහුට ජිනදාස යයි කියමු. හොඳ ශරීර සෞඛ්‍යයෙන් යුත් ජිනදාස තමන් ඇසුරට වැටුණු යහළුවන් සමඟ කෙළි සෙල්ලම් කරමින් බයිසිකල් පදිමින් විනෝද ගමන් යමින් එදිනෙදා ජීවිතය සෙල්ලක්කාර විදියට ගත කළ නමුත් හෙට දිනය ගැන බිඳකුදු කල්පනා නොකළේය.   


යහළුවන් සමග දිය නෑමට ගඟට යන ජිනදාස ගඟ හරහා මහ පාරේ ඉදිකොට ඇති පාලමේ අත්වැට උඩට නැග ගඟට පනිමින් යහළුවන්ට නොදෙවෙනි ලෙසින් කැපී පෙනෙන වැඩ කරන චරිතයකින් යුත් අයෙක් බව මොනවට කියා පෑවේය. මේ අන්දමින් මිතුරන් සමග නිරන්තරයෙන් කෙළි දෙලෙන් ගත කළ ජිනදාස තම දෙමව්පියන් සහෝදර ස​හෝදරියන් පිළිබඳව කිසිදු තැකීමක් නොකොට නොහොඹිනා ක්‍රියාකාරකම් වලටද එකතු විය.   


පසුකාලීනව රාත්‍රී දුම්රිය වලට ගොඩවෙන ජිනදාස දුම්රියේ ගමන් කරන මගීන්ගේ බඩු බාහිරාදිය සොරකම් කිරීමට පටන් ගත්තේය. ක්‍රියාශීලි ශරීර සෞඛ්‍යකින් හෙබි ජිනදාස ඉන්පසුව රාත්‍රී දුම්රියවල ගමන් ගන්නා මගීන්ගේ රත්‍රන් මාල කැඩීම සිදු කළේය. දුම්රියට ගොඩවී මද දුරක් යන විට මාල කඩාගෙන ඉවතට පැනීමට හේ සමත් විය. ටික කලක් මේ අන්දමින් මාල කැඩීම සිදුකර ගෙන යන අතරතුර දිනක් දුම්රියෙන් පැනීමේදී ඉලක්කය වැරදී ගොස් ඔහුගේ එක් පාදයක් දුම්රියට අසුවුණි. මේ හේතුවෙන් ඔහු රෝහල් ගත කොට පාදයක් ඉවත් කරනු ලැබීය. ඉන් පසුව ජිනදාසගේ ජීවිතය තවදුරටත් කඩා වැටෙන්නට පටන් ගත්තේය.   
ඔහු වටේ සිටි සියළු මිතුරන් ඔහු මගහැර ගියහ. ජිනදාස කොතරම් අසරණ තත්ත්වයට පත්විද කිවහොත් ජීවත්වීම සඳහා අනුනට අතපෑමට පවා සිදුවිය. මේ වෙන විට ජිනදාසගේ දෙමව්පියන් හා සහෝදර සහෝදරියන්ද තම නිවෙස් දේපල විකුණා දමා ප්‍රදේශයෙන් බැහැර ගොස් තිබුණි. පිහිටට කාත් කවුරුත් නැතිව අන්ත අසරණ තත්ත්වයට පත් වූ ජිනදාස දුම්රියපොළේ ගුඩ් ෂෙඩ් එක අසල රැඳී සිටිමින් සිඟමන් අයදිමින් යාචක පවුල් හා එකතු වී දිවි ගෙවීය.   


තම දෙමව්පියන්ගේ බහට කීකරු නොවී නරක මිතුරු ඇසුරට වැටී අධ්‍යාපනය කඩා කප්පල් කරගෙන ජීවිතය අඳුරු කරගෙන අන්සතු දේ සොරකම් කරමින් වංචාකරමින් මත්පැන්වලට ගිජු වෙමින් දූෂිත ක්‍රියාවලට යොමුවී සමාජ විරෝධී ක්‍රියාවල යෙදුනු ජිනදාසට අන්තිමේදී අත්වූ ජීවන ඉරණම දෙස බලන කල බුදුන් වහන්සේ දේශනා කළ පරිදි දිට්ඨ ධම්ම වේදනීය කර්ම ඵල විපාකය අත්වූ බව පෙනේ. පාප මිත්‍ර සේවනයෙන් අත් මිදීමට කටයුතු කළ යුතු බව මින් මොනවට පැහැදිලි වේ.   

 



අම්බලන්තොට ඩී.ජී. ජයසුන්දර මහතා ලියා එවූ කතාවකි. 

කළකම් මෙලොවදීම විපාක දීමේ කතාවක්  


පාරම්පරික ගමක යමක් කමක් ඇති පවුලක කුඹුරු අක්කර පහක් ගොඩින් පොල් අක්කර 3ක් පමණ ඇති ගම්භාරයෙකි. ඔවුහු මෙම වතුපිටි බලා කියා අස්වද්දමින් හොඳින් ජීවත් වූහ.   


පවුලේ පියා ගොවිතැනට අමතරව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සහ ශාන්ති කර්ම ආදියද කරයි. ඔහුගෙන් සේවය ලබා ගැනීමට ගමේ අය අවට ගම් වල හා ඈත දුර බැහැර පළාත් වලින්ද රෝගීන් පැමිණේ. පියා මේ භූත විද්‍යාවද යහමින් කරයි. මව ගෘහණියකි. දරුවන් දෙදෙනෙකි. දෙදෙනාම පුතුන්ය.   


ලොකු පුතා පියා අනුව යමින් පාසල් යන අවදියේ සිටම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදිය පියාගෙන් ඉගෙන ගත්තේය.   


දරුවන් දෙදෙනා පාසල් යන අවදියේම පියා හදිසියේ මිය ගියේය. දැන් නිවසේ බර ඇද ගෙන යන්නේ අම්මාය. අම්මා කුලීකරුවන් දමා කුඹුරු අස් වද්දයි. අනෙක් වතු පිටි ද බලා කියා ඒවායේ බවභෝග රැස් කරගනිමින් ආදායම් තර කර ගත්තාය.   


පියා නැතත් දරුවන් දෙදෙනාට ආරක්ෂාව රැකවරණය හා පෝෂණය නොඅඩුව ලබා දෙමින් දුක් මහන්සියෙන් දරුවන් දෙදෙනාද ඇති දැඩි කළාය.   


ලොකු පුතා දැන් නව යොවුන් වියේය. ඔහු පාසල් නොගොස් මවට උදව් පිණිස තම කුඹුරු වලට බැස වගා කරන්නට විය. මව පාසල් යන ලෙස පෙරැත්ත කළත් පාසල් නොගියේය. බාල පුතා තවමත් පාසල් යයි.   
කල්යත්ම ලොකු පුතා ගොවිතැන් කටයුතුවලට අමතරව පියාගෙන් ඉගෙන ගත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් යාගහෝම ආදියද කරයි. ඉන්ද ඔහු යම් ආදායමක් ලැබීය.   


තරුණ වියට පත් ලොකු පුතා ගමේම තරුණියකට පෙම් කළේය. එහි කෙළවර වූයේ විවාහයෙන්ය. දිනක් ඔහු වැඩි සද්ද බද්දයක් නොමැතිව ඇයව ගෙදරට කැන්දාගෙන ආවේය.   


දැන් පවුල මව, ලොකු පුතා, ඔහුගේ බිරිඳ සහ බාල පුතා එක්ව සතුටින් සාමයෙන් ජීවත් වේ.   


එහෙත් මේ සාමය වැඩි කල් නො​ගොස් බිඳී ගියේය. නැන්දා ලේලි සටන ඇරඹිණ. කුඩා දෙයටත් දෙදෙනා බහින් බස් වේ. වචන හුවමාරු වේ. ලොකු පුතා මැදට පැන මේවා නිවා දැමුවත් ඔහු නැති විට නැවතත් ඇවිළේ.   
ඒ අතරම දිනක් ලොකු පුතා කුඹුරු වතු පිටි තමන්ට ඔප්පුවකින් ලියා දෙන ලෙස මවට ඇවිටිලි කළේය. පෙරැත්ත කළේය. බලපෑම් කළේය නමුත් මොන දේ කළත් මව ඔහුට ඉඩම් ලියා නොදෙන්නීය. එවැනි අවස්ථා වලදී මව සහ ලොකු පුතා බැණ ගනී. තදින් වචන හුවමාරු කරගනී.   


දිනක් සවස වෙනදා මෙන්ම ලොකු පුතා මවගෙන් ඉල්ලා සිටියේ තමන්ට හිමි කුඹුර හා ගොඩ ඉඩම්වල කොටස් ලියා දෙන ලෙසය. මව එදිනද එය ප්‍රතික්ෂේප කළාය.   


මේ දේවල් උඹලා දෙන්නට තමයි. වැඩකර ගනිල්ලා. මං මැරෙනකම් කාටවත් ලියා දෙන්නේ නැහැ. අම්මා පැවසුවාය.   


ලොකු පුතාට කේන්ති ආවේය. මුහුණ රතු විය. ඇඟ වෙව්ලන්නට විය. ඇස් ගිනි බෝල දෙකක් මෙන් විය. පරුෂ වචන කිහිපයක් මුදා හළේය. ඔහු කෝපයෙන් වෙව්ලන්න​ට විය. එය පිට කළේ අම්මාට පහර දීමෙන්ය. අම්මාට වැදුණු ගුටිබැට වලින් විසිවී ගොස් වැටුණේය. අත බිම ඇණින. අත කැඩුණේය. මේ කළඹගෑනිය ඇසී බාල පුතා විත් අම්මා වත්තම්කරගෙන ඇගේ කාමරයට ගෙන ගියහ. එහෙත් ඇය පුතාට ඇති ආදරය නිසා මරලතෝනි නුදුන්නාය. ඒ අවට ගෙවල් වලට ඇසේ යැයි යන බිය නිසාය. ඒ තුළින් ලොකු පුතාට වෙන අවමානය වලක්වා ගැනීමටය. ලොකු පුතා මවට පහර දුන්නත් ඇය ඔහුට තවමත් ආදරේය.   


සිද්ධියෙන් මදවේලාවකට පසු ලොකු පුතා මං කුඹුරට යනවා වතුර හරවන්න කියමින් උදැල්ලක් කරේ තබාගෙන නිවස සමීපයේ ඇති කුඹුර දෙසට ගියේය.   


කුඹුරේ මඩ වැඩය. බිම් සකස් කිරීම්ය. ඒ සඳහා ජලය හැරවීමට ලොකු පුතා කුඹුරට ගොසින්ය.   


ඒ දිනවල අන්තර් මෝසම් වැසිය. එදිනද සවස හතරවටින් කළුකරගෙන විත් ගොරවමින් වහින්නට විය. ලොකු පුතා කුඹුරේ වැඩකරමින් සිටයදී එම වැස්සට තෙමෙන්නට විය. එබැවින් ඔහු නිවසට ඒමට උදැල්ල කරට ගෙන හැරුනා පමණි, ඒ ක්ෂණයකින් මහ ගිගුරුම් හඬ දෙමින් අකුණක් කුඹුරට පාත් විය. ලොකු පුතා බුදු අම්මේ කියමින් විසිවී මඩෙහි වැටුණේය.   


සිද්ධිය අවට ගොවීන් සැල කිරීමත් සමග නිවැසියන් හා ඥාතීන් කුඹුරට ගොස් ලොකු පුතා රෝහල වෙත ගෙන ගියේය. ඒ වෙන විටත් ඔහු මිය ගොස්ය. පසුදින පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා දේහය නිවසට ගෙන ආවේය.   


පසුදා අවසන් කටයුතුය. පාංශුකූල කටයුතු සඳහා ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ ඇතුළු සංඝයා වහන්සේලා වැඩම කළහ.   


අාගමික වතාවත් වලින් අනතුරුව ලොකු හාමුදුරුවන්ගේ අනුශාසනාවේදී මේ මරණය නම් දිට්ඨ ධම්ම වේදනීය කර්ම විපාකයක්. එනම් මේ ආත්මයේදීම කළ පව් මෙලොවදීම විපාක දීමක් යැයි උන්වහන්සේ දේශනා කළ සේක.   

 



බිංගිරිය කොස්වත්තේ ඩී.එන්. දිසානායක මහතා ලියා එවූ කතාවකි.   

තම ලේලියගෙන් පළිගත් ඒ නොමනා ක්‍රියාව මරණයට ළංවෙත්ම මවට පටිසන් දුන් ආකාරය.   


සුමනාවතී රූමත් තරුණියක වූවාය. ලිපිකාරණියක් ලෙස ඇයට මුල් පත්වීම ලැබුණේ මුහුදුබඩ ප්‍රදේශයේ රජයේ කාර්යලයකටය. අවිවාහක තරුණියක් වූ ඇය මුල් දිනයේදීම තම පියා සමග එම කාර්යාලයට ගොස් හා පුරා කියා වැඩ බාරගත් අතර තම හිතවතෙකු මාර්ගයෙන් කාර්යාලයට නුදුරු ප්‍රදේශයක මුදලාලි කෙනකුගේ නිවසක අැය නතර කිරීමට පියා සමත් විය.   


නව යොවුන් වියේ පසුවූ පැහැබර ඇයගේ රූප ශ්‍රීයාවට වසඟවූ මුදලාලිගේ වැඩිමහල් පුතණුවන් ඇයට වශී වී කෙමෙන් කෙමෙන් දිනෙන් දින දෙදෙනා අතර ඇතිවූ ප්‍රේම සම්බන්ධය මුහුකුරා ගොස් අවසානයේ හොර රහසේම දෙදෙනා විවාහ වූවෝය. ඒ තරුණියගේ පාර්ශ්වයට හොර රහසේම තරුණයාගේ දෙමාපියන්ගේද විරුදධත්වය හමුවේය. තම වැඩිමහල් පුතුගේ මෙම තනි කැමැත්තට තදබල ලෙස විරුද්ධ වූ තරුණයාගේ මව තරුණිය කෙරෙහි විරෝධය පාමින් කල්ගෙවූ අතර රැකියාවක් නොමැතිව ජීවත් වූ තම පුතුට රැකියාවක් ඇති තරුණියක හා විවාහක වීමට අවස්ථා ලැබීම කදිම තෝතැන්නක් ලෙස තරුණයාගේ පියාවන මුදලාලි සතුටු වූයේය.   


තමාගේ තදබල අකමැත්ත උඩ සිදුවූ තම පුතුගේ මෙම විවාහය කෙරෙහි තදබල වෛරයකින් පසුවූ තරුණයාගේ මව දිගින් දිගටම තම ලේලියගෙන් පළිගැනීමට සිතුවාය. දිනක් අසූචි පොට්ටනියක් සූක්ෂම ලෙස බැඳගත් මව කාහටත් හොරා තම ලේලිය සේවය කරනා කාර්යාලය වෙත ගොස් කවුරුත් නොමැති තැන එම අසූචි පොට්ටනිය ලේලියගේ මේස ලාච්චුවට ඔබා නිසොල්මනේ ගෙදර ආවාය.   


පසුදා කාර්යාලයට ගිය ලේලියට තම මේසය තුළින් හමන දැඩි දුඟද කුමක්දැයි? විපරමින් මේස ලාච්චුව ඇර බලත්ම ඇයට දක්නට ලැබුණේ ඉවසා ගත නොහැකි මහා දුඟදක් සහිත එම අසූචි පොට්ටනිය තම මේස ලාච්චුවට ඔබා ඇති බවය. තවත් ලිපිකාරිණියන් කිහිපදෙනෙකු සමගින් තම මුහුණු ලේනසු වලින් වසා ගත් සුමනාවතී තම මේසය ඔසවාගෙන එය කාර්යාලයෙන් පිටතට ඈතට රැගෙන ගොස් සොදා සුද්ධ පවිත්‍ර කළාය.   


කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යද්දී තරුණයාගේ මව එක්තැන් වූයේ අංශභාග රෝගය වැළඳීමෙනි. මරණ මොහොත ලංවෙත්ම මලපහ කිරීමද එක තැනම සිදුවිය. තමා නොරිස්සූ තම ලේලිය පමණක් ඇයට උවටැන් කළේ තමාට කළ සියළු දේ අමතක කර දමමිනි. ඇය මලමුත්‍රා පිරිසිදු කළාය. කෑම බීමද ඇය අතින්ම සිදුවිය. එකතැනම මලමුත්‍රා කළ අතර ඒවා දෙඅතින් ගෙන මිරිකා ඇඟේ උලා ගැනීම දිනපතා නිරායාසයෙන්ම සිදුවිය. මුළු ශරීරය පුරාම තවරාගත් අසූචි හොඳින් ශුද්ධ පවිත්‍රකර කෑම බීම පවා මවට කැව්වේ එදා ඒ නොරිස්සූ තම ලේලියයි. තවත් ගැහැනු දරුවන් තුන්දෙනෙකු සිටියද ඒ කිසිවෙක් ඇයට උවටැන් නොකළ ඇයව පිළිකුල් කළාය. එදා තමා ඒ ලේලියගේ මේස ලාච්චුවට ගෙන ගොස් එබූ එම අසූචී පොට්ටනිය නැවත තම මරණාසන්නයෙදී තමාගේම ඇඟේ තැවරුණු බැව් කවුරුත් පැවසුවේ එම ක්‍රියාව පටිසන් දුන් බැව් පවසමිනි.   

 


මෙබඳු කතා ඔබත් දන්නේනම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

 

 

සකස් කළේ - 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්