චීනයේ සිට ආසියාව හා යුරෝපය කරා වැටුණු පුරාණ වෙළෙඳ මාර්ග නවීකරණය කිරීම සඳහා වත්මන් චීන ජනාධිපති ෂි ජින්පින් විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘතිය මේ වනවිට සාර්ථක ප්‍රතිඵල පෙන්වයි. මෙම ව්‍යාපෘතිය හැඳින්වෙන්නේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් යනුවෙනි. චීනය සහ මධ්‍යම ආසියාව, යුරෝපය හා ඉන්දු පැසිෆික් කලාපය යන කලාපයේ රටවල් සමග වෙළෙඳ මාර්ග ගොඩනැංවීම එහි අරමුණයි. මෙම වෙළෙඳ මාර්ග ගොඩනැංවීම යටතේ වරාය, කර්මාන්ත කලාප, මහාමාර්ග, තෙල් නළ මාර්ග, දුම්රිය මාර්ග සහ විදුලි බලාගාර ආදිය ඉදිකෙරේ.  


පුරාණ කාලයේ වෙළෙඳ මාර්ග රැසක් චීනයේ සිට ගොඩබිම් මාර්ග දිගේ ආසියාවේ බොහෝ රටවල් කරාද, යුරෝපීය රටවල් කරාද වැටී තිබුණේය. මෙම වෙළෙඳ මාර්ග හැඳින්වූයේ ‘‘සේද මාවත’’ යනුවෙනි. චීනයේ සිට නෞකා මගින් වෙළෙඳ බඩු ගෙනගිය මාර්ගය ‘‘පුරාණ සේද මාවත’’ යනුවෙන් හැඳින්විණි. ශ්‍රී ලංකාවද පුරාණ සේද මාවතේ වැදගත් වරාය දෙකක් තිබූ රටකි. අම්බලන්තොට අසල වලවේ ගංගා මුවදොර පිහිටා තිබූ ‘‘ගොඩවාය’’ වරාය සහ ත්‍රිකුණාමල වරාය එම වරාය දෙක වේ.  

 

 

පුරාණ සේද මාවත නවීකරණය කරමින් අලුත් සේද මාවතක් හඳුන්වා දුන් ජනාධිපති ෂි ජින්පින්ගේ වැඩපිළිවෙළ යටතේ එතෙක් ගබඩාවල තැන්පත්කර තිබූ චීන යුවාන් මුදල් එළියට ආවේය. ඒවායින් කොටසක් චීනය සමග වෙළෙඳ ගනුදෙනු සිදුකළ රටවල නව යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා යෙදවිණි. නව වරාය, අධිවේගී මාර්ග, විදුලි බලාගාර ආදිය චීන ආධාර යටතේ නව සේද මාවත දෙපස රටවල ඉදිවෙයි. එමගින් චීනයේ සංචාරක ව්‍යාපාරයද පණගැන්වෙයි. ​ෙස්ද මාවත දෙපස රටවල නව ආර්ථික කලාප ඉදිවීමේ වාසිය රටවල් දෙකටමය.  


මාවෝ සේතුං ඇරඹූ සමාජවාදී චීන ජනරජය හිටපු ජනාධිපති ඩෙං ෂියා පිං යටතේ ධනවාදී ආර්ථික සංකල්පද විවර කරගත්තේය. ඉන්පසු චීන ආර්ථිකය වේගවත් පිමි පනිමින් ලොව පුරා රටවල් සමග ආර්ථික සහයෝගිතා ඇතිකරගත්තේය. ආදායම් රට තුළට ගලා එන්නට පටන් ගත්තේය. මෙම මිශ්‍ර ආර්ථික රටාව අද වනවිට ලෝකයේ ප්‍රමුඛම ආර්ථික බලවතුන් දෙදෙනාගෙන් අයෙකු බවට චීනය පත්කර තිබේ.  


පුරාණ සේද මාවතේ එක් කොටසක් ආරම්භ වූයේ බටහිර චීනයේ ඩුන්හැං නගරයෙනි. ගෝබි කාන්තාරයේ වැලි කඳු අතරින් දුෂ්‍කර තවලම් මාරිගයක් දිගේ පුරාණ භාරත කඳුවැටි අතරින් මෙම තවලම් මාර්ගය යුරෝපය දක්වාම වැටී තිබුණේය. දෙවැනි තවලම් මාර්ගය මධ්‍යම ආසියාවේ කිර්ගිස්ථානය හා රුසියාව හරහා යුරෝපයට වැටී තිබුණේය. චීන ජනාධිපති ෂි ජින් පින් ගේ නව සේද මාවත ව්‍යාපෘතිය දිවෙන්නේ මෙම මාර්ග දෙපස රටවල් හරහාය. එම රටවල් ආර්ථික ස්ථාවරත්වයටද ආධාර කරමින් චීන වෙළෙඳ භාණ්‍ඩ ගෙනයාම සඳහා අධිවේගී දුම්රිය මාර්ග, වරාය, ඛණිජතෙල් නළ මාර්ග, කාර්මික කලාප සහ විදුලිබලාගාර ඉදිවනු ඇත. මුල්වටයේදී මෙම නව ​ෙස්ද මාවත ​ෙදපස පහසුකම් නැංවීම සඳහා වෙන්කර තිබූ මුදල ඩොලර් බිලියන 40 කි.  


ආසියාවට හා යුරෝපයට සම්බන්ධ පුරාණ වෙළෙඳ මාර්ග නවීකරණය කරන බව ජනාධිපති ෂි ජින්පින් විසින් නිවේදනය කරනු ලැබුවේ 2013 වසරේදීය.  


නව සේද මාවත යටතේ ආර්ථික කොරිඩෝර හයක් සහ එක් නාවික මාර්ගයක් යෝජනා කර ඇත.  


1. බටහිර චීනයේ සිට බටහිර රුසියාව හරහා ගමන් කරන නව යුරේසියානු ඉඩම් පාලම.  
2. චීනය, මොංගෝලියාව සහ රුසියාව යා කරන ආර්ථික කොරිඩෝව.  
3. චීනයේ සිට මධ්‍යම ආසියාව හරහා තුර්කිය කරා යන මාවත.  
4. දකුණු චීනයේ සිට සිංගප්පූරුවට දිවෙන මාවත.  
5. චීන, මියන්මාර, බංගලාදේශ මාවත  
6. දකුණු චීනයේ සිට පාකිස්ථානය කරා යන කාරකෝරම් අධිවේගී මාවත සහ ආර්ථික කොරිඩෝව එම මාවත් හයයි.

 

සමුද්‍රීය නව සේද මාවත චීනයේ සිට සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දියන් සාගරය, අරාබි මුහුද හරහා යුරෝපය දක්වා දිවෙයි.  


මේ වනවිට චීන ආධාර යටතේ ජාකාර්තා බැංඩුං අධිවේගී දුමිරිය මාර්ගය, චීන-ලාඕස් දුම්රිය මග, ඉතියෝපියාවේ අඩිස් අබාබා, ජිබුටි දුම්රිය මග, යුරෝපයේ හංගේරියා සහ සර්බියානු දුම්රිය මග යන මහා පරිමාණ ව්‍යාපෘති නිමවෙමින් පවතී. රටවල් 60 ක් සමග අන්‍යොන්‍ය ගිවිසුම් අත්සන් කර තිබේ. බෙල්ට් ඇන්ඩ් රෝඩ් ව්‍යාපෘතිය මේ සියලු රටවල ආර්ථික, සමාජීය පහසුකම් වැඩිදියුණු කරමින් වේගවත් ගමනක යෙදී සිටියි.  


බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉතාම උද්යෝගිමත් ව්‍යාපෘතියකි. එය රටවල් 65 කට අයත්වේ. අඩු වියදමකින් කටයුතු කරන රටවල් සඳහා ණය සැපයීම මගින් විවිධ යටිතල පහසුකම් ව්‍යාපෘතිවලදී චීනය ඩොලර් ට්‍රිලියන 1 ක් දැනට ආයෝජනය කරති​බේ.  


චීනය සඳහා සැලකිය යුතු ආර්ථික හා දේශපාලන වාසි ලබාගැනීමට බෙල්ට් ඇන්ඩ් රෝඩ් ව්‍යාපෘතියට හැකිය. චීනයේ අපනයන වෙළෙඳපොළ ප්‍රසාරණය, ජාත්‍යන්තර විනිමය ලෙස රිනින්ජි- (ආර්.එම්.බී. ලෙස චීන මුදල හැඳින්වේ) ප්‍රවර්ධනය කිරීම හා ගාස්තු හා ප්‍රවාහන ගාස්තු වැනි වෙළෙඳ ඝණකම් අඩුකිරීම වැනිදේ අද දෙරටටම වාසිදායකය.  


චීනයේ කුන්මිං සිට වියට්නාමය හා ලාඕස් කරා දුම්රිය මාර්ග දෙකක් ඉදිවේ. කාශ්මීර සිට මියන්මාරය, කාම්බෝජය හා මලයාසියාවට තවත් දුම්රිය මාර්ග තුනකි. මේ දුම්රිය මාර්ග සියල්ලේම අවසන් නැවතුම සිංගප්පූරුවයි. චීනයට අයත් ටිබෙටයේ සිට ඉන්දියාව හා තායිලන්තයට තවත් දුම්රිය මාර්ග දෙකක් ඉදිවේ. පාකිස්ථානය හා බංග්ලාදේශයට තවත් මාර්ග දෙකක් දැනට ඉදිකෙරෙමින් ඇත. මේ අධීවේගී දුම්රිය මාර්ග ජාලය සමග චීන භාණ්‍ඩ හා සේවා අදාළ රටවල් කරා ලෙහෙසියෙන් ප්‍රවාහනය කෙරේ. මෙම දුම්රිය මාර්ග හැඳින්වෙන්නේ ක්‍රොස් ​බෝඩර් හයිස්පීඩ් රේල්වේ නමිනි.  


ඉදිරි වසර 10 තුළ සිල්ක් රෝඩ් ආර්ථික කලාපය යටතේ ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 8 ක චීන ආයෝජන ඇතිවනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව ඇස්තමේන්තු කර ඇත.  


මෙහිදී පාකිස්ථානයේ ග්වාඩර් වරාය සංවර්ධනය කිරීම යනු ශ්‍රී ලංකාවට තදබල ලෙස බලපාන අභියෝගයකි.  


හම්බන්තොට වරායේ ආසන්නතම තරගකරුවා ග්වාඩර් වරායයි. 2013 වස​රේදී චීනය මෙම වරායේ මෙහෙයුම් කටයුතු භාර ගත්තේය. පාකිස්ථානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ සිට අරාබි මුහුදට විවෘත වෙන පැරණි වරායක් වූ මෙය සංවර්ධනය වේගවත් වූයේ චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝර වැඩසටහන යටතේ චීන ආධාර යටතේ වේගවත් සංවර්ධනයකට ලක්වූ බැවිනි. චීනය තම ‘‘බෙල්ට් ඇන්ඩ් රෝඩ්’’ සංවර්ධන වැඩසටහනට මෙම වරායද ඇතුළත් කර ගත්තේය. දැන් මෙහි පාලනය සිදු කරන්නේ චීන ඕවර්සිස් පෝට් හෝල්ඩින්ග් සමාගමයි.  

 

 

මෙම වරාය තවදුරටත් දියුණු කරමින් පවතින අතර මෙමගින් යුරෝපය හා අප්‍රිකානු රටවල සිට එන නෞකා ශ්‍රී ලංකාවට දකුණු දිගින් යන ජාත්‍යන්තර නාවික මාර්ගයේ චීනය කරායන දීර්ඝ මුහුදු ගමන කෙටි කරයි. අප්‍රිකාව හා මැදපෙරදිගින් චීනය වෙත එන තෙල් හා ගෑස් නෞකාවල ගමන කිලෝමීටර් දහස් ගණනකින් අඩුකර එම භාණ්ඩ පාකිස්ථාන දේශසීමාව හරහා චීනයට ළඟාවේ. එය අතිවිශාල ආර්ථික ලාභයකි. දැන් එය භාණ්ඩ ප්‍රවාහනයට සේම ප්‍රතිනැව්ගත කිරීමටද බලය ඇති චීන තොටුපොළකි. එය චීනය හා සම්බන්ධ කෙරෙන කාරකෝමේ අධිවේගී මාර්ගය මේවනවිට ලහි ලහියේ ඉදි​ වෙමින් පවතී.  


ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායෙන් චීනය බලාපොරොත්තු වූයේ මෙම කටයුත්තයි. හම්බන්තොට වරාය පිළිබඳ මෙරට දේශපාලනයේ පවතින අභ්‍යන්තර ගැටුම් කවදා නිමවේදැයි තවමත් විශ්වාසයක් නැත. මේ අනුව හම්බන්තොට වරායේ ප්‍රධානම තරගකරුවා වන ශ්වාඩර් වරාය දැනටමත් චීන මෙහෙයුම් කටයුතු අරඹා ඇති පසුබිමක හම්බන්තොට වරාය කෞතුකාගාරයක් බවට පත්වුවද එය පුදුමයට කරුණක් නොවනු ඇත.   


දැනට ඇමෙරිකාවේ ක්‍රියාත්මක වන ග්‍රීන්කාඩ් ක්‍රමයට සමාන ක්‍රමයක් ඉදිරි කාලයේ හඳුන්වාදීමට චීනය සූදානම් වෙයි. එමගින් විවිධ රටවල වෘත්තිකයන්ට චීනයේ රැකියා අවස්ථා ලබා ගත හැකිය.  

 

 

චීනයේ දීර්ඝකාලීන මිතුරකු වන ශ්‍රී ලංකාවටද මෙම දැවැන්ත වැඩ පිළිවෙළින් ප්‍රතිලාභ ලබාගත හැකි බව චීන ආර්ථික විද්‍යාඥ ආචාර්ය ෂාන් යැංස්සං මහතා අප සමග පැවසුවේ ඉකුත්දා ​ෙබංජිං නුවර පැවැති සම්මන්ත්‍රණයකදීය. ඔහු එහිදී මෙ​සේ කීවේය.  


“ශ්‍රී ලංකාව එහි ඇති වැදගත් සමුද්‍රීය පිහිටීම හා වරාය නිසා නිෂ්පාදන ප්‍රති අපනයන කිරීමේ නැව් තොටක් ලෙස ඓතිහාසික අවස්ථාවක් ලබා සිටියි. එමගින් චීනයට යුරෝපය කරා යා හැකි මාවතක් විවර වේ. මේවනවිට චීන සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු ශාඛාව කොළඹ පිහිටුවීමට තීරණය කැර ඇතිනම් එය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ඇති වැදගත්කම තේරුම් ගත් නිසාය. එමගින් තවත් ජාත්‍යන්තර බැංකුවලට ශ්‍රී ලංකාවට පැමිණීමේ අවස්ථා​ව හිමිවේ.” ආචාර්යවරයා සඳහන් කළේය.  


ඒ කතාව ඇත්තය. චීනය ලෝකයේ ආර්ථික බලවතකු වෙමින් තම ගබඩාවල තිබූ ධනය වෙනත් ලොවපුරා රටවල ආයෝජනය කරමින් සිටියි. එම ප්‍රතිලාභ ලබාගන්නා රටවල් බොහෝමයකි. අපට එම ප්‍රතිලාභ ලබාගන්නට අවස්ථාව ඇතත් අපි තවමත් එයට පැකිළෙමින් සිටිමු. අපගේ දේශපාලකයන් අතර ඇති කඹ ඇදීම් සමනය කරගන්නා තෙක් ඒ ප්‍රතිලාභ අපට හිමි නොවනු ඇත. ඒ කඹ ඇදීම් කවදා අවසන් වේදැයි අපට සිතාගත හැකිද?  

 

 

 

 

 

ප්‍රේමකීර්ති රණතුංග  
(චීනයේ සංචාරයකින් පසු)