IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


බෝම්බයක් දමා කූඩු කළ අහිංසකයකුගේ කතාව

අම්බලන්‌තොට රිදියගම ප්‍ර‌දේශයේදී අත්බෝම්බයක් අතැතිව සිටි බවට අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයකු සම්බන්ධයෙන් වසර 10කට ආසන්න කාලයක් හම්බන්තොට මහාධිකරණයේ විභාග වෙමින් තිබූ නඩුවකින් සැකකරු නිදොස්කොට නිදහස් කිරීමට හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා පසුගියදා නියෝග කළේය.   

 


‍‍මෙසේ චෝදනාවට ලක්ව සිට නිදහස් වූයේ අම්බලන්තොට රිදියගම පදිංචි නවරත්න ගම‌ගේ ප්‍රියන්ක නමැත්තෙකි. 

 
අම්බලන්තොට රිදියගම ප්‍රදේශයේදී අත්බෝම්බයක් අතැතිව සිටි බවට සැකකරු 2012 වර්ෂයේ අප්‍රේල් මස 13 වැනිදා අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඉන් අනතුරුව සැකකරු අම්බලන්තොට පොලිසිය විසින් හම්බන්තොට මහාධිකරණයට ඉදිරිපත් කර ඇත. සැකකරුට අදාළව අධිචෝදනාව ගොනු කර ඇත්තේ අම්බලන්තොටදී අත්බෝම්බයක් සන්තකයේ තබාගෙන සිටි බවට චෝදනා නඟමිනි.   
අධිකරණයට ‍ගොනු කළ අධිචෝදනාවල සඳහන්ව ඇත්‍‍තේ ජංගම මුර සංචාරයේ යෙදී සිටියදී පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද ඇමතුමක් අනුව අම්බලන්තොට රිදියගම ප්‍රදේශයේ කලබලකාරී තත්ත්වයක් සිදුවී ඇති බවට පොලිසියට කරන ලද දැනුම්දීමක් අනුව පොලිසිය එම ස්ථානයට ගිය බවත් එහිදී දැක ඇත්තේ සුනාමි නිවාස ගම්මානයේ නිවෙසක් ඉදිරිපිට විශාල පිරිසක් රැස්ව සිට ඇති බවත්ය. ඊට තරමක් දුරින් පුද්ගලයකු මන්නා පිහියක් අතැතිව සිටි බවත් ඔහු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහුගේ සරමෙහි ගැටයේ තිබී ජීව අත්බෝම්බයක් වැනි දෙයක් හමුවූ බවත් එය නිෂ්ක්‍රීය කර රස පරීක්ෂක වෙත යොමු කළ බවයි.   
චෝදනාවට ලක්ව සිටි නවරත්න ගම‌ගේ ප්‍රියන්ක නම් පුද්ගලයා අධිකරණයට පවසා ඇත්තේ සිය බිරියට ‘බී’ නමැති පුද්ගලයකු අතවර කිරීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් බිරිය විසින් පොලිස් හදිසි ඇමතුම් අංකයට පැමිණිලි කළ බවත් කිහිපවරක් දැනුම් දුන්නද පොලිසිය නොපැමිණීම හේතුවෙන් පසුව අම්බලන්තොට පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකතනයෙන් දැනුම් දුන් බවයි. ඉන් අනතුරුව පොලිසිය පැමිණ ‘බී’ නමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි.   


‘බී’ නමැති පුද්ගලයා සමඟ විශාල පිරිසක් සිටි බැවින් තමා ආරක්ෂාව උදෙසා මන්නා පිහියක් තබාගෙන නිවෙස ඉදිරිපිට සිටි බවට නවරත්න ගමගේ ප්‍රියන්ක නමැත්තා පවසා ඇත. ‘බී’ නමැති සැකකරු අත්අඩංගුවට ගත් පසු පොලිස් නිලධාරීන් පැමිණ කටඋත්තරයක් ලබාගැනීමට තමාට ද පොලිසියට පැමිණෙන ලෙස දැන්වූ අතර ඒ අනුව තමන් යතුරුපැදියෙන් පොලිසියට ගිය පසු පහරදී සිර මැදිරියට දමා පසුව අධිකරණයට ඉදිරිපත් කළ බවත් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී තමාට එරෙහිව නඟා ඇති චෝදනාව අත්බෝම්බයක් ළඟ තබාගැනීම බවත් පසුව තමන් දැනගත් බවයි.   

 

අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් එකල පළවී තිබූ මාධ්‍ය වාර්තාවක්

 


නවරත්න ගමගේ ප්‍රියන්ක නමැත්තා වෙනුවෙන් කැඳවා ඇති සාක්ෂිකරුවන් සියලු‍දෙනාම සාක්ෂි ලබා දී ඇත්තේ සැකකරු එම දිනයේදී එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් කරන ලද දැනුම්දීම මත ඔහුගේ යතුරුපැදියෙන් පොලිස් රථය පිටුපසින් පොලිසිය වෙත ගමන් කළ බවයි.   


පැමිණිල්ලේ සාක්ෂිකරු 1 පොලිස් සැරයන්වරයා අධිකරණයේදී සාක්ෂි දෙමින් පවසා ඇත්තේ අදාළ නිවෙස ඉදිරිපිටදී රථයෙන් බසින ලද බවත් එම අවස්ථාවේදී එම නිවෙස ඉදිරිපිට විශාල පිරිසක් රැස්ව සිටි බවත් මීටර 25ක් පමණ දුරින් පුද්ගලයකු මන්නා පිහියක් අතැතිව සිටි බව දැක ඔහු අසලට පාගමනින් ගොස් මන්නා පිහිය අත්අඩංගුවට ගෙන තවත් පොලිස් නිලධාරියකුට ලබා දුන් බවයි. අදාළ පුද්ගලයා පරීක්ෂා කිරීමේදී ඔහුගේ සරමෙහි ගැටයේ තිබී අත්බෝම්බයක් හමුවූ බවත් ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඔහු පැමිණි යතුරුපැදිය ද කැබ් රථය තුළට දමාගෙන සැකකරු පොලිසියට රැගෙන ගිය බවයි. තවද එම යතුරුපැදිය ඉදිරිපස ජංගම දුරකතනයක් ද තිබී සිය බාරයට ගත් බවත් ඔහු සාක්ෂි දෙමින් පවසා තිබේ.   
නවරත්න ගමගේ ප්‍රියන්ක නමැත්තා සමඟ කලහ කරගත් බව කියන ‘බී’ නමැත්තා ද ඔහු වෙනුවෙන් සාක්ෂි දී ඇති අතර ඔහු පවසා ඇත්තේ අදාළ දිනයේදී පොලිසිය විසින් තමා අත්අඩංගුවට ගත් පසු නවරත්න ගමගේ ප්‍රියන්ක නමැත්තාගේ නිවෙස අසලට ගොස් ඔහු අතැතිව තිබූ මන්නා පිහිය රැගෙන කටඋත්තරයක් ගැනීමට පොලිසියට එන ලෙස ඔහුට දන්වා සිටි බවයි. ඒ අනුව ඔහු යතුරුපැදියෙන් පොලිසියට පැමිණි බවයි. නවරත්න ගමගේ ප්‍රියන්ක නමැත්තාගේ බිරිය ද සාක්ෂි ලබා දී ඇත.   


පැමිණිල්ලේ සාක්ෂිකරු 1 මූලික සාක්ෂියේදී ප්‍රකාශ කර ඇත්තේ තමුන්ට දුරකතනය මගින් දැනුම්දෙන ලද්දේ අදාළ ස්ථානයේ කලබලයක් සිදුවන බවට වන අතර ඔහුගෙන් හරස් ප්‍රශ්න විමසීමේදී 119 හදිසි පොලිස් ඇමතුම් සේවාව වෙත චූදිතගේ බිරිය විසින් පැමිණිලි කර ඇත්තේ ‘බී’ නමැති අයකු ඇයට කරදර කිරීමට තැත් කරන ලද බවට පිළිගෙන ඇත. එවන් පැමිණිල්ලක් විභාග කිරීමට ගිය පොලිස් කණ්ඩායමක් භාරව ගිය නිලධාරියකු එම පැමිණිල්ල සම්බන්ධයෙන් කිසිදු විමසීමකින් තොරව ඒ පැමිණිල්ලට අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමක් හෝ එම පැමිණිල්ලට අදාළ කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගෙන පැමිණිල්ල සිදුකරන ලද තැනැත්තියගේ ස්වාමි පුරුෂයා අත්අඩංගුවට ගෙන ආවාය යන්න කිසි‍සේත්ම පිළිගත නොහැකි සාක්ෂියක් බව සඳහන්ය. පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගේ ස්ථාවරය වී ඇත්තේ ‘බී’ නමැත්තා එම දිනයේදී අත්අඩංගුවට නොගත් බවට ද සඳහන්ය.   


තම බිරිඳට අතවර කිරීමට තැත්කළ බවට 119 දුරකතන අංකය මගින් පොලිසියට දැනුම්දී පොලිසිය පැමිණෙනතුරු සිටින පුද්ගලයකු එලෙස පොලිසිය පැමිණෙන අවස්ථාවේදී අත්බෝම්බයක් ඉනේ ගසාගෙන සිටියාය යන්න සාමාන්‍ය පුද්ගලයකුගේ ක්‍රියාකලාපය සැලකීමේදී ප්‍රායෝගිකව සිදුවිය නොහැකි ක්‍රියාවක් බවත් සාක්ෂි ආඥා පනතේ 114 වගන්තිය ප්‍රකාරව සාමාන්‍ය පුද්ගලයකු විසින් එලෙස සිදුකිරීමේ හැකියාව නැති බවට පූර්ව නිගමනය කළ හැකි බව සඳහන් වේ. පැමිණිල්ලේ සාක්ෂි මගින් එම පූර්ව නිගමනය බිඳ හෙළීම සඳහා කිසිසේත්ම සමත් වී නොමැති බව ඉහත සඳහන් කරන ආකාරයට පූර්ව නිගමනය තවදුරටත් තහවුරු වී ඇති බවට පෙනී යන බවට විනිසුරුවරයා තීන්දු කර ඇත.   


පැමිණිල්ලේ ඇතැම් සාක්ෂිවල විශ්වාසනීයභාවය සම්බන්ධයෙන් ප්‍රබල සාධාරණ සැකයක් මතුවන බව පෙනී යන බවත් ඇතැම් සාක්ෂිවල පරස්පරතා, විරෝධතා මගින් ද සාක්ෂි මගින් ප්‍රකාශ කර ඇති කරුණුවල සඳහන් විය හැකි භාවයේ සම්භාවිතාව අල්ප වීම මගින් ද චූදිත වෙනුවෙන් කැඳවා ඇති සාක්ෂිකරුවන්ගේ සාක්ෂි මගින් සහ චූදිත විත්ති කූඩුවේ සිට කර ඇති ප්‍රකාශය මගින් දරා ඇති ස්ථාවරය සත්‍ය බවට තහවුරු වන බව පෙනී යන බවත් ඒ අනුව පැමිණිල්ලේ සාක්ෂි මගින් චූදිතට විරුද්ධව ඇති අධිචෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට තහවුරු කර නොමැති බවට තීන්දු කළ විනිසුරුවරයා 2021.08.04 වැනිදා චූදිත අධිචෝදනාවෙන් නිදොස්කොට නිදහස් කර ඇත.   


මෙම නඩුව මෙසේ අවසන් වුවද තමන් වසර ගණනාවක් පුරා මුහුණදුන් සිද්ධිදාමය සම්බන්ධයෙන් අම්බලන්තොට රිදියගම පදිංචි නවරත්න ගම‌ගේ ප්‍රියන්ක මහතා මෙසේ අදහස් දැක්වීය.   
“අ‌පේ ‌ගෙදර ඉස්සරහින් හැමදාම හවසට දෙන්නෙක් බීලා අසැබි වචන කියා කෑගහමින් යනවා. අපිට මේක කරදරයක් වෙලා තිබුණේ. අම්බලන්තොට පොලිසියට මම නෝනාව එක්කගෙන ගියා මේ දෙන්නා ගැන පැමිණිල්ලක් දාන්න. මම එළියෙ ඉඳලා නෝනා තමයි පැමිණිල්ල ලියන්න ඇතුළට ගියේ.   


පොලිස් නිලධාරියා නෝනා කරපු පැමිණිල්ල විභාග කරන්න ගිහින් ඇවිත් මට කිව්වා ඒ අයගෙන් කරදරයක් වෙන්නෙ නැහැ කියලා. ඒත් එදාම ආයෙ මාත් එක්ක ඒ අය රණ්ඩුවට ආවා. පස්සේ මම ආයෙත් පොලිසියට ගියා. මං ආයේ එම නිලධාරියා හම්බ වුණා. මං කිව්වා මේ රණ්ඩුවලට හේතුව අපිට හම්බවෙන සීට්ටුවකට ඉරිසියාවේ අපිත් එක්ක රණ්ඩුවට එන බව කියලා. එතකොට ඒ මහත්තයා මට කිව්වා, උඹට සීට්ටුවක් හම්බවෙනවද? අයියෝ වේලාසන කියන්න එපැයි කියලා, ම‌ට රුපියල් දෙදාහක් දෙන්න, මං මේ කේස් එක සම්පූර්ණයෙන් විසඳනවා කිව්වා. ඒත් අපේ ගෙදර හාල් ටිකක්වත් ගන්න එදා සල්ලි තිබුණෙ නැහැ.   
මං මේ ගැන අල්ලස් හෝ දූෂණ විමර්ශන එකට කතා කරල කිව්වා. මට කිව්වා පැමිණිල්ලක් දාන්න කියලා. ඒ අය එන්නම් කිව්වා. එදාම රෑ ආවා. පහුවදා තමයි පොලිස් නිලධාරියාට සල්ලි දෙන්න තිබුණේ. අල්ලස් එකේ නිලධාරියකු මා සමග පොලිසියට යන්න ආවා. පොලිසියට ගියාම මට පොලිසියේ නිලධාරියා කිව්වා ටී දෙකකුයි, රෝල්ස් දෙකකුයි, සිගරට් දෙකකුයි ගේන්න කියලා. මම අල්ලස් නිලධාරියාත් එක්ක ගිහින් ඉල්ලපු ටිකත් ගෙනත් දුන්නා. පොලිසියෙ නිලධාරියා මාත් එක්ක ආව කෙනා කවුද කියල ඇහුවා. මං කිව්වා අපේ අක්කා බැඳපු හිච්චා අයියා කියලා. එයාව එක්කගෙන ආවෙ මොකටද ඇහුවා. සල්ලි නොදී මං ඒවයින් අරක්කු බොයි කියල මගෙ නෝනා හිතාවි කියල මෙයාවත් එක්කගෙන ආව කිව්වා. එහෙම කියල රුපියල් දෙද‌ාහ අල්ලස් එකේ නිලධාරියාගේ අතින්ම දුන්නා. එවෙලේම පොලිසියේ නිලධාරියාව අල්ලස් නිලධාරීන් අත්අඩංගුවට ගත්තා. මාවත් අරන් ගියා හම්බන්තොට ඒ.එස්.පී. මහත්තයා ළඟට. ඔහු මගෙන් විස්තරේ ඇහුවා. පොලිසියේ නිලධාරියා හම්බන්තොට හිරගෙදරට දාල තිබුණා. මේ සිද්ධිය වුණේ 2007 අවුරුද්දේයි.   
‌මේ සිද්ධි‌යෙන් පස්සේ දිගින් දිගටම මට කරදර වුණා. කලින් රණ්ඩු කරපු අය අවුරුදු ගාණක් යනකල් අපිත් එක්ක රණ්ඩු වුණා. ඒ වගේ රණ්ඩුවක් වුණ අවස්ථාවක 2012 අවුරුද්දේ අප්‍රේල් මාසයේදී පොලිස් හදිසි ඇමතුම් අංශයට මං කෝල් කළා. ඔය සිද්ධියට අදාළ පුද්ගලයා ජීප් එකේ දාගෙන පොලිසියේ මහත්තුරු ටිකක් මගෙ ගෙදර ළඟට ආවා. කටඋත්තරයක් දෙන්න මටත් පොලිසියට එන්න කිව්වා. ජීප් එකේ එන්න බැහැ කියලා මගෙ බයික් එකේ එන්නම් කියල පොලිසියට ගියා. පොලිසියේ මහත්තුරු මට හොඳටම ගැහුවා. මාව කූඩුවට දැම්මා. පස්සෙ මගෙ නෝනා පොලිසියට ආවා මාව බලන්න. නෝනාට කියල තිබුණා මිනිහා හොඳටම බීලා ඉන්නේ උසාවි අරන් යනවා කියලා. පහුවදා උදේ නිවුස්වලට කියල තිබුණා රිදියගමදී ජීව අත්බෝම්බයක් එක්ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් සිද්ධියක් ගැන. ඒ ගැනත් නෝනා පොලිසියෙන් අහල තිබුණා. පොලිසියෙන් මාව වැඩබලන මහත්තයෙක් ළඟට ඉදිරිපත් කළා. ඇප ගන්න බැහැ කියල නෝනාට කියල තිබුණා. පස්සේ මාව පිස්කල් එකට දැම්මා. මම කුලී වැඩ කරගෙන ජීවත් වෙන්නේ. මට සල්ලි වියදම් වුණා. මගේ ළමයි දෙන්නට අධ්‍යාපනය නැති කළා. මට ලැජ්ජා අපහාස කළා. මේ වගේ දේවල් තවත් කිසිම කෙනෙක්ට කරන්න එපා කියල මං කියනවා.” යැයි ද කීවේය.   


අම්බලන්තොට රිදියගම පදිංචි නවරත්න ගම‌ගේ ප්‍රියන්ක මහතාගේ බිරිය වන ස්වර්ණමාලි ජයලත් මහත්මිය මෙසේ අදහස් දැක්වූවාය.   


“මම දැන් හම්බන්තොට මහ රෝහලේ සෞඛ්‍ය කාර්ය සේවිකාවක් විදියට සේවය කරනවා. ඉස්සර අපි ජීවත් වුණේ කුලී වැඩ කරලයි.   


2012 වසරේ සිංහල අවුරුද්දට කලින් දව‍සේ ම‍ගේ මහත්තයයි ගමේ තවත් කෙනෙකුයි මත්පැන් බිව්වා. ඒ දෙන්නා පස්සේ රණ්ඩු වුණා. ඒ කෙනාගේ ගෙදර ළඟ මිනිස්සු ගොඩක් හිටියා. අපේ ගෙදර ළඟ හිටියේ දරුවො දෙන්නයි මායි මහත්තයයි විතරයි. දරු‍වො දෙන්නා එතකොට ගොඩක් පොඩියි. කට්ටිය‍ගේ රණ්ඩුව බේරගන්න බැරි නිසාත් අපිට වුණ කරදර ගැන කියන්නත් 119 එකට මම ‍‍කෝල් කළා. ඒත් පොලිසියෙන් ආවෙ නැති නිසා ස්ථානාධිපතිතුමාට ඇමතුමක් අරන් කිව්වා. ඊට පස්‍‍සෙ ජීප් එකක් ආවා. කෙළින්ම ආවෙ අපේ ගෙදරට. එතකොට මහත්තයා අතේ මන්නා පිහියක් තිබුණ නිසා ඒක පොලිසියෙ මහත්තයෙක් ගත්තා. ජීප් එක අපේ ගෙදර ළඟින්ම හරවලා අර රණ්ඩු වුණ කෙනාවත් ජීප් එකට දාගත්තා. ඊට පස්සේ මගේ මහත්තයට කිව්වා කටඋත්තරයක් දෙන්න එන්න කියලා. මහත්තයා බයික් එ‍කේ තනියම ගියා. ඊට පස්සේ ත්‍රිරෝද රථයකින් දරුවො දෙන්නත් එක්ක මාත් ගියා. පොලිසියෙ මහත්තයෙක් කිව්වා මහත්තයව කූඩුවට දැම්ම කියලා. මහත්තය බීලා ඉන්නෙ කිව්වා. පහුවදා ටීවී එකේ නිවුස්වලට ගියා බෝම්බයක් එක්ක රිදියගමදී පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තා කියලා. මේ ගැනත් මම පොලිසියෙන් ඇහුවට ඒ අය මොකුත් කිව්වෙ නැහැ. බෝම්බයක් එක්ක අත්අඩංගුවට ගත්තා කියලා මගෙ මහත්තයව උසාවියට දැම්මා. මම කෑගහමින් කිව්වා බීමත්කමින් කියලයි මගෙ මහත්තයා ගෙනාවෙ කියලා. මහත්තයා බන්ධනාගාරෙට අරගෙන ගියා. මම මේ ගැන මට කියන්න පුළුවන් හැම කෙනාටම දැනුම් දුන්නා.” යැයි ද කීවාය.   


අල්ලස් චෝදනා මත අල්ලස් ‍හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා පසුව මියයාම හේතුවෙන් තවදුරටත් මේ සම්බන්ධයෙන් ක්‍රියා නොකිරීමට එම කොමිෂන් සභාව 2008.06.06 දින තීරණය කර ඇති බවට පැමිණිලිකරුට ලිපියක් මගින් දන්වා තිබේ. 

 

 

සටහන සහ ඡායාරූප:
සිටිනාමළුව - අනීෂා මානගේ

 



අදහස් (0)

බෝම්බයක් දමා කූඩු කළ අහිංසකයකුගේ කතාව

ඔබේ අදහස් එවන්න

තක්සලාව

තුන්කල් සැරි සැරූ ලේඛකයා
2024 ජුලි මස 26 11 0

මෙරට කෘතහස්ත ලේඛකයන් පවා කෙළින්ම අත නොගැසූ ඉසව් කරා තම නිර්මාණාත්මක පරිකල්පන රටාව මෙහෙයවමින් සහෘදයන් කුල්මත් කළ ලේඛක පරපුරක මුදුන් මුල ලෙස කේ. ජයතිලක


ඔලිම්පික් උළෙල ඇරඹේ පැරිස් නුවර සීරුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට
2024 ජුලි මස 26 16 0

ප්‍රංශයේ පැරිස් නුවරදී 33 වැනි නූතන ගිම්හාන ඔලිම්පික් උළෙල ඊයේ (26) එරට ජනාධිපති එමානුවෙල් මැකරොන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.


ඉන්දියාව පරදන දිනයක් මේ සතියේ එයි ද?
2024 ජුලි මස 26 12 0

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරය ඇරඹෙන්නේ බොහෝ විට ඔබ මේ සටහන කියවන සෙනසුරාදා දිනයේ දීය. පල්ලෙකැලේ දී සෙනසුරාදා ඇරඹෙන විස්සයි20 තරගයෙන් පසු


මොහොතකට ලොව නතර කළ පරිගණක තාක්ෂණ දෝෂය ’ක්‍රවුඩ්ස්ට්‍රයික් ’ අවලංගුයි
2024 ජුලි මස 26 11 0

තාක්ෂණයේ දියුණුවත් සමග අන්තර්ජාලයේ පිහිටෙන්, මුළු ලොවම විශ්ව ගම්මානයක් වී අවසන්ය. දෛනික කටයුතු සිදුවන්නේ ඔන්ලයින් ක්‍රමයටය. තොරතුරු තාක්ෂණයේ උදව්වෙ


පැරිස් ඔලිම්පික් යන අපේ අයගේ වත ගොත
2024 ජුලි මස 23 24 0

සිකුරාදා (26) නිල වශයෙන් ආරම්භ වන 33 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා ප්‍රංශයේ පැරිස් නුවර මේ වන විට සූදානම්ය. එහිදී රටවල් 206 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10714 දෙනෙ


ආගම් බේදයක් නැතිව සහනය පතා එන කොච්චිකඩේ පල්ලිය
2024 ජුලි මස 23 27 0

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම නත්තල් දේව මෙහෙයන් සිදු කරන පල්ලියක් ලෙසත්, කතෝලික, බෞද්ධ, හින්දු, මුස්ලිම් සියලු ආගම්වල බැතිමතුන් තම ගැටලු දෙවියන්ට පවසා සහනයක


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 171 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1162 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site