‘නීතිය නොදැන සිටීම සමාවට කාරණාවක් නොවේ.’ යන්න පොදු මහජනතාව සිත් තුළට තදින් කාවැදිය යුත්තකි. කුමක් හෝ වරදක් හෝ සිදුවීමක් සිදුවූ කළ එතැනින් එහාට සිදුවන්නේ කුමක්ද? නීතිගරුක පුරවැසියකු ලෙසින් ගතයුතු ඉදිරි පියවර කුමක්ද? යන්න සාමාන්‍ය සිවිල් පුද්ගලයෙකු දැන සිටිය යුතුම කරුණකි. 


එහෙත් අනේ මං පොලිසියකටවත් ගිහින් නෑ කවද‌ාවත්, මොකක්ද වුණේ කියලා තේරුණේ නෑ.’ ආදී අදහස්වලින් නීතිය තීරණය කළ හැකි නොවෙයි. ඒ කෙසේ වෙතත් අද ‘පසුතැවිල්ල’ තුළින් ඔබ වෙත ගෙන එන්නේ ‘නොදන්නා කමට’ වඩා ‘නොසිතනා’ කමින් ජීවිතය අඳුරු ආගාදයට ඇඳ ගත් විජිත ගේ කතා පුවතයි. 


 ‘මම ඉගෙන ගත්තේ සමාජයෙන්. වැඩකළේ ඒ සමාජයටමයි. ඒත් ගෝරියක් සිදුවෙන තැනක හිටගෙන ඉන්නවත් හොඳ නෑ කියලා ඒ සමාජේ මට කියලා දුන්නේ නෑ. අද මට වෙච්ච දේට මගේ දරුවෝ පස් දෙනා තාමත් අඬනවා.’ 


පදවි ශ්‍රී පුර ප්‍රදේශයෙන් කොළඹට සේන්දු වූ විජිත ත්‍රීවීල් රියැදුරෙකු ලෙසින් සිය ජීවිකාව ආරම්භ කළේය. විජිතට අවුරුදු තිහක් පමණ වන විට ඔහුගේ මෑණියන් හදිසි අසනීප තත්ත්වයකින් මියයාම ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත් විය. පසුව දන්නා කියන නැන්ද‌ා​ කෙනෙකු සමඟ කොළඹට සේන්දු වන විජිත ත්‍රිරෝද රථයක් මිලදී ගෙන එය කුලී ගමන් සඳහා යොද‌ා ගැනීම සිය වෘත්තිය කර ගත්තේය. 
 එහෙම ඉද්දී තමයි ශ්‍රියාණියි මායි යාළුවෙන්නේ. අපි දෙන්නා කසාද බැඳලා මුල්ලේරියාව පැත්තේ ගෙයක් කුලියට අරගෙන අපේ ජීවිතේ පටන් ගත්තා. මම බෲනායි රටේ සේවයට ගියා. කසාද බඳින්න කලින්. එහෙදී හම්බ කරගත් සල්ලිවලින් තමයි මම ත්‍රීවීල් එක ගත්තේ. කොහොම හරි අපිට දරුවෝ තුන්දෙනෙක් ලැබුණා. ඒ වෙද්දී. 


විජිත කියන අයුරින් ඒ 2000 වර්ෂයයි. ඔහු ප්‍රදේශයේ කා අතරත් ජනප්‍රිය චරිතයක්ව සිටි විජිත එම පළාතේ ත්‍රිරෝද රථ සංගමයේ සභාපතිවරයා ලෙසින් ද තේරී පත්වන්නේ ඒ ප්‍රසිද්ධත්වය හේතුවෙනි. ගමේ ​ගොඩේ කාට හෝ කිසියම් අනතුරක් කරදරයක් වූ අවස්ථාවක නොපසුබසිනා විජිත ඔවුන් වෙනුවෙන් නිරතුරු පෙනී සිටියේය. ඒ අනුව ගමේ සමිති සමාගම්වල කැපී පෙනෙන චරිතයක් වීමට විජිතට වැඩි කලක් ගතවූයේ ද නැත. 
‘ගමේ ගොඩාක් අය මට ආදරෙයි. ඒ අයගේ මළගෙයක්, මඟුල්ගෙයක් විතරක් නොවෙයි. ගෙට ගෙවැදීමක් වගේ පුංචි පහේ උත්සවයනුත් මට නොකියා හිටියේ නෑ. ඒ තරමටම මම සමාජශීලී චරිතයක් විදිහට කැපී පෙනුණා.’ 


සියල්ල එසේ තිබියදී කාලය ගලා ගියේ විජතගේ ‘ඉරණම් ගමන’ තීරණය කරමිනි. හිතවතෙකුගේ මුදල් ගනුදෙනුවක මුදල් ලබාගෙන ඒම සඳහා විජිත මුල්ලේරියාවේ සිට බැද්දගාන ප්‍රදේශය වෙත සිය ත්‍රිරෝද රථයෙන් නික්ම යන්නේ එක්තරා දිනෙක රාත්‍රී 7.00 ට පමණය. 


‘මට කිව්ව ගෙදර අයිතිකාරයා හිටියේ නෑ. ඉතිං මම ටික​ වේලාවක් හිටියා ඒ අය ඒවි කියලා. ඒ ගෙදර තවත් අක්ක කෙනෙක් හිටියා. මම එතැනට ගිය කාරණාව එයත් දන්නවා. ඊට පස්සේ එයා කිව්වා. ‘දැන් මල්ලි යන්න අනිද්දට එන්න. මම සල්ලි ලෑස්ති කරලා තියන්නම්.’ කියලා. මම එතැනින් පිටත්වෙලා ආපහු එද්දී ඇගේ ෂර්ට් එකක්වත් නැති මනුස්සයෙක් ත්‍රීවීල් එකට අත දැම්මා.’ 


‘අනේ අයියේ. මම හයර් යන්නේ නෑ. මං මේ පළාතේ නොවෙයි. වැඩකට ආවේ. තරහා නැතුව වෙන ත්‍රීවීල් එකක් අල්ලගන්නවද?’ 


‘හයර් යන්නේ නැත්නම් ත්‍රීවීල් මොකටද? මේ පැත්​තේ නිකං ත්‍රීවීල් එළවන්නේ නෑ ඩෝ. මාව ද‌ාගෙන පලයන්. උඹ දන් නෑ මං කවුද කියලා.’ 


වෙරිමතින් වැනි වැනි හුන් පුද්ගලයෙකු විජිතට කෑගසන්නට විය. විජිත ද කරුණු කීවේය. 


 එහෙත් එතැන කතාවක් ඇති විය. ඉන් නොනැවතුනු ආගන්තුක පිරිමියා කෑමොර දෙන්නට ද විය. මේ ඝෝෂාව විජිත හඳුනන ඉහත කී නිවසේ කාන්තාවට ද ඇසුණි. ඇය වහා විජිත අසලට පැමිණියාය. 
‘මල්ලි, ඔයා එන්න. ටික වෙලාවක් ඉඳලා යන්න. මේ පැත්තේ අය ඔහොම තමයි. ඔයා රණ්ඩු වෙන්න යන්න එපා. යමු ගෙදරට යමු.’ 


‘මම අක්කා කියපු නිසාත් එතැන ඉන්න එක හොඳ නෑ කියලා තේරුණ නිසාත් ආපහු හැරිලා අක්කලගේ ගෙදරට ගියා. මට අාපහු එතැනින් යන්න ලැබුණෙත් නෑ. පාර ළඟ ලොකු රණ්ඩුවක් මිනිස්සු කෑගහනවා. මුකුත් පේන්නේ නෑ. එතකොට රෑ 10 ට විතර ​වෙලා. මම හෙමිහිට කන්දක් වගේ තැනක් තිබුණා එතැන ත්‍රීවීල් එක නතර කරගෙන රණ්ඩුව වෙන තැන දිහා බලාගෙන හිටියා.’ 


විශාල කාලගෝට්ටියක් මැදින් එකවරම මිනිසුන් කිහිප දෙනෙකු තුවාල ලත් පුද්ගලයෙකු ඔසවා ගෙන කෑගසමින් විජිත සිටි ස්ථානයට එන්නේ මේ අතරතුරදීය. තුවාලකරු රෝහල් ගත කිරීම සඳහා මෙම පිරිස ත්‍රිරෝද රථය අසලට දිව එන බව විජිතට වැටහුණි. එහෙත් විජිත සිටි ආසන්නයට ඒ වන විටත් තවත් ත්‍රිරෝද රථයක් පැමිණෙමින් තිබෙනු ඔහු දුටුවේය. එහි සිටි රියැදුරාට අමතර තවත් පුද්ගලයෙකු ‘මේකට ද‌ාන්න. මේකට ද‌ාන්න’ යනුවෙන් කෑ ගසමින් ලේ බේරෙමින් සිටි තුවාලකරු එම ත්‍රිරෝද රථයට ඇතුළු කර ගත්තේය. 


 තුවාලකාරයා ඒ ත්‍රීවීල් එකට ද‌ාගෙන අරගෙන ගියා. ඒ කවුද කියලා මම දන්නේ නෑ. එතන තවත් කට්ටිය රණ්ඩු කරගත්තා. ටික වේලාවකින් ඔක්කොම විසිරිලා ගියාම මම ත්‍රීවීල් එක අරගෙන ගෙදර ආවා. එද්දී පාන්දර තුනට විතර ඇති. ඊට දවස් 6 කට විතර පස්සේ ඒ පැත්තේ මං දන්න අක්කා මට කෝල් කරලා කිව්වා මල්ලී ඔයාව මිරිහානේ පොලිසියෙන් හොයනවා කියලා.’ 


කිසිදු දෙයක් තේරුම් බේරුම්කර ගත නොහැකි වූ විජිත තමන් නිර්දෝෂී පුද්ගලයකු බවට සනාථ කරනු වස් වහාම පොලිසිය වෙත ආවේය. 


‘අපි හොයන්නේ නිමල් කියලා කෙනෙක්. තමුන් නිමල් නෙමෙයිද?’ පොලිසිය විජිත ගෙන් ඇසුවේය. 


‘අනේ නෑ සර් මම විජිත. නිමල් නෙමෙයි.’ 


‘තමුන් එද‌ා මේ කේස් එක වෙනකොට එතැන හිටියද?’ 


‘ඔව් සර් මම එතැන බලාගෙන හිටියා.’ 


‘හරි තමුන් ටිකක් එළියේ වාඩිවෙලා ඉන්නවා. අපි කතාකරන කල්.’ 


පොලිසිය තුළ සිදුවූ කතාබහෙන් අනතුරුව විජිත ඉන් පිටතට පැමිණ අසල තිබූ බංකුවත් මත හිඳගත්තේය. 


‘ටික වේලාවකට පස්සේ මට පොලිසියේ රාලහාමි කෙනෙක් කතා කළා. ඊට පස්සේ ලොකු මහත්තයා ළඟට දැම්මා. කූඩුවේ ඉන්න අය අඳුරනවද කියලා ඇහුවා. මම කිව්වා මම දන්නේ නෑ කියලා. ඒත් මාව කූඩුවට දැම්මා. පස්සේ මාස 6 ක් රිමාන්ඩ් එකේ හිටියා. එද‌ා මගෙත් එක්ක රණ්ඩු කළ මිනිහා තමයි කැපුම් කෙටුම් තුවාල එක්ක මැරිලා තියෙන්නේ.’ 


සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ වරදට වැරදිකරුවන් වූ විජිත ඇතුළු හය දෙනෙකුට එම නඩු විභාගය අවසානයේදී මරණීය දණ්ඩනය නියම වන්නේ ඉකුත් 2015 වර්ෂයේ මැයි මස 30 වැනිද‌ාය. 


ඒ කොළඹ මහාධිකරණයෙනි. 


මියගිය තැනැත්තාගේ සහෝදරියක අධිකරණයේ විභාග වුණු නඩුවකදී සාක්ෂි ලබාදී තිබුණේ විජිත සමඟ තම සහෝදරයා බහින් බස්වීමක් ඇතිවූ බව තමා දුටු බවකි. කෙසේ වෙතත් විජිත කුමක් කීවද සාක්ෂි මත පදනම්ව නීතිය ක්‍රියාත්මක වී ඇත. 


බහුතරය කියන්​නේ තමන් නිර්දෝෂී පුද්ගලයින්ම කියාය. ඇතැම් විට එය එසේ වන්නට හෝ නොවන්නට ද පිළිවන. නඩුවක තීන්දු තීරණ ලැබෙන්නේ ඉදිරිපත්ව ඇති සාක්ෂි මෙන්ම පරවේශනීය සාක්ෂි ද හේතුවෙනි. සිදුවීමත් අවසන් වී ඇත. ඉන්පසුව සිදුවී ඇති ඛේදාන්තය ගැන ඇසෙන පුවත නම් ඛේද‌ාන්තය. 


‘මට මරණීය දණ්ඩනය නියම වුණා කියලා දැනගත්තම මගේ බිරිඳ රෝගාතුර වුණා. එතකොට මට දරුවෝ පස් දෙනෙක් හිටියා. දරුවෝ එක්ක එයා මොනවද කරන්නේ කියලා හිතාගන්න බැරිව ඇතිවෙච්ච මානසික අවුල නිසා එයා එදා ඉඳලම රෝහල් ගත කළා. 


එයා ආපහු ආවේ රෝද පුටුවේ. එයාව බලාගන්න දරුවන්ට බැරිවුණා. ඒ නිසා මඩමකට යැව්වා. අන්තිමට අවුරුද්දක්වත් එයා ජීවත් වුණේ නෑ. අවුරුදු 45 දී එයා නැති වුණා. මගේ ලොකු පුතාට වයස අවුරුදු 17 යි එතකොට. එයා තමයි නංගිලා මල්ලිලා හතර දෙනා බලා ගත්තේ. අහළ පහළ අය මගේ මිත්‍රයෝ මට උදව් කළා. ඒත් විජිත හඬන්නට වූයේය. 


පියෙකුගේ කඳුළුවලට අවසරයක් ​නොවුණි. පසුතැවිල්ල තුළින් ජීවිතය දෙස බලන විජිතගේ කතාව පසක් කරන්නේ කුමක්ද? අනපේක්ෂිත සිදුවීම් තුළින් අසරණ වන්​නේ අහිංසක මල් වැනි දරුවන් නොවේද? 
‘අද ලොකු පුතා පෞද්ගලික අංශයේ රැකියාවක් කරනවා. එයා තමයි අදටත් නංගිලා මල්ලිලා හද‌ාගන්නේ. ඒ පස් දෙනාම ‘පවුල් හමුව’ තියෙන දවසට මාව බලන්න එනවා. දරුවෝ මාව බද‌ාගෙන අඬනවා. “තාත්තේ ඉක්මනට ගෙදර එන්න” කියලා පුංචි දුව අඬනවා. දැන් එයාට අවුරුදු 09 යි. දෙවැනි පුතාට 17 යි. තුන් වැනි පුතාට 14 යි. පුංචි පුතාට අවුරුදු 06 යි.ම​ගේ දරු පැටව් පවු.මේක මගේ කරුමේ. 


 හිරගේ කියන්නේ අපායක්. මම දිවි නහගන්න හිතුවා. ඒත් දරු පැටවුන්ට මමත් නැති වුණොත් ඒක ගැන හිතලා මං ජීවත් වෙනවා. ඒ වගේම මට එළියට එන්න පුළුවන් වෙයි කියන හැඟීමකුත් තියෙනවා.’ 


විජිත ගෙවිච්චි ජීවිතෙන් ගත්තු පාඩම මොකක්ද? 


‘රණ්ඩුවක් වෙන තැනකවත් ඉන්න හොඳ නෑ. කවුරුහරි බැන්නත් ඇහුණේ නෑ වගේ එතැනින් යන්න ඕනෑ. මම ඒ ගෝරිය වෙච්ච තැනට ගිය නිසනේ මට මේ දේ වුණේ. මට මෙහෙම වුණේ නීතිය ගැන දන්නේ නැති නිසා. පොලිසියට ගිහින් කරන්න ඕනි මොනවද කියලා මම දන්නේ නෑ. නඩු ගැන දන්නේ නෑ. අන්තිමට මහ උළුගෙදරට එද්දී මං දන්නේ මාව මරන්න නියම කළා කියල විතරයි.’ 


කඩා වැටුණු සිතුවිලි මතින් දරුවන් නිසා ජීවිතය ගොඩනගා ගැනීමට වෙර දරන විජිතලාගේ හෙට දවස කෙසේ නම් විසඳේ දැයි කාට නම් කිව හැකිද? 


(මෙහි එන නම්ගම් මනඃකල්පිතය) 


විශේෂ ස්තූතිය : බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන්ත ධනසිංහ. ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරි ටී.අයි. උඩුවර, ප්‍රධාන ජේලර් ප්‍රසාද් ප්‍රේමතිලක, පුනරුත්ථාපන අංශ භාර ප්‍රධාන නිලධාරි පියසිරි වටගොඩ ඇතුළු නිලධාරීන්ට. 

 

 

නිමන්ති රණසිංහ