රටක ඉදිරි ගමන ක්‍රමික හා වේගවත් වන්නේ තරුණ ශ්‍රමය තුළිනි. ඔවුන්ගේ මානසික හා කායික ශක්තිය රැක ගැනීම වැඩිහිටි සමාජයේ යුතුකම මෙන්ම වගකීමකි.   


විවිධ සමාජ ප්‍රශ්න නිසා පීඩාවන්ට ලක්ව සිටින අපේ තරුණ පරපුර පාරිසරික බලපෑම් නිසාද පීඩනයට පත්වන තත්ත්වයක් උදාවී ඇත. තරුණ සිත් නිතරම පාහේ අධිවේගකාරිය.   


විවිධ අවශ්‍යතා සඳහා මහමඟට බසින ඔවුන් මේ දිනවල පීඩාවට පත් කරන ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මාර්ග ප්‍රවාහන තදබදයයි.   


සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත්වීම සඳහා කලට වේලාවට එතැනට පැමිණ සිටිය යුතුය. රෝහල් ගතව සිටින තම ළඟම ඥාතියා බැලීමට කලට වේලාවට එහි යා යුතුය. රැකියාව ඇතුළු වෙනත් අත්‍යවශ්‍යතා සඳහා වහ වහා මහමඟ තරණය කළ යුතුය.   


එහෙත් මහමඟට පිවිසෙන තරුණ ශ්‍රමික පරපුරට මුහුණ දීමට සිදුවන්නේ ​නොසිතූ විරූ පීඩාකාරි තත්ත්වයන්ටය. එයට හේතුව මාර්ග වාහන තදබදය, වාහන නළා ශබ්දය ඇතුළු ඝෝෂාවන්, මාර්ග බාධක, අවිනීත රියැදුරන් මාර්ග නීති කඩ කිරීම් යනාදී කරුණු කාරණාය.   


අපේ රටේ වාහන එන්න එන්නම ප්‍රමාණයෙන් වැඩි වුවත් ඒ හා සමානව මාර්ග පුළුල් වීමක් සිදුවී නැත. මෙම තදබදයත් වැඩි වශයෙන් බලපාන්නේ තරුණ ශ්‍රමික පිරිසටය.   
පොදු වාහනවල ගමන් කරද්දී අපේ තරැණ පිරිස මාර්ග වාහන තදබදය නිසා ප්‍රමාදයට හා පීඩාවට පත්වනවා සේම බස් රථය තුළ විසිරී පැතිරෙන ඝෝෂාකාරී සංගීතය තුළින්ද බොහෝ විට පියවි මනස අවුල් කිරීමක් ද සිදුවේ.   


කාර්යාලයට හෝ ආයතනයට යනවිට තැන්පත් මනසකින් සිය කටයුත්ත කර ගැනීමට නොහැකි වන තරමට ඔවුහු පීඩාවට පත්ව සිටිති. මේ අසහනකාරී තත්ත්වය පිළිබඳ තරුණ තරුණියන් දැක්වූ අදහස් කිහිපයක් මෙස් පෙළ ගස්වමු.   

 

 


නිරෝෂා වාසල මෙනවිය   


මාර්ග තදබදය ගැන කතා කරද්දි මූලිකවම මට දැනෙන්නෙ අද ලංකාවෙ පොදු ප්‍රවාහන ක්‍රමය කියන දේ මිනිසුන්ට දැනෙන්නෙ නෑ. ඔවුන් ඒක ගණන් ගන්නෙ නෑ සහ විශ්වාස කරන්නෙ නෑ, කියන එක.   


ඒ නිසා ඔවුන් බොහෝ වෙලාවට පුද්ගලික ප්‍රවාහන ක්‍රම හොයා ගන්නවා. ඒකත් එක්ක ලංකාවෙ පාරවල්වලට එකතුවෙන වාහන ගණන එන්න එන්නම වැඩිවෙනවා.   
මිනිස්සු තමන්ගෙම වාහනවල යද්දි වාහන නැති පිරිස එතැනින් හැලෙනවා. ඔවුන්ට අකමැත්තෙන් හෝ පොදු ප්‍රවාහන සේවයේ ගමන් කරන්න සිදුවෙනවා.   


නමුත් මේ ප්‍රවාහන සේවයේ කිසිදු පහසුකමක් වගකීමක් නෑ. බස් රථයට ගොඩවුණු වෙලාවෙ ඉඳලා කොන්දොස්තරගෙ කන්දොස්කිරියාව. ඉස්සරහට යන්න කියලා තල්ලු කරගෙන ගිහින්. ඉස්සරහට ගියාම පිටිපස්සට යන්න කියලා ආයෙත් තල්ලු කරනවා. ඒ මදිවට බස් එකේ අසීමිතව මගීන් පුරවගෙන ඉඳගෙන තියා හිටගෙන යන්නවත් විදියක් නෑ.     
මම කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක්. ගල්ගමුවෙ ඉඳලා තමයි කැම්පස් එන්නෙ. එන්නම පැය 6 ක් විතර වෙනවා. අතරමඟදි ට්‍රැෆික් එකට අහුවුණාම පැය 6 ගමන ඊටත් වඩා පැය ගණන් වැඩි වෙනවා. අපි ගෙවල්වලට යද්දි වුණත් එහෙමයි. කිරිබත්ගොඩ, කඩවත වගේ තැන්වලදී ට්‍රැෆික් එකට අහුවුණාම අපිට ගෙදරට යන්න තියෙන බස් රථ පවා මඟ හැරෙනවා. මොකද ගල්ගමුවෙන් බැහැලා තවත් බස් රථයක යන්න තියෙනවා. එතැනදි ආයෙත් ප්‍රශ්නයක්නෙ.   


මොකද ගම්වලට යන්න බස් එකක් එන්නෙ පැයෙන් පැයට වගේ වෙන්න පුළුවන්. එවිට ගම් ඇතුළට යන්න තියෙන පිරිසට ඒ බස් රථ මඟ අැරෙනවා. ඉතින් මේ දේවල් එක්ක අපිට ගෙදර යන එකත් ප්‍රශ්නයක් වෙලා.   


උදාර විජේසිංහ මහතා   


ලංකාවෙ මාර්ග පද්ධතිය ගත්තම දවසින් දවසට මාර්ග නීති වෙනස් වෙනවා. ඊට අමතරව නාගරිකව කරන පාරේ ඉදිකිරීම් හැමදාම සමහර වෙලාවට හවසට යන පාර නෙමෙයි පසුවදා උදේට යද්දි තියෙන්නෙ. එක්කො පාර කැඩිලා, නැත්නම් හදපු පාරවල් නැවත හදනවා, නැතිනම් කැඩුණු ටැප් ලයින් හදනවා. ඉතින් ඒ දේවල් එක්ක තමයි ට්‍රැෆික් වැඩි වශයෙන් ඇති වෙන්නෙ.   


ඒ වගේම දෛනික ජීවිතයටත් මේ තත්ත්වය තදින්ම ප්‍රශ්නයක් වෙලා. මොකද අපට වෙලාවට රැකියාවට යන්න විදියක් නෑ. ඉලක්ක කරලා ගමනක් යන්න බැහැ. මේ හැමදේමත් එක්ක මානසික පීඩනය ඇතිවෙලා තියෙනවා. රැකියාවට යන පුද්ගලයා වියරු වැටිලා ඉන්නෙ මේ ප්‍රශ්නත් එක්ක. වැඩ ඇරිලා ගෙදර එන්නෙත් හොඳටම ලේ රත්වෙලා.     
සේවා ආයතනවලට යම් සේවයක් බලාපොරොත්තුවෙන් කෙනෙකු පැමිණියහොත් ඒ මොහොතේම සේවයක් ඉටු කරගන්න බෑ. සේවය සලසන අයත් සේවය ගන්න අයත් පීඩනය එක්ක බලාපොරොත්තු වන සේවය ඉටුවෙන්නෙ නෑ. ඒ පුද්ගලයන්ගේ ඵලදායිතාව කියන දේ එනිසා අඩුවෙලා තියෙන්නෙ.   


තවත් ප්‍රශ්නයක් තමයි කාර්යාලයට පෙරවරු 8.30ට වාර්තා කරන්න අවශ්‍ය නම් අත්සන් කරන්න ඕනැ වෙලාව පමාවී ඒ පුද්ගලයාට දින දෙකක් ෂෝට් ලීව් වැටුණොත් තුන්වෙනි දවසේ ප්‍රමාදවෙලා ගිය විට මට හාෆ් ඩේ එකක් යන්න වුණානෙ” කියලා පසු තැවෙන එක. දිගින් දිගටම එසේ වීමෙන් සේවකයා ආතතියට පත්වෙලා මුළු සමාජ පද්ධතිය එක්කම වෛරයකින් රැකියාවට යන්නෙ. එවිට ඒ කෙනාගෙන් සේවයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් මේ හැමදේටම මේ ට්‍රැෆික් එකත් එක්ක තියෙන පීඩනය බලපානවා.   
 
උජිත වර්ණකුලසූරිය මහතා   


වර්තමානය වෙද්දි මේ රටේ මාර්ග තදබදය විශාල ප්‍රශ්නයක් වෙලා. මම දකින විදියට මෙයට ප්‍රධාන හේතුව වෙන්නෙ පොදු ප්‍රවාහන සේවය ඉබාගාතෙ යාම සහ අකාර්යක්ෂම මට්ටමක පැවැතීම. ඒ වගේම අවුරුදු 70කට අධික කාලයක් තිස්සේ විවිධ අමාත්‍යවරුන් යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය පවත්වාගෙන ආවා. නමුත් ඒ කාලය තුළම අපේ රටේ ලොකු වෙනසක් වෙලා නැහැ.   


වෙනත් රටවල් එක්ක බැලුවොත් අපේ රටේ ප්‍රවාහන පද්ධතිය හා පොදු ප්‍රවාහන පද්ධතිය ගොඩක් පහළ මට්ටමක තියෙන්නෙ. ඒ වගේම මෙයට තවත් ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා අපේ රටට විශාල වාහන ප්‍රමාණයක් ආනයනය කිරීම හා රියැදුරන්ගේ විනය පිරිහීම. ඒ වගේම ජනතාවගෙත් විනයක් නොමැතිකම බලපානවා. මාර්ග පද්ධතියක් අපිට තිබුණත් නීති රාමුවක් තිබුණත් ගොඩක් දුරට පදික වේදිකාවෙ පවා වාහන යනවා.   


පොදු ප්‍රවාහන සේවය හරියට තියෙනව නම් අපිට අපේ පෞද්ගලික වාහනයක් පාරට දාන්න ඕන නෑ. අපි කරන්නෙම ඉන්දියාවෙන් බස් ටික ආනයනය කරලා වැඩක් නැති බස් ටික මහ පාරට දාන එක. ඒවා ඉක්මනට කැඩෙනවා. ඉතින් යන්න බෑ. නමුත් වෙන රටක් ගත්තොත් කොරියාව වගේ රටවල සුපිරිම බස් දාලා තියෙන්නෙ පොදු ප්‍රවාහන සේවයට. ඒ වගේම එහි විනයක් තියෙනවා.   


එක බස් එකක් ඉස්සර කරලා තව බස් එකක් යන්නෙ නෑ. ඔවුන් හදාගත් නීති පද්ධතියක් තියෙනවා. නමුත් ලංකාවෙ එහෙම නෑ. පෞද්ගලික බස් ලංගම බස් රථ එක්ක තරගයක්. පෞද්ගලික බස් තරගෙට යන්නෙ. ඒ වගෙන් අන්තිමට මහජනතාව තමයි දුක් විඳින්නෙ.   


චරිත් සමරකෝන් මහතා:   


පොදු ප්‍රවාහන සේවය මීට වඩා හොඳට හැදෙන්න ඕනැ කියන දේ තමයි මට කියන්න තියෙන්නෙ. ට්‍රැෆික් අඩුවෙන්නෙ එතකොට තමයි. බලන්න. මෙට්‍රො බස් සේවාව ආවා. ඊළඟට ඉදිරියට විදුලි දුම්රිය සේවාවක් ඇති කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවනෙ. එවැනි සංකල්ප හොයාගන්න ඕනැ. කොළඹට පෞද්ගලික වාහනවල එන පිරිසගෙ ප්‍රමාණය අඩු කරලා පොදු ප්‍රවාහන සේවයට කට්ටිය උනන්දු කරවන්න ක්‍රම හොයා ගත්තොත් හොඳයි.   


ඇත්තටම මටත් උදේ හවස මේ තදබදයට මුහුණ දෙන්න සිද්ධවෙලා තියෙනවා. මම ඉන්නෙ නාරාහේන්පිට. සේවය කරන ස්ථානයට කොටුවට එන්න ඕනෑ. ඒ එද්දි සමහර වෙලාවට පැයක් එක හමාරක් විතර ගතවෙනවා.   


මම ගොඩක්ම උදේ සවස පාවිච්චි කරන්නෙ ත්‍රිවිලර් එක, Uber, Pick me වගේ පාවිච්චි කරන්නෙ. ඒකට හේතුව තමයි ගමන් පහසුව. බස්වල ගියොත් පැය ගණනක්ම ගතවෙනවා. ඒ වගේම ඒ වගේ කිසි ආරක්ෂාවකුත් නැහැ.   


බස් අතර තියෙන රේස් එකයි. බස් රථය ඇතුළත හිරවුණ සෙනඟයි එක්ක බස්වල යන්න හිතෙන්​ෙන් නෑ. ඒ වගේම සමහර බස්වල ඝෝෂාකාරී සංගීතය පීඩනය නිසාම මිනිස්සුන්ට තව කෙනෙකුගේ ඇඟක වැදුණත් තරහා යනව. උදේට හවසට පාරේ එකම යුද්ධයක් වගේ. ඒ දේවල් දැකලම තමයි ත්‍රීවිලර්වලට අපි හුරුවෙලා තියෙන්නෙ.   


සුදීපා ප්‍රසාදිනි මෙනවිය:   


ශ්‍රී ලංකාවෙ මාර්ග තදබදය අද කතා කරන්නම අවශ්‍ය ගැටලුවක් බවට පත්වෙලා. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වගේම ලංකාවෙ ප්‍රධාන නගරවල ගමනා ගමනය කරන මගීන්ට මේ තත්ත්වයට මුහුණ දීමට සිදුවෙනවා. උදේ කාලය සහ සවස් කාලය තුළ කාර්යාල ආරම්භ හා අවසන් වන කාලය වගේම ගතවන පැය 24 තුළ ඕනෑම වෙලාවක විවිධ හේතු මත පදනම්ව මේ මාර්ග තදබදය නිර්මාණය වෙනවා.   


රටක් වශයෙන් සලකා බලන විට අපේ ආර්ථිකයට, නිෂ්පාදනයට මෙය ලොකු බලපෑමක්. මේ මාර්ග තදබදය අස්සේ හිරවෙන රටේ ශ්‍රමය, කාලය මිනිසුන්ගෙ නාස්ති වෙනවා. ඒ වගේම මාර්ග තදබදයෙදි නාස්තිවෙන ඉන්ධන ප්‍රමාණයත් පරිසර දූෂණයත් ඉතා ​ඉහළයි.   


රටේ පවතින මේ මාර්ග තදබදය නිසා වාර්ෂිකව සිදුවන අලාභය රුපියල් බිලියන 60 කට ආසන්නයි. එය රටේ දළ දේශීය නිෂ්පාදනයට විශාල බලපෑමක්.   


මෙවැනි තත්ත්වයක් තුළ අපේ රටේ ආයෝජකයන් මන්දගාමි වෙලා තියෙනවා. රටක් වශයෙන් අපි පරාද විතරක් නෙවෙයි. පෞද්ගලික ජීවිතයත් මේ හා නොදැනීම කඩා වැටිලා තියෙනවා.   


කලට වෙලාවට පාසලට, කාර්යාලයට යාමට නොහැකි වීම නිසා ඇතැම් විට මානසිකව පීඩා විඳීමට සිදු වෙනවා. ඒ වගේම රාජ්‍ය හා පෞද්ගලික සේවකයකුගේ සුළු ප්‍රමාදයක් වුවත් ඔවුන්ගේ සේවය බලාපොරොත්තුවෙන් පැමිණෙන මහජනතාවත් දැඩි පීඩාවකට පත්වෙනවා. ඔවුන්ගේ කාලය නිකරුණේ නාස්ති වෙනවා.   
වෙහෙසකර දිනයක නිමාව විවේකිව සතුටින් ගත කරන්න හැමෝම කැමැතියි. එහෙත් ට්‍රෑෆික් එකේ හිරවෙලා මහ රෑ වෙලා ගෙදරට යන මිනිසුන්ට පවුලක් ගැන විවේකයක් ගැන විනෝදාංශයක් ගැන හිතන්න වෙලාවක් ඉතිරි වෙන්නෙ නෑ.   


පාරවල් පුළුල් විය යුතුයි. අධිවේගී මාර්ග, ගුවන් පාලම්, මංතීරු නීති වගේ රජය ගත් උත්සාහයන් ද අගය කළ යුතුයි. ඒත් ඒ විසඳුම් ප්‍රමාණවත් නොවන බව සෑම විටම අපි දකිනවා. මේ ඇතිවන මාර්ග තදබදයත් එක්ක. ඒ වගේම රටේ උද්ඝෝෂණ විරෝධතා, පා ගමන්, විවිධ ජාතීන්ගේ සමුළු ආදියත් මාර්ග අවහිරයට තදින්ම බලපෑ කරුණු අතර වෙනවා.   
ස්වභාවික හේතුත් මේ දේවල්වලට බලපෑමක් වෙනවා බොහෝ දුරට. පාරවල් දෙපස වාහන ගාල් කිරීම් නිසාද ලොකු අවහිරයක් සිදුවෙනවා.   


මේ සඳහා විසඳුම් සෙවීමේදී රජය පමණක් නොව මහජනයාගේ ක්‍රියා කලාපයත් යහපත් විය යුතුයි. මිනිසුන් පොදු ප්‍රවාහන සේවය තුළින් ඈත්වෙලා ඉන්නෙ එහි පහසුකම් ප්‍රමාණවත් නොවන නිසා. මෝටර් රථ 25, 30 ක ගමන් කරන මිනිසුන්ට සැප පහසු එක් බසයක ගමන් කිරීමට හැකි ලෙස නිර්මාණය කළහොත් වාහන ගණනාවක්ම මාර්ගයෙන් ඉවත් වෙනවා.   


පොදු ප්‍රවාහන සේවාවල ගුණාත්මක භාවය වැඩි දියුණු කළ යුතුයි. ඒ වගේම පොලිස් රථවාහන සැලසුම් තව තවත් විධිමත් විය යුතුයි. ඔවුන්ගේ සේවාව ඵලදායි කර ගැනීමට නීති සම්පාදනය විය යුතුයි.   


ට්‍රැෆික් එකේ හිරවෙලා අනාගතේ කාලය කා දැමීමකින් තොරව අවශ්‍ය තැනට කලට වෙලාවට ගමන් කිරීමට නම් සතුටුදායි ප්‍රවාහන සේවාවක් නිර්මාණය විය යුතුමයි.   

 

 

 

සටහන - ධනු විජේරත්න