ජීවිතය යහ මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් ඇවැසියි. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   


අම්බලන්තොට ඩී.ජී. ජයසුන්දර මහතා ලියා එවූ කතාවක් මෙසේය.  


දකුණු ලක මුහුදට සමීප ගමකි. ඒ ගම හත්දෙනෙකු ගෙන් සමන්විත පවුලේ හයැවැන්නා ඔහුය. ඔහු නමින් සිරිපාලය, කුඩා කළ සිටම දඟකාරය. දෙමාපියන්ගේ බසට නොනැමෙන හිතුවක්කාරය. මේ දඟකාරකමත් හිතුවක්කාරකමත් නිවසේ ඇති අඟහිඟකම් නිසා දෙමාපියන් සිරිපාල මහණ කළේය.  


පැවිදි ජීවිතයේද ඔහුට වැඩි කළක් සිටිය නොහැකි විය. තරුණ වියට එළ​ෙඹත්ම සිවුරු හැර ගෙදර ආවේය.  


ඔහුගේ ජීවන වෘත්තිය වූයේ දඩයම් කිරීම හා කුලීවැඩය. දඩයමේ ගියේ හොර තුවක්කුවකින්ය. ටික කලකින් ගමේම තරුණියක් සමඟ ආවාහ විය. කල්යත්ම දරුවන් දෙදෙනෙකු පවුලට එක්විය.  


සිරිපාල අරක්කු හා කසිප්පු මෙන්ම සුරුට්ටු හා සිගරට්ද යහමින් දිනපතාම පානය කළේය. කුලී වැඩවලින් හා තමන්ට හිමි කුඩා කුඹුරු කෑල්ලෙන් උපයන මුදලින් ජීවත් වීමට නොහැකි වූයේ බේබදුකමට පුරුදු වී දිනපතාම අරක්කු හෝ කසිප්පු බොන බැවින්ය.   


මේ නිසා ගෙදර අගහිඟකම් වැඩි විය. ඒ සමඟ බිරිඳ හා අඬදබර ද වැඩිවිය. බිරිඳට පහර දෙන අවස්ථාද බොහෝය.  


මේ දුක්කරදර සැමදා ඉවසිය නොහැකි වූ බැවින් බිරිය සිය දිවි හානි කරගත්තාය.  


සිරිපාලගේ බේබදු කමත් පවුකාර කමත් එන්න එන්නම වැඩි විය. ඉන් නොනැවැතුණු සිරිපාල දරුවන් සමඟ තවත් වැන්දඹු කාන්තාවක් ගෙදරට ​රැගෙන ආවේය.  


දඩයක්කරුවකු වූ සිරිපාල ගමේ ඕනම මඟුල් ගෙදරකට හෝ වෙනත් උත්සවයකට අවශ්‍ය තරම් දඩමස් සපයයි. කැලයට ගොස් හාවන්, මී මින්නන් මුවන් ගෝනුන් හා ගවයින් මරා මස් ගෙනවිත් දී මුදල් ලබා ගනී. අද මෙන් සතුන් දඩයම් කිරීමට එදා නීති තද නැත. එබැවින් සිත් සේ දඩයම් කරයි.   


උත්සවයක කුකුල් මස් තිබුණොත් ඒ ගම්කුකුල් මස්ය. ගම පුරා ගොස් ඇතිකරන කුකුලන් එකතු කර මරා සුද්ද කර දෙන්නේද සිරිපාලය.  


මීට දශක දෙක තුනකට පෙර ගමේ බොහෝ ගෙවල්වල ගවයින් ඇති දැඩි කළ අතර ගවමස් කෑමේ අඩුවක්ද නොවීය. අද මෙන් ප්‍රතික්ෂේප නොකළේය.  


මඟුල් ගෙදරක් වූ විට ගෙදරම ඇතිකරන ගොන් නාම්බකු හෝ මුදලට ගත් ගවයකු මඟුල් ගෙදර අය මස්කර දීමට දෙන්නේ සිරිපාලටය.  


සිරිපාල ගවයින් ඝාතනය කරන ක්‍රම දෙකක් විය. එක් ක්‍රමයක් වූයේ ගවයා බිම පෙරළා කකුල් හතර ගැට ගසයි. අනතුරුව ලොකු කලුගලක් ගෙන ගවයාගේ හිස මතට වේගයෙන් අතාරියි. මෙලෙස හත් අට වරක් හිස මතට ගල අත හැරීමෙන් ගවයා මරළතෝනි හඬතලමින් මිය යයි.  


අනෙක් ක්‍රමය වනුයේ ගවයා බෙල්ල හිර වෙන සේ ගසක ගැට ගසා ලොකු (පොල්ලක්) මුගුරක් ගෙන ගවයාගේ හිසට පහර දීමයි. එහිදීද ගවයා මර ළතෝනි දෙමින් මිය යයි.  


අනතුරුව ගවයා මස්කරන සිරිපාල ගවයාගේ හෘද වස්තුව පමණක් තමා තබාගෙන ඉතිරි මස් සියල්ල මඟුල් ගෙදර අයට ලබා දේ. කාට හරක් මැරුවත් ඔහු ඒ දේ කරයි. සිරිපාලගේ මේ පුරුද්දට කවුරුවත් විරුද්ධ වන්නේද නැත. සිරිපාලට දිනපතාම මස් මාංශ කෑමට අවශ්‍යය.   


මේ පාපකර්ම කරමින් මැදිවියටත් නොපැමිණි සිරිපාලට හදිසියේම බඩේ අමාරුවක් ඇති විය. ඔහු රෝහල වෙත ගෙන ගිය විට වෛද්‍යවරුන් පැවසුවේ වකුගඩු හා අක්මාව හොඳටම නරක් වී ඇති බවය. දින කීපයක් රෝහලේ වේදනාවෙන් කෑ ගසමින් සිටින විට වෛද්‍යවරුන් පැවසූයේ රෝගීයා අවශ්‍ය නම් ගෙදර ගෙන ගියත් කමක් නැති බවය.  


දැන් සිරිපාල නිවසේ රෝගාතුරව වේදනාවෙන් විටෙක කෑ ගසමින් විටෙක කෙදිරිගමින් සිටී. බිරිඳගේ අැප උපස්ථානයක් හැර කලින් සිටි පාපතර මිත්‍රයන් හා ඥ‌ාතින්ද ඔහු බැලීමටවත් නොපැමිණියහ. උදව් උපකාර නොකරති.  


සිරිපාලගේ නිවස අවට නිවැසියන් පැවසූයේ සිරිපාල කෑ ගසන්නේ සතුන් ඝාතනය කරන විට නගන හඬට සමානව බවය.  


මසකටත් අධික කාලයක් අපාදුක් විදිමින් වේදනාවෙන් කෑ ගසමින් සිටි සිරිපාල දිනක් හදිසියේ අකාලයේම මිය ගියේය.  



වාඩිගල, රන්න, බන්දුල සේනානායක මහතා ලියා එවූ කතාවක් මෙසේය.


පන්සලේ නයා මැරූ පව තෙවැනි දිනම පඩිසන් දෙයි


ඔහු නමින් අමරපාල විය. ඔහුගේ අක්කාගේ විවාහ මඟුල පැවැති දිනයයි. මේ කොළඹ පළාතට කැන්දාගෙන යාම සිදුවිය. එදින ඈත දුර සිට ඥාතින් පැමිණ මංගල කටයුතු කෙරෙන අවස්ථාවයි.  


‘‘මෙන්න නයෙක්! මෙන්න නයෙක්!! කීප දෙනකුම කෑ ගසන්නට වූහ නාගයාද කලබලයෙන් තොරව හීන් සිරුවේ නිවස අසලින් ගමන් කරයි. නයා එළවා දැමීමට බොහෝ දෙනෙක් උත්සාහ ගත්හ. ඒත් නයා එළවා දැමීම එතරම් පහසු නොවීය කීප දෙනක් දඬු මුගුරු ගෙන නයාට පහර දෙන්න සූදානම් විය.  


නාගයා දුටු ගමේ කීප දෙනෙකුම ‘‘ඔය නයාට ගහන්න එපා ඔය පන්සලේ බෝධියෙ ඉන්න නයා වගෙයි’’ ගමේ පන්සලේ බෝධීන් වහන්සේට අරක් ගත් නයකු සිටින බවත් ඌ රාත්‍රී කාලයට රිදී කාසි දෙකක් එකට ගසන්නා වැනි හඬකින් හඬන බවත් කවුරුත් දන්නා කරුණකි. මේ නයා මාසයකට වරක් වගේ බෝධීන් වහන්සේගෙන් බැස ගමේ ඇවිදින බවත් මේ ගැන තතු දත් අය පැවසූහ.  


එහෙත් නාහෙට නොඅසන කොල්ලන් කීප දෙනකු තම වීරකම් පෙන්වන්නට මෙන් නයා මැරීමට උත්සාහ කළහ. මගුල් ගෙදර අමුත්තෝ කඩිගුලක් ඇවිස්සුණා මෙන් ඒ මේ අත දිව ගියහ.  


‘‘මොන කාලකණ්නියෙක්ද මේ ගෙවල් අස්සෙ එන්නෙ. පන්සලේ නෙවෙයි කොහේ වුණත් නයි හුරතල් කරන්න පුළුවන්ද’’ කියමින් එතැනට දිව ආ අමරපාල තම අත වූ පොල්ලෙන් නයාට පහර දුණි. ‘‘එපා එපා නයාට ගහන්න එපා යන්න දීපන්’’ කීප දෙනෙක්ම කෑ ගසන්නට වූහ. ඒවන විට අමරපාලගේ අත තිබූ පොල්ල නයාගේ හිස මතට පතිත වී හමාරය. නිසොල්මන් වූ නයා මරණයට පත් විය.  


‘‘දැන් ඉතින් කමක් නැතෙයි මොකටද ගෙවල් අස්සෙ එන්නෙ ඔන්න ඔය වළක් කපල වළලන එකයි ඇත්තෙ’’ තවත් සමහරු කීවේ ‘‘ඔය නම් පන්සලේ බෝධියෙ නයාමයි. ඔය සතා මැරූ එකනම් හොඳ වැඩක් නෙවී.’’  
නයා මරණයට පත් කළ බව පසුද‌ාම පන්සලට ආරංචි විය. ‘‘නායක හාමුදුරුවනේ බෝධියෙ නයා අහවල්ලුන්ගෙ මඟුල් ගෙදරදී මරාදාල. අර සියදෝරිස්ගේ පුතා අමරපාල තමයි වැඩේ කරල තියෙන්නෙ ආවතේවකරු කීවේය. නායක හිමි කෝපයට පත් වූවත් ඒ බව නොඅඟවා කළ යුතු දෙය ගැන සිතුවේය.  


එදා රාත්‍රී බෝධින් වහන්සේ ළඟට වැඩම කළ නායක හිමි නයා හඬනවා දැයි සවන් යොමු කළේය. එදා නයා හැඬුවේ නැත. මඟුල් ගෙදරදී මැරුවේ බෝධියෙ නයා බව නායක හිමියන් නිශ්චිතවම දැන ගත්හ.  
මේ නයා මරණයෙන් දෙවැනි දිනයි. එදින රෑ නායක හිමි වස් කවියක් ලිව්වේය. ඊට පසුද‌ා සැන්දෑවේ බෝධිය ළඟදීම වස්කවිය කියන්නට නායක හිමි තීරණය කළේය. මේ නායක හිමියන් වස් කවි ලියා ඇත්තේ කීපයකි. ඒවා ඔක්කොම කිරි ගහට මෝලෙන් ඇන්නා මෙන් පල විපාක ලැබුණි. දැන් නයා මරණයට පත්ව තෙවැනි දිනයයි. වේලාව සවස 6.00 පසු වී මිනිත්තු ගණනකි. නායක හිමි වස්කවිය ගායනා කළේය.  


මේ වෙන විට ‘‘අමරපාල අක්කාගේ දෙවැනි ගමන සඳහා කොළඹට ගොස් එමින් සිටී. පෞද්ගලික වාහන හිඟවූ මේ අවදියේ දුර බැහැර ප්‍රදේශයක් නිසා ඔවුන් දෙවැනි ගමන ගියේ රුහුණු කුමාරි දුම්රියෙනි. මේ කාලයේ රුහුණු කුමාරිය මාතරට ළඟා වෙන්නේ රාත්‍රී හතයි කාලට පමණය. අමරපාල වැනි අය තරුණ හිතුවක්කාරයන් වූ නිසා දුම්රියේ පා පුවරුව මත වාඩි වී එමින් සිටියේය එදා මඟුල් දින නයාට පහර දී මරණයට පත් කළේද මේ හිතුවක්කාර කම නිසයි. කොළඹින් 3.55ට පිටත් වූ දුම්රිය හබරාදුවට ළඟා වූයේ සැන්දෑවේ 6.30 පමණය. සාමාන්‍ය අඳුරක් පැවතිණි. අමරපාල බුලත් විටක් හපා දුම්රිය පාපුවරුවේ සිට කෙළ පහරක් ගැසුවේය.  


මේ වන විට පන්සලේ නායක හිමි බෝධීන් වහන්සේ අභියස සිට වස්කවිය තෙවැනි වර ද ගායනා කළේය. කුඩා බෝ අත්තක් බිඳ වැටුණි. වස් කවියේ ප්‍රතිඵල සිකුරු බව නාහිමියන්ට දැනුණි. හිමියන් පන්සලට වැඩියහ.  
දුම්රිය පාපුවරුවේ පහත් වී බුලත් කෙළ පහර ගසනවා සමගම ඔහුට කුමක් වී දැයි ඔහුටවත් නොදැනිණි. දුම්රිය තුළ සිටි ඥාතින්ට මෙය අභිරහසක් විය. බුලත් කෙළ පහර ගසන්නට ඔළුව පහත් කරනවාත් සමගම ඔහුගේ හිස හබරාදුව පාලමේ හැපී සුනු විසිණු විය. ඥාතීන් ඔහු ගැන සොයන්නට වූයේ වැලිගම දුම්රිය ස්ථානයේදීය. ඔවුහු දුම්රියෙන් බැස රේල් පාර දිගේ හබරාදුව දෙසට යන්නට වූහ. කුමන අයුරකින්වත් හඳුනාගත නොහැකි ලෙස කුඩුපට්ටම් වූ හිස සහිත අමරපාලගේ මළ සිරුර ගඟට නොවැටී පාලමේ රැඳී තිබුණි.  


නායක හිමියන්ගේ වස් කවිය කෙසේ වෙතත් නිරපරාදේ අහිංසක නාගයකු මරණයට පත් කළ අමරපාලට දිට්ඨධම්මවේදනීය වශයෙන් පාපය මෙලොවදීම පඩිසන් දුන්නේය.  

 

 


මෙබඳු කරුණු ඔබත් දන්නේ නම් ඒවා ‘‘ඉරිදා ලංකාදීප’’යට යොමු කරන්න.

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්