වසර 1986 සිට 1990 දක්වා පැවති 60,000ක් ඝාතනය වූ ජවිපෙ 2වැනි කැරලි සමයට පාදක වෙන මෙම ලිපි මාළාව ලියන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ධර්මන් වික්‍රමරත්න මෙයට ප්‍රථම ජවිපෙ 2වැනි කැරැල්ල - ප්‍රථම කාණ්ඩය මැයින් පිටු 880ක ග්‍රන්ථයක්ද එළිදක්වා තිබිණි. ඉදිරියේදී නිකුත්වන ඔහුගේ දෙවැනි කාණ්ඩයට අදාළ මෙම ලිපි මාළාව මෙතෙක් කිසිදු පුවත්පතක හෝ ග්‍රන්ථයක පළවී නැති අතර අද සිට එය කොටස් වශයෙන් පාඨක ඔබවෙත ගෙන එනු ලබයි.   


ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) 1983 ජූලි පක්ෂ තහනමින් පසු සන්නද්ධ අංශයක් පිහිටුවීමේ යෝජනාව දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් වූයේ 1984 අගභාගයේදී පැවති රැස්වීමකදීය. ඒ වෙන විටත් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සාමාන්‍ය මට්ටමින් සිදුවෙමින් පැවතිණි. එය වේගවත් වූයේ 1985 මැද භාගයේ සිටය. සන්නද්ධ අංශයක් වෙනම පිහිටුවීමේ තීරණයට යොමු වූයේ 1985 දෙසැම්බර් පැවති දේශපාලන මණ්ඩල රැස්වීමෙන් පසුවය.   
ජවිපෙ 1983 තහනමින් පසු බිඳවැටුණු පක්ෂ යාන්ත්‍රණය යළි ගොඩනඟා ගැනීමේදී අභියෝගතා රැසක් මතුවිය. ප්‍රසිද්ධ දේශපාලනයේ නිරත නොවූ දේශපාලන මණ්ඩල සභිකයින් වූ පියදාස රණසිංහ සහ සුමිත් අතුකෝරාල මෙහිදී සුවිශේෂී දායකත්වයක් දැක්වූහ. පියවරින් පියවර සංවිධාන ජාලයක් තහනමට ගැලපෙන සේ සකස් කිරීමට 1985 වෙන විට හැකිවිය. තහනම ක්‍රියාත්මකව පවතිද්දීම 1985 අවසානයේදී සක්‍රීය ලෙස දේශපාලන කටයුතු ක්‍රියාත්මක කිරීමට ජවිපෙ සමත් විය. තහනම් තත්ත්වයට ගැලපෙන සේ ජවිපෙ ව්‍යූහය සකස් වී තිබිණි. කලින් පැවති අධ්‍යාපන පන්ති 5 පවා පන්ති 3ක් දක්වා කෙටි විය. අලුතින් ජවිපෙට සම්බන්ධවෙන අය වැඩිවෙමින් පැවති අතර පක්ෂය හැරගිය සැලකිය යුතු පිරිසක් යළි එක්වෙමින් සිටියහ. මුල් කාලයේදී සන්නද්ධ අංශය පිහිටුවීමේ අරමුණ වූයේ දෙමළ බෙදුම්වාදයට සහාය දුන් දකුණේ වාම කණ්ඩායම්වල සන්නද්ධ පුහුණුවීම්වලට එරෙහිව සහ ජවිපෙ මර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙලට මුහුණදීම සඳහාය.   


ජවිපෙ සන්නද්ධ අංශය වශයෙන් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය (ඩී.ජේ.වී) වෙනම බෞතිස්ම වෙන්නේ 1986 මුල් භාගයේදීය. එහි ප්‍රථම විධිමත් සාකච්ඡාව 1986 මාර්තු 04 සහ 05 රත්නපුර ඇලපාතදී දෙදිනක් මුළුල්ලේ පැවතිණි. ඒ රත්නපුර කුඩුගල්වත්තේ වෙළෙඳසැලක් හිමි පොඩි මහත්තයා ගේ නිවසේදීය. රෝහණ විජේවීර හැර දේශපාලන මණ්ඩලයේ සියළු දෙනාම වාගේ එයට එක්ව සිටියහ. විජේවීර අසනීපව සිටි බැවින් එහි මුලසුන දැරුවේ පියදාස රණසිංහය. දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ නායකයා වශයෙන් සමන් පියසිරි ප්‍රනාන්දු පත්වූයේ එහිදීය. රත්නපුර ඇලපාත පැවති එම සාකච්ඡාවේදී ආහාර පිසීම භාරව සිටියේ සුනිල් පෙරේරා හෙවත් බණ්ඩාරගම රයිගමය. වටපිට සුපරික්ෂා කීරීමට යොදා තිබුණේ සුසන්ත අමරසිංහය. ගුවන් විදුලියේ සුගන්ධිකා නාට්‍යයේ හඬ කැවීමේ ශිල්පියෙකු වූ අවිස්සාවේල්ල මිටිපොල පදිංචි සුසන්ත එක්දරු පියෙකු වූ අතර බිරිඳ ගුරුවරියකි. කොළ කොටි විසින් 1989 මැද භාගයේදී රත්නපුර පලාවෙලදී ඔහුට වෙඩිතබා මරාදමා තිබිණි.   


ජවිපෙ 2වැනි කැරැල්ල 1986 සිට 1989 දක්වා ක්‍රියාත්මක වූයේ ලංකාවේ දිස්ත්‍රික්ක 25න් දිස්ත්‍රික්ක 19කය. උතුරු පළාතේ යාපනය, කිලිනොච්චි, මන්නාරම, මුලතිව් සහ වව්නියාව යන දිස්ත්‍රික්ක 5ද නැගෙනහිර පළාතේ මඩකළපු දිස්ත්‍රික්කයේද ජවිපෙ ක්‍රියාත්මක නොවීය. ජවිපෙ ක්‍රියාත්මක සෙසු දිස්ත්‍රික්ක 19කට වෙන් වෙන්ව දිස්ත්‍රික්ක දේශපාලන ලේකම්වරයෙකු සහ දිස්ත්‍රික්ක සන්නද්ධ ලේකම්වරයෙකුද විය. දිස්ත්‍රික් දේශපාලන ලේකම්වරයා පවත්වන දිස්ත්‍රික් කමිටුවට ජවිපෙ පෙරමුණු සංවිධාන නියෝජිතයින් සමඟ දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්වරයාද සහභාගි විය. දිස්ත්‍රික්ක සන්නද්ධ ලේකම්වරයා යටතේ සෑම දිස්ත්‍රික්කයකම කලාප, කොට්ඨාස සහ ප්‍රාදේශීය අංශය සඳහා සන්නද්ධ ලේකම්වරු විය. ඔවුන් යටතේ අදාළ අංශවල කමිටු රැස්වීම් පැවැත්විණි. දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්වරයා කලාප, කොට්ඨාස සහ ප්‍රාදේශීය අංශ සන්නද්ධ ලේකම්වරුන් සහ ක්‍රියාකාරිකයින් හමුවූයේ වෙන් වෙන්වය. සෑම පොලිස් ස්ථානයක් අයත් වසමකට අවම වශයෙන් අවි පුහුණුව ලැබූ 10 දෙනෙකු රැස්කර ගත යුතුව තිබිණි. ජවිපෙ ව්‍යූහය ක්ෂේත්‍ර අංශය, අධ්‍යාපන, ප්‍රචාරක, මුදල් සහ සන්නද්ධ යනුවෙන් කොටස් 4කින් සමන්විත වූවද 1987 මාර්තු සිට දේශපාලන මණ්ඩලය ගත් තීරණයක් අනුව අධ්‍යාපන පන්ති, දේශන සහ කඳවුරු සියල්ලම මුළුමනින්ම වාගේ නතර කර සන්නද්ධ අංශය සඳහා සම්පූර්ණ ශක්තිය යෙදවූ බැවින් අධ්‍යාපන අංශය විධිමත් ලෙස ක්‍රියාත්මක නොවීය.   


ජවිපෙ සන්නද්ධ ලේකම්වරුන්ගෙන් 17 දෙනෙකු යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශවලින් ඉවත්ව සිටියදී හෝ පළාවිත් කැරැල්ලට සම්බන්ධ වූවන්ය. එයට අමතරව සන්නද්ධ දිස්ත්‍රික් ලේකම්වරුන් ගෙන් 8 දෙනෙකු සරසවි සිසුන්ය. එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්ව සිටි අලව්ව තුඹුල්ල පන්සලේ උඩුගම්පොල චන්ද්‍රානන්ද හිමි එම තනතුර දැරුවේ උපැවිදි නොවී සිටියදීමය. උන්වහන්සේ 1989 මැයි 18 ඝාතනය විය. මෙහි සඳහන් ත්‍රිකුණාමල දිස්ත්‍රික් දේශපාලන ලේකම් නන්දන ගුණතිලක ඇතුළු දේශපාලන දිස්ත්‍රික් ලේකම්වරුන් 07 පත්කරන ලද්දේ විජේවීර ගේ ඝාතනයෙන් පසු ජවිපෙ නායකත්වයට පත් සමන් පියසිරි ප්‍රනාන්දු විසිනි.   
ජවිපෙ දේශපාලන සහ සන්නද්ධ දිස්ත්‍රික්ක නායකත්වය 1986 සිට 1989 දෙසැම්බර් දක්වා මෙසේය. පහත නම් සඳහන් අය අතරින් දිස්ත්‍රික්ක දේශපාලන ලේකම්වරුන් 14ක් සහ දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්වරුන් 8ක් හැර සෙසු සියල්ලෝම ඝාතනයට පත්වූහ.   

 

ජවිපෙ මගින් ඇඳිරි නීතිය පැනවූ අවස්ථාවකදී කොළඹ වසා දැමූ කඩ සාප්පු ආරක්ෂක අංශ විසින් 1989 දී බලහත්කාරයෙන් විවෘත කරන අවස්ථාවේදී අවට ජනයා එය බලා සිටින අයුරු.   

 


බදුල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන ලේකම්වරුන් වූයේ ඔක්කම්පිටියේ ගුණසේකර, නන්දතිලක අමදෝරු ගලප්පත්ති(ආරි), පියසේන රාමනායක, මොරටුවේ හැරිස්, කේ. ඩබ්. එස් අමරසිරි (අමරේ/ නීල්/ තිලක්/ගුණසේකර). බදුල්ල දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්වරුන් වූයේ ඊශ්වරගේ ආරියසේන, උපාලි කුමාරවංශ (පොඩි උපාලි), ජයන්ත සිරිපාල, නිකවැරටියේ දිනේෂ් ඇතුළු කිහිප දෙනෙකි. මොණරාගල දිස්ත්‍රික්කයේ දේශපාලන ලේකම්වරුන් වූයේ ජූඩ් ඇන්තනි (සරත්), ගුණපාල සතරසිංහ ආරච්චිගේ (ආටිගල), අරුණ විජේසූරිය. මොණරාගල දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්වරුන් වූයේ ඊශ්වරගේ ආරියසේන, ජයන්ත සිරිපාල, කපිල දෙනගම, ජී රත්වත්ත ඇතුළු කිහිප දෙනෙකි. අම්පාර දිස්ත්‍රික්කයේ දේශපාලන ලේකම්වරුන් වූයේ බෙලිගල්ලේ සිරිවර්ධන (බෙලි සිරා), නිහාල් ගලප්පත්ති (අසංක/ අයිවන්), ගුණරත්න දිසානායක (අමිල/ ස්ටැන්ලි/ රත්නකාර), අම්පාර දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්වරුන් වූයේ නිකවැරටියේ දිනේෂ් (ප්‍රියන්ත), ආනමඩුවේ උපාලි ධර්මතිලක, වන්නිතිලක මුදියන්සේලාගේ රත්නසිරි (උපාලි), සරත් කුමාරය.   

 

මේ ජවිපෙ දෙසතියක සටන් පුහුණු කඳවුරක් සීගිරිය අලකොලවැව රක්ෂිතයේදී 1988 පෙබරවාරි පැවැති අවස්ථාවකදී එයට සහභාගි වූ පිරිසක්ය. සමන් පියසිරි ප්‍රනාන්දු ද අවසන් දින විසිර යෑමේදී පැමිණි අතර සහභාගිවූ කැරැලිකරැවන් සංඛ්‍යාව 35කි. මෙයට භික්ෂුවක් සහ තරුණියක්ද එක්වී සිටියහ. ඒ පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍ර පීඨයේ දෙවැනි වසරේ සිසු මාවනැල්ලේ ප්‍රඥාතිස්ස හිමිය. උපාධිය සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ උන්වහන්සේ වර්තමානයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවිදි හිමිනමක් ලෙස වැඩ වසයි. තරුණිය වන්නේ කැලණි සරසවි ශාස්ත්‍ර පීඨයේ සිසුවියක්වූ වරකාපොල මානෙල් චන්ද්‍රලතාය. පන්නල ප්‍රහාරයටද එක්වූ ඇය 1989 සැප්තැම්බර් මාතලේ නාවුවලදී ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව ඝාතනයට ලක්විය. මෙම පුහුණු කඳවුරේ 12 දෙනකු පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍ර සහ විද්‍යා පීඨයන්හි සිසුන්ය. හමුදාවෙන් පළා ආ සෙබළුන් වූ කපිල (සීගිරියේ සන්නද්ධ කලාප නායකයෙක් වශයෙන් පසුව ඝාතනය විය) වැලිකන්දේ සුරංග (මැලිසිරිපුර සන්නද්ධ කලාප නායකයෙක් වශයෙන් සිටියදී ගොකරැල්ල පොලිසියට කළ ප්‍රහාරයේදී මිය ගියේය) ඇතුළු කිහිප දෙනෙක්ද විය. පසුව හබරණදී ඝාතනයට පත්වූ අරලගංවිල සුනිල් දසනායක මෙහි වේ.  

 


හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලන ලේකම්වරුන් වූයේ වැලිමඩ ලුණුවත්තේ ආරියරත්න (සුගත්/ වික්‍රම/ආරි/ආරියසේන/ ජයන්ත), කළුආරච්චි ටී.එස්. දේවානන්ද (කිරි මහත්තයා), ගාමිණී ගුණසේකර (රිචඩ්), පරණමාන, සුබසිංහගේ ප්‍රඥාදාසය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සන්නද්ධ ලේකම්වරුන් වූයේ ගුණසේන වර්ණපටබැඳි (බෙටා), මල්පුදන ඇල්ලේ අජිත් (සේනාරත්න), දෙවුන්දර ගාමිණී (හේමන්ත) ප්‍රේමචන්ද්‍ර කොඩිතුවක්කු (බර්ටි/තුෂාර/ විජේසිංහ). මාතර දිස්ත්‍රික්කයේ දේශපාලන ලේකම්වරුන් වූයේ ප්‍රේමචන්ද්‍ර මුණසිංහ (ජයතිලක/ අජන්ත/ වික්‍රම), තිහගොඩ එස්.කේ. ජයතිලක (විජිත), ගාමිණී ගුණසේකර (අතුරලිය/ රිචඩ්), හම්බන්තොට පරණමාන. මාතර දිස්ත්‍රික්කයේ සන්නද්ධ ලේකම්වරුන් වූයේ හක්මන ගල්බොඩ සේකර (බැටී/ප්‍රියන්ත), දෙනගම වික්ටර්, කළුආරච්චි ටී.එස්. දේවානන්ද (වික්‍රමසිංහ), දික්වැල්ලේ පහත්ගාව ගාමිණී (හේමන්ත) ඇතුළු කිහිපදෙනෙකි. ගාල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන ලේකම්වරුන් වූයේ ආරියතිලක උඩගමසූරිය (නෝමන් මානවඩු), වලස්මුල්ලේ ධර්මවර්ධන මුණසිංහ (අජන්ත), වැලිමඩ ආරියරත්න (සුගත්/ වික්‍රම/ ආරි/ ආරියසේන/ ජයන්ත), කැකණදුරේ එස්.කේ. ජයතිලක (සිරිවර්ධන), ගාමිණී ගුණසේකර (රිචඩ්/අතුරලිය), ගොඩකවෙල චන්ද්‍ර රාජ් නිශ්ශංක (පියසිරි) ය. ගාල්ල දිස්ත්‍රික්කයේ සන්නද්ධ ලේකම්වරුන් වූයේ දෙබරවැව ගාමිණී (පල්ලේවෙල), තංගල්ලේ එස්. කරුණාරත්න (බැංකු කරු), කළුආරච්චි ටී.එස්. දේවානන්ද (මහේෂ්), ඥානසිරි පල්ලියගුරු (බෙනට්) ය.   


කළුතර දිස්ත්‍රික්කයේ දේශපාලන ලේකම්වරුන් වූයේ නන්දතිලක අමදෝරුගලප්පත්ති (ආරි), අරුණ විජේසූරිය, සිරිමල් අබේරත්න, ගාමිණී ගුණසේකර, පැලවත්තේ චන්ද්‍රසිරි, හබරාදූවේ නිහාල් ජයවීරය. කළුතර දිස්ත්‍රික්කයේ සන්නද්ධ ලේකම්වරුන් වූයේ එඬේරමුල්ලේ සෙනෙවි (බොනී), හක්මන ගල්බොඩ, සේකර (බැටී/ප්‍රියන්ත), හක්මන දෙනගම, අනිල් සුන්දර (පියරත්න), බෙරලපනාතර අමරසේන, හම්බන්තොට නාත්, දෙදියවල බණ්ඩාර කරුණාරත්න, සඳලංකාවේ පතිරණය. කොළඹ දිස්ත්‍රික්කයේ දේශපාලන ලේකම්වරුන් වූයේ එච්.බී. හේරත් (මයිකල්), ලලිත් විජේරත්න (ජයන්ත/ අරවින්ද), ආරියසේන (සුගත්), තිහගොඩ එස්.කේ. ජයතිලක (විජිත) ය. කොළඹ දිස්ත්‍රික්කයේ සන්නද්ධ ලේකම්වරුන් වූයේ වැලිසර දිලිප් චන්ද්‍ර ප්‍රනාන්දු (පතී/සොයිසා), තිස්සමහාරාමයේ සරත්, රංජිත් පරාක්‍රම, වව්නියාවේ තිලක්, කහතුඩුවේ ශිරෝමන් වසන්ත අමරතුංග (ප්‍රියංකර/ සුරංග/ රත්තා), දිවුලපිටියේ කීර්ති ගුණතිලක (රොෂාන්)ය ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලන ලේකම්වරුන් වූයේ මීරිගම වික්‍රමලාගේ ජයතිලක, වන්නිතිලක මුදියන්සේලාගේ රත්නසිරි (උපාලි), වලස්මුල්ලේ ධර්මවර්ධන මුණසිංහ (අජන්ත), රංජිදන් ගුණරත්නම් (මහේෂ්/ අර්ජුන), උපාලි ගමගේ (රවී/ මහානාම) ය. ගම්පහ දිස්ත්‍රික්කයේ සන්නද්ධ ලේකම්වරුන් වූයේ දෙබරවැව ගාමිණී, වැලිසර දිලිප් චන්ද්‍ර ප්‍රනාන්දු (පතී/සොයිසා), බණ්ඩාර කරුණාරත්න, වේයන්ගොඩ ෂෙල්ටන් ඇතුළු කිහිපදෙනෙකි. රත්නපුර දිස්ත්‍රික්කයේ දේශපාලන ලේකම්වරුන් වූයේ සිසිර රන්දෙණිය (කුමාර) ආනන්ද අබේවර්ධන (පනගම අබේ/ ජයන්ත), ආරියතිලක උඩගමසූරිය (නෝමන් මානවඩු), ගුණපාල සතරසිංහ ආරච්චිගේ (ආටිගල), ගාමිණී ජයලත් (කිරිඇල්ල), කමල් ගිරිබාව, අකුරැස්සේ හේවගේ, එච්.ඩී. ගුණසේකර, කේ.ටී. නිමල්සිරිය. රත්නපුර දිස්ත්‍රික්කයේ සන්නද්ධ ලේකම්වරුන් වූයේ මීගොඩ ජගත්, හිඟුරක්ගොඩ ලලිත්, අනුර ප්‍රියංකර, කොළඹගේ ආරච්චිගේ පර්සි (හේමන්ත/රවි/ඉලුක්කුඹුර), රත්ගම තෙලිකඩ පල්ලියගුරුගේ සුමිත් (වික්ටර්)ය. 

 

 


පුත්තලම දිස්ත්‍රික්කයේ දේශපාලන ලේකම්වරුන් වූයේ මහින්ද පතිරාජ, මෙරිල් (ජයසිංහ), රංජිත් වීරසිංහ ඇතුළු කිහිප දෙනෙකි. පුත්තලම දිස්ත්‍රික්කයේ සන්නද්ධ ලේකම්වරුන් වූයේ ගොකරැල්ලේ චන්න බන්දුල, මාතලේ ජයසිංහ බණ්ඩාර, නිකවැරටියේ තිලක්ය. මහනුවර දිස්ත්‍රික්කයේ දේශපාලන ලේකම්වරුන් වූයේ ගලෙන් බිදුණු වැව ධර්මේ, පුංචි බණ්ඩා දිසානායක (පී.බී), කුණ්ඩසාලේ නිමල්, කටියාවේ විල්සන්, කේ.ඩබ්.එස්. අමරසිරි (අමරේ/නීල්/තිලක්/ගුණසේකර), උපාලි ජයවීර, උපුල් කිත්සිරි (ලෙනෝරා), ගුණසිරි (චම්පික) ය. මහනුවර දිස්ත්‍රික්කයේ සන්නද්ධ ලේකම්වරුන් වූයේ නිකවැරටියේ දිනේෂ්, නිකවැරටියේ කිංස්ලි, හිඟුරක්ගොඩ ලලිත් (කුරේ), අඹේවෙල නිමල් කරුණාතිලක (රංජන්), මැදිරිගිරියේ ආර්.ආර්.එම්. වික්‍රමරත්න (රාජපක්ෂ/දෙහිගම), බණ්ඩාර ජයලත් (ප්‍රසාද්) වේ. මාතලේ දිස්ත්‍රික්කයේ දේශපාලන ලේකම්වරුන් වූයේ ඔක්කම්පිටියේ ගුණසේකර, ආරියතිලක උඩගමසූරිය (නෝමන් මානවඩු), ආනන්ද ඉඩමේගම, (ධම්මික), පල්ලෙපොල කට්ටියගේ ගෙදර ඇල්පේනිස් (අරුණ කන්දේවත්ත) ය. මාතලේ දිස්ත්‍රික්කයේ සන්නද්ධ ලේකම්වරුන් වූයේ ආනන්ද පරාක්‍රම බණ්ඩාර (කොටා), මාතලේ තුසිත මුනිදාස, උකුවෙල ගාමිණී කුමාරසිරි, කුරුණෑගල ගුණසේකරය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ දේශපාලන ලේකම්වරුන් වූයේ ත්‍රි‘මලේ දයාසිරි ජයසේකර, පෙරිය කරුප්පු තංගරාජා (පී. තංගරාජා/ඇන්තනි), චන්ද්‍රසේන විජේසිංහ (ගුණවර්ධන) ය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ සන්නද්ධ ලේකම්වරුන් වූයේ මොරටුවේ හැරිස් (ධනුෂ්ක) රාගල නෙවිල් (ජාලිය), තුඹුල්ල උඩුගම්පොල චන්ද්‍රානන්ද හිමි (තාරක) ඇතුළු කිහිප දෙනෙකි.   


කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලන ලේකම්වරුන් වූයේ කේ.ඩබ්.එස් අමරසිරි (අමරේ/ නීල්/ තිලක්/ගුණසේකර), දේවබණ්ඩාරගේ පියදාස (පියදාස රණසිංහ/දුණුවිල), රංජිදන් ගුණරත්නම් (මහේෂ්/ අර්ජුන), විල්සන්ය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සන්නද්ධ ලේකම්වරුන් වූයේ කුලියාපිටියේ වීරක්කොඩි, කැටන්දුර අතපත්තු මුදියන්සේලාගේ උපාලි කුමාරවංශ (පොඩි උපාලි), ඩබ්ලිව් ඒ. ජයලත් (බෝම්බ කුලේ), නිමල් ලක්ෂ්මන් (ලකී/ සෝමේ), නිකවැරටිය කමල්, දෙහිවත්තේ කුරේ ඇතුළු කිහිපදෙනෙකි. කෑගල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන ලේකම්වරුන් වූයේ නුවර සිරිල්, නන්දතිලක අමදෝරු ගලප්පත්ති (ආරි), පී.කේ.බී.ඒ. ඉන්ද්‍රරත්න (පාල/ජයවීර/බණ්ඩාර) කුරුණෑගල කමල් ගිරිබාව, එස්.එම් නිස්මි (කමල්) ය. කෑගල්ල දිස්ත්‍රික්කයේ සන්නද්ධ ලේකම්වරුන් වූයේ පේරාදෙණියේ ලලිත් හෙට්ටිආරච්චි, ආර්.එම්. පොඩි නිලමේ (පැවිදි නම ඇටම්පිටියේ මංගල හිමි), කඩවත්මඩුවේ මිලින්ද සේරම්, පරගම්මන අජිත් ප්‍රේමසිරි වේ.   


පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දේශපාලන ලේකම්වරුන් වූයේ ගලෙන් බිඳුනුවැව ධර්මේ, වැලිමඩ කුමාරන් ෆොන්සේකා (නිමල්), සිංහපුර කපිල යකන්දාව, උපාලි සමන් (ධනසිරි) ඇතුළු කිහිප දෙනෙකි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සන්නද්ධ ලේකම්වරුන් වූයේ කැලණිය සරසවියේ නොයෙල් විජේරත්න (සරත්), කෝසල විජේසිංහ, මැදිරිගිරියේ ආර්.ආර්.එම්. වික්‍රමරත්න (රාජපක්ෂ/දෙහිගම), හිඟුරක්ගොඩ පී.ඒ. තිලකරත්න (නිහාල්/ තිලක්), උණගලවෙහෙර ලලිත්, බලපිටියේ කුරේය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ දේශපාලන ලේකම්වරුන් වූයේ ගුණසිංහ දිසානායක, තංගල්ලේ මුතුකුමාරණ (රාජා), හොරොව්පතානේ රම්පත්වල දිනේෂ් පෙරේරා, තංගල්ලේ තිස්ස (දයාරත්න), හැටන් ජය ශ්‍රී ජයසේකරය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සන්නන්ධ ලේකම්වරුන් වූයේ හිඟුරක්ගොඩ ලලිත්, මැදිරිගිරියේ ඩබ්ලිව්.එම්.ඩබ්ලිව් හේරත් බණ්ඩාර (ජගත්/කීර්ති), වැලිමඩ කුමාරන් ෆොන්සේකා (නිමල්), නිකවැරටියේ තුඹුල්ලේ දිනේෂ් (ප්‍රියන්ත), කැබැතිගොල්ලෑවේ චන්ද්‍රසේකර (ලොකු සනත්), බෝධිනායක (පොඩි දිනේෂ්) ය. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දේශපාලන ලේකම්වරුන් වූයේ සේන මච්චාගම (කපිල), නන්දන ගුණතිලක (අජන්ත) ඇතුළු කිහිප දෙනෙකි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සන්නද්ධ ලේකම්වරුන් වූයේ ආනමඩුවේ ධර්මේ, ප්‍රේමකුමාර් ගුණරත්නම් (ගැමුණු), සේරුනුවර දෙහිවත්තේ කුරේවේ.   
මෙම සියළු කටයුතු සඳහා අරමුදල් තරකර ගැනීමට ප්‍රධාන සහ ග්‍රාමීය බැංකු බිඳ මුදල් ලබාගැනීම, මෝටර් රථ, යතුරු පැදි, පාපැදි ආදී වාහන පැහැර ගැනීම, වැටුප් මංකොල්ලකෑම වැනි ඇතුළු ක්‍රියාකාරකම් රැසක් විය. වසර 1989 මැද භාගය වන තෙක් සියළු මුදල් රැස් කිරීම් දැඩි විනයකට යටත්ව තිබිණි. ජවිපෙ මගින් අරමුදල් තරකර ගැනීම සහ 1985 සිට 1990 දක්වා රාජ්‍ය බැංකුවල ප්‍රධාන ශාඛාවන් 62කින් මුදල් හා රන් භාණ්ඩ පැහැරගන්නා ලදී. එමෙන්ම කැලෑබොක්ක වතුයායේ වැටුප් පැහැර ගැනීම ඇතැම් ප්‍රධාන මුදල් පැහැර ගැනීම් සිද්ධීන් 131ක්ද විය. ආයුධ පෙන්වා පුද්ගලයින් බියවද්දා රුපියල් 20,000 වඩා දේපල/මුදල් කොල්ලකෑම් ගණන දහසකට අධිකය. දෙවැනි කැරැල්ලේ නිමාවත් සමඟ එමගින් අසරණභාවයට පත් කැරලිකරුවන් ගේ පවුල්වල සාමාජිකයින්ට සුබසාධන වැඩකටයුතුවලට ආධාර සඳහා 1991 සිට 92 දක්වා මංකොල්ලකෑම් කිහිපයක් සහ ප්‍රධාන වැටුප් පැහැර ගැනීමක්ද 1992දී සිදුවිය. (ජවිපෙ 2 වැනි කැරළි සමය වූ 1986 සිට 1990 දක්වා පළවෙන මෙම ලිපි මාළාව පිළිබඳ විස්තර දුරකථන 011-5234384 ලබාගත හැකිය)   

 

 

 

 

 

 

ධර්මන් වික්‍රමරත්න විසිනි