මත්ද්‍රව්‍ය අඩුකිරීමේ පියවරක්

2017 අංක 29 දරන අපරාධ වැළැක්වීමේ සංශෝධන පනත පසුගිය වසරේ නොවැම්බර් මස 18 වනදා සිට ක‍්‍රියාත්මක කෙරිණ. උප ලේඛනයක් මඟින් එයට පනත් කිහිපයක් එක් කර ඇති අතර විස වර්ග, අබිං හා අන්තරාදායක ඖෂධ ආඥා පනත ද එයට ඇතුළත් කර තිබේ.   


ඒ අනුව කිසිවකු හෝ ගංජා පානය කර හසු වී වරදකරුවකු වුවහොත් ලියාපදිංචි අපරාධකරුවකු බවට පත් වේ. ඔහු නැවත වතාවක් මෙම වරදට හසු වී වැරදිකරු වුවහොත් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු හෙවත් අයි.ආර්.සී.කාරයකු බවට පත් වේ.   


මිනීමැරුම්, මංකොල්ලකෑම්, ස්ත‍්‍රී දූෂණ සිදු කරන වරදකරුවන් මෙම ඝනයේ අපරාධකරුවන් ලෙස සළකන අතර මෙම සංශෝධනය මඟින් නොදැනුම්වත්ව ගංජා පානය කරන දරුවකු වුවද එවැනි හංවඩු ගැසීමකට ලක් වේ.      


අපරාධ වැළැක්වීමේ සංශෝධන පනත මඟින් දරුවන්ගේ ජීවිතවලට සිදුවන බලපෑම සම්බන්ධයෙන් හිටපු මානව හිමිකම් කොමසාරිස් කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය නීතිඥ ප‍්‍රතිභා මහානාම හේවා මහතා දැක්වූයේ මෙවැනි අදහසකි.   


 “ළමයින් කියන්නේ ඇත්තටම යම් යම් අලුත් දේවල් අත්හදා බලන අය. එතකොට ළමයින් ගොඩක් වෙලාවට ගංජා හෝ ඒ හා අදාළ දෙයක් පානය කරන්නේ තමන්ගේ යම්කිසි විනෝදාංශයක් සඳහා වෙන්න පුළුවන්.   
මේ අය මේවා විකිණීම, විකිණීමට තැත් කිරීම, එහෙම නැත්නම් කෙනෙකුට ලබාදීමක් මෙතනදී සිදුවන්නේ නැහැ. ඒ අය මේක පාවිච්චි කරලා පොලිසියෙන් අත්අඩංගුවට ගත්තට පස්සේ ඒ අය පුනරුත්ථාපනයට යොමු කරනවා. එහෙමත් නැත්නම් ඒ අය යම්කිසි චරිත ශෝධනාගාරයකට යොමු කරනවා. ඒකෙන් කරන දේ තමයි ළමයා නැවත යහපත් තත්ත්වයට පත් කරන එක.   


ඒ ළමයින් මෙවැනි දේවලින් ඉදිරියේදී මුදවා ගැනීම නීතියේ මූලික අභිප‍්‍රායයි. හැබැයි මෙතන ගැටලුවක් තියෙනවා. පොලිසිය ඒ ගොල්ලන්ගේ පොලිස් අාඥා පනතයි, ඒ ගොල්ලන්ගේ වෙන රෙගුලාසි අනුව තමයි කටයුතු කරන්නේ.


වරදක් කළ ළමයකුට යම්කිසි ආකාරයකට දඩයක් ගැහුවොත් හෝ එහෙම නැත්නම් වරද පිළිගැනීමක් කළොත් ඒ ළමයා ලියාපදිංචි කිරීමක් සිදු කරනවා. මොකද ඉදිරියේදීත් මේ ළමයා පාවිච්චි කරයි කියලා.   


හැබැයි ප‍්‍රශ්නය තියෙන්නේ මේක නෙමෙයි. ඉස්කෝලෙන් අයින් වෙනකොට ළමයාට දෙනවා චරිත සහතිකයක්. රැකියාවක් ලබා ගැනීමට ඒ චරිත සහතිකය ළමයාට අවශ්‍යයි.   


ඒ වගේම රැකියාවලදී, විදේශගත වන අවස්ථාවලදී පොලිස් සහතිකයක් ගේන්න කියලා ළමයට දැනුම් දෙනවා. දැන් මේ පොලිස් සහතිකයේ තියෙන මූලික දුර්වලතාව තමයි අර නඩුව දිහා බලන්නේ නෑ, අර පිළිගැනීම දිහා බලන්නේ නෑ, අර වරද කියාපෑම දිහා බලන්නේ නැහැ. රෙජිස්ටර් වෙලා තියෙන නිසාම ඒ ගොල්ලො කාලය වැය කරන්නේ නැතුව, ෆයිල් බලන්නේ නැතුව මේ ළමයාව අර ලියාපදිංචි අපරාධකරුවන්ගේ ගනයට කෙළින්ම ඇතුළත් කරනවා.   


එවැනි ගනයේ සිටින සෙසු වරදකරුවන් මෙන් ඒ ළමයින් විශාල වැරදි කරලා නැහැ. නමුත් පොලිසිය කටයුතු කරන්නේ ඒ ආකාරයට අනුවයි. මේක වෙනස් කළ යුතුයි. එය රෙගුලාසියකින් සිදුවිය යුතුයි. 

 
ළමය විදේශගත වෙනවා, ළමයට ශිෂ්‍යත්වයක් හම්බවෙනවා. ළමයා වෙනත් රටක අධ්‍යාපනය ලබන්න ඕන. හැබැයි, පෙර වැරදි සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තානාපති කාර්යාලයෙන් කියනවා, පොලිස් සහතිකය ගේන්න කියලා. නමුත් පොලිසිය කරන දේ තමයි සොරකම, ස්ත්‍රී දූෂණය වගේම වරදක් ලෙස මෙය සලකලා ළමයාට වාර්තාවක් නිකුත් කරන එක. මින් ළමයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදු වනවා.   


එයට හේතුව තමයි ළමයාට අධ්‍යාපනය ලැබීමේ අයිතිය තියෙනවා. ඒ අධ්‍යාපනය ලැබීමේ අයිතියේදී ඒ ළමයා ඒඩ්ස් වැළඳුණු දරුවෙක් ද එහෙම නැත්නම් ඒ ළමයා කුමන ජාතියේ ළමයෙක් ද කියලා තීරණය කරන්නේ නැහැ.   


ළමා අයිතිවාසිකම් සම්මුතියේ ඉහළින්ම තියෙන දෙයක් තමයි ළමයාගේ අධ්‍යාපන අයිතිය. එතකොට මේ අධ්‍යාපන අයිතියේදී ළමයා ළමයකු විදියට තමයි සලකන්නේ. ඒ නිසා මෙවැනි අවස්ථාවකදී ළමයා වැඩිහිටියකු වෙලා අධ්‍යාපනය ලැබුවත් මෙවැනි සහතික දීම තුළින් ළමයාගේ අයිතිය හා ප‍්‍රවේශය වළක්වනවා. ඒ නිසා මේක මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස හඳුන්වා දිය හැකියි.   


ළමයකුට වෙන කෙනෙක් දෙනවා ගංජා උගුරක් බොන්න. ඒක පෙළඹවීමක් නෙමෙයි, ආසාවට වෙන්න පුළුවන්. මේ වගේ දේවල් සමාජයේ ඕන තරම් සිදුවෙනවා. මේ නිසා බොහෝ ළමයින්ට තමන්ගේ අවස්ථාවන් අහිමිව යා හැකියි. මින් ළමයා සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වෙනවා. ළමයා වරදට යොමු වෙන්න වුණත් පුළුවන්. මේවා පිළිබඳ අද සමාජයෙන් සිද්ධි ඕන තරම් උදාහරණ සහිතව අපට කියන්න පුළුවන්.   


ළමයින් සම්බන්ධ එවැනි අවස්ථාවලදී මේ අයව පුනරුත්ථාපනය කරන්න යවනවා. පුනරුත්ථාපනයෙන් ඇවිල්ලා ළමයින් හොඳ දරුවන් සේ ඉන්නවා. නමුත් තවදුරටත් පොලිස් වාර්තාවලින් මේක ඉවත් කරලා නැහැ.   
ඒ නිසා හොඳ යාන්ත‍්‍රණයක් ඕන. කොහොමද ඒ යාන්ත‍්‍රණය වෙන්නේ? මහේස්ත්‍රාත් අධිකරණය, මහාධිකරණය, රෙජිස්ට්‍රාර්වරයා සහ පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය මේ සම්බන්ධව කටයුතු කරනවා. ඒ නිසා අධිකරණ අමාත්‍යාංශය හරහා වහාම මේ සඳහා සංශෝධන එන්න ඕන.   


ළමයා මෙතනදී ඕනෑකමින් වැරදි කරලා නැහැ. බොහෝ දේවල් සිදුවන්නේ ළමයා නොදැනුම්වත්වයි. ඒ නිසා පළවෙනි දේ තමයි අධ්‍යාපනයේදී මේවා හැදෑරීමක් සිදු කරන්න අවශ්‍යයි. දෙමවුපියන් විසින් මේ සම්බන්ධයෙන් හොයා බලන්න අවශ්‍යයි.   


ළමයා මේක පානය කළා. ඊට පස්සේ ළමයා පොරොන්දු වෙනවා යළි පානය කරන්නේ නැහැ කියලා. එහෙත් ළමයා ලියාපදිංචි අපරාධකාරයකු බවට පත්වෙනවා. ළමයා දන්නේ නැහැ මේ ගැන. මේ නිසා ළමයාට රැකියා හෝ වෙනත් ඉහළ අවස්ථාවන් මඟ ඇරී යන්න පුළුවන්.   


ඒ නිසා අවශ්‍යම දේ තමයි වහාම මේ සම්බන්ධ වන අධිකරණ තීන්දු පොලිස් දෙපාර්තමේන්තුවේ නීති අංශයට, විශේෂ විමර්ශන අංශයට යොමුකරන එක. ළමයට සිදුවන හානිය වළක්වන්න ඕන. රැකියාවක් කිරීමේ අයිතිය ළමයාගේ මූලික අයිතිවාසිකමක්. ඇයි ළමයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කරන්නේ?   


අනික් පැත්තෙන් බැලුවොත් පාසල් කාලය අවසන් වීමෙන් පස්සේ ළමයා පුරවැසියකු ලෙස රටට එනවා. ඔහු විවාහ වෙන්න පුළුවන්, එයාගේ අනාගතය ගොඩනගා ගැනීමේදී මෙය බරපතළ ගැටලුවක් බවට පත් වෙනවා.   
මේ පොලිස් වාර්තාවලින් වෙන දේ තමයි ළමයාව තනිකර හංවඩු ගැහීමක් සිදුවීම. ගංජා භාවිතය ඇතුළු එහෙම දේවල්වලින් මේ වන විට ළමයා ඈත් වෙලා තියෙන්න පුළුවන්. නමුත් ළමයාගේ ඉදිරි අභිවෘද්ධියේදී මෙය ඍජුවම බලපානවා. මේ නිසා ළමයා මානසික රෝගියකු බවට පත්විය හැකියි. තමන් චේතනාත්මකව නොකළ වරදකට හසුවීම ඒකට හේතු විය හැකියි.   


නීතියේ අංග දෙකක් තියෙනවා. නීතියේ වරදක් ඔප්පු කරන්නනම් චේතනාව තියෙන්න ඕන, ක‍්‍රියාවක් තියෙන්න ඕන. මෙතනදී කිසිම වංක චේතනාවක් නැහැ. ඒ නිසා මේ ක‍්‍රියාව සිදුකළ පමණින්ම ඔහු වැරදිකරුයි කියන්න බැහැ.   


යම් යම් වැරදි සම්බන්ධව මූලික වශයෙන්ම නීතියේ සංශෝධන ආවා. අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ සංශෝධන ආවා. ඒ සංශෝධන අනුව ඇප දිය හැකි වැරදි ඇප දිය නොහැකි වැරදි බවට පත්කරලා තියෙනවා.   


එතකොට මෙවැනි වැරදි ඇත්තටම ඇප දිය නොහැකි වැරදි නෙමෙයි, ඇප දිය හැකි වැරදි ලෙස හඳුන්වා දිය හැකියි. පොලිස් ඇපයකින් පවා මේවාට ඇප දෙන්න පුළුවන්. එතකොට ඒවා උපලේඛන ගත කරලා තියෙනවා.   


මිනීමැරීම, ස්ත‍්‍රී දූෂණය ඇතුළු බරපතළ වැරදි පමණයි මෙයට පෙර ඒ සඳහා ඇතුළත්ව තිබුණේ. නමුත් ලංකාවේ මත්පැන්, මත්ද්‍රව්‍ය වැළැක්වීම සඳහා මෙවැනි දේ අලුතින් එකතු කරලා තියෙනවා. මිනීමැරීම හා සමාන ලෙස මෙවැනි වැරැදි පෙන්වා දී ඒවා පාලනය කිරීම සඳහායි, ඔවුන් මෙවැනි දේ ඇතුළත් කරලා තියෙන්නේ. නමුත් ඒක සාධාරණ නැහැ කියන එක තමයි මගේ මතය.   

පනත තුළට මෙවැනි දෙයක් දැමීම සදාචාරාත්මක නැහැ. නීතිමය වශයෙන් මේවා දැම්මට ඒ තුළ වෙන්නේ අපරාධ තවත් වැඩි වෙන එක විතරයි. ඒකෙන් අපරාධ වැළැක්වීමක් කරන්න බැහැ.   

 

ළමයා මෙවැනි දේකට හසුවෙලා, ඒ ළමයා එළියට එන්නේ තවත් වැරදි රාශියක් පුරුදු වෙලා. ඒ නිසා වහාම මේක සංශෝධනය කරන්න ඕන කියන එක තමයි මගේ මතය.   

දරුවන් කියන අය සමාජය විසින් රැක බලා ගන්න ඕන. නීතිය විසින් රැක බලාගන්න ඕන. ළමයාට භාරකාරයො තුන්දෙනෙක් ඉන්නවා. පළමු වෙනි භාරකාරයා තමයි දෙමවුපියන්, තාවකාලික භාරකරු විදියට දරුවා බලාගන්න පාසල හෝ ඒ අය ඉන්නවා. දරුවාගේ නීත්‍යනුකූල භාරකරු තමයි දිස්ත‍්‍රික් අධිකරණය. දිස්ත‍්‍රික් අධිකරණයට මේ වගේ දේවල් යොමු කරහම මේ අය ප‍්‍රජා සංශෝධනයට යොමු කරනවා.   මූලික වශයෙන් වරද නිවැරදි කිරීමට තමයි එලෙස යොමු කරන්නේ. ඒ නිසා නීතියටත් යම් වගකීමක් තියෙනවා. මෙවැනි ආකාරයට සංශෝධන ඇති කරනවට වඩා ළමයාගේ නීතිමය භාරකරු හැටියට ඉදිරියට ඇවිත් ඒ වරද නිවැරදි කිරීමට අධිකරණයට පුළුවන්.      


මේ දේවල් පාලනය කිරීම තුළ ළමයාට තාවකාලික තහනමක් යෙදීමට බටහිර සහ අග්නිදිග රටවල් කටයුතු කරනවා. ඒ නියෝගය අවුරුදු දෙකක් ළමයාට දෙනවා. ඒ නියෝගය ක‍්‍රියාත්මක වන කාලය තුළ ළමයා හොඳට හැසිරිලා තිබුණ නම් සියලුම පොලිස් වාර්තාවලින් එය ඉවත් කරනවා.   


ලංකාවේ වෙන වරද තමයි මූලික වශයෙන් පොලිස් වාර්තාවට ගියොත් එම වාර්තා විශ්ලේෂණය කරන්නේ නැහැ. විවරණය කරන්නේ නැහැ. අවුරුදු 20ක් ගියත් ඒක එතැනම පල් වෙනවා.   මේකට හොඳ විසඳුමක් 1972 වසරදී අධිකරණ ඇමැතිවරයාව සිටි ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා ලබා දුන්නා. චරිත ශෝධනය කියන එක ගැන හැම වෙලාවේම එතුමාගේ පැහැදිලි ප‍්‍රතිපත්තියක් තිබුණා.   


මිනිසකු සදාකාලිකවම හොරකු විය නොහැකියි. ඔහු සදාකාලිකව මනුස්සයෙක්. කෙටි කාලීනව බලලා ඔහුට පිළියම් යොදන්න බැහැ. 1972 සිට 77 කාලය තුළ හිටපු අධිකරණ ඇමැති විසින් හැම වෙලාවේම මේවා විවරණය කළා. විමර්ශනය කළා. නමුත් ඉන්පසු නව අධිකරණ ඇමැතිවරුන් කවදාකවත් මේක කරලා නැහැ.      


මෙවැනි නීති අණ පනත් ක‍්‍රියාත්මක කිරීම තුළින් ළමයාගේ අනාගතයට සිදුවන බලපෑම මෙන්ම අහිතකර තත්ත්වයන් ළමයාගෙන් සමාජයට ද ඇතිවිය හැක. ඔවුන් අපරාධකරුවන් සේ හංවඩු ගැසීමෙන් සහ ඔවුන්ගේ අනාගත ඉලක්කයන් වෙත ළඟාවීමට නොහැකි වීමෙන් සමාජය කෙරෙහි ඇතිවන කලකිරීම, වෛරය පිළිබඳ අපට උපකල්පනය කළ නොහැක. සැමට ජීවත් විය හැකි විචිත‍්‍රවත් සමාජයක් ගොඩනැගීම නීති අණ පනත්වලින් පමණක් සිදුකළ නොහැක. ඒ සදහා ආකල්පමය වෙනසක් ද අවශ්‍ය වේ. නීති සම්පාදකයන් සහ නීතිය ක‍්‍රියාත්මක කරන්නන් ඒ පිළිබඳවද කල්පනා කළ යුතුව ඇත. 

 

 

 

 

සටහන 
නිමල කොඩිතුවක්කු