දෙවැනි මානුෂීය මෙහෙයුමට ආචාරය

 

කාලෙන් කාලෙට අලුත් අලුත් මාතෘකා ජන සමාජයේ කතාබහට ලක්වෙමින් ජනප්‍රියත්වයට පත්වේ. අද ලංකාවේ පමණක් නොව මුළු මහත් ලෝකයේම කතාබහට ලක්වන ප්‍රධානම මාතෘකාව බවට පත්ව තිබෙන්නේ කොරෝනා වෛරස් වසංගත රෝගයය. එහෙත් එය නම් ජනප්‍රිය මාතෘකාවක් නොවේ. ලෝකයම එක තැන නොව ආපස්සට ගමන් කරවමින් කොරෝනා වසංගතය අද ඉදිරියට වර්ධනය වෙමින් තිබේ. එක රටක දෙකක රෝගය පාලනය කරද්දී තවත් රටවල් ගණනාවක රෝගය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබේ.   


බොහෝ දියුණු යැයි සම්මත රටවල් හා සසඳන කල ලංකාව සිටින්නේ ඉදිරියෙන් යැයි බැලුබැල්මට පෙනේ. ඒ තවමත් අපේ රටේ හමුව ඇති රෝගීන් සංඛ්‍යාව මරණ සංඛ්‍යාව සාපේක්ෂව අවම වීම නිසාය. එහෙත් තමන්වත් නොදැන සමාජය තුළ වෛරසය පතුරවමින් සිටින අය කවුදැයි අප තවමත් නොදන්නා නිසා අප සිටින්නේ අළු යට සැඟවුණ ගිනි පුලිඟු මත බව අමතක කළ යුතු නැත.   


 අළු යට සැඟවුණ එගිනි ඇවිළී මුළු සමාජයට ආතුර කරන්නට ඉඩ නොදී ජනතාව ඉන් මුදවා ගැනීමේ සටනේ ඔබත් මාත් හවුල්කරුවෙකු විය යුතුව ඇත. අද ඒ සටනේ භාරදූර කාර්යයක් ඉටුකරමින් සිටින්නේ ත්‍රිවිධ හමුදාවය. සෞඛ්‍ය අමාත්‍යංශයට ප්‍රධාන සහය දෙන ආයතනය බවට අද ඔවුන් පත්ව තිබේ. ඔවුන් කරමින් සිටින කාර්ය භාරය, එදිනෙදා දායක වන වැඩ කටයුතු ප්‍රමාණය ඉතා විශාලය. ඒ සියල්ල සටහන් කළ හැකි නොවුණද ඔවුන්ගේ වෙහෙස අගය කරමින් සමාජයෙන් ලැබිය යුතු නිසි ගෞරවය පුද කරමින් කාරණා කීපයක් පමණක් මෙහි සටහන් කරමු.   

 

 

 ලංකාවේ කොරෝනා වෛරස් රෝගියෙකු පළමුව හමුවන්නේ පසුගිය ජනවාරි 25 වෙනිදාය. ඒ චීන ජාතික කාන්තාවකි. කොරෝනා වසංගතය පැතිරීම වළක්වාගැනීම සඳහා චීන රජයෙන් වසා දමන ලද චීනයේ වූහාන් නගරයේ කොටුව සිටි ශ්‍රී ලාංකික සිසුන් සිසුවියන් 33 දෙනෙක් ලංකාවට ගෙන්වා ගැනීම විශාල මෙහෙයුමක් බවට පත්විය. ඒ සඳහා චීනයේ අවසරය ගත යුතුය. ලංකාවෙන් ගුවන් යානයක් එහි යැවිය යුතුය.   


දිනපතා මරණ වාර්තා වන වසංගත රෝගයක් පවතින නගරයක් කරා ගමන් කරන ගුවන් යානයක ගමන් කිරීමට කැමති කාර්ය මණ්ඩලයක් සොයා ගත යුතුය. ඔවුන් ලංකාවට පැමිණි පසු විෂබීජ හරණයට ලක් කර නිරෝධායන ක්‍රියාවලියකට ලක් කළ යුතුය. මේ කටයුතු ඉටුකරගැනීම සඳහා ජනාධිපතිවරයා මූලික වගකීම ගුවන් හමුදාවට භාරකළේය.   
 ඔවුහු එය ඉතා හොඳින් ඉටුකළහ. ගුවන් යානයේ ගමන් කළ ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලය දැනුම්වත් කිරීමත්, මත්තල ගුවන් තොටුපොළෙන් ලංකාවට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් නිරෝධායනයට ලක් කිරීමත් ඔවුහු මහත් ඕනෑකමින් සිදුකළහ.   
මෙම සිසුන් ලංකාවට පැමිණියේ ජනවාරි 31 වැනිදා අලුයමය. මත්තල ගුවන්තොටුපළේදී පැය හයක පමණ කාලයක් නිරෝධායනයට ලක් කරනු ලැබිණ. ඒ සඳහා යොදාගනු ලැබුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව යටතේ වින්ග් කමාන්ඩර් එන්. පී. පෙරේරාගේ නායකත්වයෙන් ස්ථාපිත කරන ලද රසායනික, න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක හා විකිරණශීලී ප්‍රතිචාර බළගණයේ නිලධාරීන් විසිනි. එතැනින් ආරම්භ කරන ලද කොරෝනා වෛරසය ලංකාවේ පැතිරීම වළක්වා ගැනීමේ මෙහෙයුමේදී ගුවන් හමුදාව නිරෝධායන කාර්යයේ සිට පීඩාවටපත් ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම, ලේ දන්දීම දක්වා ඉටු කළ කාර්යභාරයන් ප්‍රමාණය අතිවිශාලය.   

 

 

ශ්‍රී ලංකා ගුවන් හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන හතරකි. වන්නි, ඉරණමඩු, මුලතිව්, පලාලි එම මධ්‍යස්ථාන වන අතර මෙම මධ්‍යස්ථානවලින් 581ක පිරිසක් දැනටමත් නිරෝධායනය අවසන් කර ආපසු නිවෙස් කරා ගමන් කර තිබේ. තවමත් පළාලි නිරෝධායන මධ්‍යස්ථානයට කිසිදු පුද්ගලයෙකු නිරෝධායනයට යොමුව නැති බව ගුවන් හමුදා වැඩබලන මාධ්‍ය අධ්‍යක්ෂක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.   
 රසායනික, න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක හා විකිරණශීලී ප්‍රතිචාර බළගණය ස්ථාපිත කර තිබෙන්නේ කටුනායක ගුවන් තොටුපොළ ආශ්‍රිතවය. මත්තලදී චීනයේ සිට පැමිණි ලාංකික සිසුන් නිරෝධායනයේ සිට මේ දක්වා කටුනායක ගුවන්තොටුපොළේ ස්ථාපිත කර තිබෙන බළගණය, ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලය, ලංකාවට පැමිණෙන සියලු ගුවන් යානාවල නියමුවන් ඇතුළු සේවක සේවිකාවන් නිරෝධායනයට ලක්කරනු ලැබිණ. එසේම ගුවන් තොටුපොළ විෂබීජහරණ ක්‍රියාවලියද ඔවුන්ගේ වගකීම යටතේ සිදුවේ.   
ඊට අමතරව මෙම බළගණය යටතේ පුහුණුව ලත් නිලධාරින් මගින් මරදාන, කොටුව දුම්රියපොළ ඇතුළු රට පුරා බොහෝ නගර හා ආයතන විෂබීජහරණයට ලක්කිරීමේ කටයුතුද ඔවුන් අතින් සිදුවේ. එපමණක් නොව හදිසියේ දුරබැහැර ප්‍රදේශයක සිට මුල්ලේරියාව වසංගත රෝග විද්‍යායතනය වෙත රෝගියෙකු රැගෙන එන්නට සිදුවුවහොත් එය කඩිනමින් ඉටුකිරිම සඳහා කැඳවීමක් ලැබුණහොත් භාවිත කිරීමට ගුවන් ගිලන් රථයක්ද ඔවුන් සූදානම් කරගෙන තිබේ. ඒ.එම්.අයි. 17 හෙළිකොප්ටර් යානයක් යොදාගත් බවද ගෲප් කපිතාල් දුෂාන් විජේසිංහ මහතා පැවසුවේය.   
 පවතින රෝහල් නිරෝධායනයට ලක් කෙරෙන හෝ සැකකටයුතු රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට සුදුසු ලෙස සංවර්ධනය කිරීමේ කාර්යයන්ද ඔවුන් අතින් ඉටුවේ. මුල්ලේරියාව වසංගත රෝග විද්‍යායතනයේ තාවකාලික වාට්ටුවක් සියලු පහසුකම් සමග ඉදිකිරීම ඔවුන් එලෙස ඉටුකළ වගකීම් අතර ප්‍රධාන වේ. දින දාහතරක් වැය වනු ඇතැයි සැලසුම් කළ එම කාර්යය ඔවුහු දින දහයකදී අවසන් කළහ.   
එසේම වැලිසර ස්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ දැනට පවතින වාට්ටු දෙකක් කොරෝනා රෝගීන් සඳහා සුදුසු පරිදි සංවර්ධනය කරනු ලැබුවේද ඔවුන් විසිනි. එහි ප්‍රතිකාර කටයුතු සිදුකිරීමට සැලසුම් කර තිබෙන්නේද ගුවන් හමුදාවේ වෛද්‍ය ඒකක විසිනි. ගම්පහ දිස්ත්‍රික් රෝහලේ බාහිර රෝගී අංශය පුළුල් කර සාමාන්‍ය රෝගීන්ට කොරෝනා රෝගීන් සමග නොගැටෙන ලෙස නවීකරණය කළහ. ඒ සඳහා මූල්‍ය දායකත්වය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෝ පැවසූහ.   


 එසේම රෝහල් කාර්ය මණ්ඩල හා කොරෝනා රෝගීන් හා ගැටිය හැකි බවට සැකකරනු ලබන ස්ථානවල කටයුතු කරන්නන් වෙනුවෙන් පුද්ගලික ආරක්ෂක උපාංග කට්ටල නිෂ්පාදන කර බෙදාහැරීමද ගුවන් හමුදාව සිදුකළහ. කටුනායක ගුවන් තොටුපොළ, අනුරාධපුර මහ රෝහල එලෙස ආරක්ෂක ඇඳුම් කට්ටල ලබාදුන් ආයතන කීපයකි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි තවත් ඇඳුම් කට්ටල 7500ක් නිෂ්පාදනය කරමින් සිටින බවද දුෂාන් විජේසිංහ මහතා පැවසුවේය.   
 චීනයේ සිට ලංකාවට ගෙන්වා ගනු ලැබු ලාංකික සිසුන් නිරෝධායනයට ලක් කිරීමේ කාර්යයේ සිට යුද හමුදාව ඉටු කළ කාර්යභාරයද සුළුපටු නොවේ. එම සිසු සිසුවියන් මත්තල ගුවන් තොටුපොළේ සිට ආරක්ෂිතව දියතලාව හමුදා කඳවුරේ ස්ථාපිත කරන ලද නිරෝධායන මධ්‍යස්ථානය කරා රැගෙන යනු ලැබූ අතර එහිදි යුද හමුදා රෝහලේ විශේෂඥ වෛද්‍ය සවීන් සේමගේ මහතාගේ උපදෙස් පරිදි ඔවුන් සති දෙකක කාලයක් එහි නිරෝධායනයට ලක් කෙරිණි. මේ දක්වා ඔවුන් අතරින් කිසිදු ආසාදිතයෙකු ගැන වාර්තා වූයේ නැත.   
ඒ සඳහා දියතලාව යුද හමුදා කඳවුරේ තාවකාලිකව ඉදිකරන ලද ගොඩනැගිලි දෙකකින් යුත් නිරෝධායන මධ්‍යස්ථානයේ සිට මේ වන විට යුද හමුදාව යටතේ පූනානි, කන්දකාඩු, මීයන්කුලම්, පොම්පෙමඩු, ගල්කන්ද, ඉරණමඩු, ඇතුළු නිරෝධායන මධ්‍යස්ථාන තිස්හතක් ක්‍රියාත්මක වේ. ඉරණමඩුහි පිහිටි ඇමරිකන් හඬ සන්නිවේදන මධ්‍යස්ථානය සඳහා ඉදිකළ ගොඩනැගිල්ල නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස නවීකරණය කිරීම සිදුකළේද ඔවුන්මය. ඊට අමතරව මේ වන විට වසා දමා තිබෙන ගම්මාන ආශ්‍රිතව එනම් පුත්තලම සහිරා විද්‍යාලයේ හා බණ්ඩාරගම සර්වෝදය මධ්‍යස්ථානයේ ඉදිකර තිබෙන නිරෝධායන මධ්‍යස්ථානද පවතින්නේ ඔවුන්ගේ පාලනය යටතේය. හෝමාගම රෝහලේ සැකසහිත කොරෝනා රෝගීන් සඳහා වන වාට්ටුව සකස් කිරීමද ඔවුන් අතින් සිදුවූ වැදගත් කාර්යයකි.

 


 පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කාර්යයේදීද යුද හමුදාව විශාල වැඩකොටසක් සිය දෙවුර මතට ගෙන ඉටු කළහ. විශේෂයෙන්ම විශ්‍රාම වැටුප හිමි වැඩිහිටියන් එම වැටුප ලබාගැනීම සඳහා රැගෙන යාම, ඇඳිරි නීතිය නිසා කර්මාන්ත ශාලා වසා දැමීම හේතුවෙන් තමන්ගේම නිවසට යා නොහැකිව කොටු වී සිටි සහ බෝඩිංකාමරවලට කොටු වී සිටි සේවක සේවිකාවන් සිය නිවෙස් කරා ගෙනයාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම ඔවුන්ගේ ඉටුකළ සමාජ මෙහෙවර අතර ප්‍රධාන වේ.   
 රණවිරු ඇපරල් ආයතනයේ සේවය කරන්නේ බහුතරයක් ආබාධිත රණවිරුවන්ය. ඔවුන් විසින් රෝහල් කාර්ය මණ්ඩල වෙනුවෙන් ආරක්ෂක ඇඳුම් කට්ටල මසා දෙනු ලැබිණ.   
 මීට අමතරව යුද හමුදාවේ බෞද්ධ සංගමය මැදිහත්ව බෞද්ධ විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථානවලට, වැඩිහිටි නිවාසවලට වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීමද සිදුකරමින් සිටී. එසේම පීඩාවට පත් ජනතාවට වියළි ආහාර හා පිසූ ආහාර ලබාදීමට පවා යුද හමුදාව කටයුතු කරමින් සිටි. මේ වනවිට කිළිනොච්චියේ තුන්නුකායි, උයිලාන්කුලම්, ශිවනගර්, පල්ලිකුඩා, පරන්තන්, කොල්ලකරච්චි, මාතලේ ඇල්ලකඩුව හා වැලිඔය ප්‍රදේශයේ ගම්මාන කීපයක් ඇතුළු ප්‍රදේශ ගණනාවක ජනතාවට මෙලෙස වියළි ආහාර හා පීසු ආහාර ලබාදීම සිදුකර තිබේ.   


 ශ්‍රී ලංකා නාවික හමුදාවද අනෙකුත් හමුදාවන්ට නොදෙවෙනි කාර්යභාරයක් ඉටුකරමින් සිටිති.   
 ඔවුන් යටතේද නිරෝධායන මධ්‍යස්ථාන කීපයක් පාලනය වේ. බූස්ස යුද හමුදා කඳවුර ආශ්‍රිතව පවතින නිරෝධායන මධ්‍යස්ථානය ඒ අතර ප්‍රධාන වන අතර මිහින්තලය හා ඔයාමඩුවල පිහිටි ඔවුන් සතු නිවාඩු නිකේතන දෙකක්ද නිරෝධායන මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කළහ. එසේම ඔලුවිල් වරාය ආශ්‍රිතවද නිරෝධායන මධ්‍යස්ථානයක් ඉදිකළ අතර ඒවා පාලනය වන්නේද ඔවුන් යටතේමය.   
 ලංකා රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඕස්ට්‍රේලියාවේ සිට ඉතාලි බලාගමන් කරන ලද නෞකාවක සේවය කරන ලද පුද්ගලයෙකු හා තවත් කාන්තාවක් එම නෞකාවෙන් නිදහස් කරගෙන ලංකාවට රැගෙන ඒමේ මෙහෙයුමද ඔවුන් ඉටුකළ වැදගත් කාර්යයකි.   
කළුබෝවිල රෝහලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහල්වලට විෂබීජහරණ කුටි දෙකක් නිෂ්පාදනය කර ලබාදීමටද ඔවුන්ට හැකි වූ අතර නෙවිල් ප්‍රනාන්දු රෝහල සැක සහිත කොරෝනා රෝගීන් සඳහා වන රෝහලක් ලෙස සංවර්ධනය කිරීමේ වගකීමද ඔවුන් විසින් නොපිරිහෙලා ඉටු කරනු ලැබිණ. එසේම වව්නියාව දිසා රෝහල වසංගත රෝග නිවාරණ මධ්‍යස්ථානයක් ලෙස නවීකරණය කර සංවර්ධනය කරනු ලැබූහ. කොළඹ ජාතික රෝහලේ හා රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකක නවීකරණය කළහ.   
දූපත්වල ජීවත්වන ජනතාව මෙවැනි අවස්ථාවකදී පත්වන්නේ දැඩි අසීරුතාවකටය. ආහාරපාන ටිකවත් සොයා ගැනීම ඔවුන්ට විශාල අපහසුතාවක් වන අතර ඕනම කෙනෙකුට එම දූපත්වලට ආහාර ද්‍රව්‍ය සහිත ලොරි රැගෙන හා නොහැකිය. එහිදි නාවික හමුදාවේ මැදිහත් වීම අත්‍යවශ්‍ය වේ. ඩෙල්ෆ්ට් දූපතේ, නයිනතිවු දූපතේ, අනලතිවු දූපතේ හුදෙකලා වූ ජනතාවට ආහාර ද්‍රව්‍ය බෙදාදෙනු ලැබුවේ නාවික හමුදාවේ මැදිහත් වීමෙනි.   

 


මීට අමතරව ත්‍රිවිධ හමුදාවම නගර හා ආයතන විෂබීජහරණයට ලක් කිරීමේ කටයුතුවල නිරත වන අතර හදිසි අවශ්‍යතා වෙනුවෙන් ලේ දන්දීමටද ඉදිරිපත් වූහ. එසේම ආහාර පාන සොයාගත නොහැකිව පීඩාවට පත් ජනතාවට ආහාර ද්‍රව්‍ය සැපයූහ.   


මෙලෙස කොරෝනා යුද්ධයේදී ත්‍රිවිධ හමුදාවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වගකිව යුත්තන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලත් ඉටුකරනු ලබන කාර්යභාරය සුළුපටු නොවන අතර එහි නිසි ප්‍රතිඵලය අප වෙත ළඟා වන්නේ එහි වටිනාකම අප වටහා ගන්නා තාක් පමණි. ඒ වටිනාකමට අනුව අප හැසිරෙන තාක්, අපේ වගකීම් යුතුකම් කොටස ඉටුකරන තාක් පමණි.   

 


මුදිතා දයානන්ද