විද්වත් හමුව

 

 

මේ වන විට අප ලෝක ආහාර දින 36 ක් වසරක් පාසා පවත්වා ඇත. 36 වැනි ලෝක ආහාර දිනය පසුගිය දා රාජ්‍ය අනුග්‍රහය ඇතිව පවත්වන ලදී. මෙම දිනය සැලසුම් කොට ආහාර බෝග නිෂ්පාදනය කරන ආසියානු රටවල් තුළ මේ දිනය පිහිටුවා පවත්වා ගෙන යාමට උපකාර කරන්නේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගිනි. ආකෘ නමින් කෙටි නමකින් හඳුන්වන්නේ මෙම ආයතනයයි. මෙය එක්සත් ජාතීන්ගේ සංවිධාන සමූහයේ එක් සංවිධානයක් ලෙස හංවඩුව ලබා ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමට පුරෝගාමීව කටයුතු කළේ 1944-1945 කාලවකවානුවේ ඇමෙරිකානු ජනාධිපති ලෙස කටයුතු කළ රූස්වෙල්ට් මහතාය. ආකෘ ආයතනය උපන්නේ ඒ ආකාරයටය.   


දෙවන ලෝක යුද්ධ​ෙයන් පසු ආර්ථිකයෙන් බිංදුවට වැටී සිටි ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ සූරාකෑමෙන් ජීවත් වූ යුරෝපීය රටවල් මුහුණ පෑ බරපතළම ප්‍රශ්නය වූයේ සිය රාජ්‍යයන් පවත්වාගෙන යාම සඳහා ලෝකය සූරාකන්නේ ​ෙකසේද? කොහොමද? යන ආර්ථික ගැටලුවයි. මේ පිළිබඳව රාජ්‍ය නායකයින් එක්ව අවස්ථා ගණනකදී සාකච්ඡා වට කීපයක් පැවැත්වූ අතර මේ අවදියට පෙර ඇමරිකාවේ කෘෂි ලේකම් ලෙස කටයුතු කළ අර්ල් බට්ෂ් නම් වූ රෝපණ ද්‍රව්‍ය නිපදවන්නකු කියා තිබූ කාරණය විමසුමට ගැනිණ. ඔහු කියා තිබූ කථාව මෙසේය.   


ආසියාතික රටවල මිනිසුන්ට ධනවාදය හෝ ප්‍රජාතන්ත්‍රවාදය හෝ සමාජවාදය හෝ මෙකී කිනම් වාදයකින්වත් වැඩක් නැති බවත් ඔවුන්ගේ එකම වාදය වන්නේ ආහාර වාදය හෙවත් ආහාර බෝග නිෂ්පාදනය පමණක් බවත් ඔහු කියා තිබුණි. මේ කථාවට ඕනෑකමින් කන් දුන් ජනාධිපති රූස්වෙල්ට් ආහාර නිෂ්පාදනය අවියක් ලෙස පාවිච්චි කළ හැකි නම් ආයුධ නිෂ්පාදනයට වඩා අපි ඊට අවදානය යොමු කරමු යයි අවධාරණය කළේය.   


ලෝක සූරාකන්නන්ගේ සූරාකෑමේ මාධ්‍ය වන්නේ වෙ​ෙළඳාමයි. මීට වඩාත් හොඳම වචනය වන්නේ ජාවාරම යන්නයි. මෙම ජාවාරම්කරුවන්ගේ නිෂ්පාදන වන්නේ ජීව ලෝකයට වින කරන ආයුධ, ගිනි දියර, වස විස, යන්ත්‍ර සූත්‍ර ආදියයි.   


ආහාර නිෂ්පාදනය සිදුවන්නේ පොළොව මතු පිට පසෙහිය. මේ පස තුළ ජීවයක් ගැබ් වී තිබේ. අා​පෝ, තේජෝ, වායෝ, පඨවි යන සතර භූතයන්ගේ සංකලනයෙන් ජීවය උපදී. මෙම ජීවය පොළොවේ පසට සංකලනය වේ. සියලු විද්‍යාත්මක හා අන්තර්ඥාන අවබෝධවලින් අනාවරණය වී ඇති කරුණු අනුව පොළොව මතුපිටට මෙම ජීවාත්මක පරිසරය ඇති වූයේ වසර කල්ප කෝටි ගණනකට පෙරදීය. තනිකරම ගිනි​ බෝලයක්ව පැවැති පෘතුවියේ මතුපිට තලයේ පමණක් ජීවයක් ඇති වීමට තරම් සුදුසු පරිසරයක් නිර්මාණය වුවද පොළොවේ අභ්‍යන්තරය තවමත් දරුණු ගිනි කන්දකි. සමහර රටවල වරින් වර මතු වන ගිනි කඳුවලින් එය සනාථ වේ. පෘථිවි ගර්භය තුළ ගිනි කඳු සේම ගිනි දියර වර්ග වස විස ආදියද පවතී. ඇමරිකාවේ නිෂ්පාදනය වන්නේ පෘථිවි ගර්භයෙන් ඇද ගන්නා වස විස සහිත ගිනි දියර හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ආදියයි.   


පරිසරයට හා ජීවයට කෙතරම් හානිකර වුවත් ඇමරිකාවට ඇත්තේ පොළෝ ගර්භයෙන් ඇද ගන්නා මෙම ගිනි දියර වස විස හා තෙල් වර්ගයන්ය. ඇමරිකාවේ ආර්ථිකය හසුරුවා ගැනීමට නම් පොළොවෙන් ඇද ගන්නා මෙවැනි දේ වෙ​ෙළඳ භාණ්ඩ බවට පත් කොට ලෝකයට බෙදාහැරිය යුතුය. ආසියාව ආහාර බෝග නිෂ්පාදනයේ ලොකුම වෙළෙඳ පොළය. මෙම ආසියානු ආහාර බෝග නිෂ්පාදනය අැමරිකාවේ තෙල් හා වස විස ආශ්‍රිත නිෂ්පාදනයක් බවට පත්කරලීමෙන් අැමරිකාවේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව හඳුනා ගැනීමෙන් පසු ඒ සඳහා කටයුතු කිරීම හා කටයුතුවල සම්බන්ධීකරණය කෙළින්ම ආකෘ සංවිධානයට පරවනු ලැබිණ. වස විස හා තෙල් වර්ග අළෙවි කර ගැනීමෙන් ආරම්භ කරන ලද ආර්ථික විප්ලවයේ කුමන්ත්‍රණ අපේ රටවලට පැමිණියේ හරිත විප්ලවයේ හාස්කම් අැති කරන නාමයෙනි. ​ෙම් හරිත විප්ලවයේ නියමුවා වූයේ ​ආකෘ සංවිධානයයි. ​ෙද්ශීය ගොවිතැන උඩු යටිකුරු කරමින් මේ රටේ ​ගොවිතැන ආක්‍රමණය කොට, දෙබිඩි බීජ උත්පාදනය රසායනික පොහොර භාවිතය පළිබෝධනාශක භාවිතය වල් නාශක කෘමි නාශක ආදිය මේ රටට කද බැඳගෙන ආවේ හරිත විප්ලවය හරහා ආකෘ සංවිධානය මගිනි. හරිත විප්ලවය හෙවත් ඇමරිකාවේ තෙල් හා වස විස විකුණන සූත්‍රය දෙබිඩි බීජවලට හා රසායනික ගිනි තෙල් හා කෘත්‍රීම පො​ෙහාරවලට මුළු රටම අැබ්බැහි කරවන්නට 1960 සිට එක් දශකයකට වඩා කල් ගියේ නැත.   


ලංකාවේ දේශපාලකයන්ට මෙන්ම රාජ්‍ය කළමනාකරණ මට්ටමේ නිලධාරීන්ට ද විදේශීය ශිෂ්‍යත්ව පුහුණු වැඩසටහන් යාන වාහන ආදී අනේක විධ වරදාන ආකෘ සංවිධානය මගින් ලබා දෙමින් ඔවුන් පදමට හීලෑ කර ගැනීමෙන් පසු ඔවුන් ලවා වස විස සහිත ගිනි තෙල් වර්ග හා ආම්පන්න මෙරට ගොවිතැනට හඳුන්වා දීමට ආකෘ සංවිධානය කටයුතු කරන ලදී. ලෝක ආහාර දිනය ද ආකෘ සංවිධානයේ තවත් උප්පර වැට්ටියකි. තම තමන්ගේ සාක්කුවලටත් කීයක් හෝ ගාලා එන හෙයින් රාජ්‍ය කළමනාකරණය ද මේ උගුල්වලට ගොවි ජනතාව හිර කරදෙති.   


අපේ රටේ සිංහලේ තිබුණේ වසර දහස් ගණනක් අත්දැකීම්වලින් මුවහත් වූ කෘෂි රටාවකි. එය හඳුන්වනු ලැබුවේ ඉරහඳ පවත්නාතාක් කල් ගොවිතැන් කළ හැකි ස්වභාව ධර්මයට අනුකූල වූ ගොවිතැන් රටාවක් හැටියටය. අපේ මෙම දේශීය ගොවිතැනේ පදනම වූයේ මහ පොළොව සහ ඉර හඳයි. ඉර හඳ යට මහ පොළොව අපගේ නොමියෙන නිධානයයි. මෙය ඇමරිකාව කියන සස්ටේනබල් කෘෂිකර්මයට වෙනස් වූවකි.   


අපේ මේ උතුම් ගොවිතැන් රටාව ආකෘ සංවිධානය මගින් රටේ පාලකයන්ටද ගොවි ජනතාවට ද විශේෂයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට හඳුන්වා දෙන ලද්දේ යල් පැන ගිය හණමිටි නොදියුණු ගොවිතැන් රටාවක් හැටියටය. පළමුවෙන්ම පටන්ගත් මහවැලි එච් කලාපයේ සිටි ගව පට්ටි මස් කඩයට දැක්කා අත් ට්‍රැක්ටර් දේශීය මහවැලි ගොවියා අතට දුන්නේ ආකෘ සංවිධානයේ යටිසූත්තරකාර බලපෑම නිසාය. ඒ නිසා අපේ කුඹුරට ගවයා​ෙග් මෙහෙවර අහිමි වූවා පමණක් නොව ගව පට්ටියෙන් අපට ලැබුණු පස්ගෝ රස ද අහිමි වී පිටරට කිරිපිටි පැකැට්ටුවට දිව දික් කරන්නට සිදු විය. මේවා හරිත විප්ලයෙන් අපට ලැබුණ දායාදය.   


සිංහල රටේ පැවැති සිංහල ගොවිතැන් රටාව මුලිනුපුටා දමා දෙබිඩි බීජ, තෙල්, රසායනික පොහොර භාවිත කරන ආකෘ සංවිධානයේ කෘත‍්‍රිම ගොවිතැන් රටාව මේ රටේ පැළපැදියම් කරන්නට ආකෘ සංවිධානයට අවශ්‍ය විය. ඒ සඳහා දේශපාලකයන්ගේ ද රාජ්‍ය කළමනාකරණයේ ද පූර්ණ සහයෝගය ලබා ගන්නා ලදී.   


දේශීය ගොවිතැනේ මාතෘත්වය ඇත්තේ වැවටය. සිංහල ගොවිතැන් රටාව මුලිනුපුටා දැමීම සඳහා දේශීය ගොවිතැනට බද්ධ වූ වැව විනාශ කර දැමීම ඔවුන්ගේ තවත් අරමුණක් විය. ලක්ෂයකටත් වඩා මේ රටේ විසිරී ගොස් පැවැති වැව් පද්ධතිය ක‍්‍රමානුකූලව විනාශකර දැමීමට ඔවුහු උපායශීලී වූහ. උදාහරණයක් ලෙස මහවැලි එච් කලාපය දැක්විය හැක. එච් කලාපය තුළ රජ කාලේ සිට පැවැති වැව් 548කින් 272ක් පමණ පොළොවට සමතලා කර දමන ලද අතර ඉතිරිය නටබුන් වන්නට හැරියේය. මේ විනාශය සඳහා අපේ රටේ රාජ්‍ය නිලධාරීන්ගේ පූර්ණ අනුග‍්‍රහය ලැබිණ. හෙළ රජ දවස ‘වැව’ ගමේ ගොවියාගේ දේපළක් වශයෙන් පැවැති අතර එය රාජ්‍ය දේපොළක් ලෙස රජයට ඈඳා ගැනීමෙන් පසු සමස්ත වැව් පද්ධතියම කාබාසිනියා කර දැමීමට කටයුතු කරනු ලැබීය. රජරට පුරා පැතිර තිබූ වැව් ගම්මාන සම්ප‍්‍රදාය මුළුමනින් රජය සහභාගී කරගෙන විනාශ කර දැමීය.   


ඒ අතර බීජයේ පටන්ම ගොයම් ගසට ඇමෙරිකානු වස විෂ හා යෙදවුම් හුරු කරනු ලැබීය. හැටේ දශකයේ සිටම හරිත විප්ලවය නමින් මෙරටට බෝ කළේ ආකෘ සංවිධානයේ දේශීය ගොවිතැන විනාශ කොට ඔවුන්ගේ වස වස මුසු ගොවිතැන් ක‍්‍රමයේ පල විපාක වශයෙන් දැනට වසර කිහිපයක සිට වකුගඩු, පිළිකා, හෘද රෝග, දියවැඩියාව රුධිර රෝග ආදිය මඟින් මේ රට පුරා පැතිරෙන්නට පටන් ගෙන තිබේ.   


ආකෘ සංවිධානයේ වස විස මුසු ගොවිතැන් රටාව මොනතරම් විනාශකාරී තත්ත්වයට පත් වී තිබේ ද යත් මුළු මහත් රජරටම වකුගඩු රෝගයෙන් සහ පිළිකා රෝගයෙන් ගිලගෙන තිබේ. මේ වන විට රජයේ සංඛ්‍යා ලේඛන අනුව රජරට පමණක් වකුගඩු රෝගයෙන් මියගිය සංඛ්‍යාව විසි දහස ද ඉක්මවා ඇති අතර ලක්ෂයකට වඩා වැඩි පිරිසකට රෝගය වැළඳී තිබේ. පිළිකා රෝගයද ඊට දෙවැනි නැත. අනුරාධපුර මහ රෝහලේ පිළිකා රෝගීන්ගේ වාට්ටු දෙකම පිරීගොස් ඇති අතර වසරකට පිළිකා රෝගීන් දහසකට වඩා එකතුවන බව පිළිකා විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කර ඇත.   


මානව හිමිකම් කඩ කළා යයි අප වෙත චෝදනා එල්ල කරමින් නඩු දාන ඔබට තර්ජනය කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔවුන්ගේම තවත් සංවිධානයක් වූ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මඟින් ඔවුන්ගේ වස විස අපේ ගොවිතැනට මුහු කිරීමෙන් සිදුවන විශාල ජීවිත විනශය ගැන කතා නොකරන්නේ ඇයි? ජීවත් වීමට මිනිසාට ඇති අයිතිය කඩකරමින් ඔවුන්ගේ වස විෂ මුහු ගොවිතැන හරහා රෝග බෝකර මේ රටේ ගොවීන්ගේ ජීවත්වීමේ අයිතිය විනාශ කර දමන ආකෘ සංවිධානය මඟින් කෙරෙන මානව හිමිකම් කඩකිරීම ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය කතා නොකරන්නේ ඇයි? ගොවියාත් ගොවිතැනත් ගොවි බිමත් විනාශ කරමින් ඔවුන් කරගෙන යන තෙල් පොහොර වෙ​ෙළඳාම නිසා අනාථ වන මේ රටේ ලක්ෂ සංඛ්‍යාත දරු පවුල්වලට ඔවුන් වග නොකියන්නේ ඇයි?   


ඇමරිකානු ජාවාරම්කරුවෝ ආකෘ සංවිධානය හරහා සිය රටේ නිෂ්පාදිත වස විෂ අලෙවි කිරීමේ සාර්ථක වෙළෙඳ පොළක් බවට අපේ රට පත්කරගෙන ඇත. කාලයක් තිස්සේ ඇමරිකානු වස විෂ මේ රටේ ගොවිතැනට යෙදවීම හේතුවෙන් වකුගඩු - පිළිකා වැනි රෝග දැන් දැන් බහුල ලෙස රට පුරා වැපිරෙන්නට පටන්ගෙන ඇත. අපේ රටේ නිවහල් උතුම්ම ජීවනෝපාය වූ ගොවිතැන දැන් මේ රටේ ජන ජීවිත බිලිගන්නා මාරයකු බවට පත්ව ඇත. මේ තත්ත්වය තුළ ගොවියන් මැරීයන තුරු බලා සිටීමට තරම් ඇමරිකාව ඉදිරියේ අපේ පාලකයන් නිවට වී ඇත. ඇමරිකාව වස විෂ මුසු ගිනි දියර පොහොර හරහා මේ රටේ කරගෙන යන ජීවිත විනාශය ගැන කථා කරන්නට දේශපාලකයන්ට කොන්දක් නැත. රාජ්‍ය කළමනාකරණයට ලැබෙන අනේක විධ වරදාන නිසා ඔවුන්ගේ කටවල්වලට ද ඇමරිකානු ඉබියතුරු වැටී ඇත. මොවුන්ගේ නිවටකම් නිසා අහිංසක ගොවි ජීවිත ඇමරිකානු ජාවාරම්වලට නිතිපතා බිලි වෙයි. ජනතාව බිල්ලට දී දේශපාලකයන් හා රාජ්‍ය කළමනාකරුවන් කරගෙන යන මෙම ජාති ද්‍රෝහී ජඩ ක‍්‍රියාවේ බරපතළකම වසා දමන්නට ආකෘ සංවිධානය වසරකට වරක් මේ රටේ ලෝක ආහාර දිනයක් පවත්වයි. දේශපාලකයන් හා රාජ්‍ය කළමනාකරුවන් ද ලෝක ආහාර දිනයට ආවඩමින් එය රට පුරා ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරයි. එමගින් ඔවුන්ගේ සාක්කුවලට ද ඉල්ලම් කැට වැටෙයි.   


මේ අන්දමට ආකෘ සංවිධානයේ සටකපට වැඩ මගින් ඔවුන්ගේ ගිනි දියර පොහොර ජාවාරම මේ රටේ දිගටම කරගෙන යන අතර ඒ නිසා ඉරහඳ පවතින තාක් පවතින්නට මේ රටේ පවත්වාගෙන ආ ස්වාභාවික ගොවිතැන අද වන විට මුළුමනින්ම හැඳිගෑවී ගොස් ආකෘ ගොවිතැනම රජ වී ඇත. ආකෘ ගොවිතැන නිසා මේ රටේ ඉමක් කොනක් නැතිව වැපිරීයන බෝ නොවන රෝග නිසා වසරක් පාසා රෝගීන් දහස් ගණනක් මිය යති. මේ වන විට මේ රටේ දරුවන්ගෙන් සියයට පහළොවක් දියවැඩියා රෝගයට ගොදුරු වී ඇත. යළිත් වරක් අතීතයේ පැවැති චෝල ආක‍්‍රමණය නිසා අනුරාධපුරය ජනශූන්‍ය ප‍්‍රදේශයක් බවට පත්වූ අයුරින්ම දැන් ආකෘ සංවිධානයේ ගොවිතැන් රටාව නිසා අනුරාධපුරය ජන ශූන්‍ය ප‍්‍රදේශයක් බවට පත්වෙමින් ඇත. බෝවෙන රෝගයක් පැතිරී යන්නාක් මෙන් අද අනුරාධපුරයට කඩාවැටී ඇති මෙම රෝග බිය හා මරණ බිය සෙසු ප‍්‍රදේශවලටද ක‍්‍රමයෙන් පැතිරී යනු එ්කාන්තය. 

 
මේ යථාර්ථය තේරුම් ගෙන ප‍්‍රමාද වී හෝ දැන්වත් ආකෘ සංවිධානය විසින් මේ රටේ ගොවියාටත්, ගොවි බිමටත් ගොවිතැනටත් කරන ලද මහා අපරාධයට ආකෘ සංවිධානයෙන් වන්දි අයකර ගෙන, එම සංවිධානය මේ රටින් පළවා හැර ඉරහඳ පවතින තුරු පවතින්නට පවත්වාගෙන ගිය මේ රටේ දේශීය ගොවිතැනට යළි පණ දීම රට කරවන ඇත්තන්ගේ පැහැරහැරිය නොහැකි ජාතික වගකීමකි.   

 

 

 

 

 

 

 

 

 

 

 

සාකච්ඡා කළේ - එප්පාවල 
රත්න බී. ඒකනායක