ජීවිතය යහමගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   


අම්බලන්තොට එස්. සෝමසිරි මහතා ලියා එවූ කතාවකි.   


ඔහුගේ නම ජේමිස් ය. මින් දශක 6-7 කට පෙර එය ජනප්‍රිය නමක් වුවද අදට නොගැලපේ. එබැවින් හෙතෙම නමේ මුලට ‘‘ජේ’’ අකුර යොදා වාසග​ෙම් කොටසක් ඊට ඈඳා ගත්තේය. එහෙත් මෙහිදී ජේමිස් යන්න දිගටම භාවිතා කෙරේ.   


ජේමිස් දරුවන් 8 දෙනෙකුගෙන් යුත් පවුලක තෙවැන්නාය. දරිද්‍රතාවයේ පතුලෙහි සිටි එම පවුලට නිසි අදායම් මාර්ගයක් නොවීය. කුලී වැඩක් කර දෙමහල්ලන් උපයන සොච්චම් මුදල දස දෙනෙකුගේ කුසගිනි නිවීමට ප්‍රමාණවත් නොවිණි. එබැවින් පාසල් යනවා වෙනුවට දරුවන්ට වූයේ මව්පියන් උසුලන බරට කර දෙන්නටය. ජේමිස් මව්පියන්ට සහාය දුන්නද ඉගෙනීමෙන් මිදුනේ නොවේ. අණ්ඩ ඇල්ලු ඇඳුම්, නිරුවත් දෙපා, ඉරුණු පොත පත, නොපිරුණු කුස නැගෙන වේදනාව ඉවසා පාසල් ගිය ඔහු අ.පො.ස (සා.පෙ) සමත්ව උසස් පෙළ හැදෑරීමට වෙනත් පාසලකට ඇතුළත් වූ අතර භික්ෂුන් වහන්සේ නමක් පි​ෙයකු මෙන් ඔහුට උදව් කළහ. සරසවියට තේරුණු ඔහුට එම හිමිනම තවත් පිහිට වූහ.   


සරසවි අධ්‍යාපනය නිමා කර නිවසට පැමිණියද ගෙදර අයට ජේමිස් පිළිබඳ විශේෂ සැළකිල්ලක් යොමු කිරීමට ඔහුට හැකියාවක් ​ෙනාවීය. පෙර පැවති දරිද්‍රතාව එලෙසම පැවැති හෙයිනි. තමා උපාධිධරයෙක් බවට තමා තුළින් හටගත් ගෞරවය හේතුවෙන් ඔවුන්ට උදව් නොවුවද ආදායම් මාර්ගයක් සෙවීමට සිතූ තරම් පහසු නොවීය. අවසානයේ උපකාරක පංතියක සුළු වැටුපකට ඉගැන්වීමට ඔහු අවස්ථාව සලසා ගත්තේය. වසරකට පමණ පසු තමාට අවස්ථාව දුන් තැනැත්තාට ද නොදන්වා ඔහු වෙනත් අායතනයට සම්බන්ධ විය. කෙමෙන් ජනප්‍රියත්වයට පත් හේ සතිය පුරා තැන් තැන්වල ඉගැන්වීය. දැන් දැන් අතමිට මුදල් ගැවසෙන්නට විය. එහෙත් මව්පියන්ගේ බර ලිහිල් කිරීමට ​ෙජ්මිස් සර් උනන්දු නොවීය. වෙනතක් තියා පෙර නිවැසියන් සමග බුදින ලද කුරහන් පිට්ටු තලප රොටි වැනි ආහාර ඔහුට නොදිර වීය. නගරයේ කාමරයක් කුලියට ගෙන එහි වෙසෙමින් ඉහළ හෝටලයේ රස බොජුන් භුක්ති විඳිමින් මිතුරන් සමග මධුවිත තොල ගෑවේය.   


දැන් ඔහු නගරයේ සුවිසල් මන්දිරයේ සුව පහසු දිවියක් ගත කරන ධනවතෙකි. අපූරු මංගල සාදයක් පවත්වා සරසවියේදී හඳුනා ගත් ප්‍රේමවන්තිය නීත්‍යානුකූල බිරිඳ ලෙස කැඳවා ගෙන ආවේය.   


රැකියා විරහිත උපාධිධාරින් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට රජය ගත් ප්‍රතිපත්තිමය තීරණය යටතේ ජේමිස්ට ද ගුරු පත්වීමක් ලැබුණි. ඔහු එය භාර ගන්නේ ඉන් මාසිකව ලැබෙන රු.250/- දීමනාව නිසා නොවේ. මතු දිනක හිමිවන විශ්‍රාම වැටුප වැදගත් වන හෙයිනි. යටි අරමුණු සහිත කපටිකම් වලින්ද පොහොසත් ජේමිස් කුඩා පාසලක් තෝරා ගත්තේ තම ටියුෂන් ව්‍යාපාරයට ඉන් ලද හැකි ඉඩකඩ සලකාගෙන මිස වරප්‍රසාද අහිමි දුප්පත් දරුවන් කෙරෙහි උපන් දයා ගුණයකින් නොවේ. පාසලේදී පංතියක් හිමි වුවද ඔහු එහි රැ​ෙඳන කාලය සීමිතය. තම ටියුෂන් පංතියට නොපැමිණෙන සිසුනට විවිධ වෙනස්කම් කරමින් දක්ෂ සිසුන්ගේ පිළිතුරු පත්‍රවලට අඩු ලකුණු දෙමින් නිවැරදි පිළිතුරු පත් විසිකර දැමුවේය.    


 විදුහල්පතිගේද අඟහිඟතා හා දුබලතා පිළිබඳ නිරීක්ෂණයෙහි යෙදුනු කපටි ජේමිස් ඒවා පිරිමසා දෙමින් විදුහල්පති ඇදබැඳ ගත්තේ තම රු.250 පඩිය ද ඔහුටම පරිත්‍යාග කරමින්. මහා පුණ්‍යවන්තයෙකු පරිත්‍යාගශීලි අයෙක් යන හැඟීම ජනිත කරමිනි.   


කාලයේ ඇවෑමෙන් තම සරසවි පෙම්වතාගේ නියම ස්වරූපය බිරිඳට පසක් වන්නට විය. නිවසට පැමිණෙන්නේ බොහෝ රෑ බෝ වූ පසුවය. මත්පැන් ගඳ ඇයට අපුලය. අවසනැ ඇය පුතු සමග වෙනම නිදන්නට පුරුදු වූවාය. ඊට සැමියාගෙන් විරුද්ධත්වයක්ද එල්ල නොවිය. මන්ද අන් ළඳුන් ඔහුගේ අවශ්‍යතා සපුරන හෙයිනි. අන්තිමේ මව පුතු සමග මව්පියන් වෙත පලා ගියාය.   


ඉසුරුමත් බව කෙමෙන් ජේමිස් තුළින් පලා යන්නට විය. පංති වලට පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් අඩු විය. ශිෂ්‍යාවකට කරන ලද ලිංගික හිංසාවක් හේතුවෙන් පොලිසිය ජේමිස් අත්අඩංගුවට ගත් පුවතක් ඊට හේතු විය. කාන්තාවන්, මත්පැන් ආදී අවර කටයුතු වලට අතදිගහැර වියදම් කිරීමත් ආදායම් ලැබෙන මාර්ග අවහිර වීමත් නිසා ජේමිස් පරිහානිය කරා තල්ලු විය.   


බැංකු වලින් හා අන් අයගෙන් ගත් ණය මුදල් ගෙවා දැමීමට රැස්කර ගෙන සිටි දේපළ විකුණා දැමීමට සිදු විය. ඒ අතර මානසික හා කායික අාබාධ ද එළවා එළවා පහර දෙන්නට විය. පෙර රොද බැඳ සිටි මිතුරන් ඇසුරු කළ කතුන් ආදී කිසිවෙක් දැන් නැත. වැරහිලි ඇඳ ඉබාගාතේ අැවිදින සිහිවිකල් පුද්ගලයෙකු පමණක් විය. ජේමිස් හඳුනා ගත්තෝ ඔහුගේ පූර්විකාව සිහිපත් කළෝය.   


ඔය ටියුෂන්කාරයෙක්. ඔය මිනිහ සල්ලි හම්බ කෙරුවේ කිසිම හිතක් පපුවක් නැතුව. එකම ළමයෙකුටවත් නොමිලයේ ඉගැන්නුවේ නැහැ. දවසක් වැඩමුළුවකට ආ ළමයෙක් රු.100 ගෙව්වේ නැහැ කියලා ඉතා නරක විදියට සාප කළා. ඒවා ඒ ළමයට නොවෙයි. තමන්ට ආපහු වැදිලා. මෙවැනි පුවත් එබදු පූර්විකාවන් ගෙන් කියවුණි. තමන් කරගත් පාප කර්මවල ඵලය ජේමිස් පසු පසම අවුත් මෙලොවදීම ඒ ආකාරයෙන් අත්වින්දේය ලෝක ධර්මය ලෙසිනි. 

 


 
උහුමීය ගුණතිලක කැටියගනේ මහතා ලියා එවූ කතාවකි.   

එළදෙනකගේ ගාතය කපාගෙන කෑ පාපය ආරොන්ටත් බූමරංගයක් වූ සැටි.   


ආරොන්ගේ කල්කිරියාව එක විදියකි. නාහෙට නාහන මැරකම් ඔහු ඉස්මුදුනේ තබාගෙන සිටියේය. මීහරක් අං උඩු රැවුල නිසා ඔහුට ආරෑඪ වී තිබුණේ ඉන්දියාවේ සොර නායක වීරප්පන්ගේ රූප කායයි.   


දිනක් නිදැල්ලේ යන එළදෙනක් ආරොන්ගේ ඉඩමට පැන මොනවාදෝ පැළ කීපයක් පොඩි කොට දැමීය. එය දඩමීමා කොටගත් ආරොන් එළදෙන අල්ලා වගා පාළුවට බැඳගත්තේය. දවසක් දෙකක් එළදෙනගේ අයිතිකාරයෙකු නොආ බැවින් ආරොන්ට යකා නැග්ගේය. ඔහු තියුණු පිහියක් ගෙන එළදෙන මරහඬ දෙද්දී පණ පිටින්ම උගේ ඉදිරි ගාතයක් කපා ගත්තේය. හරක් මස් හැළියක්ම උයාගෙන කසිප්පු සමග ඇද බෑවේය. අසරණ සතා නොමැරුණත් දීර්ඝ කාලයක් අනේක දුක් වින්දේය. කල් ගත වෙත්ම ආ​ෙරාන්ගේ කල දසාව පිරිහෙන්නට පටන් ගත්තේය. ඔහු ජීවිකාව උපයාගනු පිණිස ඒ කිට්ටුව කොහු මෝලක මට්ටා මැෂිමේ වැඩට බැඳු​ෙණ්ය.   


මට්ටා ලෙලි මැෂින් පෙට්ටිය යනු මරුවා සමග කරන හැංගිමුත්තන් කෙළියකි. අඟල් දෙක තුනක දිග තියුණු යකඩ ඇණ වැද්දු කවාකාර රෝදයක් වේගයෙන් කරකැවෙයි. පදමට පෙඟුණු පොල්ලෙල්ල ඇතුළත කරකැවෙන රෝල් පොලු දෙකක් අතර හිදැසින් ඇතුළට එබිය යුතුයි. ‘‘බරාස්’’ ගා ඇතුළට ඇදී යන කොහුබත් ටික සීරි ගොස් කෙඳි රොල්ල ඉතිරි වූ විට වැර යොදා අාපසු ඇදගත යුතුය. අසුරු ගසන සැණෙන් තෙතබරි අතත් රෝල් පොලු අතර හිදැසින් රිංගා ගි​ෙයාත් මුළු ජීවිතයම කොහුය. පතෝල කරලක් හීනියට ඉරා දැමුවාක් මෙන් ලේ නහර ඇටකටු කුඩේ කුඩු වී මට්ටා පෙට්ටිය යටය. 

 
පණපිටින් එළදෙනෙකුගේ ඉදිරි ගාතය කපාගත් ආරොන්ගේ හුරු අතටත් දවසක් අැසිපිය තට්ටුවන ප්‍රමාදයෙන් සිදුවුයේ ඒ සන්තෑසියමය. බොත්තම් ගානට කැඩී ගිය ඇඟිලි ඇටකෝටු ඇහිඳගත් බල්ලෝ ඒවායේ මැරබෝන් මිදුළු සූප්පමින් ජය ඝෝෂා නැඟුවෝය. මස් කැබලි ලේ කොහුබත් සමග මුසු වූයේය.   


ආරොන්ගේ අත වැලමිට ළඟින් කපා දැමිණි.   


ආරොන්ගේ සියලු හයිකාරකම් එතැනින් නැවතිණි. ඔහුට ‘‘අතකොට’’ යන වාසගමක් ද එක්විය. කොහු​මෝල් සංස්කෘතියට අනුව අංග විකලභාවයට පත් අයට පිනට සොච්චමක් අතේ තබනු විනා එවැනි අවස්ථාවක ලැබෙන හරිහමන් වන්දි මුදලක්ද නැත.   


ආරොන්ට එතැන් සිට බඩ වියතට යමක් දමා ගන්නට ලැබුණේ අනුන්ගෙන් ලැබුණොත් පමණි. ප්‍රාණඝාතයටත් වඩා කෲර ලෙස පණපිටින් එළදෙනකුගේ ගාතයක් කපා උයා කෑ ආරොන්ට වැඩි කාලයක් නොගිසින් දිට්ඨ ධම්ම වේදනීය කර්මය පටිසන් දුන්​ෙන් එලෙසිනි.   

 



බෙලිඅත්ත දම්මුල්ල ජේ. කණ්ඩම්බි මහතා ලියා එවූ කතාවකි.   

බල අවියෙන් වැනසෙන්නෝ

   
මෙම යුගය දේශපාලන යුගය පළිගැනීම් වලින්ද පිරුණු එකකි. සීමිත කොටසකට පමණක් වරදාන බෙදාගත් අතර දුබල පාක්ෂිකයන්ද පාගා දැමු යුගයකි. ඇමතිවරයාට දැවෙන පැන ඉදිරිපත් කිරීමට ශාඛා සමිතියේ නිර්දේශය ලබාගත්තද පලක් නොවීය. එනම් පිටිපසින් ගොස් කේලාම් කියන සමිති ලේකම් සෝමදාස නිසාය.   


පාක්ෂික බැලයන් උදෙසා ජොබ්කාඩ් හඳුන්වා දුන්නේද එම යුගයේදීය. නමුත් සාමාන්‍ය පෙළ සමත් නොවූ මන්දපෝතකයින් උදෙසා වගා නිලධාරී, විශේෂ සේවා නිලධාරි හිස් තනතුරු උත්පාදනය වූයේද එම යුගයේදීය. සෝමදාසලා වැනි පිං පඩි පරපුරක් බිහිවීම නිසා ජනතාවට බදු බර පමණක් පැටවිණි. ආර්ථික ඵලදායිතාව හීනවුණි. සෝමදාසට විශේෂ සේවා තනතුරක් හිමි වූ අතර අනෙකුත් ජොබ් කාඩ් හිමියන්ට රැකියා ලබාගැනීමට ඔහු ඉඩ නොතැබුවේය. පාක්ෂික නිර්දේශ ලබාදීමේදී ලිංගික අල්ලස් මෙන්ම අරක්කු අල්ලස් ලෙස ඔහු ලබා ගත්තේය.   


රජයේ ඉඩමක කර්මාන්ත ශාලාවක් පිහිටුවීමට ඉඩ නොදුන් මොහු ඥාාතී මිත්‍රාදීන් අතරේ එම ඉඩමද බෙදාගති. ඉන් ගමේ සංවර්ධනය අඩාල වූ අතර රැකියා සිය ගණනක වරම්ද අහිමි විය. සෝමදාස මත් වූ විට දුබලයින් මෙන්ම ප්‍රබලයින්ද තළා පෙළා දැමීමට අමතක නොකළේය. දේශපාලන බලයෙන් පොලිසීයද අවනත කරගත් මොහුගේ සොහොයුරන්ගේන්ද බැට කෑමට ගම්මුන්ට සිදුවිය. මොවුන්ගේ හිරිහැර විඳදරා ගැනීමට නොහැකි වූ සමහර අය තුට්ටු දෙකට ඉඩකඩම්ද විකුණා දමා ගමට සමුදුන්නේ ජන හදවත් කම්පා කරවමිනි.  


ව්‍යාපාර කරමින් ජීවත් වූ පවුලකට නිරන්තරයෙන් කළ පීඩාද අපමණ විය. ඔවුන් වෙනත් පක්ෂයක මතයක් දැරීම ඊට හේතුවයි ඔවුන්ගේ හරක්, පොල් සොරාගැනීම සෝමදාසගේ නියෝග මත සිදුවිය. සෝමදාස වටා නූගත් තරුණ කැළ රොද බැඳ ගත්තේ සොරකමින් දිවි ගෙවීම පහසු නිසාය. ගම්මු සෝමදාසගේ මුහුණට මහත්තයෝ කීවද යටි සිතින් ශාප කළහ.  


ව්‍යාපාරික පියතුමා සෝමදාසගේ අතින් ඝාතනය විය. ගමේ තරුණයින් පිට ගමක තරුණයින් අතර ඇතිවූ ගැටුමකදී සෝමදාසලා ගමට එරෙහි විය. එහි විපාක ලෙස ගමේ තරුණයෝ සෝමදාස ගේ සොහොයුරෙකුද කුරිරු ලෙස ඝාතනය කළහ. ආණ්ඩු බලය තිබියදීම ඉර බැස යන්නා සේ සෝමදාසලාගේ බලයද බැසයන්නට විය. මතට ලොල්වී රාජකාරිය පැහැර හැරීම හේතුවෙන් සෝමදාසගේ රැකියාවද අහිමි විය. අනුනට අතපාමින් ජීවත් වූ සෝමදාසට 50 පිරෙන්නත් පෙර දිවියෙන් සමුගැනීමට සිදුවිය. මොවුනට රැකුල් දුන් ඇමතිවරයාද ජීවතුන් අතර අද නැත. ඔවුන්ගේ දේපලද විනාශ විය.   


සෝමදාසලාගේ කුරුරු ක්‍රියාකාරකම් ​හේතුවෙන් ගම හැර ගිය තරුණයකු කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ඇමතිවරයෙකු විය. ව්‍යාපාරික පවුල රටේම නමක් තබමින් අද වන විට ගමටද නම්බුවක් ගෙන දී ඇත. ඔවුන් දියුණු තත්ත්වයට පත්වූයේ ඉවසීම ප්‍රගුණ කළ බැවිනි. කුණාටුවක් එනවිට දෙකට නැමී කඳ රැකගන්නා සියඹලා ගස මෙන් ක්‍රියා කිරීමෙන් දිවි රැකගත හැකිය.  

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.   

සකස් කළේ,   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්