මහවැලි ගංගාවේ අතු ගංගාවක් වන සුන්දර බදුලු ඔය කඳු ශිඛර මැදින් ගමන් කරන්නේ එහි මුල් කොටසේදීම සුන්දර දුන්හිඳ දිය ඇල්ල නිර්මාණය කරමිනි.


දෙස් විදෙස් සංචාරකයින්ගේ නෙත් සිත් ඇද බැඳ ගත් දුන්හිඳ ඇල්ලට තවත් මදක් පහළින් පුංචි දුන්හිඳ නමින් තවත් කුඩා දිය ඇල්ලකි. මේ දිය ඇලි දෙක ගැනම බොහෝ පිරිසක් දැන සිටියත් දුන්හිඳ දිය ඇල්ල පිහිටි ස්ථානයට තවත් කිලෝමීටර් හත අටක් පහළින් බදුලු ඔයේ අවසන් භාගයේ පිහිටි රන්පුහුලාවළ නම්වූ  අති සුන්දර බිම් තීරුව ගැන බොහෝ දෙනෙක් නොදනිති.
ඓතිහාසික සිද්ධීන් මෙන්ම විවිධ වූ ජනප්‍රවාදයන් රැසකට මෙම ස්ථානය පසුබිම් වුවත් ඒ ගැන දන්නේ ඒ අවට ප්‍රදේශයන්හි වෙසෙන ඉතා සුලු පිරිසකි.


එතරම් උස් නොවූවත් මනරම් දසුනක් මවා පාමින් ගල් තලාවක් මතින් ඇද හැළෙන සුන්දර දිය ඇල්ලකින් සේම අක්කර ගණනාවක් පුරා පැතිර ගිය නිල් ජලය රැඳි සුවිසල් තටාකයකින්ද තවත් පරිවාර ජල තටාක රැසකින්ද සමන්විත වූ සොබා දහමේ අපූරු දායාදයක් බඳු වූ රන්පුහුලාවළ මෙතෙක් කලක් ලෝකයාගෙන් වසන්ව පැවැතියේ එම ස්ථානයට ළඟා වීමට තරම් මාර්ග පහසුකම් නොතිබුණු නිසා වන්නට ඇත.


කලකට පෙර බදුල්ලේ සිට මහනුවර බලා අශ්ව කරත්තයක් ගමන් කළේ යැයි කියවෙන මාවතක සලකුණුද  මිනිස් පා සටහන් සලකුණු කළ ගල් තලාවක්ද මෙම ස්ථානයයේ දී දැකිය හැකිය.


මෙහි අවට තවත් සොඳුරු දසුන් බොහොමයකි. මෙහි පිහිටි විශාල ජල තටාකයෙන් විටෙක රන් පුහුලක් මතුවෙන බවත් ඒ නිසාම මෙයට රන්පුහුලාවළ යන නම පටබැඳුණු බවටත් ප්‍රදේශයේ ගම්මු අතර ඇති ජනප්‍රවාදයකි. මෙම ස්ථානයට වසරක් පාසා මිනිසුන් බිලි ගන්නේ යැයිද ගම්මුන් අතර තවත් මතයකි.


මෙම ස්ථානය රජුන් දිය නෑ තොටුපළක් බවත් ඔවුන් ආ ගිය උමගක් යාබදව පිහිටි ගල්ගේලන්ද ගමේ පිහිටා ඇති බවටත් ගම්මුන් අතර තවත් ජනප්‍රවාදයකි.


කොතරම් සුන්දර වුවත් අතීත කතා රැසකට පාදක වුවත් ලෝකයාගෙන් වෙන්ව පැවැති මේ සුන්දර ඉසව්ව පසුගියදා ලොවටම නිරාවරණය වූයේ මෙම ස්ථානයේදී අසන්නට ලැබුණු කඳුළු කතාවකිනි.


ඒ, මෙම ස්ථානයේ දිය නෑමට පැමිණි කන්දකැටිය වැවතැන්න විද්‍යාලයේ සිසු පිරිසක් අතර සිටි 13 හැවිරිදි සිසුවකු ඉකුත් 23 වැනිදා ඉර බැස යන්නට හෝරාවක් පමණ තිබියදී මෙම ස්ථානයේ පිහිටි වතුර වළක වැටී ජීවිතක්ෂයට පත්වූ පුවත සැලවීමත් සමගිනි.


මේ අවාසනාවන්ත ඉරණමට ලක්වූවේ කන්දකැටිය අධ්‍යාපන කොට්ටාසයට අයත් බ / වැවතැන්න විද්‍යාලයේ අටවැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ ආර්. එම්. සසින්ත මධුෂාන් නමැති 13 හැවිරිදි සිසුවෙකි.


සසින්ත අධ්‍යාපනය ලැබූ වැවතැන්න පාසලේ සිට රන්පුහුලාවළට තිබුණේ කිලෝමීටර් දෙක තුනකටත් අඩු දුරකි. රන්පුහුලාවළේ නිතර දිය නෑමට යන වැඩිහිටියන්ගෙන් එහි බොහෝ විස්තර අසා දැන සිටි සසින්තටද එහි යාමට තිබුණේ දැඩි ආසාවකි. කීප විටක් එහි ගොස් දිය නා තිබුණත් එහි සුන්දරත්වයට වශී වී සිටි සසින්ත ඇතුලු මිතුරු පිරිසට යළිත් එහි යාමට තිබුණේ දැඩි උනන්දුවකි.


“අපි වාර විභාගේ ඉවර වෙලා පාසල ඇරුනම හවස් වෙලාවක ඔතෙන්ට ගිහින් නාමු” සසින්තගේ මිතුරෙක් ගෙනා යෝජනාවට සසින්තගෙන් මෙන්ම සෙසු මිතුරන්ගෙන්ද ලැබුනේ ඉහළ ප්‍රතිචාරයකි. අපි සර්ල ටීචර්ලටත් කියමු. “මේ තවත් අතුරු යෝජනාවකි. “අපිත් එනවා” මිතුරු පිරිසේ සිටි ගැහැණු ළමයි පිරිසක්ද දඟකාර ලෙස ඉල්ලීමක් කළේ ඔවුන්ද රන්පුහුලාවළේ අසිරිය ගැන අසා තිබූ බැවිණි.


“තාත්තේ අපි යාලුවොත් එක්ක රන්පුහුලාවළේ නාන්න යනවා. මිටින් හල කුරුල්ලෙකු සේ නිවසට පැමිණි සසින්ත ගමනේ තතු විත්ති පියාටත් මවටත් කීවේ ඔවුන්ගේ අවසරයද බලාපොරොත්තුවෙනි.


රන්පුහුලාවළ යනු මේ අවට බොහෝ පිරිසක් නිතර දිය නෑමට යන තොටුපළක් නිසාම සසින්තගේ පවුලේ උදවියටද ගමනේ අමුත්තක් නොතිබිණි. “පුතේ පරිස්සමට නාල එන්න ඕනෑ. ඔතන ගල් ලිස්සනව. වතුරට බහින්නේ පරිස්සමට” සසින්තගේ මව ඩබ්ලිව්. එම්. කමලාවතී මෙන්ම පියා වීරසිංහ මුදියන්සේලාගේ රත්නායක (38) එසේ කීවේ  හිත තුළ තිබූ කිසියම් චකිතයක් නිසාම නොවේ. දරුවෙකුට මවක් සහ පියෙක් දෙන අවවාදයක් ලෙසිනි.


සසින්තගේ මිතුරු රෑනේ සිටි පිරිමි දරුවෝ සිව් දෙනෙක් මෙන්ම ගැහැණු දරුවෝ නව දෙනෙක් ද පාසලේ ගුරුවරුන් හය දෙනෙක්ද ගමනට සූදානම් වූවේ වනවලින් අසා තිබූ රන්පහුලාවළේ සුන්දරත්වය අත්විඳීමේ සිත් තුළ තිබූ දැඩි ආසාව නිසාමය.


පිටස්තර ප්‍රදේශවලින් පැමිණ ප්‍රදේශයේම එක් එක් තැන්වල නේවාසිකව සිටි ගුරු පිරිසටද මෙය අපූරු අත්දැකීමක් වූ අතර පාසල් වේලාවෙන් පසු ගමනක් වුවද ඔවුහු දරුපැටවුන්ගේ ආරක්ෂාව ගැනද දැඩි විමසිල්ලෙන් සිටින්නට අමතක කළේ නැත.


සසින්තගේ ආත්තම්මා සසින්ත ඇතුලු පිරිසට කන්නට රොටී සමග සම්බෝලයක්ද හදා දුන්නේ “පුතේ අවුරුද්දක් ගානේ එතන මිනිස්සු බිලි ගන්නවා” යනුවෙන් සසින්තට පුංචි අවවාදයක්ද කරමිනි.


තුන්රෝද රථ කීපයකින් රන්පුහුලාවළ ආසන්නයට පැමිණි සසින්ත ඇතුලු පිරිස මුලින්ම ඒ අසල තිබූ විදුලි බලාගාරය නැරඹුවෝය. එහි ඇතුළට යන්නට ඔවුන්ට අවසර නොලැබීම නිසාම එතනින් එහාට ගමන් කළ පිරිස බදුලු ඔයට බැස රන්පුහුලාවළ  සුන්දර ඉසව්ව කරා පිය නැගුවේ එහි සුන්දරත්වය අත්විඳිමින් දිය නා සතුටු වන්නටය.


කෑ කොස්සන් ගසමින් එකිනෙකාට වතුර ගසා ගනිමින් ඇති තරම් සතුටුවූ දරු පිරිස දෙස බලමින් ඔවුන් සමග ගිය ගුරුවර ගුරුවරියන් ලැබුවේ අපමණ සතුටකි.


එහෙත් ඒ සතුටු පිරි දෙනෙත් නිමේෂයකදී කඳුළින් බර වූවේ ඔවුන් කිසි දිනෙක දකින්ට අකැමැති දසුන් පෙළක් ඔවුන් ඉදිරියේ දිග හැරෙමිනි. කන්දකැටිය දිසා රෝහලේ පැවැති සසින්තගේ මරණ පරීක්ෂණය පැවැත්වූ ගලඋඩ හදිසි මරණ පරීක්ෂක ආර්. එම්. සෙනවිරත්න මහතා හමුවේ සාක්ෂි දුන් සසින්තගේ මිතුරෙකු වූ ඩී. එම්. සුමිත් නිශාන්ත තිලක් (16) සිසුවා එම සිදුවීම් පෙළ වචන බවට පත්කළේ තම දෙනෙතින් කඩා හැළෙන කඳුළු බිඳු සඟවා ගන්නට තැත් කරමිනි.


“අපි පහළ වළෙන් නෑව. ගෑණු ළමයි උඩහ වළකින් ටීචලත් එක්ක නෑව. සර්ල කීව පරිස්සමට නාන්න කියල. වළවල් වගයක් පෙන්නල එතැන්ට යන්න එපා කියලත් කීව. අපි නාල ඉවර වෙලා උඩට ආව. සර්ල මේ පැත්තේ කවදාවත් ආව අය නෙමෙයි. එයාල අපිට ගල උඩ ඉන්න කියල ටිකක් උඩ පැත්ත බලන්න යනව කියල ගියා. වළවල්වලට බහින්න එපා කියලත් සර්ල කීව. මේ වෙලාවේ සසින්ත කීව අර වළ ළඟ ගොඩක් ගැඹුරුද කියල බලමු කියල. අපි වතුරට බැහැල අත්දෙක අල්ලගෙන ඉස්සරහට ගියා. සසින්ත ගියේ ඉස්සරවෙලා. ටික දුරක් යද්දි අපි දෙන්න ලිස්සල වැටුණ.

සසින්ත වළ ඇතුළට ගියා. මම පස්ස හැරිල පීනගෙන ආව. සසින්ත උඩ ආව් නැහැ.”


ගල උඩ සිටි  චමිත් නම් වූ තවත් සිසුවෙක් සසින්ත වතුරට වැටෙනවා හොඳටම දැක්කේය. ඉන් දැඩි සේ කලබලයට පත් ඔහුට කරන්නට දෙයක් නොවූවත් ඔහු හැකි වෙර යොදා කෑ ගසන්නට පටන් ගත්තේ “සර් සසින්ත වතුරට වැටුණා” කියමින් ඔහු සිය ගුරු පිරිසට කෑ ගැසුවේය. 


මරණ පරීක්ෂකවරයා හමුවේ සාක්ෂි දුන් දිසානායක මුදියන්සේලාගේ සඳසිරි කුමාරතුංග ගුරු මහතා ඒ මොහොත මෙසේ සිහිපත් කළේය. “මිය ගිහින් ඉන්නේ මගේ පාසලේ දරුවෙක්. මේ දරුවො රන්පුහුලාවළ බලන්න යන බව අපට දැන ගන්නට ලැබුණා. පාසලේ ඉන්නේ පිට ප්‍රදේශවල ගුරුවරු. ඒ අය මෙතන ගැන දන්නේ නැහැ. ඒ නිසා ඒ අයත් ළමයි සමග ගමනට එකතු උනා. පාසලෙන් සංවිධානය කළ ගමනක් නොවුණත් අපි දරුවො ගැන හොයල බැලුවා.


එතන්ට ගිහින් අපි මුලින්ම දරුවො එක්ක නෑව. දරුවන්ට ඉන්න කියල අපි ටිකක් ඔයේ උඩ පැත්තට ගියා. ඔය උඩහට යද්දී දරුවෝ කෑ ගහනව අපිට ඇහුණ. අපි දුවගෙන ආව. මම දරුව ගිලුනා කියන තැනට පැනල වතුරේ කිමිදුනා. එතකොට මට දරුවගේ අත අහු උනා. අපි එයාව උඩට අරන් කෘත්‍රිම ස්වසනය දීල බඩ තදකළා. ඒ වෙලාවේ නහයෙන් ලේ බින්දු කිපයකුත් පිට උනා. අපි පුලුවන්තරම් ඉක්මනට දරුවා කන්දකැටිය රෝහලට ගෙනාවත් ඒ වන විටත් දරුවා මිය ගොස් තිබුණා.


තම වැඩිමහල් දරුවාගේ අකල් වියෝවෙන් දරුවාගේ මව මෙන්ම පියාත් ආත්තම්මාත් සිටින්නේ දරා ගත නොහැකි ශෝකයෙනි. මව කමලාවතී හැඬූ කඳුළින් මෙසේ කීවාය.


“මට ඉන්නේ දුවයි පුතයි. මෙයා වැඩිමලා. මෙයා ඉන්නේ ආච්චිලගේ ගෙදර. එදා  උදේ පාසැල් ගියා. හවස ගෙදර ඇවිත් කෑම කාලා දෙකට විතර ඔයේ නාන්න යනව කීව. ඊට පස්සේ උන දේවල් මම මොකුත් දන්නේ නැහැ. හවස හයට හතට විතර අපිට ආරංචි උනා දරුව මිය ගියා කියලා. අපිට මේ දරුවාගේ මරණය ගැන කිසි සැකයක් නැහැ. සිදුවුණු දේවල් මෙයත් එක්ක ගිය අනිත්  දරුවෝ දකල තියෙනවා.”


සසින්තගේ වියෝවෙන් කම්පාවට පත්ව සිටින්නේ ඔහුගේ මව්පියන් හා ඥාතීන් පමණක් නොවේ. ඔහුගේ පාසලේ මිතුරු මිතුරියෝ ගුරු පිරිස මෙන්ම ගම්වාසීහුද මේ දරුපැටියාගේ මරණයෙන් දැඩි ලෙස කම්පාවී සිටිති. සසින්තත් සමග ගමනට එක්වූ දරු පිරිස මෙන්ම ගුරුවර ගුරුවරියෝද සිය ගමන් සගයාට අත්වූ ඉරණම ගැන සිටින්නේ දැඩි ව්‍යාකූලත්වයකිනි. 


වැවතැන්න පාසලේ විදුහල්පති ආර්. එම්. සෙනවිරත්න මහතාද තම පාසලේ දක්ෂ හා විනීත දරුවෙකුට අත්වූ මෙම ඉරණමින් දැඩිසේ කම්පාවට පත්ව සිටින අයුරු ඔහු හා කළ කතා බහේදී අපට අත්දකින්නට ලැබිණි.


“සසින්ත කියන්නේ ඉගෙන ගන්නත් ක්‍රීඩාවට වගේම පාසලේ බාහිර කටයුතුවලටත් හරිම දක්ෂ දරුවෙක්. මේ දරුව අහිමි වීම දෙමාපියන්ට වගේම අපේ පාසලටත් ලොකු පාඩුවක්” විදුහල්පති සෙනවිරත්න මහතා අපි සමග කීවේ දැඩි කණගාටුවකිනි.


දරුවාගේ මරණය සම්බන්ධයෙන් මේ වන විටත් ප්‍රදේශය පුරා විවිධ කටකතා පැතිර යමින් පවතින අතර මෙහි වගකීම පාසලේ ගුරුවරුන් පිට පැටවීමටද පිරිසක් කටයුතු කරන බවද එහි ගිය අපට අසන්නට ලැබුණි. ඒ නිසාම අපි විදුහල්පති සෙනවිරත්න මහතාගෙන් ඒ ගැනද විමසුවෙමු.


“මේක පාසලට සම්බන්ධ ගමනක් නෙමෙයි. මේ දරුවො ගිහින් තියෙන්නේ ඔයේ නාන්න. මේ අය මෙතෙන්ට වෙනදත් තනියෙන් ගිහින් නානවා. ඔය කියන දවසේ පාසලේ ගුරු පිරිසත් ගිහින් තියෙනව. මේ දරුව තවත් දරුවෙකුත් එක්ක රන්පුහුලවළට උඩහ පැත්තේ තියෙන වළක ගැඹුර බලන්න බහින්න හදද්දි තමා මේ අනතුර වෙලා තියෙන්නේ. පස්සේ මේ සද්දේ ඇහිලා උඩහ පැත්තේ  හිටිය ගුරුවරු ගිහින් තමා දරුව ගොඩ අරන් රෝහලට ගෙනත් තියෙන්නේ. මේ සිදුවීමට ගුරුවරු හෝ පාසලේ සම්බන්ධයක් නැහැ. පාසල් වෙලාවෙන් පස්සේ උන සිදුවීමක් විතරයි.


කෙසේ වෙතත් දරුවා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ බදුල්ල පළාත් රෝහලේ අධිකරණ වෛද්‍යය නිලධාරී  ආර්. එම්. යූ. එල්. ලිඳවත්ත මහතාගේ වාර්තාව සැලකිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂක ආර්. එම්. සෙනවිරත්න මහතා මෙය දියේ ගිලී හුස්ම හිරවීමෙන් සිදුවූ හදිසි මරණයක් බවට තීන්දු කළේය.


කන්දකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන හේරත් මහතාගේ උපදෙස් මත උපපොලිස්  පරීක්ෂක ගාමිණි ටිකිරිබණ්ඩාර මහතා සාක්ෂි මෙහෙයවීය.


සතුට සොයන්නට ගොස් කඳුළක් උරුම කර දුන් සසින්ත මේ වන විටත් ඔහුට ආදරය කළ සියලු දෙනාගෙන්ම සමුගෙන ගොසිනි. එහෙත් සසින්ත අපිට සමු දුන්නේ දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩිහිටියන් තුළ තිබිය යුතු අවධානය පිළිබඳ පාඩම් රැසක් අපට කියා දෙමිනි.


සටහන / ඡායාරූප :
වියලුවේ නිශාන්ත කුමාර