කෙනෙකුගේ බර තම කර මත පටවාගෙන සිය ජීවිකාව කරගෙන යන පිරිසක් සොයා පසුගිය දිනක මම කොළඹ නගරයේ ඇවිද්දෙමි. දහවල් 11 පසුවී විනාඩි 20ක් පමණ වන විට ඔවුන් සිටියේ ඉතා කලබලකාරී මොහොතකයි. ඔවුන් සමග කතා කිරීමට කිහිප සැරයක් ආයාචනා කිරීමට මට සිදුවිය. ඒ ඔවුන් ඒ තරම්ම කාර්යබහුල වීම නිසා වෙනි. මා සමග කතා කරන විනාඩි කිහිපය ඔවුනට වටී. ඒ එම විනාඩි කිහිපය තුළදී ඔවුන්ගේ ගතමනාවට තට්ටුවන නිසාවෙනි.

 

 

පිටකොටුවේ 2 වැනි 3 වැනි හා 4 වැනි හරස් වීදි දිගේ ගමන් කරන ඔබට මොවුන් නිතැතින්ම හමුවනු නොඅනුමානයි. ඔවුන්ගේ කට හඬ ඔබට හොඳට පුරුදුය.


‘සයිඞ්’ ‘සයිඞ්’ ‘සයිඞ්’ එසේ නොමැති නම් ‘ඉඩ’ ‘ඉඩ’ ‘ඉඩ’ එසේත් නැතිනම් ‘අයින්, අයින් අයින්’ ලෙස කෑකෝ ගසන පිරිස ඔබ අසා ඇති. ඔවුන් වෙන කවුරුත් නොව පිටුකොටුවේ අනුන්ගේ බර ඔසවන නාට්ටාමිකරුවන්ය. අනුන්ගේ බර තමන්ගේ බර මෙන් උසුලන් යන්නේ තම ජීවිකාව වගේම පවුලේ ජීවිකාව ද රැකගැනීමටයි.


විටෙක ඔවුන් රළු භාෂාවෙන් කතා කරති. ඒ ඔවුන් ගෙන යන බර ප්‍රමාණය උසුලා දැරීමට නොහැකි විටයි. එසේ බර පටවාගෙන යන කරත්තයට කිසියම් අයකු බාධා කළහොත් එසේ නොමැති නම් මාර්ගය අවහිර කළහොත් කථා කරන භාෂාවෙන් කිවහොත් ඔවුනට මල පනින තත්ත්වයට පත්වෙයි. ඒ වෙලාවේදි ඔවුන්ගේ භාෂාව රළු වුවත් ඔවුන් ඉතා සංවේදී පිරිසකි. ඔවුන් නිසා පිටකොටුව මැනිං වෙළෙඳපොළ වගේම 2, 3, 4 වැනි හරස් වීදිවල මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට මහත් අත්වැලකි. දිනක් හෝ ඔවුන් සියලු දෙනා සේවය වර්ජනය කළහොත් බඩු ගෙන යාම, භාණ්ඩ පැටවීම හා බෑම සම්පූර්ණයෙන්ම නතර වෙයි. එවැනි අවස්ථාවල ව්‍යාපාරිකයෝ අසරණ වෙති. පිටකොටුවේ නාට්ටාමිලා නිසා ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු සාර්ථකව පවත්වාගෙන යා හැක. එහෙත් එම මහාපරිමාණ ව්‍යාපාරිකයන් නාට්ටාමිවරුන්ට සලකන ආකාරය නම් එතරම් සුබවාදී නොවෙයි. ඔවුන් සිතා සිටින්නේ නාට්ටාමිවරුන් ඔවුන්ගේ වහල්ලුන් බවයි. ඒත් ඒ ආකල්පය අනුමත කළ නොහැක. නාට්ටාමිවරුන් නොමැති වූ විට දිනපතා කොළඹ පිටකොටුවට පැමිණෙන දහස් සංඛ්‍යාත භාණ්ඩ ලොරිවල බඩු බෑම හෝ පැටවීම සම්පූර්ණයෙන්ම ඇනහිටියි.


ඔවුන්ගේ වැඩ රාජකාරි කරන අතරතුර දැඩි උත්සාහයක් ගෙන මම ඔවුන් සමග කතා කළෙමි. එහෙත් ඔවුන් මගේ හඬට සවන් දීමක් නැත. ඒ අතර තුර තවත් නාට්ටාමිකරුවෙකු මහ හඬින් කෑ ගසයි. ‘ඔය කෑලි ටික ඉක්මනට බාපන්, වැස්සොත් ඔක්කොම ඉවරයි’ මා මදක් ඉන් ඈත් වූනිමි. ඒ මං නිසා ඔවුන්ගේ රැකියාවට බාධාවක් සිදුවේයැයි සිතමිනි. ඒ තත්ත්පර ගණනට ඔවුනට ලැබෙන මුදල් අහිමිවීමට හේතු වෙනවා නොඅනුමානයි.


කෙසේ වෙතත් මගේ පෙරැත්ත මත ඔවුන්ගේ එක් අයකු මගේ හඬට සවන් දුනි.


‘මම ඉරිදා ලංකාදීප පත්තරෙන්. පොඞ්ඩක් කතා කරමුද?’
‘මොනවද මහත්තයෝ කතා කරන්න තියෙන්නේ. පේන්නැද්ද මෙතන වැඩ. පොඞ්ඩක් පරක්කු වුණොත් තව ටැංකියක බඩු බාන්න බැරි වෙනවා.


‘මොකක්ද ටැංකියක් කියන්නේ’ මගෙන් ප්‍රශ්නයකි’
‘ඇයි මහත්තයෝ ටැංකියක් කියන්නේ කන්ටේනරයටනේ. අඩි 40 අඩි 20 ටැංකි තමයි ගොඩක් එන්නේ. එයින් එකක් අල්ල ගත්තොත් ඉතින් ලාභයක් තියෙනවා.


‘කරුණාකරලා නම කියන්න පුළුවන්ද?’
‘මම සලීම්’


‘ගම කොහේද?’
‘ආදුරුප්පු වීදියේ’


‘ගොඩක් කල් ඉඳලද මේ රැකියාව කරන්නේ’
‘දැන් අවුරුදු 14 ක් 15 ක් වෙනවා.’


‘කොහෙටද මේ බඩු ගෙනියන්නේ?’
පිට පළාත්වලින් එන කුළු බඩු වර්ග තමයි ගොඩාක් මේ බජාර් එකට එන්නේ. සුදු ලූනු, ලොකු ලූනු, මිරිස්, පරිප්පු වගේ දේවල් දිනපතාම මේ බජාර් එකට එනවා. අපි ඒ බඩු ලොරිවලින් බාලා වෙනත් පළාත්වලට යන ලොරිවලට පටවනවා. නැත්නම් ඒ බඩු සිල්ලර කඩවලට පටවනවා.


‘කීයට විතරද වැඩට එන්නේ?’
‘අපි උදේ 8 වෙනකොට එනවා. මොකද ටැංකි හරි ලොරි හරි පාන්දරම එනවනේ. ඉතින් උදෙන්ම ඇවිත් ටැංකියක් හරි ලොරියක් හරි අල්ලගන්නවා. ඒකෙන් බඩු ටික බාලා අපේ කරත්තයට පටවගෙන යන්න තියෙන තැනට ගෙනිහින් දෙනවා. අපිට රු. 50, 60, 40 ක් වගේ ගාණක් තමයි එක කෑල්ලකට ගෙවන්නේ. කෑල්ලක් සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 50 ත් 60 ත් අතර බරයි. ඒවා ගෙනියන දුර ප්‍රමාණය අනුව අපේ ගාණ වෙනස් වෙනවා.


‘දවසට කීයක් විතර ආදායමක් ලබනවාද?’
‘අපි කොහොමත් දවසකට රුපියල් 1500ක් 2000ක් අතර මුදලක් සොයා ගන්නවා. ඒක හැමදාමත් නෑ. සමහර දවසට රුපියල් දෙසීයක් වගේ ආදායමක් තමයි ලැබෙන්නේ. එදාට ඉතින් අපට හුළං තමයි. ගොඩක් වහින දවස්වලට කිසිම ආදායමක් නෑ. මොකද මේ බඩු තෙමෙන් නැතුව ගෙනියන්න ඕනෑ. තෙමුණොත් බඩුවලින් වැඩක් නෑ. ඒක නිසා අපි ඒ බඩුත් පරිස්සන් කරගෙන අපිත් පරිස්සම් වෙලා යන්න ඕනෑ. මොකද කරත්තෙකට වැදිලා තුවාලයක් උනොත් ගෙදර පවුලම බඩගින්නේ.


‘මම අතුරු ප්‍රශ්නයක් යොමු කළා’


‘පවුලේ තොරතුරු ටිකක් කිව්වොත්’


අනේ මහත්තයෝ අපි කරන රක්ෂාව ගැන ගොඩක් අය හිතන්නේ පහත් රක්ෂාවක් කියලා. ඉතින් අපේ පවුලේ තොරතුරු වැඩිය කියන්න කැමැති නෑ. මගේ බිරිඳයි දරුවෝ තුන් දෙනයි ඉන්නේ. වැඩි විස්තර මම කියන්න කැමැති නෑ.


‘හොඳයි මේ ආදායම ඇතිද පවුලේ නඩත්තුවට?’
ඇත්තටම මේ මුදල මදි. ඒත් අපි වැඩිපුර ගාණක් අතට ආවාම ඒක ඉතුරු කර ගන්නවා ආදායමක් නැති දවසට ගන්න. මොකද අපි එදිනෙදා ගන්න මුදල දවසේ වියදමට තමයි යොදවන්නේ. ඉතිරියක් කියලා කරන්නේ බොහෝම කලාතුරකින්. මේ රක්ෂාව කරන්න පුළුවන් අතේ හයිය තියෙනකම් විතරයි. ඉතින් එතකම් අපි කීයක් හරි සොයා ගන්නවා.


නාට්ටාමි ජීවිතය ඇත්තටම සැහැල්ලු ජීවිතයක් නොවෙයි. ඔවුන්ගේ නාට්ටාමි රැකියාවද අගෞරවයක් වන හෝ පහත් රැකියාවක් නොවෙයි. එහෙත් ඇතැම් දෙනා සිතන්නේ නාට්ටාමි යන රැකියාව පහත් රැකියාවක් බවයි. එහෙත් ඔවුන්ගෙන් වෙන සේවාව මිල කළ නොහැකියි. එහෙත් ඔවුනට මිලක් නියම කර තිබේ. ඒ ඔවුන් රැගෙන යන බර ප්‍රමාණය අනුවයි.


පිටකොටුවේ හතරවැනි හරස් වීදිය ඔස්සේ ගමන් කළ මට තවත් නාට්ටාමි කෙනෙකු හමුවුණා. ඔහු සිය රාජකාරි කටයුතු අවසන් වී ටිකක් ගිමන් හරින අවස්ථාවකයි මට හමුවුණේ. එහෙත් මම ඔහුට කරදර කරන්න අකැමැති වුණත් මගේ අවශ්‍යතාව ඔහුට ප්‍රකාශ කළා.


‘ඔබතුමන් ගිමන් හරින වෙලාව නේද? කමක් නැද්ද මම කතා කළාට’


කියන්න මහත්තයෝ මම මේ කෑල්ලක් බාලා පොඞ්ඩක් මහන්සි අරිනවා.


‘මොකක්ද ඔය කෑල්ල කියන්නේ?’
‘මේ අපේ බජාර් එකේ භාෂාව. කෑල්ලක් කියන්නෙ මේ කරත්තෙට පටවන භාණ්ඩ ප්‍රමාණය. ඒක කිලෝ 50, 100, 60 වෙන්න පුළුවන්. ඉතින් ඒ කෑලි ටික ලොරියෙන් බාලා කඬේට දාලා බලන් ඉන්නවා තව කෑලි ටිකක් හම්බවෙනකම්.


‘ඔබගේ නම සඳහන් කළොත්?’


‘මගේ නම සේදවත්තේ එස්. ආරුමුගම්


‘කොහොමද මේ රැකියාව’

 


‘මොනවා කරන්නද මහත්තයෝ දුක තමයි. පේනවනේ මේ භාණ්ඩවල බර. මේවා උස්සගෙන කරත්තයක පටවලා අවශ්‍ය තැනට ගිහින් දෙන එක තමයි රාජකාරිය. අපිට මේ මුදලාලිලා ලක්ෂ 25, ලක්ෂ 50 වගේ බඩු දෙනවා. ඒ අපි කෙරෙහි තබා ඇති විශ්වාසයට. අපි කවදාවත් වංචාවක් කරන්නෑ. මම දැන් අවුරුදු 25ක් තිස්සේ මේ රක්ෂාව කරන්නේ. තාම වංචාවක් කළේ නැහැ.

ඒක නිසා අපිව ඔවුන්ට විශ්වාසයි.


‘මේ රක්ෂාව හරි දුෂ්කරයි නේද?’
‘මොනවා කියනවද මහත්තයෝ, අපිට ඉතින් අපේ පිහිටම තමයි. අපිට කියලා අර්ථසාධක පාරිතෝෂික වගේ කිසිම දීමනාවක් ලැබෙන්නේ නැහැ. ඇඟේ හයිය තිබෙනකම් තමයි මේ රැකියාව කරන්නේ. අපිට ඉතින් නිදහසක් තිබෙනවා. වේලාවට එන්න යන්න අවශ්‍ය නැහැ. හැබැයි ඉතින් අපි වැඩක් නොකළහොත් අපිටමයි පාඩුව. ආදායමක් හම්බවෙන්නේ නැහැනේ.


මේ රක්ෂාවක් හැටියට අපි මේක කළාට අපිත් හොඳට කාලා බීලා ඉන්නවා. අපිට ලැබෙන ආදායමෙන් ගෙදර දරුමල්ලොන්ට විය හියදම් කරනවා. ඔවුන්ගේ පාසල් කටයුතුවලට වියදම් කරනවා. එක දෙයක් කියන්න ඕනෑ. මහත්තයෝ අපි මේ වැඩ ඉවර වුණාම හවසට අනිවාර්යයෙන්ම මත්පැන් ටිකක් පාවිච්චි කරනවා. මොකද දවස තිස්සේම වැඩ කරලා හරිම අමාරුයි. අපි නිදහසේ කරන්නේ ඒ නරක දේ තමයි. අපි අනිත් යුතුකම් සියල්ලම ඉටු කරනවා. ඕක තමයි අපේ ජීවිතේ හැටි.


‘මේ කරත්තෙ ගන්නේ කොහෙන්ද?’
අපිට මේ කරත්ත දෙන මුදලාලි කෙනෙක් ඉන්නවා. අපි උදේ 8ට කරත්තේ ගත්තම හවස 5 - 6 වන විට භාරදෙනවා. කරත්තෙට කුලිය රුපියල් 100 ක් ගෙවන්න ඕනෑ. සමහර දවස් වලට රාත්‍රී 8 - 9 වෙනකම් රැකියාව කරනවා. රෑට ලොරි ටිකක් වැඩිපුර එනවනේ. එදාට ඉතින් ආදායම හොඳයි. හැබැයි වැස්සක් වැස්සොත් ඔක්කොම ඉවරයි. අනික අසනීපයක් හැදුනොත් එදාට ඉතින් ආදායම් සියල්ල ඉවරයි.


අපි දවස පුරා මේ මුදලාලිලාට වැඩකරනවා. ඒත් අපට මළගෙදරක හෝ වෙනත් දේකට කියලා උදව් කරන්නෑ. ඒගොල්ලෝ හිතන්නේ අපි ඒ ගොල්ලන්ගේ වහල්ලු කියලා. අපි ඉතින් හරියට ඉගෙනගෙන නෑනේ. ඒත් අපේ නාට්ටාමිලා ඉන්නවා හොඳට ඉගෙන ගත්ත අය. ඒ ගොල්ලන්ගේ නරක වෙලාවට තමයි මේ රැකියාවට යොමුවෙලා තිබෙන්නේ. ගොඩාක් දුරට අධ්‍යාපනය ලබපු තරුණයෝ හිටියා. දැන්නම් ඔවුන්ගෙන් කිහිප දෙනෙකුම වෙනත් රැකියාවලට යොමුවෙලා. සමහරක් අය නම් අපිව දැක්කම කතා කරලා කීයක් හරි අත මිට මොලවලා යනවා. ඒත් තවත් අය ඉන්නවා අපේ මූණවත් බලන්නේ නැහැ. ඒ වෙලාවට හරි කනගාටුවක් ඇතිවෙන්නේ. අපිත් එක්ක එකට මේ බඩු උස්සලා කරත්ත තල්ලු කළා කියලා මතක නැහැ.


මම 4 වැනි හරස් වීදියේ බොහෝ දෙනෙකු සමග කතා බහ කිරීමට උත්සාහ ගත්තෙමි. එහෙත් ඔවුන්ගේ කාර්ය බහුලත්වය නිසා ඒ අවස්ථාව මගහැරිණ. ඔවුන් ඒ මොහොත වන විට බඩු බෑම ඒවා රැගෙන යාම සිදු කරමින් සිටියි. යන්තම් හරි ඔවුන්ගේ ගමන් මග අහුරා සිටියහොත් මම කලින් සඳහන් කළ පරිදි මල පනිනවා විය යුතුය. ඒ නිසා මම ඔවුන්ගේ වැඩ රාජකාරියට බාධාවක් නොවන අයුරින් හිමින් සීරුවේ ඔවුන්ගේ තොරතරුැ සොයා ගියෙමි.


නාට්ටාමි රැකියාව අද ඊයේ සිට ඇතිවූ රැකියාවක් නොවේ. ඈත අතීතයේ කොළඹ සිටි ධනවත් පවුල්වල උදවියගේ භාණ්ඩ රැගෙන යාම ඒවා නැවත ගෙන ඒම වැනි කටයුතුවල නාට්ටාමිවරුන් නිරතවූ බව ඉතිහාසය පෙන්වා දෙයි. මොවුන්ගෙන් බොහෝ දෙනෙක් දකුණු ඉන්දියාවේ සිට පැමිණි පිරිස් වූහ. ඔවුන් දෙමළ ජාතිකයන් වූ අතර ඔවුන්ගේ කාර්යය වූයේ පිටකොටුවේ නාට්ටාමි රැකියාවයි.
හතර වැනි හරස් වීදියේ රැකියාව කරන තවත් අයකු මට හමුවුණා. වසර 25ක නාට්ටාමි රැකියාවේ නිරතවන ඔහු කොළඹ 13 පදිංචි නිව්ටන් මහතා. මම ඔහුගෙන් ප්‍රශ්න නොකර ඔහුගේ හඬට සවන් දුනිමි.


මම දැන් අවුරුදු 25 ක් විතර වෙනවා මේ රැකියාවට ඇවිල්ලා. අපි මේ කරත්ත කුලියට අරගන්නේ. එක කරත්තයකට රුපියල් 100ක් දවසට අයකරනවා. කෑලි ගාණටයි ඒවා රැගෙන යන දුර ප්‍රමාණය අනුවයි අපි ගාණක් කියන්නේ. බොහෝ මුදලිලා දන්නවා අපි ගෙනියන දුර හා බර ප්‍රමාණය ගැන. ඒක නිසා අපි වංචාවක් කරන්නෑ. අපිටත් වංචාවක් කරන්නෑ. මොකද අපි නාට්ටාමිලා 1500ක් විතර. ඒ ඔක්කොටම කරත්තත් 1500ක් විතර තිබෙනවා. අපිට වෙලාවක් කලාවක් නෑ. හිතුන හිතුන වෙලාවට එනවා. මොකද අපිට රතු ඉර ගහන්නවත් නිවාඩු දමන්නවත් ඕනෑ නැහැ. අපි හම්බ කළොත් තමයි අපේ බඩ වියත රැකෙන්නේ. මේ රැකියාව කළා කියලා අපිට ආණ්ඩුවෙන් හෝ මුදලාලිගෙන් හෝ විශේෂ වරප්‍රසාද නැහැ. අපිට කිසිම රක්ෂණයක් නැහැ. ඇඟේ හයිය තිබෙනකම් තමයි මේ රැකියාව කරන්නේ.


ඔය ගොල්ලන්ගේ අයිතීන් වෙනුවෙන් සංගමයක් තිබුණා නේද?
අපෝ ඒක දැන් නැහැ. ඒ සංගමයේ ඉන්නේ ලෝක හොරු. දැන් ඒ සංගමය විසුරුවා හැරලා තිබෙන්නේ.


මෙහිදී අපට හමුවූ නාට්ටාමි රැකියාවේ නිරතවූ කොච්චිකඬේ ප්‍රදේශයේ පදිංචි රාජා මහතා සඳහන් කළේ අපිට හැමදාම වැඩ නැහැ. වැඩ කරන දිනවලදි සොයා ගන්න වැඩිපුර දෙයක් තමයි වැඩ නැති දවස්වලට වියදම් කරන්න ඉතුරු කරගන්නේ. ඒකෙන් තමයි අපේ දරුවන් පාසල් යවන්නේ. ඔවුන්ගේ අධ්‍යාපනය කටයුතුවලට වියදම් කරන්නේ. දරුවන් මේ ප්‍රදේශයේම පාසල්වලට යනවා. ඔවුන් හොඳට ඉගෙන ගන්නවා. ඉතින් අපි මේ කරන රැකියාවෙන් ලැබෙන ආදායමෙන් ඒගොල්ලන්ට හොඳට උගන්වන්න ඕනෑ. මොකද අපි කරන රක්ෂාව ඒ ගොල්ලන්ට කරන්න දෙන්න බැහැනේ. මමයි බිරිඳයි දරුවන් දෙදෙනයි ඉන්නේ.


‘සෑහෙන දුෂ්කරයි නේද?’
දුෂ්කරයි කියන්නේ දැන් බලන්න වහින්න හදන්නේ. එතකොට වැඩ ඉවරයි. පායපු වෙලේ හම්බකරගත්ත දෙයක් තමයි දැන් තිබෙන්නේ.


පිටකොටුවේ මැනිං වෙළෙඳ පොළේ චාරිකාවක නිරතවූ මට නාට්ටාමිවරුන් කිහිප දෙනෙකු හමුවුණා.


එහි යන විට ඔවුන් අළුයම් කාලයේ සිට රැකියාවේ නිරතවී දවසේ වැඩ අවසන්වී සිටින මොහොතකය.


සාමාන්‍යයෙන් මැනිං වෙළෙඳ පොළේ රාජකාරි කටයුතු ආරම්භ කරන්නේ අළුයම් කාලයේදීය. දහවල් 11, 12 වන විට තොග වෙළඳ පොළේ කටයුතු බොහෝ දුරට හමාර වෙයි.


මා එහි යන විට එක් තරුණයෙක් කරත්තයකට කෙසෙල් කැන් පටවමින් සිටියේය. මම ඔහු ළඟට විත් මා හඳුන්වා දීමෙන් පසු මගේ අවශ්‍යතාව ප්‍රකාශ කළෙමි. මගේ ඉල්ලීම පිළිගත් ඔහු ඔහුගේ කර්තව්‍යය මදකට නවතා මා සමග දොඩමලු වූයේය.


‘ඔබගෙ නම ගම සඳහන් කළොත්’


‘මම පෑලියගොඩ ඉන්නේ. මගේ නම මොහොමඞ් ඉක්බාල්. මම මැනිං වෙළෙඳපොළේ පළතුරු වර්ග තමයි එහාට මෙහාට ගෙනැවිත් දෙන්නේ. දැන් මේ කෙසෙල් කැන් වගයක් කඬේට දමන්න රැගෙන යන ගමන්. එක එක වෙළෙන්දො එනවනේ. ඉතින් ඒ ගොල්ලන්ට අවශ්‍ය පළතුරු, එළවලු කිව්ව තැනට මම ගෙනල්ලා දෙනවා. මම සාමාන්‍යයෙන් දවසට 2000 ක් 3000 ක් වගේ මුදලක් උපයනවා.


‘මේ පළතුරු කොහේටද ගෙනියන්නේ’


‘දැන් එක එක පැතිවලින් එනවනේ පළතුරු ගෙනියන්න. මෙතනින් තමයි බෙදාහරින්නේ. මම මේ තොග මුදලාලිලා කියන විදියට ඒවා අහවල් සිල්ලර මුදලාලිලාට බාර දෙනවා. අපිට ගොඩක් විශ්වාසයෙන් තමයි බඩු දෙන්නේ. අපි ඒ විශ්වාසය රැගෙන බඩු බාර දෙනවා.


දැන් මේ කෙසෙල් කැන් ලෝඞ් එකත් ගෙනියන්නේ ඒවගේ තමයි. මෙතන කිලෝ 200 ක් විතර තිබෙනවා. මේ කෙසෙල් කැන්වල නැටි ගානට තමයි බර කිරලා බාර දෙන්නේ. එක වාරයකට කිලෝ 40 ක් 100 ක් වගේ ප්‍රමාණයක් ගෙනියනවා. අපි උදේ පාන්දර 5 ට විතර ආවහම දවල් 12 වෙනකොට වැඩ ඉවරයි. ඊට පස්සේ ආපහු පහුවදා තමයි වැඩට එන්නේ. අපිට ඉතින් පුරුදු රස්සාව තමයි මේක. මම අවුරුදු 15 ඉඳලා තමයි මේ රස්සාව කරන්නේ.


මෙහිදී මට හමුවූ තවත් නාට්ටාමි රැකියාවේ නිරත අයෙකි ඉමිතියාස් මහතා :
‘කොහොමද මේ රැකියාව’
‘පුරුදු රස්සාවනේ. මම ඉතින් මැනිං මාර්කට් එකේ තමයි වැඩ කරන්නේ. එළවළු පළතුරු වගේ දේවල්වලට අමතරව ඒවා බහාලන බකට් ගෙනියනවා. දැන් මේ ගෙනියන්නේ එළවලු පටවපු බකට් තොගයක්. මට රුපියල් 200ක් ලැබෙනවා මේ ටික ගෙනිහින් බාර දෙනවට. මේ වගේ ටි්‍රප් 10ක් ගැහුවොත් රුපියල් 2000ක් විතර සොයාගන්න පුළුවන්. ඉතින් අපි ඒ මුදලින් තමයි ජීවත් වෙන්නේ.
පිටකොටුවේ 4 වැනි 3 වැනි හරස්වීදි හා මැනිං වෙළෙඳ පොළේ නාට්ටාමි රැකියාවේ නිරතවන තරුණ ජවසම්පන්න අයගේ කඩිසර බවත් ඔවුන් කරමත දරා යන බර ප්‍රමාණය දුටුවම ඇත්තටම හදවත් කම්පා කරවන්නකි.


ඔවුන් මෙසේ අනුන්ගේ බර කරට ගෙන දුක් විඳින්නේ ජීවන බර ඊට වඩා වැඩි බවත් දැනගෙනයි. කෙසේ වෙතත් ඔවුනට සමුදී මා නැවත එතනින් පැමිණියේ ඔවුන්ට යෝධ බල ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමිනුයි.

සටහන හා ඡායාරූප : 
නිශාන්ත කුමාර බණ්ඩාර