ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතෙහි වගන්ති තුනක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනනුකුල එහෙමත් නැත්නම් වඩාත් තේරෙන භාෂාවකින් කියන්නේ නම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව තීරණය කර ඇතැයි කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී හෙළි කළේය.


අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සංශෝධනය කරමින් එහි 12 අ (1), (2) සහ (7) වගන්ති සංශෝධනය කිරීමට පියවර ගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇති බව කරු ජයසූරිය මහතා දැනුම් දුන්නේය.


අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත තුනෙන් දෙකක බහුතර ‏ඡන්දයකින් අනුමත කළ යුතු බව මෙන්ම එහි 12 අ (1) වගන්තිය බලාත්මක කිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් සිදුකළ යුතු බවට තීරණය කොට ඇති ශ්‍රේෂ්ඨාධිකරණය එම පනත් කෙටුම්පතේ 12 අ (2) වගන්තිය බලාත්මක කිරීමට තුනෙන් දෙකක බහුතර ඡන්දයක් අවශ්‍ය වන අන්දමේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ යුතු බවටද තීරණය කර ඇති බව කරු ජයසූරිය මහතා වැඩිදුරටත් හෙළි කළේය.


අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට රජය තීරණය කොට එයට අදාළව පනත, කෙටුම්පත් කරමින් සිටියේය. ස්ථීර ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලු පත් කොට ඒ හමුවේ යම් යම් නඩු විභාග කිරීමට පියවර ගැනීමට සුදානමින් පසුවූහ.


අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ 12 අ (1) වගන්තියේ හෝ වෙනත් යම් ලිඛිත නීතියක පටහැණිව කුමක් සටහන් වුවද මේ පනතේ හය වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති වැරදි සහ එවැනි යම් වරදක් සිදු කිරීමේ ක‍්‍රියාවලිය තුළදී කරනු ලබන වෙනත් යම් වරදක් සම්බන්ධයෙන් යම් තැනැත්තකුට එරෙහිව අධිචෝදනා මත පවරනු ලබන සියලු අපරාධ නඩු (7) වන උප වගන්තියේ විධිවිධානවලට යටත්ව ලිඛිත නීතියේ විධිවිධාන සලස්වා ඇති ආකාරයට ස්ථීර ත‍්‍රිපුද්ගල මහාධිකරණය විසින් විභාග කිරීම, නඩු විභාග කිරීම සහ තීරණය කිරීම කළ යුතු බව පනත් කෙටුම්පතේ සඳහන් කොට තිබිණි.


(2) ඒ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය ශ්‍රී ලංකා ජන රජයේ මහාධිකරණයේ විනිශ්චයකාරවරයන් අතුරින් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නම් කරනු ලබන එක වර විනිශ්චයාසනාරූඪ වන විනිශ්චයකාරවරයන් තිදෙනකුගෙන් සමන්විත විය යුතු අතර අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ඉන් එක් විනිශ්චයකාරවරයකු ඒ අධිකරණයේ සභාපතිවරයා ලෙස නම් කරනු ලැබිය යුතුය.


(7) අවස්ථාවෝචිත පරිදි නීතිපතිවරයාගේ හෝ අල්ලස් සහ දූෂණ වැළැක්වීමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් (1) උප වගන්තියේ සඳහන්,


(අ) වරදක ස්වභාවය සහ අවස්ථානුගත කරුණු.

(ආ) වරදක බැරෑරුම්කම.

(ඇ) වරදක සංකීර්ණ බව.

(ඈ) වරදක් නිසා වින්දිතයා මත වන බලපෑම.

(ඉ) වරදක් නිසා රජය මත වන බලපෑම


යන කරුණු සැලකිල්ලට ගෙන යුක්තිය ඉෂ්ට කිරීම අරභයා සහ මහජන සහ ජාතික යහපත අරභයා ස්ථීර ත‍්‍රිපුද්ගල මහාධිකරණයෙහි අපරාධ නඩු කටයුතු පවරනු ලැබිය යුතුය.


රජය එලෙස සූදානම් වෙද්දී අධිකරණ සංවිධාන පනතේ ඇතැම් වගන්ති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව පවසමින් ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා විශේෂ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරමින් එහි පිහිට පැතුවේය.


අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට රජය තීරණය කොට එයට අදාළව කෙටුම්පත් කරමින් සිටි පනත අභියෝගයට ලක් කරමින් දිනේෂ් ගුණවර්ධන මහතාට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ උදය රොහාන් ද සිල්වා මහතා ඇතුළු පෙත්සම් හතක්ම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් විය.


අධිකරණ සංවිධාන පනතේ වගන්තිවලට ගෙනෙන ඇතැම් සංශෝධන මඟින් නීතිපතිවරයාට මෙන්ම අල්ලස් කොමිසමට නඩු පැවරීමේ බලතල හිමි වන බවත් නීතිඥවරුන් නියෝජනය කප්පාදු වන බවත් පෙන්වා දෙමින් අධිකරණ සංවිධාන පනතේ එම වගන්ති ජනමත විචාරණයකින් හා 2/3 විශේෂ බහුතර ඡන්ද සංඛ්‍යාවකින් සම්මත කිරීමට නියම කරන්නැයි පෙත්සම්කරුවෝ සිය පෙත්සම් මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියහ.
කෙටුම්පත් කරමින් සිටින පනත ජනමත විචාරණයකින් හා 2/3 (තුනෙන් දෙකක) විශේෂ බහුතර ඡන්ද සංඛ්‍යාවකින් සම්මත කිරීමට නියම කරන්නැයි අදාළ පෙත්සම්වලින් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කළේ නීතිපතිවරයා වගඋත්තරකරු වශයෙන් නම් කරමින් ඉදිරිපත් කරන ලද එම විශේෂ පෙත්සම මඟිනි.


අධිකරණ සංවිධාන පනතේ වගන්තිවලට ගෙනෙන ඇතැම් සංශෝධන මඟින් මහාධිකරණවල නඩු පැවරීමට විධායකට අභිමතානුසාරී බලයක් ලැබෙන බවත් එම සංශෝධන මඟින් විධායකයට කැමැති පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමේ බලතල නීතිපතිවරයාට මෙන්ම අල්ලස් කොමිසමට ද හිමි වන බවත් පෙත්සම්කරුවෝ සිය විශේෂ පෙත්සම මඟින් අධිකරණයට පැමිණිලි කොට සිටියහ.


මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විමසීමකට ලක් කරන ලදී. එම පනත නීතියට පටහැණි බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළ පෙත්සම්කරුවන් වෙනුවෙන් නිීතිය පිළිබඳව පරතෙරට උගත් නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කළ අතරම එම පනත නීතියට පටහැණි නොවන බවත් එය නිත්‍යනුකූල බවත් පවසමින් වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිය සම්බන්ධයෙන් නිරන්තරයෙන් රජයට මත ඉදිරිපත් කරන නීතිපතිවරයා කරුණු ඉදිරිපත් කෙරිණි.


දින දෙක තුනක් එක දිගට පැය ගණනාවක් ඉදිරිපත් කළ ඒ සියලු කරුණු වෙන වෙනම ශ්‍රේෂ්ඨාධිකරණය සැලකිල්ලට ගත්තේය. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සිය මතය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබිණි.
අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සංශෝධනය කරමින් එහි 12 අ (1), (2) සහ (7) වගන්ති සංශෝධනය කිරීමට පියවර ගන්නා ලදී.


අධිකරණ සංවිධාන පනතේ 12 (අ) (7) වගන්තිය සංශෝධනය කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වන ව්‍යවස්ථාවට පටහැණි බවද ශ්‍රේෂ්ඨාධිකරණය සිය මතය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබිණි.


ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා එකී පනත් කෙටුම්පතෙහි 121 අ (1) වගන්තිය, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 154 (3) (අ) යන ව්‍යවස්ථාවට පටහැණි බවද පනත් කෙටුම්පතෙහි 12 අ (1) වගන්තිය බලාත්මක කිරීමට නම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් සිදුකළ යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කොට තිබිණි.


එමෙන්ම මේ සඳහා මෙම පනත් කෙටුම්පත තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත කළ යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සිය මතය වශ්‍යයෙන් කතානායකවරයාට දැනුම් දී තිබිණි.


එමෙන්ම මේ සඳහා මෙම පනත් කෙටුම්පත තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත කළයුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල සිය මතය වශයෙන් කතානායකවරයාට දැනුම් දී තිබුණි.


1996 අංක 10 සහ 2006 අංක 54 යන පනත්වල පරිදි 154 (3) (ඇ) ව්‍යවස්ථාව යටතේ අධිකරණ බලය පළාත් මහාධිකරණය වෙත පැවරී ඇත්තේ නම් මෙම සංශෝධිත වගන්තියෙන් ඇතිවන අනනුකුලතාව හෙවත් පටහැණිතාව ඉවත්ව යනු ඇති බවද ශ්‍රේෂ්ඨාධිකරණය 12 අ (2) වගන්තිය සංශෝධනය මගින් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ස්ථීර ත‍්‍රිපුද්ගල මහාධිකරණය සඳහා විනිශ්චයකාරවරුන් නම් කිරීම අවශ්‍ය බවද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සිය මතයේ සඳහන් කොට තිබිණි.


ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 154 (2) ව්‍යවස්ථාවට පටහැණි වන අතර 12 අ (2) වගන්තිය බලාත්මක කිරීමට නම් තුනෙන් දෙකක බහුතර ඡන්දයක් අවශ්‍ය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ යුතු වේ. කෙසේ වුවත් මෙකී පනත් කෙටුම්පතේ 12 අ (2) ඉවත් කොට 154 (2) ව්‍යවස්ථාව පවත්නා පරිදි තැබීමෙන් මෙම අනනුකූලතාව හෙවත් පටහැණිතාව පහව යනු ඇති බවද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සිය මතයේ දක්වා තිබිණි.


ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 (අ) (7) වගන්තිය සංශෝධනය කිරීම, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වන ව්‍යවස්ථාවට පටහැණි බවද දක්වා තිබිණි.


කෙසේ වුවත් අග‍්‍රවිනිශ්චයකාරවරයාට විශේෂ අධිකරණ විභාගයක් පැවැත්විය යුතුද නැති ද යන්න තීරණය කිරීමට බලය ලබාදීම මගින් මෙකී වගන්තිය සංශෝධනය වීමෙන් ඇති වන අනනුකුලතාව හෙවත් පටහැණිතාව ඉවත්ව යනු ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත.


වරදක ස්වභාවය සහ අවස්ථානුගත කරුණු, වරදක බැරෑරුම්කම, වරදක සංකීර්ණ බව, වරදක් නිසා වින්දිතයා මත වන බලපෑම, වරදක් නිසා රජය සහ සමාජය මත වන බලපෑම ආදී කරුණු සැලකිල්ලට ගනිමින් යුක්තිය ඉෂ්ට කිරීම අරභයා සහ මහජන සහ ජාතික යහපත අරභයා මීට පෙර අනාදිමත් කලෙක සිට අප රටේ ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලු (trial at bar) පත් කර තිබිණි.


ඒත් ඒ ස්ථීරව නොවේ. අවස්ථානුකූලව යෙදෙන කරුණු අනුව එම අපරාධය හේතුවෙන් රටට සමාජයට සිදුවූ කම්පනය මත ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලු (trial at bar) පත් කරන ලදී.


එම සිද්ධියේ එහෙමත් නැත්නම් අපරාධයේ බරපතළතාව අනුව විත්තිකරුවන්ට එරෙහි නඩුව විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විමසන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කළ විට ඒ සඳහා ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අගවිනිසුරුවරයා විසින් පත් කරනු ලබයි.


එලෙස ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කළ පසු දිනපතා එම නඩුව විභාග කොට තීන්දු දුන් අවස්ථා අපේ අධිකරණ ඉතිහාසයේ ඕනෑ තරම් ඇත.

 

 

 

 

 

සටහන - මනෝප‍්‍රිය ගුණසේකර