සුජිත් හේවාජුලිගේ

ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදල (Sri Lanka Rebuilding Fund) දිට්වා කාලගුණ විපත සිදුවී මාස තුනකට ආසන්න කාලයක් ගත වී තිබියදීත් ස්ථාපිත නොකිරීම සම්බන්ධයෙන් මූල්‍ය සහ විගණන ක්ෂේත්‍රවල දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුව ඇත.

ඒ සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව  මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබේ.

එසේම මෙම ගැටලුව වහාම නිරවුල් කරන ලෙස දන්වමින් කමිටුව  ජනාධිපතිවරයාට ලිපියක් යොමු කිරීමටද කටයුතු යොදා ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදල තවමත් ව්‍යවස්ථාපිතව ස්ථාපනය කර නොමැති බවයි.

ඒ සම්බන්ධයෙන් වහාම නීතියක් ගෙන ආ යුතු බව පැවසූ සභාපතිවරයා එසේ නොකරන තාක් ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදල යන නාමය පාවිච්චි නොකරන ලෙසටද අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

දිට්වා ආපදාව වෙනුවෙන් දේශීය සහ විදේශීය සියලු‍ම ආධාර මුදල් දැනට ලැබෙන්නේ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයාගේ ගිණුමටය. මෙම ගිණුම ස්ථාපනය කරනු ලැබුවේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය.