සුජිත් හේවාජුලිගේ

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් සලේගේ බැංකු ගිණුම්, ඊමේල් පණිවිඩ සහ දුරකථන සබඳතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 

ඒ සඳහා තාක්ෂණවේදීන් පිරිසකගේ ද සහාය ලබා ගැනේ. දුරකතන සබඳතා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට දුරකතන කුලු‍නු වාර්තා ලබා ගැනීමට ද පියවර ගෙන ඇත.
එසේම ඔහුගේ නිවෙස දැඩි ලෙස පරීක්ෂා කිරීමට ද අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත පැවසුවේ එම විමර්ශනවලදී පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු ඔහුද නැත්නම් වෙනත් අයකුද යන්න ගැන තොරතුරු අනාවරණය කරගත හැකි වනු ඇති බවය. සලේ  මහතා අත්අඩංගුවට ගත්තේ ඔහු සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි ලැබීමෙන් පසුව බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.

ඔහු අත්අඩංගුවට ගැනුණේ පසුගිය 25 වැනිදාය. ඔහු දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැය 72 ක රැඳවුම් නියෝග මත රඳවා ගෙන ප්‍රශ්න කරගෙන යයි.