නිරෝෂාන් ප්‍රේමරත්න
බන්ධනාගාරගත සැකකරුවන් සහ රිමාන්ඩ් සිරකරුවන් බැලීමට එදිනෙදා පැමිණෙන අමුත්තන්ගේ තොරතුරු ඇතුළත් කිරීම සඳහා රුපියල් කෝටි ගණනක් වැය කරමින් බන්ධනාගාර සහ කඳවුරුවල භාවිතය සඳහා වසර 3ක පමණ කාලයක් තිස්සේ යොදවා තිබූ PIMS පරිගණක පද්ධතිය ක්‍රියාත්මක කිරීම පසුගිය ජනවාරියේ සිට නවතා දමා ඇතැයි වාර්තා වේ.
ඒ වෙනුවට පොතක පමණක් එම තොරතුරු සටහන් කිරීමට කටයුතු යොදා ඇතැයි ද දැන ගන්නට ඇත.
මෙලෙස පොතක පමණක් තොරතුරු සඳහන් කිරීම නිසා රිමාන්ඩ් සිරකරුවන් මසකට එක්වරක් පමණක් සහ සැකකරුවෙක් දිනකට එක්වරක් බැලිය හැකි බවට පනවා ඇති නීති පවා උල්ලංඝනය වෙමින් ඇති බවද පැවසේ.
එසේම පොතක පමණක් මෙම තොරතුරු පවත්වාගෙන යාම නිසා යම් පිටුවක් හෝ පිටු කිහිපයකට හානි සිදුවුව හොත් එම දිනට අදාළව සිරකරුවන් හා සැකකරුවන් බැලීමට පැමිණි අයගේ තොරතුරු සහ බැලූ වාරගණන පිළිබඳ තොරතුරු අස්ථානගත වීමේ අවදානමක්ද පැන නැගී තිබේ.
බන්ධනාගාර ඉහළ නිලධාරියකුගේ නියෝග මත මෙලෙස එම තොරතුරු පරිගණක ගත කිරීම නවතා දමා ඇත්තේ අදාළ තොරතුරු පරිගණකගත කරන දත්ත ක්‍රියාකරුවන්ට විශාල අතිකාල දීමනාවක් ගෙවීමට සිදුවන නිසා බව ද පැවසේ. මෙලෙස අතිකාල දීමනා ගෙවීමට සිදුව ඇත්තේ එක් එක් බන්ධනාගාරවල අදාළ දත්ත පරිගණක ගත කිරීමට එක් නිලධාරියකු පමණක් යොදාවා ගැනීම නිසා බවද වාර්තා වේ.
නිලධාරීන් කිහිප දෙනකු යොදවා දත්ත පරිගණක ගත කිරීම සිදුකළේ නම් මෙම ගැටලුව විසඳා ගත හැකි බවද බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
පොලිස් සහ ආරක්ෂක අංශ විමර්ශන සඳහා අවශ්‍ය වූ විට සැකකරුවන් හා සිරකරුවන් බැලීමට පැමිණි පුද්ගලයන්ගේ නම්, ලිපින, දුරකථ අංක, හැඳුනුම්පත් අංක සහ පැමිණි දිනය හා වේලාව ආදී තොරතුරු සියල්ල මෙම පද්ධතිය මගින් ඉතා පහසුවෙන් ආරක්ෂක අංශවලට ලබාගැනීමේ අවකාශ සැලසී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd