IMG-LOGO

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා


විමල් බලන්න ගිය මන්ත්‍රීවරුන් කියන කතා

රජයේ වාහන අවභාවිතයට අනුබලදීම යන චෝදනාව යටතේ මූල්‍ය අපරාධ පොලිස් කොට්ඨාස මගින් අත්අඩංගුවට ගනු ලැබු විමල් වීරවංශ මහතා අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. 


තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් ඉකුත් 22 වැනිදා පෙරවරුවේ මන්ත්‍රී විමල් වීරවංශ මහතා මහා සංඝරත්නයේ ඉල්ලීම මත ඉකුත් 30 වැනිදා පෙරවරුවේ එම උපවාසය අවසන් කළේය.


ඇප ඉල්ලා ගොනු කළ අයැදුම ප්‍රතික්ෂේප වීමත් සමඟ මන්ත්‍රීවරයා උපවාසය ආරම්භ කළේය. උපවාසය ආරම්භ කළ විමල් වීරවංශ මන්ත්‍රීවරයා රඳවා සිටියේ අඩි 8ං4 ප්‍රමාණයේ සිර කුටියක් තුළය. වැලිකඩ රිමාන්ඞ් බන්ධනාගාරයේ ඊ වාට්ටුවේ පැදුරක් මත උපවාසය ආරම්භ කළ විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ දුක සැප බැලීමට මන්ත්‍රීවරු පිරිසක් ගොස් ඇත. 


ඔහුගේ සිර මැදිරිය පිළිබඳව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කළේ එම මැදිරිය අති විශේෂ එකක්වී තිබූ බවයි. වීරවංශ මහතා  විසින් අඳින ලද චිත්‍ර 50ක පමණ ප්‍රමාණයක් සිර මැදිරියේ එල්ලා ඇත. මිනිස් අයිතීන් උල්ලංඝනය වීම, ජනතා මර්දනය, රටට හානි කර ක්‍රියා ආදිය තේමා කරගත් චිත්‍ර මැදිරියේ එල්ලා ඇත. 


මීට අමතරව පොත් 70කට අධික ප්‍රමාණයක් සිර මැදිරියේ කොනක ගොඩ ගසා තිබූ බව ද කියයි. මහත්මා ගාන්ධි, මැන්ඩෙලා, කැප්පෙටිපොල, ශ්‍රී නේරු යන චරිත කතා මෙන්ම මාටින් වික්‍රමසිංහ මහතාගේ කෘතින් බුදු දහම හා මාක්ස්වාදය වැනි පොත් එම පොත් අතර වූ බව කියයි. චිත්‍ර ඇඳීම සඳහා වැලි පිරවූ බෝතලයක ඔහු විසින්ම රාමුවක් සකස් කරගෙන තිබී ඇත. 


තමන්ට අධිකරණයෙන් සාධාරණයක් ඉටු නොවූවා යැයි විමල් වීරවංශ මහතාට සිතෙන්නට ඇත. ස්වයං අරගලයකින් සහනයක් ලබා ගැනීමට ඔහු සිතුවා විය හැකිය. හේතුව කුමක් වුවත් පසුගිය 21 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00 සිට ඔහු උපවාසයක් ආරම්භ කළේය. 
වීරවංශ මහතාගේ ජීවිතය රැක ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී පිරිසක් ජනාධිපති හා අගමැති හමුවූයේ ඉකුත් සතියේය. එහිදී පැවැති සාකච්ඡාව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මෙසේ කීය.


ඒකාබද්ධ විපක්ෂයේ නායකවරු ප්‍රකාශ කළේ මේ තියෙන තත්ත්වය දේශපාලන පළි  ගැනීමක් බව හැඟෙන නිසා ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා මේ ගැන දැනුවත් කර මැදිහත් වන ලෙසට ඉල්ලා සිටින්නැයි දැනුම් දුන්නා. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, මහින්දානන්ද අළුත්ගමගේ යන මන්ත්‍රීවරු සමග මමත් ජනාධිපතිවරයා හමුවුණා. 


එහිදී අප ප්‍රකාශ කර සිටියේ මන්ත්‍රීවරුන්ටත් රටේ නීතිය අනුව ඇපදීම සිදු කරනු ලබන අතර දූෂණ වංචා ආදිය හෙළිදරව් වූ පිරිසක් අත්අඩංගුවට නොගෙන සිටින අවස්ථා ඇති බවයි. තමන්ගේ මුළු ජීවිත කාලය පුරාම එක්සත් ජාතික පක්ෂ විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින්  සිටි විමල් වීරවංශ රඳවා තබා ගැනීමෙන් සිදු කරන්නේ  ඔහු දේශපාලන  සිරකරුවකු  කිරීම බවත් පළි ගැනීම සඳහා මේ රඳවා ගැනීම සිදු කරන බවත් අපේ අදහස බව ප්‍රකාශ කළා. ඉහළ උසාවියට ගිය බොහොමයක් පාර්ශ්වයන්ට ඇප ලබාදීම සිදු කරනු ලැබුවත් විමල් වීරවංශ මහතාට ඉහළ උසාවියෙනුත් ඇප නොලැබුණ බව පෙන්වා දුන්නා. 


උපවාසය ආරම්භ කිරීමෙන් පසු අසනීප වූ ඔහුගේ දුවට වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම වැළැක්වීමටත් බලපෑම් කර තිබුණා. නීතිපතිවරයාට කතා කර අප ඉදිරිපත් කර තිබෙන කරුණු පිළිබඳව විස්තර දැන ගන්නා ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. 
ජනාධිපතිවරයා නීතිපතිට කතා කළත් ඔහු කිව් දේ අපට පැහැදිලි නැහැ. 


නීතිපති දෙපාර්තමේන්තුව හා පොලිසිය විමල් වීරවංශ මහතාට ඇප ලබාදීමට විරෝධය දක්වා නැති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. නමුත් විරෝධයක් දක්වා නැතත් ඇප ලබා නොදීම ප්‍රශ්නයක්. 


මේ කරුණ ගැන අවධානය දැක්වූ අප මෙහි නරක නාමය රජයටත්, ජනාධිපතිවරයාටත් එල්ල වෙන බව ප්‍රකාශ කළා. 


ඉන්පසු අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී පවතින තත්ත්වය පෙන්වා දුන්නා. විමල් වීරවංශ මහතා දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ සිටි බව පිළිගන්නේ යැයි ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා මේ ගැන ව්‍යවස්ථාදායකයේ සාමාජිකයෙක් ලෙස මන්ත්‍රීවරයකුට තිබෙන තත්ත්වය පිළිබඳව කතා කර විසඳුමක් ලබා දෙන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද ප්‍රකාශ කළා. 


 

මහ නාහිමි සහතිකයෙන් විමල් උපවාසය නවත්වයි

පසුගිය සඳුදා උදෑසන හිටපු ජනපති මහින්ද ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් කැඳවූයේ විමල් වීරවංශගේ උපවාසය පිළිබඳ සාකච්ඡා කිරීමටයි. “මට නම් ඉදිරි පියවරක් සිතාගන්න බෑ. පක්ෂ නායකයින් කිව්වා. පක්ෂයෙන් කිව්වා. මම කිව්වා. පවුලේ අය කිව්වා. ඒත් උපවාසය නවත්වන්නේ නෑ” ඊට පසු උදය ගම්මන්පිල දෙස  බලමින් මහින්ද සිනාසෙමින් ඇසුවේ “කියන දේ විමල් අහන වෙන කවුරුවත් ඉන්නවාද දන්නේ නෑ”. ඊට සිනාවෙන්ම පිළිතුරු දුන් උදය පැවසුවේ “මම දන්නා තරමින් එහෙම කෙනෙකු නම් නෑ” කියාය.


නැවත හඬ අවදි කළ මහින්ද පැවැසුවේ, “මට අද උදේ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන් යෝජනා කළා. මහා සංඝරත්නය විදියට උන්වහන්සේලා වැඩම කරලා විමල්ගෙන් ඉල්ලීමක් කරන්න උපවාසය නතර කරන්න කියලා. මොකද ඔබතුමන්ලා ඒ ගැන හිතන්නේ?”


දිනේෂ් පැවැසුවේ “නායක මට්ටමින් භික්ෂුන් වහන්සේලා වැඩම කරලා විමල්ගෙන් ඉල්ලීමක් කළොත් ඒකට පිටුපාන්න කීයටවත් බෑ. අපේ රජවරු පවා භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීම් කවදාවත් මග හැරියේ නෑ” කියාය. මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන් සංවිධානය වන අතරේ අපිත් පුළුවන් විදියට ඒකට දායක වෙමු. එහෙම යෝජනා කළේ ගාමිණී ලොකුගේය.


දිනේෂ්, ගම්මන්පිල, බන්දුල, ලොකුගේ සහ ජයන්ත නායක ස්වාමීන් වහන්සේලාට කතා කිරීමට භාරගත් අතර මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමියන්ගෙන් ගම්මන්පිල ද, රාමඤ්ඤ නිකායේ මහ නායක හිමියන්ගෙන් ජයන්ත ද ලිඛිත ඉල්ලීම් ලබාගැනීමට භාරගත්හ. බන්ධනාගාර රෝහලට භික්ෂුන් වහන්සේලාට ඇතුළුවීමට ඇති දුෂ්කරතාව හේතුවෙන් පසුදින ජාතික රෝහලට ඇතුළු කිරීමෙන් පසු මෙම ඉල්ලීම සිදුකිරීමට සැලසුම් කෙරිණි.


බ්‍රහස්පතින්දා උදෑසන 9 වනවිටම සියම් නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පල්ලත්තර සුමනජෝති. කෝට්ටේ පාර්ශ්වයේ අනුනායක කොටපිටියේ රාහුල, රාමඤ්ඤ නිකායේ බස්නාහිර පළාතේ සංඝ නායක නාගොඩ අමරවංශ, මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසාර, මාදුරුඔය ධම්මිස්සර, කිරම විමලජෝති, ආචාර්ය මැදගොඩ අභයතිස්ස, මුරුත්තෙට්ටුවේ ආනන්ද, බලංගොඩ සෝභිත යන නායක හිමිවරු මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයට රැස්වූහ. එතැන සිට රෝහලට පැමිණෙන විට ගම්මන්පිල, බන්දුල, ජයන්ත, වීරකුමාර සහ උදය ශාන්ත ඇතුළු ජානිපෙ නායකයෝද රෝහලට පැමිණ සිටියහ.


අවසානයේදී මුල්ම බාධකය වූයේ විමල් නොව බන්ධනාගාර නිලධාරීන්ය. විමල් සිටි කාමරය අසල මුරට සිටි බන්ධනාගාර නිලධාරීන්, “ඔබ වහන්සේලාට ඇතුළුවීමට ඉඩ නොදෙන මෙන් අපට ඉහළින් උපදෙස් ලැබී තිබෙනවා” යැයි පවසමින් ඔවුහු ඇතුළුවීමට අවසර දීම ප්‍රතික්ෂේප කළහ. එවිට ධම්මිස්සර හිමි පැවැසුවේ “ඔබතුමාලා රාජ නීතිය අනුව අපව නවත්වන්න. අපි බුද්ධ නීතිය අනුව බාධාව මැඩගෙන ඉදිරියට යන්නම්. අපි හිර ගෙදර මරණයට කැප වුණු අයටත් බණ කියන්න යනවා. ඉතින් මැරෙන්න යන ජීවිතයක් බේරාගැනීම අපේ වගකීමක්. ඒක වරදක් නම් අපිවත් හිරේට දාන්න. ඒක ප්‍රශ්නයක් නෑ.” කියාය. ඒ අතර විමලජෝති හිමි පැවැසුවේ, “මේ වැඩම කර ඉන්නේ මහ නායක හිමිනමක්. උන්වහන්සේව නවත්වලා මුළු ජාතියටම උත්තර බඳින්න වෙන්නේ තමුන්නාන්සේලාටම තමයි.” මේ සාකච්ඡාව අතර බාධාව මැඩගෙන ඉදිරියට යෑමට හිමිවරු සමත්වූහ.


සුමනජෝති මහ නාහිමියන්, “මන්ත්‍රීතුමා, ඔබතුමා මිය ගිහින් කළ හැකි දේට වඩා ජීවත් වෙලා කරන්න පුළුවන් දේ බොහෝයි. ඒ ගැන හිතලා මේ උපවාසය අත් හරින්න” යැයි ඉල්ලා සිටියේය. ඒ පිළිබඳ විමල් නිහඬව සිටින විට විමලජෝති හිමියන් පැවැසුවේ, “මව්බිමට අනතුරක් වෙනවා නම් විපක්ෂය මර්දනය වෙනවා නම් ඊට එරෙහිව මැදිහත් වෙන්න මහා සංඝරත්නය සූදානම්. ඒ පිළිබඳ මහානායක හිමිවරු ලිඛිතව ප්‍රතිඥා දී තිබෙනවා යැයි පැවැසූ විමලජෝති හිමි මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමියන්ගේ සහ රාමඤ්ඤ නිකායේ මහා නායක හිමියන්ගේ ලිඛිත ඉල්ලීම් කියවීය. “ඔබ වහන්සේලා මේ සටන ඉදිරියට කරගෙන යෑමේ වගකීම භාරගන්නවා නම් මම ඉල්ලීමට එකඟයි.” පවසමින් උපවාසය අත්හැරීමට විමල් එඟක විය.


ඒ අනුව මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මැද සුමනජෝති මහ නාහිමියන් කිරි වීදුරුවක් පෙවීමෙන් උපවාසය අවසන් විය. විමල්ට කිරි පොවා අවසන් කළ මහා නාහිමියන් පැවැසුවේ, අවුරුදු 93කට පස්සේ මට යළි උපන්නා කියා දැනුනා කියාය.


ඉන් පසු වෛද්‍යවරියක් සහ පෝෂණවේදිනියක් විමල් බැලීමට පැමිණියහ. ඔවුන්ට ගම්මන්පිල පැවැසුවේ “අපි විවිධ වර්ගයේ කෑම ගෙනැවිත් තිබෙනවා. දවස් නවයකින් කාලා නෑ. ඒත් ඔබතුමියන්ලාගේ උපදෙස් නැතුව අපට කන්න දෙන්න බෑ” කියාය. එවිට පෝෂණවේදිනිය සිනාසෙමින් පැවැසුවේ “එක පාරටම කන එක නැවැත්තුවත් එක පාරට කන එන පටන් ගන්න බෑ. දැන් කිරි බිව්වානේ. පැයකින් අපි යෝගට් එකක් දෙමු. ඒකට ඇඟ ප්‍රතිචාර දක්වන විදිය බලලා සුප් එකක් දෙමු. රෑට බත් කන්න පුළුවන් වේවි” ඇය කීවාය.

 

දයාසීලි ලියනගේ

 

 



අදහස් (0)

විමල් බලන්න ගිය මන්ත්‍රීවරුන් කියන කතා

ඔබේ අදහස් එවන්න

 

 

පුවත්

ලොස් ඇන්ජලිස් දැවෙයි පාඩුව ඩොලර් මිලියන 56 ඉක්මවයි
2025 ජනවාරි මස 13 28 0

ලොස් ඇන්ජලිස් ඉතිහාසයේ විනාශකාරීම ගින්න වාර්තාකරමින් ඉකුත් අඟහරුවාදා (7දා) සිට පැතිර යමින් ඇති ළැව් ගින්න පවතින සුළං හා වියළි දේශගුණික තත්ත්වයන් හමුව


ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන වසරේ හොඳම ජනමාධ්‍යවේදියා
2025 ජනවාරි මස 13 29 0

ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කළ 25 වැනි ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළ ගල්කිස්ස මහ හෝටලයේදී පසුගිය 7 වැනිදා පස්වරු


පාර්ලිමේන්තුවේ ලිංගික හිංසන සිද්ධිය කථානායක පාර්ලිමේන්තුවේ තිදෙනෙකු ගෙදර යවයි
2025 ජනවාරි මස 13 10 0

පාර්ලිමේන්තුවේ ගෘහපාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට ලිංගික අතවර කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එම අංශයේ සහකාර ගෘහපාලකවරයා ඇතුළු තිදෙනකු ස


වරායේ ලොක්කෙකුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
2025 ජනවාරි මස 06 111 0

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වර්තමාන කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ත්‍රිකුණාමලය වරායේ නේවාසික කළමනාකාරවරයා ලෙස කටයුතු කළ කාලයේ ජපානයෙන් ප්‍රදානය කළ නවීන අධි


පැරදුණු මන්ත්‍රී හැටක් පළාත් සභාවට ඉල්ලති
2025 ජනවාරි මස 06 141 0

පසුගිය මහමැතිවරණයෙන් පරාජයට පත්වුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටකට වැඩි පිරිසක් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය සඳහා තරග ව


ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළ 07දා
2025 ජනවාරි මස 06 22 0

ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සංවිධානය කරන ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළේ 25 වැනි අදියර ජනවාරි මස 7 වැනිදා සවස 6.00 සිට ගල්කිස්ස මහ හ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 261 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 563 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 310 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site