IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


රට කරන-කරවන අය කියන කතා

එක්තැනක හෙද සේවයේ විරෝධතා ක්‍රියාත්මක වේ. සයිටම් නිසා තවත් තැනක වෙද, සිසු උද්ඝෝෂණ හා විරෝධතාවන්ය. විශ්‍රාම වැටුප් පාරිතෝෂික නොගෙවීම නිසා තවත් තැනක රණවිරුවන්ගේ විරෝධතාවන් ක්‍රියාත්මක වේ. බොහෝ විට මහ හඬින් කෑ නොගැසුවත් ප්‍රවෘත්ති සාකච්ඡා අතරද ඇත්තේ විරෝධතාය, තවත් විටෙක ඉල්ලීම්ය. නැත්නම් දෝෂ දර්ශනයට ලක් කිරීම්ය. 
ගෙවුණු සතියේ ප්‍රවෘත්ති සාකච්ඡා මණ්ඩපවල සිදුවූ කතා මොනවාද, ඒ කොහේ කොතැනක කවර අරමුණකින් සිදුකරන ලද සාකච්ඡාද යන්න පිළිබඳව අප සොයා බැලුවෙමු.


වරින්වර, තැනින් තැන මතුවෙන උද්ඝෝෂණ රටේ දෛනික පැවැත්මට බාධාවෙන නිසා උද්ඝෝෂණ පැවැත්වීමට වෙනම ස්ථානයක් වෙන් කිරීම පිළිබඳව පෙර සතියකදී ජනාධිපතිතුමන් විසින් මෙන්ම මහින්ද අමරවීර හා ගයන්ත කරුණාතිලක ඇමැතිවරුන්ද කතාබහ කළෝය. එම කරුණ මත පදනම්ව පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල මහතා ඉකුත් දහතුන් වැනිදා කොළඹ පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩලයේදී පැවැති මාධ්‍ය හමුවකදී මෙබඳු අදහස් දැක්වීමක් සිදු කළේය. 
ලෝකයේ බොහෝ රටවල උද්ඝෝෂණ සඳහා ස්ථාන වෙන් කිරීම සිදුවෙනවා. නමුත් එසේ ස්ථාන වෙන් කිරීමේදී කවුරුත් නැති පාළු ස්ථාන ඒ සඳහා යොදා ගැනීම කිසි ලෙසකින්වත් යෝග්‍ය වන්නේ නැහැ.


උද්ඝෝෂණ පිළිබඳව පිවිතුරු හෙළ උරුමයෙන් එසේ අදහස් දැක්වෙන අතර කොළඹදී පැවැති සයිටම් විරෝධී ශිෂ්‍ය උද්ඝෝෂණයට පොලිස් ප්‍රහාර එල්ලවූ අතර දාහතර වැනිදා පැවැති බොහෝ මාධ්‍ය හමුවල ප්‍රධාන තේමාව බවට පත්වූයේ එම පහරදීම් පිළිබඳව විරෝධතාවය දැක්වීමයි.


බත්තරමුල්ල පිහිටි ජාතික නිදහස් පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී එම පෙරමුණේ මාධ්‍ය ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පැවැසුවේ ආණ්ඩුව සයිටම් නමැති වැලිවලින් ජනතාවගේ ඇස්වලට ගසා එඞ්කා ගිවිසුම හා රට බෙදන නව ව්‍යවස්ථා පණ ගැන්වීමට උත්සාහ කරන බවයි. එස්.බී. දිසානායක අමාත්‍යවරයා හා උසස් අධ්‍යාපන විෂයභාර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ද ඇවිළෙන සයිටම් ගින්නට පිදුරු දමන බවට චෝදනා එල්ල විය. දෙමුහුන් උසාවි පිහිටුවීමට රජය උත්සාහ කරන බවද එහිදී කතාබහට ලක්විය.


කලකට ඉහතදී එකම වෘත්තීය සමිතියක් ලෙස පැවැති හෙද වෘත්තීය සංගමය අද වනවිට කොටස් කිහිපයකට බෙදී වෙන්වී ඇත. දහතුන, දාහතර දෙදින හෙද නිලධාරීන්ගේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වූ අතර මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක රාජ්‍ය සේවා එක්සත් හෙද නිලධාරින්ගේ සංගමය ක්‍රියාත්මක කළ වර්ජනය ගැන රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය ඇතුළු පාර්ශ්වයන්ගෙන් විවේචනයක් එල්ල විය. තිස් වසරකට අධික කාල සීමාවක් හෙද වෘත්තිකයන් සමඟ වැඩ කටයුතු කළත් වර්ජනයට හෙද හෙදියන් පන්දහසක්වත් සම්බන්ධ කර ගැනීමට නොහැකිවූ බවට සමන් රත්නප්‍රිය මහතාගෙන් චෝදනාවක් එල්ල විය. පුංචි බොරැල්ල පිහිටි රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවැසුවේය.


“වර්ජනය කැඳවූයේ සාමාජිකත්වයට පැහැදිලි තොරතුරු දැක්වීමක් සිදුකොට නෙවෙයි. ඉල්ලීම් පිළිබඳවවත් ඔවුන් තුළ අවබෝධයක් තිබුණේ නැහැ. හෙදියන් සඳහා ගෙවන අතිකාල දීමනාව රුපියල් හාරසිය පනහක් කරන්න කියලා ඔවුන් ඉල්ලා සිටිනවා. නමුත් වෛද්‍යවරුන්ට පවා ගෙවන්නේ රුපියල් තුන්සිය හැත්තෑපහක පමණ මුදලක්. ඉතින් මෙවැනි ඉල්ලීම් ඉටුකළ නොහැකියි.”
හෙද වර්ජනය ගැන සමස්ත ලංකා හෙද සංගමය දැරුවේ තවත් අදහසකි. එම සංගමය ඉකුත්දා පුංචිබොරැල්ල සංගම් මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස් මෙසේය.


ආණ්ඩු රැකීමට හෝ ආණ්ඩු බිඳ වැටවීමේ ක්‍රියාවලියක් සඳහා වෘත්තීය අරගල යොදා ගැනීම වැරැදිසහගත බවටත් සේවා ගැටලු විසඳා ගැනීමේ අරමුණින් නිවැරැදිව ස්ථානගතවූ සටනක් කළ යුතු බවද ගාමිණී කුමාරසිංහ මහතා සඳහන් කළේය. මෙම හේතු මත මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ මැදිහත්වීම මත ක්‍රියාත්මක වූ හෙද වර්ජනය අසාර්ථක බව එහිදී ඔවුන් විසින් හෙළිදරව් කරන ලදී.
පාර්ලිමේන්තුවේදී ඇතිවූ කලකෝළාහල තත්ත්වයක් මත මේ දිනවල විවේචනයට ලක්වී සිටින ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකදී ආණ්ඩුව රට අරාජික බවට පත් කිරීමක් පවතින බවට අදහස් දැක්වීය.


“වර්තමාන රජය සෑම අතකින්ම අරාජික වෙලා. බොහෝ අංශවලින් මහජන විරෝධතා ඉස්මතු වෙනවා. සයිටම් ආයතනය සම්බන්ධව ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වයේදී සිසුන්, වෛද්‍යවරුන් හා දේශපාලන පක්ෂත් අත්වැල් බැඳගෙන තිබෙනවා. ජිනීවා මානව හිමිකම් කමිටුව අපේ රටට විරුද්ධව ඉදිරිපත් කළ යෝජනාවට ලංකාව පක්ෂ බව අපේ විදේශ අමාත්‍යවරයා කළ ප්‍රකාශය හෙළා දකිනවා.” දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා එසේ පවසද්දි වැඩ බලන විදේශ අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේ මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ගෙන එන වාර්තාව අපේ රටට අහිතකර විය හැකි බවයි. 


2015 වසරේදී ශ්‍රී ලංකාව අනුමත කළ යෝජනාව නැවතත් ඉදිරිපත් කරන බව එක්සත් ජාතීන්ගේ නිත්‍ය නේවාසික නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා ජිනීවා සමුළුවට දන්වා තිබෙනවා. මානව හිමිකම් ගැන අලුත් යෝජනා ඉදිරියේ වී තිබේද කියලා බොහෝ පාර්ශ්ව ප්‍රශ්න නඟා තිබෙනවා. නමුත් එලෙස අලුත් යෝජනා ඉදිරිපත්වී නැහැ. අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසුවේය.


එම මාධ්‍ය හමුවේදී රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාද අදහස් දැක්වීය. රැකියා අර්බුදය එහිදී ප්‍රධාන තේමාවක් විය. සුදුසුකම් මත රැකියා අපේක්ෂාව හා බලාපොරොත්තුව හා රැකියාව අතර වෙනස පිළිබඳව එහිදී කතාබහට ලක්විය. ආයෝජන කලාපවල රැකියා ඇබෑර්තු එක් ලක්ෂ පනස් දහසක පමණ ප්‍රමාණයක් තිබුණද එම රැකියා අපේක්ෂිත බොහෝමයක් නිකරුණේ කල් ගෙවීම ගැනද සඳහන් විය.


ඉදිරි වසර දහයක කාල සීමාවේදී මැද පෙරදිගට රැකියාවට යන වෘත්තිකයන් රට තුළ රඳවා ගැනීමේ වැඩ පිළිවෙළක් ගැනද එහිදී අදහස් විය.


මුදල් අමාත්‍යංශය රාජ්‍ය ආයතන පහක් සමඟ සාමූහික අවබෝධතා ගිවිසුමකට අස්සන් තැබීම මුදල් අමාත්‍යංශයේදී ඉකුත් බදාදාවේ සිදුවිය. පාඩු ලැබූ රාජ්‍ය ආයතන දෙසීයයක පමණ ප්‍රමාණයක් වත්මන් රජයේ මැදිහත්වීම මත පනහ දක්වා අවම කර ගැනීමට හැකිවූ බව මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය. කිසිදු රාජ්‍ය ආයතනයක් පෞද්ගලික අංශයට පැවැරීමට කටයුතු නොකරන බවද මුදල් අමාත්‍යවරයා එහිදී අදහස් දක්වනු ලැබීය. 


ඩෙංගු රෝගය හේතුවෙන් නැගෙනහිර පළාතේ කින්නියා ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත්වීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ පැවැති මාධ්‍ය හමුවකදී එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී වීර කුමාර දිසානායක මහතා අදහස් දැක්වීමක් සිදුකළේය. කින්නියාවල ජනතාව පීඩාවට පත්වී සිටියදී රජයේ සෞඛ්‍ය ඇමැතිවරයා කොළඹට වී ඒකාබද්ධ විපක්ෂයේ දත් ගැලවීමට උත්සාහ කරන බව වීරකුමාර දිසානායක මහතා එහිදී පැවැසුවේය. කින්නියා ප්‍රදේශයේ ජනතාවට වැළඳී ඇත්තේ ඩෙංගු රෝගය නොව වෙනත් රෝගයක් දැයි සැක මතුවන බවද එහිදී තවදුරටත් ප්‍රකාශ වුවද සෞඛ්‍ය අමාත්‍යංශය විසින් එය ඩෙංගු රෝගය බවට හඳුනාගෙන ඇති බව ප්‍රකාශ කොට තිබේ.

පුවත් සාකච්ඡා ගොනුව 
සමන්තිකා මාධවි, ධනු විජේරත්න
නදීශා අතුකෝරළ

 

 



අදහස් (0)

රට කරන-කරවන අය කියන කතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 398 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2176 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1652 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site