IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


පාලිකාවගේ සැමියාගෙන් ළමා නිවාසයේ දැරියන්ට අතවර

 

 අව්‍යාජත්වයේ හා සුන්දරත්වයේ විශිෂ්ටතම සංකේතය දරුවන් යැයි කීවොත් කිසිවෙක් ඊට එරෙහි නොවනු ඇත. එහෙත් සමාජයේ අත්දැකීම්වලින් පරිණත වූවන් යැයි සැලකෙන, ජීවිතයේ මුහුකුරත්වයට පත්වෙමින් සිටින වැඩිහිටියන් විසින් ඒ සුන්දරත්වයේ සංකේතය කිලිටි කරන්නේ නම් එය කෙතරම් නරුම කමක් වනු ඇතිද? දරුවන්ගේ වගකීම භාරගත යුතු, දරුවන්ට මග පෙන්විය යුතු වැඩිහිටියන් දරුවන් නොමග යවන්නට තැත් කිරීම කෙතරම් මුග්ධකමක් වනු ඇතිද? එහෙත් අද අපේ සමාජය තුළින් එවැනි දෑ අසන්නට දකින්නට ලැබෙන අවස්ථා බහුල ය.   


 ‘‘වැලේ ගෙඩි වැලට බර නැතැයි’’ කී කාලය දැන් අවසන්ය. එක පවුලට දරුවෝ දහයක් පහළොවක් හිටියත් දෙමාපියන්ට එය බරක් නොවූ කාලයක් අපිට තිබිණ. දරුවන්ට කන්න දෙන්න වත්තෙන් පිටියෙන් යමක් සපයා ගැනීම දැන් දුෂ්කරය. අසල්වැසියන්ගේ උදව් පදව් ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. ඥාති හිතමිත‍්‍රාදීන්ගේ උදව් පදව් ලබාගැනීමද දුෂ්කරය. ඒ ඔවුන්ගේ පෞද්ගලික ප‍්‍රශ්නයක් නිසා නොව, හැම දෙනාම ජීවන අරගලය තුළ සිරකරුවන් සිරකාරියන් බවට පත්ව ඇති නිසාය.   


 එවැනි වටපිටාවක සැමියා නැතිව දරුවන් රැකබලා ගැනීමට මවකට සිදුවන්නේ නම්, මවක් නොමැතිව පියෙකුට දරුවන් රැකබලා ගන්නට සිදුවන්නේ නම්, දෙමාපියන් දෙදෙනාම නොමැතිව වයෝවෘද්ධ ආච්චිට සීයාට දරුවන් භාරවී තිබේනම් එයින් පීඩාවට පත් වූ වැඩිහිටියෙකු කෙබඳු ක‍්‍රියාමාර්ගයක් ගනු ඇතිද? මෙවැනි සමාජයක් තුළ ප‍්‍රශ්නවලට පිළිතුර මත්පැන් බවට පත්කර ගත් පියවරුන් සිටීම, එවැනි පියවරු දරුවන් පොළොවේ ගසන තත්ත්වයට පත්වීම, දරුවන් මහ මග දමා යන මව්වරුන් පියවරුන්, දරුවන් උපන් මොහොතේම ගෙල සිරකර මරා දමන මව්වරුන් හමුවීම අරුමයක් විය හැකිද?   


 එලෙස තිබියදී තමන්ට දරුවන් හදාගන්න බැරි බව පවසමින් ළමා නිවාසයකට භාරදීම ගැන එක පැත්තකින් යම් අයෙකුට විවේචනයක් තිබිය හැකිය. එහෙත් ළමා නිවාසයකට දරුවෙක් භාර දෙන්නට ඕනෑම දෙමාපියෙකු පෙළඹෙන්නේ තමන්ට වඩා හොඳට දරුවන් රැකබලා ගන්න මේ ළමා නිවාසවලට හැකි වේවි යන විශ්වාසය මතය. ඇතැම් දෙමාපියන් දරුවන් දේශීය හෝ විදේශීය දෙමාපියන්ට දරුකමට හදාගන්නට දෙන්නේ අපි විඳින දුක දරුවන්ට ලබානොදිය යුතුය යන දැඩි උවමනාව නිසාය. එසේ තමන් වෙනුවෙන් දරුවන්ගේ රැකවරණය බාර ගන්නන් දෙමාපියන්ට දෙවියන් වැනිය. එහෙත් බොහෝ මානුෂීය ගුණාංග මිනිසුන් වෙතින් ඈත් වෙමින් යන යුගයක දෙවොලේ කැතකරන කපුවන් හමුවීම ද අරුමයක් නොවේ.   


 කොහුවල ප‍්‍රදේශයේ ළමා නිවාසයක් සම්බන්ධයෙන් පසුගියදා නැගුණ පුවත ද එවැන්නකි. බස්නාහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචිය ලබා ඇති මෙම ළමා නිවාසය පාලනය වන්නේ පාලක මණ්ඩලයක් මගිනි. අවුරුදු දහයත් දාහතත් අතර දරුවන් දහඅටදෙනෙක් මෙහි රැකවරණය ලබමින් සිටියහ. මේ ආයතනයේ රියදුරු ලෙස සේවය කළ පුද්ගලයෙකු විසින් එම ළමා නිවාසයේ දරුවන් අපයෝජනයට ලක් කළැයි සැකපිට කොහුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම තැනැත්තා එම ආයතන පාලිකාවගේ සැමියා බවද කියති.


 පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට ලැබුණ තොරතුරක් අනුව කොහුවල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් ප‍්‍රියශාන්ත මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම ළමා නිවාසය පරීක්ෂාවට ලක්කර අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පත්කර තිබේ.   


 දරුවන්ට නිදා ගැනීමට කාමර වෙන්කර තිබියදී ඒවායේ නිදාගැනීමට ඉඩක් ලබා නොදී වෙනම තැනක නිදාගැනීමට සැලැස්වීම, එම ස්ථානයට රියදුරුට පහසුවෙන් ළඟාවිය හැකි ස්ථානයක්වීම, දරුවන් ඇඳුම් මාරු කරන ස්ථානයේ ආරක්ෂක කැමරා සවිකර තිබීම, ආදී කිසිවක් මේ ආයතනයේ පාලිකාවගෙන් එහා සිටිනා පාලක මණ්ඩලයේ ඇසට හසු නොවූයේද? නොඑසේ නම් කිසියම් හේතුවක් නිසා නොදුටුවා සේ සිටියේද? පිළිතුර කුමක් වුවත් ඔවුන් අතින් වගකීමක් පැහැර හැරී ඇති බව ප‍්‍රතික්ෂේප කළ හැකි නොවේ.   


 දෙවියන්ගේ අතට දරුවන් භාර දෙන්නාසේ දෙමාපියන් විසින් හෝ අධිකරණ මාර්ගයෙන් හෝ මේ දරුවන් ඔවුන් අතට පත් කරනු ලබන්නේ ඔවුන් රැකබලා ගනිමින් යහපත් පුරවැසියන් බවට පත් කරනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි. කිසියම් පිරිසක් එකතු කරගෙන සංවිධානයක් ගොඩනගා රාජ්‍ය නොවන සංවිධානයක් සේ ලියාපදිංචි කරගෙන ළමා නිවාසයක් පවත්වාගෙන යාම හෝ වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යාම සමාජයේ සුවසෙත පිණිසම නොව තම තමන්ගේ සාක්කුද පුරවා ගනු පිණිස සිදුකරන්නක් බවට අද වන විට පත්වෙමින් තිබීම මේ ඛේදවාචකයේ තවත් පැත්තකි. මේ සියලු ළමා නිවාස හෝ වැඩිහිටි නිවාස සඳහා පූර්විකාවක් නොවේ. දරුවන්ගේ හව් හරණක් නැති, ඇතැම්විට දරුවන්ට රැකබලා ගැනීමට තරම් කාල වේලාවක් නැති දෙමාපියන් රැකබලාගැනීම, දෙමාපියන්ට බලාගන්න නොහැකි දෙමාපියන් අහිමි දරුවන් රැකබලාගැනීම යුතුකමක්, සමාජ වගකීමක්, පිංකමක්සේ සලකමින් මෙවැනි නිවාස පවත්වාගෙන යන්නෝද සිටිති.   


 ගැටලුව තිබෙන්නේ ළමා නිවාස පවත්වාගෙන යාම ගැන නොවේ. ඒවා අදාළ ආයතන විසින් නිසි පරිදි අධීක්ෂණය වන්නේද යන්න ගැනය. බස්නාහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක අධිකාරිය යටතේ ලියාපදිංචි ළමා නිවාස එකසිය විස්සක් බස්නාහිර පළාත තුළ පවතින අතර එයින් වැඩිම ප‍්‍රමාණයක් පවතින්නේ කොළඹ දිස්ත‍්‍රික්කයේය. බස්නාහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක අධිකාරියේ තොරතුරු අනුව මෙම නිවාසවල දරුවන් හාරදහසක් පමණ රැකවරණය ලබති. බස්නාහිර පළාත තුළ පවතින බස්නාහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක අධිකාරියේ ප‍්‍රාදේශීය කාර්යාල දොළහකින් මෙම නිවාස මසකට වරක් පරීක්ෂාවට ලක්වනු ඇත.   


 මසකට වරක් නිලධාරින් විසින් සිදුකරන ක්ෂේත‍්‍ර පරීක්ෂාවේදී අපේ කතාවට පාදක වූ ළමා නිවාසයේ අඩුපාඩු ඇස ගැටුණේ නැත්තේ ඇයි? ඔවුන් සිදුකර තිබෙන්නේ පුරුද්දට ගොස් අත්සන් කර එන්නා වැනි කටයුත්තක්ද යන්න ඉහළ නිලධාරීන් විසින් සොයා බැලිය යුතුව තිබේ.  


 මේ ​ෙවන විට ප‍්‍රශ්නගත ළමා නිවාසයේ පාලිකාව වෙනස් කර ඇති බව දැන ගන්නට තිබේ. ගැටලුවට පත්වූ දරුවන් දැන් යොමුකර තිබෙන්නේ කොතැනකටද? මේ පිළිබඳව අදහස් දැක්වු බස්නාහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස් චන්දිමා දිසානායක මහත්මිය මෙම දරුවන් අධිකරණයේ නියෝග මත පොලිස් ආරක්ෂාව මධ්‍යයේ එම ළමා නිවාසයේම රඳවා තබා ඇති බව පැවසීය.   


 ප‍්‍රශ්නවලට පිළිතුරු තාවකාලිකව ලැබේ. එහෙත් ස්ථිරසාර පිළිතුරු අප සෙවිය යුතුව ඇත. මල් වැනි දරුවන් පත්වන මෙවැනි ගැටලු අවසන් කරන්නට නොහැකි නම් අවම කරන්නට හෝ අප සමාජයක්සේ සිතිය යුතු කාලය තව තවත් පස්සට දැමිය හැකි නොවේ.

මුදිතා දයානන්ද සහ
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ



අදහස් (0)

පාලිකාවගේ සැමියාගෙන් ළමා නිවාසයේ දැරියන්ට අතවර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 262 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 403 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site